සුනන්ද දේශප්‍රිය
සක්විති ජාවාරම මෙන්ම සක්විති විවාදය දැන් බහුමාන ය.
සක්විති ජාවාරමට යම් යම් ජනමාධ්‍ය ද වග කිව යුතු යැයි එක් මතයකි. මන්ද යත් සක්විති ප්‍රසිද්ධියට පත් වූයේ ජනමාධ්‍ය හරහා නිසා ය. මෙම විවේචනයෙන් කියැවෙන්නේ වග විභාගයක් නැතිව ඕනෑම ජාවාරම්කාරයකුගේ දැන්වීම් ජනමාධ්‍ය විසින් පළ නොකළ යුතු බව යි. ඊට පිළිතුරු වශයෙන් කියවෙන්නේ පළ වන සෑම වෙළද දැන්වීමක් ගැනම වගකීමට ජනමාධ්‍යට නොහැකි බව යි. මුදල් ගෙවා පළ කරන ප්‍රචාරයක් වෙළද දැන්වීමක් ලෙසම කැපි පෙනෙන ලෙස පළ කරනු විනා එම දැන්වීම මගින් ප්‍රචාරය කරන භාණ්ඩයන් හි ගුණාගුණ පිළිබඳව සහතිකයක් දීමට ජනමාධ්‍යට බැරි බව මෙම පිළිතුරෙන් කියැවේ.
වෙළද දැන්වීම් නැතිව ජනමාධ්‍ය කර්මාන්තව පවත්වා ගෙන යෑමට බැරි බව ද සෑම වෙළද දැන්වීමක් ගැනම පරීක්ෂනයක් කිරිමට ද ජනමාධ්‍යට නොහැකි බව සැබෑ ය. එසේ නමුත් ජනමාධ්‍ය වනාහී මහජන සේවයක් බව ද ජනමාධ්‍යයේ පරම යුතුකම ලාභ ඉපැයීම ම නොවන බව ද ඒ තරමට ම සැබෑ ය. ජන මාධ්‍යයේ කාර්‍ය භාරය මහා ජනයා වෙනුවෙන් මුර පල්ලකු වීම ය.
ඒ නයින් බැලූ කිසිදු බැංකුවකට හෝ ව්‍යාපාරයකට නොගෙවිය හැකි දැවැන්ත ලාබයක් ගෙවන බව කියා දශ ලක්ෂ ගණනින් ගෙවා වෙළද දැන්වීම් පළ කරන විට ඒ ගැන කුකුසක් ඇති නොවන ජනමාධ්‍යයක් තිබිය හැකි ද? හතර වන රාජ්‍ය යැයි කියන ජනමාධ්‍යයේ නමට වටිනා පළ පුරුදු ජනමාධ්‍යවේදියකු සිටිය හැකි ද? එවැනි සාකච්ජාවක් ඇති නොවන ප්‍රජාතන්ත්‍රවාදයේ නමට වටිනා ප්‍රවෘත්ති කාමරයක් තිබිය හැකි ද?
අප ඇසිය යුතු ප්‍රශ්නය වෙළද දැන්වීම් බාර ගත්තේ ඇයි ද යන්න ම නොවේ. මෙවැනි ජාවාරම් පිළිබඳව ගවේශනාත්මක වාර්තාකරණයක යෙදීමට මෙරට කිසිදු ජනමාධ්‍යයක් උන්නදු නොවූයේ ඇයි ද යන්න ය. (මෙයට දෙමසකට පමණ පෙර රාවය සක්විති ජාවාරම පිළිබඳව ලිපියක් පළ කළ බව සැබෑ ය.)
අප බොහෝ දෙනෙකු නමින් දන්නා ජනමාධ්‍යවේදී පොද්දල ජයන්ත වෙළද දැන්විම් මගින් මහා ජනයා ගසා කන මෙැවැනි ජාවාරම්කාරයින් පිළිබඳව ගවේශනාත්මක ලිපි පෙළක් ලියූ ජනමාධ්‍යවේදියා ය. රැකියා හෝ අධ්‍යාපන අවස්ථා සඳහා හෝ යැයි කියා මුදලක් එවන ලෙස දැන්වීම පළ කර දශ ලක්ෂ ගණනින් මුදල් ගසා කෑ අවස්ථා ගණනාවක් ම ඔහු සිළුමිණ පුවත්පතට හෙළි දරව් කළේ ය. ඇත්ත වශයෙන්ම නම් ඔහු මෙම සක්විත්තා ජාවාරමට එළඹි අවධියේ ම එම ගසා කෑම හෙළිදරව් කෙරෙන ලිපියක් ද ඔහු ලිවේ ය. එවිට ඔහුගේ කතුවරයා කිවේ “මේ පුද්ගලයාගෙන් අපට සෑහෙන්න දැන්වීම් ලැබෙනවා, මෙය පළ කරන්න බැහැ” කියා ය. ලිපිය කුණු කූඩයට ගියේ ය.
