සුනන්ද දේශප්‍රිය
ජනාධිපති රාජපක්ෂ යුද්ධයට වරමක් දිනා ගත්තේ ය. උතුරු මැද සහ සබරගමු පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල විසින් පෙන්නුම් කරන ප්‍රධානතම ලක්ෂණය එය වේ. එජාපය ප්‍රථමයෙන් උත්සාහ දැරුවේ පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය පා්‍රදේශිය ප්‍රශ්න මත ගෙන යාමට ය. වසර ගණනාවක්ම බලයේ සිටි ශ්‍රිලනිප පළාත් සභා නියෝජිතයිනට එරෙහිව යොදා ගත හැකි ඕනෑ තරම් කරුණු කාරණා ඔවුන් අත තිබුණි. නමුත් එම උත්සාහය ජනාධිපති රාජපක්ෂ කණ්ඩායම විසින් යටපත් කරන ලද්දේ පළාත් සභා මැතිවරණය එල්ටීටීඊ විරෝධි යුද්ධය සහ සිංහල ජාතිකත්වය මත පදනම් වූ ව්‍යාපාරයක් බවට පෙරළීම මගිනි. මැතිවරණ සටනෙහි සිටි අනෙක් ප්‍රධාන පක්ෂ දෙක එනම් එජාපය සහ ජවිපෙ ද පෙනී සිටියේ ද මෙම යුද්ධය වෙනුවෙනි. එනයින් එජාපය මෙන්ම ජවිපෙ ද ආණ්ඩුවේ යුද්ධ මතවාදය ශක්තිමත් කලේ ය. එය ආණ්ඩු පක්ෂය ලද අමතර වාසියක් විය.
එහිලා ආණ්ඩුව කොතරම් දුර ගියේ ද යත් අගමැති වික්‍රමනායක කීයේ මැතිවරණයට පෙරම පවා හමුදාව කිලිනොච්චියට ගමන් කරන්නට ඉඩ ඇති බව යි. ජන්ද සටනට ගිය දේශපාලනඥයින් සෙන්පති සරත් පොන්සේකා පරදවමින් කිලිනොච්චිය කරා ගමන් කරමින් සිටියේ ය. සිංහල ජනයා අතර බහුතරයක් තමන්ගේ සියළු දොස් දුරු කරන මන්ත්‍රය වශයෙන් යුද්ධය කෙරෙහි විශ්වාසය තබා තිබෙන බවට ජනමත සමීක්ෂණ මගින් පෙන්වා තිබූ කරුණ දැන් කතිරයෙන් ද තහවුරු වී තිබේ.
එමෙන්ම මෙම පළාත් සභා මැතිවරණය පෙන් වූ තවත් කරුණක් වූයේ මැතිවරණ දිනීම වෙනුවෙන් යා යුතු ඕනැම දුරකට යෑමට මෙම පාලන තන්ත්‍රයේ ඇති සූදානම යි. පළාත් සභා මැතිවරණයක දී දරුණු ඝනයේ පුර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මෙතරම් දක්නට ලැබුණූ අන් අවස්ථාවක් නැත. පොලීසිය අනියමින් ද දේශපාලනඥයින් ඍජුවද සහභාගි වෙමින් අනුරාධපුර නගරයෙහි එජාප නායකයකු වන වෛද්‍ය ජෝන් පුල්ලේ ගේ නිවස සහ දිස්පැන්සරිය ගිනි තබා අලු කිරීම මෙම පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩත්වයේ භයංකර සංකේතය විය.
අනෙක් සංකේතාත්මක කරුණ නම් රාජ්‍ය පාලිත එනමුත් ස්වාධීන මහජන සේවා ජනමාධ්‍ය විය යුතු ලේක්හවුසිය, ගුවන් විදුලි සංස්ථාව, ලක් හඩ, රූපවාහිනිය සහ අයිටීඑන් යන ජනමාධ්‍ය මැතිවරණය සඳහා යොදා ගත් ආකාරය යි. මෑත කාලයෙහි මෙතරම් අගතිගාමිව රාජ්‍ය පාලිත ජනමාධ්‍ය මැතිවරණ ව්‍යාපාරයේ යෙද වූ අවස්ථා ඇත්තේ ඉද හිට පමණි. රාජ්‍ය පාලිත විද්යුත් ජනමාධ්‍ය සියයට සියයක්ම වාගේ පොදු පෙරමුණු මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රචාරක යන්ත්‍ර වශයෙන් යොදා ගන්නා ලදී.
