Colombo, Featured Articles, Features

ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළට විකල්පයක් ලෙස සමාජ වෙළඳපොළ ආර්ථිකයක් ගොඩනඟමු

කාර්ල් මාක්ස් සිය අද්වීතිය දේශපාලන – ආර්ථික තීසිසය වන කොමියුනිස්ට් ප්‍රකාශනය මගින් තර්ක කොට සිටියේ ධනේෂ්වර ක්‍රමය අර්බුදයට යන බවත්, එකී අර්බුදයේදී ධනේෂ්වර පංතියට එරෙහිව නැගිටන කම්කරු පංතිය විසින් ධනේෂ්වර පංතිය පෙරලා දමා නිර්ධන පංතික කම්කරුවන්ගේ ආඥාදායකත්වයක් අදාළ සමාජය තුල පිහිටුවන බවය. මාක්ස්ගේ ඉහත කී ප්‍රධාන උපන්‍යාසය විශ්ලේෂණය කිරීමේදී ඒ තුළ ආර්ථික උපන්‍යාසයක් හා දේශපාලනික උපන්‍යාසයක් පවතින බව පෙනී යයි. ඒ අතරින් ආර්ථික උපන්‍යාසය අදටත් අර්ධ සත්‍යයක් ලෙස අප අතර දෘෂ්‍යමාන වන නමුදු , දේශපාලන උපන්‍යාසය යථාර්තයක් බවට නොපත්වූ බව පසුගිය අවුරුදු 100කට අධික කාලයක් තුළ වූ අත්දැකීම් අපට කියා දෙති. ආර්ථිකය තුළ ඉල්ලුම හා සැපයුම විසින් මිල තීරණය කරන කල්හි, එකී මිල තුළ පවතින ලාභය තීව්ර කර ගැනීම සඳහා ධනේෂ්වරය තරඟයක යෙදෙන බව අප සැවෝම හොඳින් දනිති. එසේ තරඟයට අවතීර්ණ වූ කල තරඟයේ ප්‍රතිඵලයක් ලෙස මිල අඩු කිරීමට සිදුවන නිසා ලාභයද අඩුවෙති. මෙකී තරඟය හා මිල ක්‍රියාවලිය විසින් යම් අවස්ථාවකදී ආර්ථිකය සංවෘත ලක්‍ෂයකට එනම් ආර්ථිකය එකතැන පල්වීමකට ගමන් කරන අතර මෙය මාක්ස්ගේ ධනේෂ්වර ආර්ථිකයේ අර්බුදකාරී අවස්ථාව ලෙස හඳුන්වා දියහැකිව තිබේ.