අද ජනමාධ්‍ය බහුතරයක් පවතින්නේ මේ තත්ත්වයේ ය. එක් අතකට වංචා දූෂණ ගවේෂනාත්මක ජනමාධ්‍යවේදය සඳහා කාලය සහ සම්පත් වැය කිරීමට සූදානම් ජනමාධ්‍ය අද විරල ය. අනෙක් අතට වෙළද දැන්වීම්කරුවන්ගේ දූෂිත භාවිතාවන් ඇතොත් වෙළද දැන්වීම් නැතිවෙතැයි බියෙන් ඒවා වාර්තා කිරීමට බහුතර ජනමාධ්‍ය මැලිවෙති. සක්විත්තන් ජනමාධ්‍යයේ පිනුම් ගසා මහාජනයා මුලා කිරීමට සමත් වුයේ මෙම අඩුපාඩුව නිසා ය.
ජනමාධ්‍ය මූලික වශයෙන් පවතින්නේ දැන්වීම් වෙළදපොළක් වශයෙන් නම් අපට කළ හැකි දෙයක් නැත. නමුත් කිසිදු ජනමාධ්‍යක් තමන් පවතින්නේ වෙළද දැන්වීම ප්‍රචාරය කිරිම පිණිස යැයි කියන්නේ නැත. ඔවුන් කියා සිටින්නේ වෙළද දැන්වීම් ලබා ගන්නේ ඊට වඩා උතුම් අරමුණක් වන මහා ජනයාගේ තොරතුරු දැන ගැනීම සහතික කිරීම සඳහා බව ය. මාධ්‍ය නිදහස ඉල්ලා සිටින්නේ ඒ සදහා ය. සක්විති ජාවාරම සම්බන්ධයෙන් ජනමාධ්‍යට අත සොදා ගත නොහැක්කේ මේ නිසා ය. ඒවා සක්විතිගේ හොර ජාවාරම් ගැන සත්‍ය සොයා මහාජනයාගේ තොරතුරු දැනගැනීමේ නිදහස සම්පූර්ණ කිරිමට අසමත් වූහ.
සක්විත්තන් වැනි කපටි සහ ශූර ජාවාරම්කාරයින් ගැන පමණක් නොවේ. මහාපරිමාණ වංචා දූෂනයන්හි යෙදෙන හෝ නිකරුනේ මහාජන මුදල් ගඟේ මුහුදේ දැම්මා මෙන් නාස්ති කරන දේශපාලකයින් කුමණ පක්ෂයකට අයත් ද යන්න නොසළකා ගවේශනය කරන ජනමාධ්‍ය භාවිතයක් ද මෙරට නැති තරම් ය. හම්බන්තොට වීරවිල අන්තර් ජාතික ගුවන් තොටුපොළක් පිහිටුවන බවට කයිවාරු ගසා මූලික වැඩ කටයුතු පිණිස කෝටි ගණන් මුදල් වැය කිරීමෙන් පසු එම ස්ථානය නුසුදුසු යැයි කියා වෙනත් ප්‍රදේශයකට ගෙන යෑමෙන් සිදු වූ මහාජන මුදල් නාස්තිය ගැන ගවේශනයක් කළ සිංහල ජනමාධ්‍යක් නැත. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නමින් “මිහින් එයා” යැයි ගුවන් සේවයක් අරඹා මහාජන මුදල් රුපියල් බිලියන 3ක් නාස්ති කළ දේශපාලකයින් ගවේෂනාත්මක ජනමාධ්‍ය මගින් මහාජන අධිකරණය ඉදිරියට කැඳවූ ජනමාධ්‍යක් වෙයි ද? මෙම ලැයිස්තුව බොහෝ දිග බව මේ ලිපිය කියන ඔබ බොහෝ දෙනා දන්නා බවට සැකයක් නැත.
ලොව පුරා බොහෝ තැන්හි අද ජනමාධ්‍ය හුදු ජාවරමක තත්ත්වයට පත් වෙමින් තිබෙන්නේ වෙළද පොළ සහ දේශපාලන ලැදියාවන් විසින් ජනමාධ්‍ය කර්මාන්තය පාලනය වීමට පටන් ගෙන ඇති නිසා ය. මහාජන සේවයක් වශයෙන් යහපත් සමාජයක් සඳහා සටන් වැදුනු ජනමාධ්‍යයේ ස්වර්ණමය යුගය යළි නොඑන ලෙස අවසන් වී ඇතැයි අයකු කියන්නේ ද මේ නිසා ය.
මේ සම්බන්ධයෙන් අප විමසා බැලිය යුතු තවත් වැදගත් මානයක් ඇත. එනම් ධනවාදි වෙළද පොළ ක්‍රමයෙහි වෙළද දැන්වීම් අත්‍යාවශය අංගයක් වී තිබීම ය. නව නිශ්පාදන මගින් ලාභ උපරිම කර ගැනිමෙන් තොරව ධනවාදය නොපවතින බව මාක්ස් සහ එංගල්ස් කියා සිටියේ 1848 තරම් ඈතදී ය. ඒ සදහා වෙළද දැන්වීම් අද අත්‍යාවශය. වෙළද දැන්වීම්හි වගකිව යුතු බවක් ඇති කිරීමට ගත හැකි පියවර තිබේ ද? ප්‍රජාතන්ත්‍රවාදි සමාජයක මේ සම්බන්දයෙන් ඇති සාධනීය උදාහරණ මොනවා ද? ලබන සතියේ ඒ ගැන ලිවීමට අදහස් කරමි.