Colombo, end of the War, Featured Articles, Features, Jaffna

ප්‍රභාකරන් මවගේ මළගම

ප්‍රභාකරන් මවගේ මළගම – පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

පාර්වතී අම්මා නමින් සඳහන් කැරෙන වල්ලිපුරම් පාර්වතී පෙබරවාරි 20 දින යාපනයේ දී මිය ගියේ කළක් රෝගාතුරව සිටීමෙන් පසු ය. ඇය එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ මව විය. ඇගේ සැමියා යුද්ධාවසානයෙන් පසු අත් අඩංගුවට ගනු ලදුව පනාගොඩ යුද හමුදා කඳවුරේදී මිය ගොස් තිබුණි. මේ දෙමාපියන් කිසිදු දේශපාලනයකට සම්බන්ධව සිටියේ නැත.

හින්දු චාරිත්‍ර අනුව මළවුන් ආදාහනය කිරීමෙන් පසු ඉතිරිවන ඔවුන්ගේ අඑ වතුරෙහි පා කර යැවිය යුතුය. ඒ අනුව පසුගිය 23 දින උදෑසන ඇයගේ ඥාතීහු අඑ රුගෙන ඒමට සුසානයට ගියහ. පෙර දා රැයෙහි 10.00 පමණ වන තුරු එහි රැදී සිටි ඔවුන් පිටත්ව ගොස් තිබුණේ සිරුර සම්පූර්ණයෙන්ම වාගේ ආදාහනය වූවාට පසුවය.

බහුතරයක් සිංහල ජනයාට දැන ගැනීමට නොලැබුණ ඇදහිය නොහැකි තරමේ සිදුවීමක් ඔවුනට දක්නට ලැබුණේ එවිට ය. සෙහොනෙහි අඑ වෙනුවට දක්නට ලැබුණේ එම මවගේ අඑ විනාශ වී යන සේ එම සොහොන මත දමා තිබූ වෙඩි තබා මරා දමන ලද බල්ලන් තිදෙනෙකු ගේ මලසිරුරු ය. එමෙන්ම එම අඑ විසිරී යන පරිදි එම සෙහොන මතින් ජීප් රථ ගමන් කරන ලද බව පෙනෙනෙ සේ සළකුණු ද ඉතිරි කර තිබුණි.

ඕනෑම ශිෂ්ඨාචාරවත් සමාජයක් විසින් තුච්ච ලෙස පිළිකෙව් කරනු ඇති මෙම ක්‍රියාව සිදුවූයේ දුර බැහැර ගම්මානයක නොව ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් නිරන්තරයෙන් මුර සංචාරය කරන යාපනයේ වැල්වෙටිතුරෙයි දී ය. මෙම ක්‍රියාවට සම්බන්ධ වූයේ කවරකු දැයි නිශ්චිතව කීමට සාක්ෂි නොමැතිව හැකියාවක් නැත. එසේ නමුත් ආරක්ෂ හමුදා රැකවරණය හෝ අනු දැනුම නැතිව කවර කණ්ඩායමකට හෝ රාත්‍රියේ ගිනි අවි පාචිච්චි කිරීමටත් රාත්‍රියේ මෙවැනි ක්‍රියාවක යෙදීමටත් හැකියාවක් ඇතැයි සිතීම ඉතා දුෂ්කර ය.

කවරකු විසින් කරන ලද්දේ වුවද මෙම දීන ක්‍රියාව ශ්‍රී ලංකාවේ බහුතරයේ සහ පාලකයින්ගේ ආගම වන බුදු දහමට තියා සංවිධානාත්මක ආගම් ඇති වීමට පෙර තිබු කවර හෝ මානව ඇදහිල්ලකටවත් ගැලපෙන්නේ නැත. මළවුනට සැළකීම මානව සමාජය තරම්ම පැරණි වත් පිළිවෙතකි. දැන් යුද්ධාවසානයෙන් දෙවසරකට පසු මෙම බලු පිළිවෙත ක්‍රියාවට නඟා ඇත්තේ දුටු ගැමුණු සමඟ ද්වන්ද සටනකින් මිය ගිය එළාර රජු ගේ සෙහොනට ගරු කළ යුතු බවට දුටු ගැමැණු රජු විසින්ම කරන ලදැයි කියන නියෝගය ආඩම්බරයෙන් මතකයට නංවන සමාජයක ය. කවර තත්ත්වයක් යටතේ වුවත් කවර ජනවාර්ගික කණ්ඩායමකට වුවත් මෙවැනි පළිගැනීමේ ක්‍රියාවක් සිංහල ජනයා විසින් විසින් අනුමත කරනු ඇතැයි සිතීම දුෂ්කරය.

