Colombo, end of the War, Featured Articles, Features

ඒකාධිපතිත්වයට මඟ සලසන්නේ කවුද?


පසුගිය සති අන්තයේදී මාගේ මුහුණුපොතෙහි (facebook) මිතුරෙකු විසින් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පොස්ටරයක් පළකර තිබූනි. එම ඡායාරූපයට යටින් තවත් මිතුරෙකු ලියා තිබුනේ ‛‛ උඹට හිටිය ඇතිවෙලාද, මැරුම් කන්නේ නැතිව හිටපන් කියාය.’’ බැලු බැල්මට හුදෙක් විහිලුවක් සේ පෙනුනද මේ සංවාදය මඟින් ලංකාවේ දේශපාලන යථාර්තය පිළිබඳ ඉඟියක් සපයා ඇත. එම ඉඟිය තහවුරු කරමින් ඊට දින දෙකකට පසුව රජයට ප්‍රතිවිරුද්ධ මතයක පිහිටා අදහස් පළකරන ලංකා ඊනිවුස් කාර්යාලයට නාඳුනන පිරිසක් විසින් ගිනි තබන ලදි.

පසුගිය වසර කිහිපය පුරා පවතින රජය යටතේ මෙරට මාධ්‍ය වෙත මාරාන්තික ප්‍රහාර ගණනාවක් එල්ලවූ අතර ඒ සියලු ප්‍රහාර රජයට අවනත නැති හෝ විරුද්ධ මත දරණ මාධ්‍ය ආයතන අරඹයා සිදුවීම මඟින් සෘජු හෝ වක්‍ර ආකාරයෙන් ඒ සඳහා රජයේ ඇති සම්බන්ධය පිළිබඳව පැහැදිළි ඉඟියක් සමාජයට ලබාදී තිබේ. යුද්ධය පැවති අවධියේදී සිදුවු ප්‍රහාර හා ඝාතන රාජ්‍ය හා යුදවාදී මාධ්‍ය විසින් සාධාරණීයකරනය කරනු ලැබුවේ දේශද්‍රොහී ලේබලය මඟිනි. බහුතර සිංහල සමාජය මෙම ප්‍රහාර පිටුපස ආණ්ඩුව හෝ එයට සම්බන්ධ දේශපාලකයන් සිටින බව පිළිගත් නමුත් එම ප්‍රහාර අරඹයා මුනිවත රකින ලදි. එම ප්‍රතිචාර දැක්වීම බරපතල යුද උන්මාදයක ගිලී සිටි එම සාමාජයෙන් නිසැක ප්‍රතිචාරය වුවද යුද්ධාවසානයෙන් වසර දෙකකට පසුව සිදුවන එවැනිම වු ප්‍රහාර සම්බන්ධයෙන් ද සමාජය පෙරකී ලෙසම ප්‍රතිචාර දැක්වීම තුළ ගම්‍ය වන්නේ යුද්ධය විසින් ඔවුන් තුළ ඇතිකර තිබෙන ධ්‍රුවීකරනයේ ප්‍රමාණය ය. එහෙත් තමන් මේ ඉඩහරිමින් සිටින්නේ තමන්ගේම මිනිවල කැපීමට වග ඔවුන්ට නිනව්වක් නොමැත. මේ හේතුවෙන් බහුතර සිංහල සමාජය වර්තමාන රජයේ සහාසික ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන්ට දක්වන්නේ දිට්ඨ ධම්මවේදනීය කරුමය හා සම්බන්ධ ආගමික ප්‍රතිචාරයකි. යහපත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්මට අත්‍යවශ්‍ය වන විවේචනාත්මක ජනමාධ්‍යට මෙන්ම විපාක්ෂික විරෝධතාවයන්ට ප්‍රහාර එල්ලවන විට එම ප්‍රහාරයන් සාධාරණීයකරනය කරමින් ප්‍රහාරයට ලක්වු ආයතන හා පුද්ගලයින්ට මඩ ගසන තැනකට රජයේ මාධ්‍ය තල්ලුවී ඇත. ඒවා රජයේ මාධ්‍ය බැවින් එම හැසිරීම තේරුම් ගත හැකිය. එහෙත් වේබ් අඩවි හා අතලොස්සක් වූ මාධ්‍ය ආයතන හැරෙන්නට අනෙක් සියලු දේශීය මාධ්‍ය ද එම ප්‍රවෘත්ති වලට අඩු වටිනාකමක් ලබාදීම කෙසේ තේරුම් ගත යුතුද?