1970, 1980 , 1990 දශකයන්හි දී මෙකී සංවෘත අවස්ථාවට ලෝක ආර්ථිකය ලඟා වූහ. එමෙන්ම මේ වන විටත් ලෝක ආර්ථිකය මුහුණ දෙමින් සිටින්නේ ඒ ඒ දේශීය ආර්ථිකයන් ඉහත කී සංවෘත ලක්‍ෂයකට ලඟා වීම බව ආර්ථික විද්‍යා කෝණයෙන් සඳහන් කළ හැකිව තිබේ. එකී තත්ත්වය එසේ වුවත් මාක්ස් කියූ පරිදි, ධනේෂ්වර ආර්ථිකය කඩා වැටුණේ නැත. එකී කඩා වැටීම උත්තේජනය කොට ගනිමින් සමාජ විප්ලවයක් සිදුවුනේ නැත. එයට හේතු වුයේ ධනේෂ්වර ආර්ථිකය අදාළ සංවෘත අවස්ථාවට පැමිණි විගස එකී සංවෘත අවස්ථාවට හේතු වන ලාභය ශූන්‍ය වීම මඟ හරවා ගැනීමට කටයුතු සම්පාදනය කිරීමයි. 20 ශත වර්ෂයේ මුල් භාගයේදී එකී මඟහරවා ගැනීමේ හැකියාව අධිරාජ්‍යවාදය හරහා යටත් විජිත වලින් ගෙන්වා ගත් ලාභදායක නිෂ්පාදන අමුද්‍රව්‍ය නිසා ලැබුණේය. එකී තත්ත්වය නිරීක්‍ෂණය කළ ලෙනින් කීවේ අධිරාජ්‍යවාදය ධනේෂ්වර ක්‍රමයේ උච්ඡ අවස්ථාව වන බවයි. දෙවන ලෝක යුද්ධය අවසානයේදී, බ්‍රෙට්න් වුඩ් ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිහිටුවමින් ලෝක මූල්‍ය ඒකකය ලෙස ඩොලරය පිළිගන්වා එය රත්තරන් මිල සමඟ සම්බන්ධ කරමින් ගෝලීය දකුණ, ගෝලීය උතුර මත යැපෙන ආර්ථිකයක් ගොඩ නඟමින් සංවෘත ආර්ථික හා දේශපාලනික අවස්ථාව අර්බුදයක් බවට පර්වර්තනය වීම වළක්වා ගත්තේය. නැවතත් 1970 දශකයේදී අර්බුදය පැමිණෙන විට ඩොලරය හා රත්තරන් මිල අතර සබඳතාවය කඩාදමා, නිදහස් මුදල් ඒකකයක් ලෙස ඩොලරය පා කර හරිමින් ආර්ථික අර්බුදයෙන් තවකාලිකව ගොඩ පැමිණියේය. නැවතත් 1980 දශකයේදී අර්බුදය පැන නැඟුන කල නව ලිබරල් ආර්ථිකය හඳුන්වාදී ධනේෂ්වරයට උපරිම ලාභ ගැනීම සඳහා නව ආර්ථික අධෝ ව්‍යුහයක් සමස්ත ලෝකය තුලම ස්ථාපිත කරන්නට යෙදුණේය. මේ ආකාරයට මේ දක්වා සිදු කෙරුනේ ලෝක ධනේෂ්වරය සූක්‍ෂම ලෙස, අර්බුදයට මුහුණදෙන සෑම කල්හිම ක්‍රිඩාංගනයේ ගෝල් කණු පසු පසට ගනිමින් අර්බුදය ව්‍යසනයක් වීම වලක්වා ගැනීමයි. නමුත් නව ලිබරල් ආර්ථික ව්‍යූහය ලෝ පුරා ස්ථාන ගත වීමත් සමඟ තත්ත්වය අද වෙනස් වී තිබේ. කාර්මික විප්ලවයේ සිට 80 දශකය දක්වා ලෝක ආර්ථිකය සංවෘත අවස්ථාවට පත්වීමේදී ව්‍යූහගත වෙනස් වීමකට ලක් කෙරුනේ යථා ආර්ථිකයයි. (real economy). නමුත් නව ලිබරල් ආර්ථික පිළිවෙත හරහා ඉස්මතුවූ මූල්‍ය ආර්ථිකය (finance economy) යථා ආර්ථිකය අභිබවා ගොස් ලෝක ධනේෂවරයේ ආර්ථික හරය බවට පත්වීම හේතු කොට ගෙන, 80 දශකයෙන් පසුව මුහුණ දෙන සංවෘත අවස්ථාවනට තාවකාලිකව හෝ පිළියම් යෙදීමට නොහැකි තත්ත්වයක් අද ඇති කොට තිබේ. 90 දශකයේ මුල් භාගයේදී ආසියානු ආර්ථිකය කඩා වැටීම, 2000 දශකයේදී දකුණු ඇමරිකාව (ආර්ජන්ටිනාව) හරහා ඇතිවූ කඩා වැටීමත්, 2000 දශකයේ අවසානයේ ඇමරිකානු එක්සත් ජනපදය තුළ හා යුරෝපයේ ඇතිවූ ආර්ථිකයේ කඩා වැටීමද, අද වන විට ග්‍රීසිය, ස්පාඤ්ඤය, පෘතුගාලය හා අයර්ලන්තයේ ඇතිවී ඇති බරපතල ආර්ථික අවපාතයන් මගින් පෙන්නුම් කරන්නේ එයයි.

