Colombo, Featured Articles, Features

මැද පෙරදිග ජනතා නැගිටීම – පිය-පුතු අඥාදායකත්වයේ අවසානය


PIC by – columnpk.com

සහීඩ් එල්ලෙයිවි කයිරෝ තහරීර් වතුරශ්‍රයේ වාඩි ලා ගෙන සිටින්නේ දස වන දිනයට ය. දැන් තරීර් චතුරශ්‍රයට කියන්නේ නිදහසේ චතුරශ්‍රරය කියා ය. ඒකාධිපති ජනාධිපති හුස්නි මුබරක් ඉවත්වන තුරු සිය උද්ඝෝෂනය ගෙන යන බවට සපථ කර ඇති ඊජිප්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී ජනයාගේ ජයස්ථම්භය බවට තහරීර් චතුරශ්‍රය පත්ව තිබේ.

මාසයකට පෙර සහීඩ් එල්ලෙයිවි රටෙහි පවතින දරිද්‍රතාවය, දූෂණය සහ භීෂණය ගැන කළ කිරුනු එකතුවක හුදු සාමාජාකයකු විය. ටියුනීසියාවේ මහජන පෙළපාලි රෑපවාහිනයෙන් දුටු ඔව්හු පසුගිය ජනවාරි 25 දා උද්ඝොෂණයක් පැවැත්වීමට තීරණය කළහ.

“ඇත්තටම කියනව නම් අපි හිතුවේ විනාඩි පහක් යන කොට අපි අත් අඩංගුවට ගනීවි කියල”
සහීඩ් ජනමාධ්‍යවේදියකුට කීවේ ය. නමුත් අනපේක්ෂිත ලෙස විශාල සෙනඟක් උද්ඝෝෂනයට එක් වූ අතර මුබරක් පාලනය ඉරිතලන්නට පටන් ගත්තේ ය. තවමත් ඉදිරියට ඇදී යන ඊජිප්තු ජන නැගිටීම පටන් ගත්තේ එළෙස ය. පැතුරුණූ තරුණ සටන්කාමී ජාලයක් නැගිටීමේ නායකත්ව කාර්‍ය බාරය අල්ලාගෙන තිබුණි. අද දක්වාම තහරීර් චතුරශ්රයේ විප්ලවීය බැනරය ඔසවාගෙන සිටින්නේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය අපේක්ෂා කරන මේ නිර්භය තරුණ පරම්පරාව විසිනි.

මැද පෙරදිග මහජන නැගිටීමේ මුල් වෙඩිමුරය කොතරම් ප්‍රබලවීද යත් ටියුනීසියනු ඒකාධිපතියාට පණ බේරාගෙන පලා යාමට සිදු විය. අනෙක් ඒකාධිපති පාලකයෝ තමන් සිහිනෙන්වත් නොසිතූ පරිදි මහා ජනයා සිය ඉරණම අතට ගනිමින් සිටිනු දැක බියෙන් ත්‍රස්තව සිටිති. මේ සෑම රටකම කුරිරු පාලකයෝ සිය අනුප්‍රප්තිකයා ලෙස ලේ නෑ දරුවකු සූදානම් කරගෙන තිබුණි.

ටියුනීසියාවේ සිට යේමනය සහ ජෝර්දානය හරහා ඊජිප්තුව දක්වා පැතිර ගිය ජනතා නැගිටීම් රැල්ලේ කැපී පෙනෙනු එක් ලක්ෂණයක් නම් අඥාදායක පිය-පුතු දේශපාලනයට මහා ජනයා කෙරෙන් කොතරම් වෛරයක් එල්ල වී ඇත්ද යන්නයි. නගර කළඹාවාලූ පෙළපාලිකරුවන් සනසාලනු පිනිස ඊජිප්තුවේ හුස්නි මුබරක්, යෙමනයේ අලි අබ්දුල්ලා සෙල්ලා, පලාගිය ටියුනීසියානු ඒකාධිපති සින් එල් අබිඩීන් බෙල් අලි යනාදී සියල්ලන්ම මහාජනයාට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ එක හා සමාන පොරොන්දුවක් විය. එනම් සිය පවුලේ කිසිවකුට විශේෂයෙන්ම අනුප්‍රප්තික පොලිමේ සිටි සිය පුත්‍රයන්ට රාජ්‍ය නායකත්වය පැවැරීමට තමන් කටයුතු නොකරන බවයි. තමන්ද යළි බලය සඳහා තරඟ නොකරන බව මේ සියළු අඥාදායකයෝ මහා ජනයාට පොරොන්දු වූහ.