රජයේ නිළනොවන උපදේශකයෙකු මෙන්ම මතසම්පාදකයෙකු වන වික්ටර් අයිවන් මහතා කියා සිටින්නේ මේ අවස්ථාවේ මාධ්‍යයේ යුතුකම හා වගකීම වන්නේ රජය කුපිත නොකර ක්‍රියාකිරීම බවයි. මාධ්‍ය විසින් රජය කුපිත කළ විට මෙවැනි ප්‍රහාර එල්ල වීම සාමාන්‍ය තත්ත්වයක් බව ඔහුගේ අදහසයි. මීට වසරකට පෙර ලංකා ඊනිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරදහන් වු අවස්ථාවේදී ඔහු ප්‍රකාශකලේ ‛‛ඔහු ඉතා පහත් මාධ්‍ය භාවිතාවක යෙදී ඇති නිසා දේශපාලකයින් මෙවැනි ප්‍රතිචාර දැක්වීම පුදුමයට කරුණක් නොවන බවයි.’’ එහෙත් මහින්ද චින්තන මැතිවරණ ප්‍රකාශනයේ කිසිදු තැනක තමන් බලයට පත්වුවහොත් තමන්ව කුපිත කරන මාධ්‍යයට නිතියට පිටින් ප්‍රහාර එල්ල කර මර්ධනය කරන බව සඳහන් කර නෙමැත. අනෙක් අතට තමන්ව කුපිත කළ පමණින් පුද්ගලයන් අතුරුදහන් කිරීමට හා මාධ්‍ය ආයතන ගිනි තැබිමට රජයකට හෝ දේශපාලකයින්ට අයිතියක් තිබේන්නේද? ප්‍රජාතන්තවාදී මූලධර්ම ගරුකරන රටක නම් එය එසේ විමට නුපුලුවන. නමුත් තුවක්කුවේ බලයෙන් ජනතාව පාගාගෙන තමන්ගේ දේශපාලන අභිලාශයන් ඉටුකිරීමට කල්පනා කරන උපදේශකයන් මෙන්ම දේශපාලන නායකයින් සිටිනා රටක එය එසේ වීමට පුලුවන.

රටේ නායකයාට රට ඒකාධිපතිත්වයක් කරා රැගෙන යාමට ශක්තිය හා බලය ලබාදි ඇත්තේ බහුතර සිංහල ජනවර්ගය විසිනි. එල්ටීටීඊ සංවිධානය පරාජය කොට යුද්ධය ජයග්‍රහණය කිරීම ඒ සඳහා නිමිත්තය. දූපතක මහජාතිය වූ නිසාම අප රටේ මහජාතිය වන සිංහල ප්‍රජාව නිදහසින් පසු බරපතල හීනමානයකින් පෙලීම මෙලෙස කල්පනා කිරිමට ප්‍රධානම හේතුව බව සිතිය හැකිය. තමන් පෙලු යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් ඡන්දය දිම කළගුණ සැළකිමක් ලෙස කල්පනා කළද තමන්ට අනින්නට එන පිහියට ළය දීම කෙතෙරම් අනුවන කමක්ද? තමන් විසින් බුක්ති විදින ප්‍රජාතන්ත්‍රවාදී අගයන් තමන්ගෙන් උදුරාගන්නට ඉඩදි බලාසිටීම කෙතරම් කණගාටුදායකද? එහෙත් අවාසනාවක මහත නම් සිදුවෙමින් පවතින්නේද එයමය.