නව ලිබරල්වාදී ආර්ථිකය හඳුන්වා දෙනු ලැබුයේ ලෝක බැංකුව විසිනි. ලෝක බැංකුව විසින් එවකට හඳුන්වා දුන් “වොෂින්ටන් සම්මුතිය” මගින් ලෝක මූල්‍ය ආර්ථිකයට ස්ථිර පදනම් සලසා තිබුනි. ඒ තුළ දක්නට ලැබුණු ප්‍රධාන ලක්‍ෂණය වූයේ එතෙක් ස්ථාවර ආර්ථික සාධකයක්ව පැවැති (ඩේවිඩ් රිකාඩෝ අනුව) ප්‍රාග්ධන විචල්‍ය කිරීමයි. මෙකී ප්‍රතිපත්තියේ ප්‍රායෝගික ක්‍රියාත්මක වීම සනිටුහන් කිරීමේ මුල් පියවර වූයේ ඍජු විදේශ අයෝජන(FDI) ගෝලීය උතුරේ සිට ගෝලීය දකුණ දක්වා සංසරණය වීමට සැලැස්වීමයි. දෙවැන්න වූයේ හැකි පමණ රාජ්‍යන්හි ප්‍රාග්ධන ගිණුම විවෘත කිරීම තුළ නිර්බාධ ආර්ථිකයක් ගොඩනැංවීමයි. තුන්වනුව වූයේ එකී මූල්‍ය ආර්ථිකයේ පැවැත්ම සඳහා ක්‍රෙඩිට් කාඩ්, හෙජිං වැනි ගෝලීය පැවැත්මක් සහිත මූල්‍ය උපකරණ බිහිකිරීමයි. ඒ මගින් මේ වන විට සිදුවී ඇත්තේ යථා අර්ථිකයට සාපේක්‍ෂ නොවන ණය ආර්ථිකයක් ලෝක මට්ටමින්ද, දේශිය ආර්ථික මට්ටමින් ගොඩ නැංවීමයි.

තමන් බිහිකළ මූල්‍ය ආර්ථිකයේම ගොදුරු බවට ගෝලීය උතුර අද පත්වී තිබේ. ඇමරිකාවේ ණය බර (රාජ්‍ය ණයට ගැනීම් මත) ඩොලර් ට්‍රිලියන 1.3 දක්වා පත්ව තිබේ. එසේම ඇමරිකානු අයවැය පරතරය දළ ජාතික නිෂ්පාදනයෙන් 11% දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය මූල්‍ය ආර්ථිකයක සිට රාජ්‍ය ධනවාදය දක්වා ගමන් කරමින් සිටී. ඇමරිකා එක්සත් ජනපදය තුළ මෙන්ම යුරෝපයේ්ද බැංකු අද පවත්වා ගෙන යමින් සිටින්නේ රාජ්‍යය මගින් පොම්ප කරණු ලබන ප්‍රාග්ධනය මතය. එකී ප්‍රදේශයන්හි මහා පරිමාන බැර කර්මාන්ත ද දැන් දැන් පවත්වා ගෙන යමින් සිටින්නේ රාජ්‍ය ප්‍රාග්ධනය මතය. (උදා: ජී. එම්. මෝටර්ස්) ගෝලීය උතුර එලෙසට අර්බුදයට ලක්වී සිටින කල අප කුඩා දිවයිනද අත්දකිමින් සිටින්නේ එවන්ම වූ බරපතල තත්ත්වයකය. ශ්‍රී ලංකාවේ විදෙශ ණය බර ප්‍රමාණය 2009 දී දළ ජාතික නිෂ්පාදනයෙන් 86.2%කි. රාජ්‍ය ණය ගැනීම සාමාන්‍යයෙන් ආර්ථිකයට අවැඩක් සිදු නොවුවද, අද ලංකාවේ ඇතිවී තිබෙන තත්ත්වය ඉතා බරපතල වී ඇත්තේ දීර්ඝ කාලීන සහනදායක ණය වෙනුවට කෙටි කාලීන ඉහළ පොලී අනුපාතිකයක් සහිත ණය ලබාගැනීමේ ප්‍රවනතාවයත්, ලබාගන්නා සියලු ණය ප්‍රාග්ධන ආයෝජනයට පමණක් නොයොදා පුනරාවර්තන වියදම් සඳහා යොදවා ගැනීම හේතු කොටගෙනය. මේ තත්ත්වය බරපතල වන්නේ 2009 දී අපගේ අපනයන ආදායමින් 14.6% ක් ණය පොළී ගෙවීම සඳහා යෙදවීමට සිදුවීම සළකන කළය.