පළාත් සභා මැතිවරණ ක්‍රියා දාමය පෙන්නුම් කළේ මහින්ද රාජපක්ෂ පාලනයේ යුදවාදි ඒකාධිපති ගමන දැන් වඩා ප්‍රබල ලෙස ඉදිරියට ගමන් කරනු ඇති බව යි. උතුරට නොදෙන ප්‍රජාතන්ත්‍රවාදය දකුණට ද නොලැබෙන බව ඉන් යළි තහවුරු කළේ ය.
ඊට අමතරව මෙම ප්‍රතිඵල විසින් ද්විතීයක නිරීක්ෂණයන් කිහිපයක් ද පෙන්වාල යි. ඉන් එක් නිරීක්ෂණයක් නම් එජාපය සතුව සියයට 35 ක තරම් ස්ථිර ඡන්ද පදනමක් ඇති බව යි. එය මැතිවරණ බල ප්‍රදේශ (ආසන මට්ටමින් නොවේ) ගණනාවකදීම පොදු පෙරමුණ පරාජය කර බහුතර ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තේ ය. යුද්ධ වීරත්වය එදිනෙදා ජීවිතයේ සුලභම වෙළද සහ පාරිභෝගික භාණ්ඩය බවට දේශපාලනය සහ ජනමාධ්‍ය විසින් පත්කර ඇති අද වැනි අවස්ථාවක ජාතිකවාදි රණකාමය පරදවා මැතිවරණයක් දිනීම ඉතා දූෂ්කර කාර්යයකි. එවැනි කාර්යයකට අත ගැසීමට වත්මන් එජාපයට සංවිධාන හැකියාවක් හෝ එහි නායකත්වයට ඉදිරි දැක්මක් හෝ නැති බව පළාත් සභා මැතිවරණ සටන තුළ දක්නට ලැබුණි.
එහි නායකත්වය මෙම පළාත් සභා මැතිවරණය ජය ගතහොත් මහා මැතිවරණයක් ලබා ගන්නා බවට උදම් ඇනු නමුත් එවැනි ජාතික දේශපාලන වෙනසක් සඳහා වු කිසිදු ප්‍රායෝගික වැඩ සටනක් ඉදිරිපත් කළේ නැත. ස්වාධීන කොමිෂන් සභා පිළිබඳ 17වන සංශෝධනය ක්‍රියාත්මක නොකිරීම, විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පිලිබඳ මහින්ද චින්තන පොරොන්දුව ඉටු නොකිරීම යනාදී ප්‍රජාතන්ත්‍රවාදි ඉල්ලීම් එජාප පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය තුළ පෙනෙන්නට නොතිබුනි. එජාප නායකත්වය කල්පනා කළේ යුද්ධ ඇදුම ඇන්ද වූ ජානක පෙරේරාගේ මේජර් ජෙනරාල් ප්‍රතිරූපය සහ වේදිකාව මත ගී ගයා සිනමා නළු ප්‍රතිරූපය සිහි කැඳවූ රංජන් රාමනායක ප්‍රතිරූපය මගින් මැතිවරණය දිනා ගැනීමට ය. වෙනසක් සඳහා දේශපාලන වැඩ සටහනක් එජාප නායකත්වයට නැති බව මෙම පුද්ගලවාදි මැතිවරණ ව්‍යාපාරයෙන් පෙනී ගියේ ය.
මැතිවරණ ප්‍රතිඵලයන්හි වෙනසක් අවශ්‍ය නම් එජාපයට වෙනසක් සඳහා වැඩ සටහනක් අවශ්‍ය ය. ඒ වෙනස පටන් ගත යුත්තේ පක්ෂය තුලිනි. නමුත් එවැන්නක් පෙනෙන්නට නැත.