ප්‍රභාකරන්ගේ දේශපාලනය සමඟ එකඟ වන පිරිස් මෙන්ම එකඟ නොවන පිරිස් ද දෙමළ සමාජයේ සිටිති. එසේ කෙසේ වෙතත් මෙම නොමිනිස් හැසිරීම විසින් පෙන්නුම් කරන්නේ දෙමළ සමාජයම නින්දාවට පත් කිරීම අරමුණු කරගත් බලගතු බලවේග ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බවයි. මෙම සිදුවීම විසින් දෙමළ සමාජයට දෙන පණිවිඩය කුමක් ද? එනම් ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා සිය මළවුනට ගරු කිරීමටවත් අයිතියක් නැති යටත් කරන ලද ජනතාවක් බව නොවේ ද?. මෙම අශිෂ්ඨසම්පන්න ක්‍රියාව විසින් දේශපාලනික දෙමළ තරුණයින් තුළ කොතරම් අසරණ බවක් සහ කේන්තියක් ඇති කරනු ඇත් ද?

මෙම සිදුවීම තම ආත්මයටම එල්ල කරන ලද නිග්‍රහයක් ලෙස දෙමළ සමාජයේ කියවන ලියන සිතන පිරිස් විසින් ඔවුන් කවර දේශපාලන මතවාදයක් දැරූව ද, කල්පනා කරනු ඇති බවට සැකයක් නැත. මේ නොමිනිස් ක්‍රියාව විසින් සිංහල රාජ්‍ය පිළිබඳ දෙමළ සමාජයේ ඇති අවිශ්වාසය තව තවත් ඉහළ නොයවනු ඇත් ද? එසේ නමුත් මෙම සිද්ධිය පිළිබද කවර හෝ කතාබහක් අප සිංහල සමාජයේ ඇති වූයේ නැත. ඊට හේතුව බහුතර ජනමාධ්‍ය දක්වන බහුතරවාදී පිළිවෙත සහ ස්වයං වාරණය යි.

ශ්‍රී ලංකාවේ බහුතරවාදී ජනමාධ්‍යය පා.ම. ටෙලි නාට්‍ය නිළි පබා නොහොත් උපේෂ්කා සඳමාලීගේ හකුපාඩා බිදී යන සේ ඇගේ සැමියා විසින් පහර දීම පුවත කොතරම් කළක් රස කර තළු මරමින් වාර්තා කළේ ද? (නමුත් එම සිද්ධිය ස්ත්‍රීන්ට එරෙහි ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ සන්දර්භය තුළ වාර්තා නොකෙරුණි) කොතරම් ජයාරූප පළ කරන ලද්දේ ද? රොහලෙන් රෝහලට යමින් නිරන්තර වාර්තාකරණයක් පවත්වා ගැනීමට සිංහල ඉංග්‍රිසි ජනමාධ්‍ය බොහොමයක් දැක්වූ කොතතරම් වීද? .

එනමුත් යාපනයේ දී දේශපාලන පළිගැනීමක් වශයෙන් මවකගේ ආදාහනයෙන් පසු එම අඑ මත වෙඩි තබා මරා දමන ලද බලු මළසිරුරු දැමීමෙන් කරන ලද අවමානය වාර්තා කිරීමට උනන්දු වූයේ කවර ජනමාධ්‍යක් ද? මෙම සිදුවීම් දෙක අතුරින් දීර්ඝ කාලීන වැදගත් කමක් අප සමාජයට ඇත්තේ කුමණ සිදුවීමෙහි ද යන්න වාද විවාද කිරීමට තරම් දෙයක් නොවේ.

ජනවාර්ගික සාමයට බධාවන පරදි වාර්තාකරනයේ නොයෙදෙන ලෙස ජනාධිපතිවරයාගේ සිට අමාත්‍ය මර්වින් සිල්වා දක්වා ජනමාධ්‍යට අවවාද කරති. අනතරු හඟවති. ජාතිවාදය අවුස්සන්නේ යැයි දේශපාලන පක්ෂවලට චොදනා කරති. එසේ නමුත් මෙම බලු මළකුනු දේශපාලනයට එරෙහිව එක වචනයක් හෝ කීමට ආණ්ඩුවේ කිසිදු ප්‍රධාකියකු කටක් ඇරියේ නැත. ජාතිවාදය හෝ ජනවාර්ගික අසමගිය ඇති වන්නේත් වර්ධනය වන්නේත් මෙවැනි සිදුවීම් ද නිසා බව තේරුම් ගැනීමට බැරි කාට ද?

මෙම අවමානය හුදෙක් තනි සිදුවීමක් ලෙස සළකා අමතක කළ දැමිය හැකි යැයි අයෙක් සිතීමට ද තර්ක කිරීමට ද ඉඩ තිබේ. නමුත් එය එසේ නොවනු ඇත්තේ මේ වනාහී එක් හුදකලා සිදුවීමක් නොවන නිසා ය. යුද්ධාවසානයෙන් පසු අසන්නට ලැබුණ ප්‍රති සංධානය, සහ ජීවනය වැනි සංකල්ප සමාජ දේශපාලන ක්‍රියාවලියක් බවට පත්වනු වෙනුවට අද සිදුවෙමින් ඇත්තේ උතුරු නැගෙණහිර දෙමළ ජනයා මර්ධනකාරී පාලනයක් යටතේ දෙවැනි පෙළ පුරවැසියන් ලෙස තබා ගැනීම ය.