ඉහත කී සමස්තය විසින් ලෝක පරිමානව මෙන්ම දේශියව ද ඇති කර ඇති ආර්ථිකය එක තැන පල්වීම තුළ අප වෙත ඇති කර ඇති සමාජ දේශපාලනික හා සංස්කෘතිත බලපෑම, වර්තමාන සමාජයට දැරිය නොහැකි මට්ටමකට අද පත්ව තිබේ. පළමුව සංවර්ධනයේ සිහිනය සැබෑ කර ගැනීමේ මුවාවෙන්, පාලකයන් අපගේ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල සීමා ඇති කරමින් සිටී. අනෙක් අතට මානව ජීවිතයේ සමාජ සංස්ථාවන් විසුරුවාලීමට හෝ හැකිලීමට ඉඩ සලස්වමින් පුද්ගලයා වෙලෙඳපොළ තුළ හුදු පාරිභෝගිකයකු බවට පත්වී සිටී. ඊනියා සංවර්ධනය තුළ ඇති හැකි සීමිත පිරිසකට තාවකාලිකව තම ප්‍රශ්න විසඳා ගැනීමට හැකිවී ඇති නමුත් සමාජයේ අතිමහත් බහුතරය දූගීභාවයට පත්කොට තිබේ. සමාජ අසහනය, විරැකියාව, සමාජ ඉනිමගෙහි ඉහලට ගමන් කිරීමට සමාන අවස්ථා නොමැති වීම තුළ අප රටේ ජනතාව දෛනිකව සමාජ ආතිතයකට හා මානසික අසහනයකට පත්කොට තිබේ.

ඉහත සඳහන් විශ්ලේෂණය රටේ බොහෝ දෙනකුට කරගත හැකි සේම ගොඩනඟනු ලබන විශ්ලේෂණය පිළිබඳව බොහෝ ඉහලට එකඟ විය හැකිය. නමුත් අභියෝගය වන්නේ ඉන් එපිටට ගොස් මෙකී විශ්ලේෂණයට පාදක වන අපගේ වර්තමාන සංවර්ධන මාදිලියට විකල්ප සංවර්ධන මාදිලියක් ගොඩනැගීමට යෝජනා කිරීමේදීය. පවතින නව ලිබරල් ආර්ථික මොඩලය ලෝක මට්ටමින් ගත්තද, දේශීය වශයෙන් ගත් කලද අසාර්ථක බව අප පිළිගනිමු. අවාසනාවකට එකී මොඩලය ක්‍රියාත්ම කිරීමට ගොස් 2002 වර්ෂයේ එ.ජා.ප.යට අත්වූ ඉරණම හෝ ඉන්දියාවේ බී.ජේ.පී. යට අත්වූ ඉරණම හෝ ආන්ද්‍ර ප්‍රදේශයේ ආර්ථික මහ මොළකරු වූ චන්ද්‍රබාබු නයිදූට අත්වූ දේශපාලනික ඉරණම නොතකා වර්තමාන රජය, එ.ජා.ප.යේ Regaining Sri lanka මොඩලය ඊටත් වඩා වේගයෙන් හා වඩා ත්‍රීව්ර ලෙසද ක්‍රිියාත්මක කරමින් සිටී. එහි ප්‍රතිවිපාක අප දැන් දැන් අත්විඳමින් සිටින බව කුස්සියේ ආර්ථිකය පිලිබඳව මනා අත්දැකීමක් ඇති බහුතරය භෞතිකව මෙන්ම මනසින්ද ස්පර්ශ කරමින් සිටී. නමුත් වර්තමාන රජයට ඉන් එපිටට කළ හැකි යමක් නොමැති නිසා, එකී ගමන් මඟ ආපසු හැරවීමට අප උත්සුක විය යුතු නොවේ. නමුත් රටේ අනාගතය පිලිබඳව අවධාරණයකින් යුතුව කෙරෙන උත්සාහයකදී අපට රටේ සංවර්ධනය පිළිබඳව ඇති විකල්පය කුමක්ද? එය නොපමාව අපගේ සාකච්ඡාවට හසුකර ගත යුත්තකි. නව ලිබරල් ආර්ථිකය අසාර්ථක වී ඇති කළ අනාගතයේදී අප අනුගමනය කළ යුත්තේ මාක්ස්වාදී ආර්ථිකයක්ද යන්න මෙහිදී අප පළමුව පහදා ගත යුතුව තිබේ. අපගේ මතය වන්නේ ජර්මන් දේශපාලනික දාර්ශනිකයකු වූ බර්න්සටයින් වරෙක පැවැසූ අයුරුම, කොමියුනිස්ට් ප්‍රකාශනය අපට සදාචාරාත්මක ලියවිල්ලක් ලෙස, මිනිසුන් ගේ දුක පිළිබඳ සංවේදනය සිහිපත් කරනු ලැබුවද, ඒ මඟින් වර්තමාන සමාජයේ ආර්ථික හා සංවර්ධනාත්මක අභියෝග සඳහා විසඳුම් ලබා නොදෙන බවය. ඒ නිසාම අපගේ ඉදිරිය රඳා පවතින්නේ නව ලිබරල් ආර්ථික මාදිලිය මත නොවන බව සත්‍යයක් වන්නාක් මෙන්ම සමාජවාදී අර්ථ ක්‍රමයක් මතද නොවන බව අප පහදා ගත යුතුව තිබේ.