පළාත් සභා මැතිවරණය පෙන් වු අනෙක් කැපී පෙනෙන කරුණ නම් ජනතා විමුක්ති පෙරමුණ මුහුණ දුන් කණගාටුදායක තත්ත්වය යි. එය සිය ඡන්ද පදනම සියයට 05 මට්ටමෙන් ඔබ්බට ගැනීමට අසමත් විය. ජවිපෙ පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය තුළ හෝ මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩ පිළිවෙළට ප්‍රායෝගික විකල්පයක් ලෙස දැකිය හැකි ඉදිරි දැක්මක් තිබුණේ නැත.
ධනපති දේශපාලන පක්ෂ සමඟ හවුල් ආණ්ඩු කරා ගමන් කරන මෙරට වමේ පක්ෂ සියල්ලටම අත්වු ඉරණම ද මෙය යි. පක්ෂයෙන් පිරිසක් ධනපති ආණ්ඩුවේ හවුල් කරුවන් බවට පත්වීම සහ ධනපති ආණ්ඩුවේ සටන් පාඨ සහ වාමාංශික පක්ෂයේ සටන් පාඨ අතර බොඳ වී යාමක් ඇති වීම යි. මහින්ද රාජපක්ෂ ජනාධිපති බවට පත්කිරීමට ජවිපෙ කටයුතු කලේ ප්‍රධාන කරුණු දෙකක් උඩ ය. ප්‍රසිද්ධ කරුණ යුද්ධය මගින් එල්ටීටීඊ ය පැරද වීමයි. අප්‍රසිද්ධ කරුණ ඡන්දය මගින් එජාපය පැරද වීම යි. අනෙක් සංධාන ලියැවිලි සියල්ල බොරු බව නොදැන සිටියේ නම් ජවිපෙ නායකත්වය, නායකත්වයක් නොවේ.
ස්වාධීන බලයක් ගොඩ නඟා ගැනීමට නම් ජවිපෙ මුහුණ දෙනු ඇති එක් හදිසි අභියෝගයක් වන්නේ හුදෙක් පාර්ලිමේන්තුවාදි පක්ෂයක් නොවී පිඩිත ජනයාගේ අයිතීන් වෙනුවෙන් පෙනීි සිටින පක්ෂයක් වන්නේ කෙසේද යන්න ය. දූෂණයට, භීෂණයට සහ දුගී භාවයට එරෙහි බල දේශපාලනය පිටුපස නොයන බල දේශපාලනයෙන් ලාභ අපේක්ෂා නොකරන සියයට 10 ඉක්මවූ පිරිසක් ඕනෑම සමාජයක සිටිති. අද මෙරට එම ජනයාට දේශපාලන ප්‍රකාශනයක් නැත.
බහුජන දේශපාලන ව්‍යාපාරයක් වශයෙන් මැතිවරණ ව්‍යාපාරයන් තුළ සක්‍රීය ස්ථානයක් අල්ලා ගන්නේ කෙසේද යන්න ඉන් අනතුරුව ජවිපෙ මුහුණ දෙන අභියෝගය යි. දැන් රණකාමී සිංහල ජාතිකවාදයේ ධජය මහින්ද රාජපක්ෂගෙන් උදුරා ගෙන බහුජන පදනමක් ඇති කර ගැනීමට හෙළ උරුමයට හෝ ජවිපෙට නොහැකි ය. විකල්ප අවකාශයක් ඇත්තේ සමාජ සාධාරණත්වය, ජනවාර්ගික සාධාරණත්වය, ප්‍රජාතන්තවාදය, මානව හිමිකම් යනාදිය මත පදනම් වන ඥානාන්විත සහ ආදර්ශමත් දේශපාලනයකට ය. නමුත් ඊට එරෙහිව ජවිපෙ ගමන් කළේ යුද්ධ දේශපාලන අවකාශය තුළ සිංහල ජනයා අතර සිය ඡන්ද කොටස වෙන් කර ගැනිමට ය. දැන් ජවිපෙ එක්කෝ යළි මහින්ද රාජපක්ෂ කරා ගමන් කළ යුතු ය. නැත්නම් ගැඹුරු සහ දුර දිග යන දේශපාලන වෙනසකට ප්‍රවිශ්ඨ විය යුතු ය.
පළාත් සභා මැතිවරණය පිළිබද තවත් කියැවීම් තිබිය හැකි ය. මේ මා දකින හැටි ය.