යුද්ධයේ ජයග්‍රහනයෙන් උද්දාමයට පත්ව සිටින රාජපක්ෂවාදී මිතුරෙකු යාපන අර්ධද්වීපයේ සිදුවු ඝාතන පිළිබඳ පැවසූවේ එල්ටීටීඊ කාරයන් තවමත් කැළෑවල සිටිමින් මෙම ඝාතන සිදුකරන බවයි. ලංකා ඊනිව්ස් ආයතනයට ගිනිතැබූ අවස්ථාවේ එම මිතුරා ප්‍රකාශකලේ රජය අපහසුවට පත්කිරීම සඳහා මෙවැනි දේ විවිධ කණ්ඩායම් විසින් සිදුකරන බවයි. දැඩි ආනාරක්ෂාවක් යටතේ පවතින කොළඹට ආසන්න ප්‍රදේශයක ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙන අයව අල්ලා ගැනීමට රජයට බැරි ඇයිදැයි මා ප්‍රශ්න කළ විට ඔහුගේ පිළිතුර වුයේ නිව්යොර්ක් වැනි දියුණු නගරවල සිදුවන වෙඩි තැබ්ම් වල සැකකරුවන් අල්ලා ගැනිමට එතරම් දියුණු පොලිසියකට බැරිකොට අපගේ පොලිසියට එවැනි අතපසු වීම් සිදුවිම සාමාන්‍ය බවයි. මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවළියේ මිළග ගොදුර තමන් බව ඔහු කිසිවිටෙක කල්පනා කරන්නේ නැත. එහෙත් එය සිහියට එන විට ඔහුද එහි ගොදුරක් වී ඇති බව මා කෙසේ ඔහුට ඒත්තු ගන්වන්නද? ඔහු මා සලකන්නේ දේශද්‍රෝහී බටහිර ගැති සිංහල එල්ටීටීඊ කාරයෙකු ලෙසය. ඒ‛ මා ජාතික සමගිය, ප්‍රජාතන්ත්‍රවාදය හා සහජීවනය පිළිබඳ කතා කරන නිසාය. මේ මට පමණක් පොදු වූවක් නොව එවැනි අදහස් දරණ සියල්ලන්ම හැඳින්වීමට යොදා ගන්නා පොදු භාවිතාවකි. මේ පිළිබඳව වඩාත් හොදින් තේරුම් ගෙන සිටින මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ පවතින රජය ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන සමාජය තුළ පවතින ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ අහුරමින් විරුද්ධ ජනමාධ්‍ය මර්ධනය කරමින් තමන්ට චිරාත් කාලයක් රාජ්‍ය පාලනයේ යෙදීටම අවශ්‍ය ප්‍රතිපාදන සම්පාදනය කරමින් සිටී. ඒ සඳහා අවශ්‍ය වෙතොත් මෙයිට වඩා භීෂණයක් වුව මුදා හැරීමට ඔවුන් පසුබට නොවනු ඇත. එත් ඒ බව තෙරුම් ගන්නා විට සියල්ල සිදු වී හමාරය. එදාට පසු තැවීමට වඩා අද තම අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම වඩාත් වැදගත් බව ජනතාව තේරුම් ගත යුතුය.

‛‛මේ සියවසේ අප ගෙවමින් සිටින භයානකම තත්ත්වය නම් දුෂ්ඨ මිනිසුන්ගේ දුෂ්ඨකම් නොව යහපත් මිනිසුන්ගේ භයානක නිහඬතාවයයි’’ යනුවෙන් ඇමෙරිකානු කළු ජාතික ව්‍යාපාරයේ නායකයෙකු වන මාටින් ලූතර් කිං පැවසු ඉහත කියමන අපට අද වඩාත් උචිත වන බව මතක් කරමි.

රසික පෙරේරා