අපට සමාජයේ දුක පිළිබඳ සංවේදී වීම (මාක්ස්වාදී දේශපාලනයේත් ලබන ආභාෂය) මෙන්ම මනුෂ්‍යත්වය, සමාජ සාධාරණත්වය , ප්‍රජාතන්ත්‍රවාදය සමග වෙළඳ පොළ බලවේග හා මුසු කිරීමේ අවශ්‍යතාවය අන් කවරදාකටත් වඩා දැනෙමින් පවති. එසේම වෙළඳපොළ බලවේගයන් අන් සෑම විකල්ප ආර්ථික මාදිලියකට වඩා කාර්යක්‍ෂම බෙදාහැරීමේ යාන්ත්‍රණයක් බව පිළිගන්නා අතරෙහිම, වෙළඳ පොළ බලවේගයන්ට ස්වයං ක්‍රියාකාරිත්වයකින් හා පාලනයකින් තොරව ක්‍රියාත්මක වීමට ඉඩ දෙන්නේ නම්, ඒ මගින් සමාජය මත අහිතකර බලපෑම් ඇති කරන බව වර්තමානය විසින් අපට හොඳින් තේරුම් කරදෙමින් සිටී. යථා ආර්ථිකය යටපත් කොට ගෝලීය මූල්‍ය ආර්ථිකය ශක්තිමත් වීමට හේතු වූයේ බොහෝදූරට වෙළඳපොල බලවේග සම්බන්ධීකරණය කිරීමට සමත් බාහිර බලවේගයක් නොමැති වීම හේතු කොට ගෙනය. නව ලිබරල් ආර්ථික මාදිලිය හඳුන්වා දුන් නිර්බාධ ආර්ථිකය, ආර්ථිකය මත රාජ්‍යයේ බලපෑම සීමා කළේය. එම නිසාම මූල්‍ය වෙළඳපොල තුළ ක්‍රියාත්මක වූ විවිධ මූල්‍ය මෙවලම් හරහා පමණ ඉක්මවා යන ලාභ ඉපයීමේ ක්‍රියාවලිය තුළ ආර්ථික මායාවක් නිර්මාණය කොට දී තිබේ. අද ලෝක මට්ටමින් ඇතිවී තිබෙන මූල්‍ය අර්බුදයේත් පදනම වී ඇත්තේ මෙකී පාලනයෙන්/සම්බන්ධීකරණයෙන් තොරව ගලා යන්නා වූ මූල්‍ය ආර්ථිකය හා වෙළඳපොල ආර්ථිකයයි.

ඒ නිසාම අද අපට වෙළඳපොල බලවේග සක්‍රීය ලෙස සම්බන්ධීකරණය කළ හැකි සක්‍රීය ආර්ථික රාජ්‍යයක් අවශ්‍යව තිබේ. කුකුල් මස්, පොල්, බිත්තර වෙළඳපොලේදී මිල ඉහල යනවිට, එකී මිල පහල බැස්සවීම සඳහා ඇති එකම විකල්පය, පිටරටින් කුකුල් මස්, පොල්, බිත්තර ආනයනය කිරීම බවට විශ්වාස කරන ආණ්ඩුවක් නොවේ. පවතින තත්ත්ව යටතේ සක්‍රීය රාජ්‍යයක භූමිකාව ක්‍ෂෙත්‍ර තුනකදී සිදුකරන හරයාත්මක මැදිහත්වීමක් විය යුතුය තිබේ. එකී ක්‍ෂෙත්‍රයන් වන්නේ සමාජීය ප්‍රතිපත්තිය, කාර්මික (නිෂ්පාදන) ප්‍රතිපත්තිය හා වෙළඳපොල සම්බන්ධීකරණයයි.

