සාමාන්‍යයෙන් මම වීදි උද්ඝෝෂණ කරන වර්ගයේ පුද්ගලයෙකු නො වෙමි. මා මගේ තර්ක ඉදිරිපත් කිරීමට උත්සාහ කරන්නේ කරුණු සහ සංඛ්‍යාවලිනි, ඒවා ලිවීමෙනි, කතා කිරීමෙහි හෝ වාදවිවාදයෙහි යෙදීමෙනි. ඒත් දින කිහිපයකට පෙර මම උද්ඝෝෂණයකට සහභාගි වුණෙමි, මෙය එහි සිදු වූයේ කුමක් ද යන්න පිළිබඳ විස්තරයකි; සත්‍ය, එහැම පිටින් ම සත්‍ය සහ සත්‍යය ම විනා අන් යමක් නොවන විස්තරයකි.
ජනරාල් සරත් ෆොන්සේකා බන්ධනාගාරගත කිරීමටත් දිගින් දිගට ම නිදහස පොදුවේ මර්දනය කිරීමටත් – ලංකා ඊ නිව්ස් කාර්යාලයට ගිනි තබා ගත වී තිබුණේ හරියට ම සතියකි – විරෝධය පෑම සඳහා 63 වන නිදහස් සමරුව වර්ජනය කරන්නට එජාපය තීන්දු කර තිබිණ.
එජනිසය බලයට පත් වූ තැන් පටන් සිදු වුණු බඩු මිල ඉහළ යාම ගැන, සැබවින් ම බඩු මිල දෙගුණ වීම ගැන ඒ වන විටත් එදා උදේ වරුවේ මා ප්‍රකාශ කිහිපයක් කර තිබිණ. ශ්‍රී ලංකාව තුළ ආර්ථික නිදහස පිරිහීම ගැනත් කෘෂිකර්මය, කර්මාන්ත සහ සේවාවන් තුළ රාජ්‍යය සිය ක්‍රියාකාරකම් පුළුල් කරමින් සිටින ආකාරය ගැනත් එදා දවසෙහි මා පුද්ගලයන් කිහිප දෙනෙකු සමග කතා කර තිබිණ. යුද හමුදාව එලවලු වෙළඳාමේ යෙදීම සහ ඒ-9 මග දිගට තේ වෙළඳ සල් පවත්වා ගෙන යාම, නාවික හමුදාව තල්මසුන් ගැන සෝදිසියෙන් සිටීම සහ ඇල මාර්ග දිගේ ප්‍රවාහන කටයුතුවල නිරත වීම හෝ ගුවන් හමුදාව දේශීය ගුවන් ගමන් පවත්වා ගෙන යාම යනාදි වශයෙන් අපගේ ආර්ථිකය මිලිටරීකරණය වෙමින් පවතින බව මා පෙන්වා දී තිබිණ. ත්‍රිවිධ හමුදාවේ ම ප්‍රධානීන් වෝටර්ස් එජ් ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කිරීම ගැන මා මහ හඬින් මවිතය පළ කර තිබිණ. ඒත් දවසින් වැඩි කොටසක් මා ගත කර තිබුණේ තොරතුරු සහ දැනුම වෙත ප්‍රවේශ වීමට තිබෙන අවස්ථා වැඩි දියුණු කිරීමෙන් දුප්පත් ගම්බද ගොවීන්ගේ ආර්ථික නිදහස ඉහළ නැංවිය හැකි ආකාරය පිළිබඳව පැවැත්වුණු වැඩමුළුවකට සහභාගි වෙමිනි. දුප්පත් ගොවීන් සහ එවන් ස්ථරයන් පිළිබඳ නිවුන් ගැටලුවට විසඳුම නම් ඉල්ලුම සහ සැපයුම පිළිබඳ තොරතුරු වෙත වඩා විශාලතර සහ වඩා විනිවිද පෙනෙන ප්‍රවේශයක් සලසා දීම යැයි මා විශ්වාස කරන දෙයකි.