මෙම මහජන කැරැළි විසින් මැද පෙරදිගට කොතරම් නිදහසක් ගෙනු එනු ඇත්දැයි කීමට තවම කල් වැඩිය. එනමුත් එක් දෙයක් ස්ථිරවම කිව හැකිය. අඥාදායකයින් කොතරම් දරුණූ පාලනයක් පවත්වා ගත්ත ද මහා ජනයා යම් අවස්ථාවක දී සිය නිදහස පිණිස ජීවිත පරදුවට තබා නැගී සිටින බවයි. මේ සියළු නැගිටීම් සඳහා පදනම් වූ කරුණූ තුනක් තිබුනි. එනම් මර්දනයට විරුද්ධ වීම, වැඩිවන බඩුමිල හමූයේ සාධාරණ වැටුප් ලබා ගැනීම සහ පාලක අඥාදායක කල්ලි ගෙනගිය ගජ මිතුරු දූෂණයට විරුද්ධ වීමයි.

මහජන නැගිටීම් පැන නැගුනු යෙමනයේ ජනාධිපති සෙල්ලා වසර 32ක්ම එරට පාලනය කරන්නේ හදිසි නීතිය යටතේ සියළු විරුද්ධ පක්ෂ පයට පාගා ගෙන ය. පීල්ඩ් මාර්ෂල් ජනාධිපති අලි අබ්දුල්ලා සෙල්ලා හමුදා නායක, අධිකරණ අංශයේ ප්‍රධානියා ද වන අතර ඔහුගේ සමාගම් විසින් ගෑස් සහ පෙට්රෝලියම් නිශ්පාදන අලෙවිය පාලනය කරයි.

ජනාධිපති සෙල්ලාගේ වැඩි මහල් පුත්‍රයා වන අහමඩ් අලි අබ්දුල්ලා සෙල්ලා විශේෂ බලකායේ සහ ජනාධිපති ආරක්ෂක අංශ බලකායේ ප්‍රධානියා ය. බරවාහන සහ කාර් ආනයනය කිරීමේ සමාගම් ඔහු සතු ය.

18 හැවිරිදි වියෙහි දී විවාහ කරගත් ඔහුගේ අවසාන බිරිඳ ගේ පියා අහමඩ් අලි කොලානි ඒඩන් ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා වන අතර ඉංජිනේරු සමාගම් හිමියෙකි.

තවත් හදිසි නීති පාලකයකු වූ ටියුනීසියානු ඒකාධිපතියා වූ සින් අලි අබිඩීන් බෙන් අලි සිය පවුල හඳුන්වා ගැනීමට කැමැත්තක් දැක්වූයේ ‛ප්‍රථම පවුල’ කියා ය. එනමුත් එරට ජනයා බෙන් අලි පවුලට කීවේ හොර මැර පවුල් යන තේරුම ඇති ‛මාපියා පවුල’ කියා ය. බෙන් අලි ගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන පහකට වැඩි යැයි කියැවෙන අතර ඔහුගේ බිරිද ලයිලා ධන කුවේරනියක වූ බව පැවසේ.

බෙන් අලිට වඩා විසිවසරකින් බාල ඔහුගේ දෙවැනි බිරිඳ ලයිලා විවාහයට පෙර සාමන්‍ය පවුලකින් පැවැත ආ කරනවෑමියක විය. මහා ජන නැගිටීම හමූයේ රටින් පලා යන අවස්තාව වන විට ඇයගේ පවුල් ටියුනීසියාවේ ධනවත්ම පවුල් අතර එකක් විය. නිදසුනක් වශයෙන් ලයිලාගේ සහෝදරයා සතුව මගී ප්‍රවාහණ ගුවන්යානා සමාගමක්, හෝටල ගණනාවක්, රේඩියෝ විකාශන ජාල දෙකක් සහ කාර් එක්ලස් සමාගමක් තිබුණි.

එරට ජනමාධ්‍ය බහුතරය බෙන් අලි බවුලට හෝ සහචර පවුල්වලට අයත්ව තිබූ බැවින් ලයිලා පවුලේ කෑදර ජාවාරම්කාර පැවැත්ම ජනයාට දැන ගන්නට ලැබුණේ නැත. නමුත් විකි ලීක්ස් වෙබ් අඩවිය එරට ඇමෙරිකානු තානාපති විසින් පාලක පවුලේ නාස්තිකාර හැසිරීම් පිළිබඳව යවන ලද කේබල් අන්තර් ජාලයට නිකුත් කළ විට බෙන් අලිගේ මාධ්‍ය වාරණය පුපරා ගියේ ය. රටින් පලා යන තුරුම එරට රාජ්‍ය බලයේ අනුප්‍රාප්තිකයා ලෙස නම්දරා සිටි බෙන් අලිගේ බෑනාවන ප්‍රකෝටිපති මෙහෙමෙඩ් ශකාර් අල් මතේරිගේ නිවසේ දිවා භෝජන සංග්‍රහයක් විස්තර කරමින් ඇමෙරිකානු තානාපතිවරයා මෙසේ් ලියා තිබුණේ මෙතරම් දුගීබවක් ඇති රටක මෙවැනි නාස්තිකාර වියදම් තේරුම් ගත නොහැකි බව ය. තවත් අවස්ථාවක දී ඔහු කියා තිබුණේ පාලක පවුලට අල්ලස් නොදී කිසිම ආයෝජනයක් නොකළ හැකි බවත් මැක් ඩොනල්ඩ්ස් ආපන ශාලා ජාලය එළෙස අල්ලස් නොදීම නිසා වසා දැමීමට සිදු වූ බවත් ය.