ඒ අනුව එකී ක්‍ෂෙත්‍ර තුන තුළ තිරසාර සමාජීය ආර්ථිකයක් (sustainable social economy) ගොඩනැංවීම සඳහා ප්‍රතිපත්තියක් පිළිවෙල කිරීම මෙහි පළමු පියවරයි. එහිදී ආර්ථික තිරසාරභාවය යනු අනාගත පරම්පරාව ණය වලට වඩා වත්කම් සඳහා උරුම කර තැබීමයි. සමාජ තිරසාරභාවය යනු අනාගත පරම්පරාවට වත්මන් පරම්පාරවට වඩා අවස්ථාවන් භුක්ති විඳිම සහතික කිරීමයි. පාරසරික තිරසාරභාවය යනු අනාගත පරම්පරාවන් ස්වභාව ධර්මය සමග විනාශකාරී නොවන නිර්මාණාත්මක සබඳතාවයක් ඇති කර ගැනීම සහතික කර ගැනීමයි.

මෙකී පියවරේ ප්‍රායෝගික ප්‍රවිශ්ඨය වන්නේ පළමුව, වර්ධනය(growth) පිලිබඳව පුද්ගලයා හා සමාජ ප්‍රගතිය යන අවශ්‍යතා දෙකම අවධාරණය කෙරෙන විකල්ප වැඩපිළිවෙලක ගොඩනැංවීමයි. එසේම සුභසාධන රාජ්‍ය හා සමාජීය ඒකාබද්ධතාවය සුරැකීම සඳහා වන සක්‍රීය මෙන්ම නිවාරණ සමාජ ප්‍රතිපත්තියක්, නිසි ආර්ථික සාධකද සැලකිල්ලට ගනිමින් ක්‍රියාත්මක කිරීමයි. එසේම පාරසරික ගැටලු, ආර්ථික හා සමාජීය ගැටළුවක් බව තේරුම් ගනිමින් නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය හා සේවා සැපයීමේ වෙළඳපොල ප්‍රතිසංස්කරණයද මෙහිලා අවධාරණය කරයි. නියෝ ලිබරල් ආර්ථිකය අපට දායාද කර ඇත්තේ ආර්ථික අභියෝගයක් පමණක් නොවේ. ඒ මගින් නූතන ආර්ථිකය තුළ ගොඩනැගෙන සමස්ත සමාජයේ ආකල්පද ඉන් විනාශ කොට තිබේ. ඒ අනුව විනාශයට පත් කරන ප්‍රධාන සාධකය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි. අද පවතින ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදය අපගේ ආයතන, අප ක්‍රියාත්මක අවකාශ, අපගේ ප්‍රතිපත්ති, අපගේ ඉදිරි දැක්ම, අප ඉදිරියේ පවතින ආර්ථික හා සමාජීය අවස්ථා තුළද, අයිතිවාසිකම් ලබාදීමේදී ද ඒවා භුක්ති විඳීමේදී ද, අපගේ සමාජ ක්‍රියාකාරිත්වයන් තුළද වෙලා පවතින බව පිළිගත යුතුව තිබේ. ශ්‍රී ලංකාව තුළ ක්‍රමයේ වෙනසක් අවධාරණය කෙරෙන්නේ මෙකී තත්ත්වය තුළය.

එකී සමස්ත පැතිකඩ ප්‍රජාතන්ත්‍රවාදීව ප්‍රතිසංස්කරණය කෙරෙන ප්‍රතිපත්තිමය රාමුවකින් තොරව ඉහත කී තිරසාර සමාජ ආර්ථිකයක් අපට කිසිදා ක්‍රියාත්මක කළ නොහැකිව තිබේ. ඒ අනුව අපගේ ආකල්ප හා ක්‍රියාකාරීත්වය ප්‍රජාතන්ත්‍රවාදී කිරීමද ආර්ථිකය, සමාජ සාධාරණත්වය පිළිබඳ අවධාරණයක් සහිතව ප්‍රජාතන්ත්‍රවාදී කිරීම අද දවසේ අභියෝගයයි. මෙවන් ප්‍රවිශ්ඨයක් සඳහා පදනම සපයන්නේ, යුක්තිය, නිදහස හා මානව සහෝදරත්වය පිළිබඳ අපගේ කැපවීමයි. එකී කැපවීම අද දවසේ අපට ලබා දෙන්නා වූ දෘෂ්ඨිය වන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයයි. මෙකී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ඨියකින් යුතුව වර්තමාන රජයේ ක්‍රියාකාරිත්වය විශ්ලේෂණය කර ගැනීමටත්, ඒ තුළින් අප රටට අවැසි විකල්ප සමාජ– – දේශපාලනික හා ආර්ථික මෙන්ම සංස්කෘතික වැඩපිළිවෙල සාකච්ඡාවට ලක් කරගැනීම වර්තමානයේ අප සතු වගකීමයි.


නීතිඥ ශිරාල් ලක්තිලක
[email protected]