එදා දවසේ කළ ක්‍රියාකාරකමේ කොටසක් ලෙස අපගේ පක්ෂය එදා හැන්දෑ යාමයේ විරෝධතාවක් සංවිධානය කර තිබිණ. ‛නිදහසේ විලාපය’ නමින් හැඳින්වුණු එය ජනරාල් ෆොන්සේකා නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කිරීම සඳහා වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට ඉටිපන්දම් දල්වා සිට සිය විරෝධය පළ කිරීමට සංවිධානය කෙරුණක් විය. ඊට සහභාගි වන්නට මම තීරණය කළෙමි. බන්ධනාගාරගතව සිටින ජනරාල්වරයා බැලීමට ගොස් මෙම රට තුළ ත්‍රස්තවාදය පරාජය කිරීමේ දී විශිෂ්ට දායකත්වයක් ලබා දුන් පුද්ගලයාට ආණ්ඩුව සලකන ගුණමකු ආකාරය සියැසින් ම දුටුවේ මසකට පමණ කලිනි. ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී ඔහු පිළිබඳව සඳහන් කරන පරිභවාත්මක ආකාරය හැම විට මා අපහසුතාවට පත් කර තිබිණ. අප හැම සේ ම ජනරාල්වරයා අතින් ද ඇතැම් වැරදි සිදු වී තිබිය හැකි නමුත් අඩු ගණනේ අප සතුව යම් කෘතඥතාවක් තිබිය යුතු නො වේ ද? කෙසේ නමුත්, හේතු බොහෝ තිබිණ. දාහත් හැවිරිදි මා පුතුට ද විරෝධතාවට එක් වීමට වුවමනා විය. ඒ හැන්දෑ යාමයේ තමන්ගේ හැඟීම පළ කරන්නට ඔහුට වුවමනා වුණු නමුත් අප සහභාගි වන්නට සිටියේ සාමකාමී විරෝධතාවකට ය. අද දවසේ මේ රට තුළ සිටින තරුණයන්ගෙන් වෙනස්ව ඔහු හැදී නොවැඩීම ගැන මම හදවතින් ම සතුටු වුණෙමි.
අප බන්ධනාගාර හන්දියට ළඟා වන විටත් එය ජනයාගෙන් පිරී ඉතිරී ගොස් තිබුණෙන් මම විස්මයට පත් වුණෙමි. අප වෙත පැමිණි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සෙනග අපේ මිනිස්සු නොවන නිසා වාහනයෙන් නොබසින ලෙස මට අවවාද කළේ ය. ඔහු අවවාද කරද්දී ම මම කෙළින් ම විරෝධතාව ආරම්භ කිරීමට යොදා ගෙන තිබුණු පුංචි බොරැල්ල හන්දිය දෙසට ගියෙමි. කෙසේ වුව ද, අප එහි ළඟා වී වාහනයෙන් බසින්නට හදද්දී තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් මට අවවාද කළේ ය; පුංචි බොරැල්ලේ බෝ ගස අසල ආගමික උත්සවයක් පැවැත්වෙන නිසාත් උද්ඝෝෂණය ආරම්භ කරන තැන මාරු කරන ලෙස පොලීසිය එජාපයට උපදෙස් දී තිබුණු නිසාත් මා තව ඉදිරියට මරදාන පාරේ බොරැල්ල දෙසට යා යුතු යැයි ඔහු කී ය. සැබවින් ම, එහි මාර්ග බාධක යොදා තිබිණ, කිසි ම විරෝධතාකරුවෙකුට ඇතුළු වීමට ඉඩ නොදිණ. එහි සිටි එක ම පිරිස වූයේ ආගමික උත්සවයට සහභාගි වීම සඳහා පැමිණියවුන් ය. මා මෙම කරුණ යළි යළිත් කියා සිටින්නේ ගැටුම් ආරම්භ වූයේ ආණ්ඩුවේ දේශපාලනඥයෙකුගේ ආගමික උත්සවයකට අප බාධා කළ බැවිනැයි නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ප්‍රකාශ කර තිබුණු හෙයිනි. සත්‍යය කිසි සේත් ම මෙය නො වේ. අපි කිසි විටෙකත් ආගමික උත්සවයක් පසු කර නොගියෙමු. නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කාර්ය මණ්ඩලය උපදෙස් දී තිබූ පරිදි අප අපගේ විරෝධතාව ආරම්භ කළේ ඉන් බෙහෙවින් එපිට පිහිටි තැනක ය, අප ගමන් කළේ ඒ දෙසට නො ව ඉන් බැහැරට ය.