දැන් රටින් පලා ගොස් සවුදි අරාබියේ සැඟව සිටින බෙන් අලි පවුල අත් අඩංගුවට ගැනීම පිණිස ටියුනීසියනු ආණ්ඩුව විසින් අන්තර් ජාතික වරෙන්තුවක් නිකුත් කර තිබේ. කුමන රටක වුවත් ඒකාධිපති කකුළුවන් පිහිනන්නේ සැලියේ දිය රත්වන තුරු පමණ ය.

හුස්නි මුබරක් වසර 30ක්ම ඊජිප්තුව පාලනය කලේ හදිසි නීතියේ ආධාරයෙනි. ඒ රවේ නීතිය සහ සාමය පවත්වා ගැනීමට කියා ය. ඒ සඳහා ජනමාධ්‍ය පාලනය කොට විපක්ෂය අඩපන කරන ලදී. ටියුනීසියාවේ දී මෙන්ම එරට මහා ජනයාටද සිය පාලකයිනගේ ධන කුවේර ජාවාරම් ගැන දැන ගන්නනට ලැබුණේ නැත. ඊජිප්තුවේ මහා ජන නැගිටීමෙන් පසු දැන් හෙළිදරව් වී ඇත්තේ හුස්නි මුබරක් පවුල් අමෙරිකානු ඩොලර් බිලියන 70ක් වත්කමකට උරුම කියන බවයි. මෙම මුදලින් වැඩි ප්‍රමාණයක් සොරකම් කර ගෙන ඇත්තේ ආයුධ ජාවාරම් මගින් යැයි කියනු ලැබේ. කොයි රටේ දී වුවත් අයුධ ජාවාරම තරම් සරු වෙනත් ජාවාරමක් නැත.

සෑම ඒකාධිපතියෙක්ම තමාගෙන් පසු රාජ්‍ය පාලනය සිය සමීපතම ඥාතියකු සූදානම් කරන්නේ අන් අයකු බලනට පැමිණ තමන්ගේ හොර මැරකම් හෙළිදරව් කරනු ඇතියි යන බිය නිසා ය. මුබරක් ඊට වෙනස් නොවී ය. ඔහුගේ එක් ප්‍රත්‍රයකු වූ ගමාල් සිය පක්ෂයේ නායක මණ්ඩළයට පත්කළ මුබරක් තමාගෙන් පසු නායකත්වය ඔහුට පවරා තිබුණි. ඔහුගේ වත්කම ඩොලර් බිලියන 17ක් යැයි කියනු ලැබේ.

මැදපෙරදිග මහජන නැගිටීම මේ දූෂනයත් භීෂණයක් එහිම විපාකයක් වන දර්ද්‍රතාවයත් සිය ඉලක්කය ලෙස ගෙන සිටිති.

තමන් පනවන සියළු මර්දන නීති මහජනයාගේ ආරක්ෂාව සහ රටෙහි ආර්ථික ස්ථාවරබව ඇති කිරීම ගනු ලබන යහපත් ක්‍රියාමාර්ග බව හිසෙහි දෑත් ගසා දිවුරා සිටීම කොතැනත් ඒකාධිපතියන්ගේ සිරිතය. නමුත් දැන් ටියුනීසියාවේ සිට ඊජිප්තුව දක්වාත් ඊට පෙර පිලිපීනයේදී සහ ඉන්දුනීසියාවේදීත් අප අත් දකින්නේ මර්දන නීති අවසානයේ දි පාලකයින්ගේ මඩිය පුරවා ගැනීමේ කූඨ උපායක් පමණක්ම බව යි.

ඊජිප්තුවේ ජනයා දශ ලක්ෂ ගණනින් අද විදී බැස සිටින්නේ මේ කූටෝපායන් පරදවනු පිණිස ය. එක් ඊජිප්තු සටන්කාමී තරුණියක ජනමාධ්‍යට කී පරිදි ‛දැන් බිය ගැන්වීමට බිය වීමේ කාලය අවසානයි. ජීවිත 300 ක් බිලි ගැනීමෙන් පසුත් ජනතා නැගිටීම මර්දනය කිරිමට මුබරක් අසමත් වෙලා. අපි තව දුරටත් ඉස්සරහට මිසක් පස්සට යන්නේ නැහැ”

සුනන්ද දේශප්‍රිය