දෙමළ ප්‍රදේශයන්හි බෞද්ධ පන්සල් ඉදි කිරීම, ග්‍රාම සහ මාර්ග නාම සිංහලකරණය, යාපනයේ ජනයා යුද හමුදාව විසින් ලියා පදිංචිකර ගැනීම, වන්නියේ ජනයාට කිසිදු ස්වාධීනත්වයක් ලබා නොදීම, උතුරු නැගෙනහිර සිවිල් පාලනය මිලිටරි කරණය, එල්ටීටීඊ සටන්කාමීන්ගේ සොහොන් විනාශ කර ඒ මත යුද හමුදා කඳවුරු ඉදි කිරීම යනාදි ක්‍රියා මාර්ග බොහොමයක් විසින් දෙමළ ජනයාට ලබා දෙන පණිවිඩය නම් ඔවුන් යටත් කරන ලද සමාන අයිතිවාසිකම් නැති ජනතාවක් බවයි. පාර්වතී මවගේ අඑ විනාශ කිරීම හුදෙක් තනි සිදු වීමක් නොවන්නේ එනිසා ය. එමෙන්ම එම සිදුවීම දේශපාලන සිදුවීමක් වන්නේ ද ඒ නිසා ය. එම සිදුවීම අප විසින් හෙළා දැකිය යුත්තේ ද එනිසා ය.

එක්සත් සාමකාමී යුක්ති ගරුක ශ්‍රී ලංකාවක් අපට අවශ්‍ය නම් එහි ප්‍රථම කොන්දේසියක් වන්නේ දෙමළ ජනතාවට නිදහස් සහ ආත්ම ගරුත්වයක් ඇති ජනතාවක් ලෙස ජීවත්වීමට ඉඩ සැළසීමයි.
————————————————————————————————————————

ලිබියාව සහ ශ්‍රී ලංකාව

මහා ජනයාගේ මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් අන්තර් ජාතික ප්‍රජාව විසින් කවර හෝ රටකට මැදිහත්වීමක් කිරීම හෝ මානව හිමිකම් කෙළෙසීම සම්බන්ධයෙන් අන්තර් ජාතික පරීක්ෂණය පැවැත්වීම හෝ ශ්‍රී ලංකාණ්ඩුව විසින් හදුන්වනු ලබන්නේ සංවර්ධනය වන රටවලට එරෙහි බටහිර ජාතීන්ගේ කුමංත්‍රණ ලෙස ය. එවැනි පියවර යෝජනා කරන පිරිස් ද්‍රෝහීන් ලෙස හංවඩු ගැසීම ද එහි සිරිතය.

එසේ නමුත් පසුගිය 25දා විශේෂ සැසිවාරයක් පැවැත් වූ ජීනීවා හි මානව හිමිකම් කවුන්සිලය ඒකජන්දයෙන් එවැනි මැදිහත්වීමක් කිරීමට තීරණය කළා ය. ඒ ලිබියාව සම්බන්ධයෙනි. කවුන්සිලයෙහි ලිබියානු සාමාජිකත්වය තහනම් කරන ලදී. ලිබියාවෙහි කැරෙන මානව හිමිකම් කෙළෙසීම් සොයාබැලීමට එක්සත් ජාතීන්ගේ නායකත්වයෙන් ස්වාධීන අන්තර් ජාතික කොමිසමක් පත් කිරීමටත් යුද අපරාධ සම්බන්ධයෙන් ජගත් යුද අධිකරණයට වාර්තා කිරීමටත් තීරණය කරන ලදී. එරට මානව හිමිකම් ආරක්ෂකයින්ට, නීතිවේදීනට සහ ජනමාධ්‍යවේදීනට කරන හිරිහැර බාධා වහාම නතර කරන සේ ඉල්ලා සිටීමත් එම යෝජනාවේ අන්තර් ගත වී තිබුණි.

දකුණු ආසියාවේ අන් සියළුම රටවල් ලිබියනු ජනතාවගේ අයිතීන් ආරක්ෂා කරමින් එම විවාදයේ දී අදහස් දැක් වූ අතර ශ්‍රී ලංකාව කණගාටුදායක ලෙස නිහඬව සිටියේ ය. එයට පෙර වාර්තා වූයේ ජනාධිපති රාජපක්ෂ ජනඝාතන මුවම්ර් ගඩාපිට දුරකථන ඇමතුමක් දී කතා කළ බව යි. අහෝ, ජනතාවාදී ප්‍රගතිශීලී විදෙස් පිළිවෙතක් තිබූ ශ්‍රී ලංකාව ජනඝාතක ඒකාධිපතියන් ආරක්ෂා කරන රටක් බවට පත්ව තිබේ. රටක විදෙස් පිළිවෙත එරට අභ්‍යන්තර පිළිවෙතේ පිළිඹුබුවකැයි කියන්නේ නිකමට නොවේ. එය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හරියටම හරිය.

සුනන්ද දේශප්‍රිය