අවසානයේ දී අප අපගේ විරෝධතාව ආරම්භ කරන විට හැන්දෑවේ හත පමණ විය. ඇතැම්හු පන්දම් අත දරා සිටියහ, ඇතැම්හු සටන් පාඨ පුවරු අත දරා සිටියහ, තවත් සමහරු සටන් පාඨ හඬ නැගූහ, බොහෝ දෙනෙක් මග දිගේ නිකම් ම ඇවිද ගෙන ගියහ. සමහර විට අඩු ගණනේ එහි පන්සියයක් පමණ සිටින්නට ඇත, ඇතැම් විට ඊට වැඩියෙන් සිටින්නට ඇත, මා සිටියේ ඉදිරියේ නිසා මම පසුපස නොබැලුවෙමි. අප විනාඩි පහළොවක පමණ කාලයක් ඇවිද ගෙන ගිය ද විරෝධතාව හැඩ නොගැසිණ. අප සිටියේ අපගේ අයිතිවාසිකම් භුක්ති විඳිමින් විනා කිසිදු නීතියක් බිඳිමින් නො වේ. සැබවින් ම පාරේ අනෙක් පස නිල ඇඳුම් හැඳි පොලිස් නිලධාරීහු දුසිම් ගණනක් සිටියහ. ඔවුහු කිසි කටයුත්තක් කඩා බිඳ දමන්නට උත්සාහ නොකළහ. ඔවුහු සිදු වන දේ බලා සිටියහ.
ප්‍රහාරයට පෙර මොහොත මට හොඳින් ම මතක ය. මා සිටියේ ප්‍රධාන කණ්ඩායමට මඳක් ඉදිරියෙනි. තවත් දේශපාලනඥයන් සහ සිවිල් සාමාජීය නායකයෝ ගණනාවක් ද එහි සිටියහ. මා දන්නා හඳුනන බොහෝ වෘත්තීයවේදීන් සිටිනු මම දුටුවෙමි.
හදිසියේ ම, මහජනයා බෙරිහන් දෙනු ද අනතුරුව වෙඩි හඬවල් ද අපට ඇසිණ. අපට වෙඩි තබන බව කෙනෙක් කීහ; ඇතැම් විට අප වෙත එල්ල වෙමින් තිබුණේ රබර් උණ්ඩ විය හැකි ය, මම නො දනිමි. හැම දෙනා ම මහත් කලබලයෙන් දුවන්නට පටන් ගත්හ. මා පුතු සිටියේ මා අසල ම ය. ඔහු මා පසුපසට තල්ලු කළේ ය. අපි දිව්වෙමු. ඇතැම්හු වැටුණහ. සමහරු මැර රැළට අසු වූහ. කාන්තාවන් විලාප නගනු මට ඇසිණ. එය අවුල් ජාලයක් විය.
හිටි හැටියේ ම හැකිළෙන දොර පියනක් විවර විය. මා පුතු ද තවත් විරෝධතා සගයෙක් ද මම ද කාගේ දෝ ගෙදරකට ඇද ගෙන යන ලදහ. දොර වැසිණ. අප කිසි දා හමු වී නොතිබුණු මිනිසෙක් එය වසා දමා අප පසුපසට කැඳවා ගෙන ගියේ ය. මැරයෝ අප බලාපොරොත්තු වෙමින් එළියේ රැඳී උන්හ. අපි විනාඩි විස්සක් එහි සැඟවී සිටියෙමු. අපට ආරක්ෂාව සැලසූ මිනිසා කවුරුන් දැයි අපි පසුව හඳුනා ගතිමු, ඔහු විදේශිකයන් කිහිප දෙනෙකු වාසය කළ නිවසක ආරක්ෂක නිලධාරියා විය. තමන් වරදක් කළැයි සිතා කනස්සල්ලෙන් සිටි ඔහුට මා කවුරුන් දැයි දැන හඳුනා ගත් පසු අස්වැසිල්ලක් දැනිණ. මගේ දුරකථනය නාද වන්නට විය. මා කරදරයක් නැතිව සිටින බව දැනුම් දීමට මම ඇමතුම් කිහිපයක් ගත්තෙමි. බරපතළ හිංසනයකින් අපි බේරුණෙමු.
අපි බලවත් කලකිරීමෙන් ආපසු නිවසට පැමිණියෙමු. එන ගමන් මගේ පුතු, මේ ප්‍රජාතන්ත්‍රවාදයේ වර්ගය අතීතයේ සහ වර්තමානයේ ලොව වටා තිබෙන වෙනත් පාලන තන්ත්‍ර කිහිපයක් සමග සැසඳුවේ ය. මම අපගේ පරම්පරාව ගැන ලජ්ජා වුණෙමි. අප තව මත් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව සැලකිල්ලක් දක්වන්නේ නම්, හොඳට ම ඇති යැයි කියන්නට මේ කාලය යි.
ඩේලිමිර්ර් පුවත්පතේ පළවූ ”Celebrating Freedom; A Personals Account” ලිපියේ සිංහල පරිවර්තනයයි