පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්
පරණ ද්‍රෝහීන් දැන් තවදුරටත් ද්‍රෝහීන් නොවන නිසා අවශ්‍ය වුවහොත් තොවිලයක් නටා වෛර හැගීම් රට පුරා වැපිරවීම පිණිස පාලක දේශපාලකයින්ට සහ එහි ක්ෂමාලාපකයින්ට අලුත් ද්‍රෝහීන් අවශ්‍ය වන කාලයක් දැන් එළඹ තිබේ.
ඊට මූලික හේතුව නම් විශාලතම ද්‍රෝහියා වු එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑං කී මූන් තව දුරටත් ගිනි තබා විනාශ කළ යුතු චරිතයක් නොව සාකච්ජා කළ යුතු චරිතයක් බව ශ්‍රී ලංකාණ්ඩුව භාවිතයෙන් ම පිළිගෙන ඇති නිසා ය. ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් අදියරේ සිදු වූ බව කියන මානව හිමිකම් කෙළෙසීම් ගැන පරීක්ෂා කල යුත්තේ කෙසේදැයි සොයා බලා වාර්තා කිරීම පිණිස බෑං කී මූන් විසින් විශේෂඥ කමිටුවක් පත් කළ අවස්ථාවෙහි පාලක දේශපාලනඥයින් විසින් ඇති කළ කලබගෑනිය අමතක කාටද?
ඒ දිනවල රජයේ ජනමාධ්‍ය උදේ, සවස තොර තෝංචියක් නැතිව බෑං කී මුන් සහ එම කමිටුවට බැට දුන්නේ එම කමිටුව සමඟ කවර හෝ සම්බන්ධයක් පවත්වන ඕනෑම අයකු පර සක්වලින් එහාට විසිකර දමන තරමේ මහා ඝොෂාවක් නගමිනි. ආණ්ඩුවේ වෛර ව්‍යාපාරයන් හි කසකරුවා වන වීරවංශ එම කමිටුව ඉල්ලා අස්කර ගන්නා තෙක් නොනැගිටිමි කියා මාරාන්තික උපවාසයක් ආරම්භ කළේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ තාප්පය මත ඉදිකළ අට්ටාලයක සිට ය. එයට පෙර එම කාර්යාලය වටලා කිසිවකුට පිට වීමට නොදෙන බවට ගර්ජනයක් ද තප්පු ලෑවේ ය. තොවිලයක් ද නැටුවේ ය. ආරක්ෂක ලේකම් රාජපක්ෂ ලවා එජා කාර්යාලයට ආරකෂාව දීමට පැමිණි පොලීසිය එලවා දැමුවේ ය. අවසානයේ දී ඩලස් අලහප්පෙරුම කිරි වීදුරුවක් පොවා ජනාධිපති රාජපක්ෂ හිස පිරි නොපදින්නට, අහෝ ෟ අපේ වීරයා අකල්හි පස් වී යන්නට ඉඩ තිබුණි. වැරදීමකින් හෝ එසේ වූවා නම් කොතරම් අපරාධයක් ද යන්න දැන් පැහැදිළි වන්නේ තොලොංචි කළ යුතුම යැයි කී බෑං කී මූන් ගේ එම කමිටුව සමඟ රාජපක්ෂ ආණ්ඩුව දැන් සාකච්ජා පවා කරන නිසා ය.
එකී වෛර ව්‍යාපාරයේ තවත් පිළිබිඹුවක් වූයේ මැද පෙරදිග අන්තවාදී ආගමික පිරිස් විසින් පමණක් පණවන පරිදි මාරක තහංචියක් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ද පැනවීම යි. බෑං කී මූන් කමිටුව සමඟ කවර හෝ ගනු දෙනුවකට යන නිතිවේදීන්ගේ නීතිඥ වෘත්තිය අහෝසි කරන බවට එය තීරණයක් ගත්තේ ය. ( පසුව එහි සැර බාල කළැයි කියනු ලැබේ). එම කමිටුව හමූයේ සාක්ෂි දීම මරණිය වරදක් ලෙස හංවඩු ගසන ලදී. ලංකාවට පැමිණියහොත් මෙම විශේෂඥ කමිටුව ගලේ ගසා මරා දමන බව නොකියා කියැවින.
නමුත් පසුව සිදු වුයේ කුමක් ද? ජනාධිපති රාජපක්ෂ සමඟ පැවැති සාර්ථක සාකච්ජාවකින් පසු තම කමිටුවට ශ්‍රී ලංකාවට යෑමට වීසා ලැබෙනු ඇතැයි මහ ලේකම් බැංකි මූන් ප්‍රකාශ කළේ ය. එය බොරුවක් යැයි ශ්‍රී ලංකාණ්ඩුව කීවේ නැත. එසේ නමුත් අන්තවාදී පිරිස් විසින් දක්වන ලද විරෝධය හමුයේ එම සංචාරය නතර විය.
තෙ සතියකට පෙර සිදුවූයේ ඊටත් අපූරු සිදුවීමකි. එනම් නීතිපති ඇතුළු ඉහළ පෙළේ නියෝජිත පිරිසක් නිව්යෝක් නගරයට ගොස් මෙම ද්‍රෝහී කමිටුව සමඟ සාකච්ජා පැවැත්වීම යි. (නීතිපති ද නීතිඥයකු වන නිසා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මුල් තීරණය අනුව ඔහුගේ නීතී වෘත්තිය දැන් අහෝසි විය යුතු ය). මෙම හමුවීම සිදුවූයේ පසුගිය පෙබරවාරි 23 දා නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ තෙවන මහලේ දී බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේ ය. නීතිපති මොහාන් පීරිස්, විදේශ අමාත්‍යාංශයේ ලේකම් රොමේශ් ජයසිංහ, එජා සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත පාලිත කොහොන සහ ඔහුගේ දෙවැනියා වන මේජර් ශාවේන්ද්‍ර සිල්වා ඊට සහභාගි විය. යුද්ධයේ අවසාන අදියරෙහි සිදුවූ බව කියන මානව හිමිකම් කෙළෙසීම් සොයා බැලීමේ ලා ශ්‍රී ලංකාණ්ඩුවේ උගත් පාඩම් සහ ප්‍රති සංධාන කොමිසම ලබා ඇති ප්‍රගතිය ද ඔව්හු මූන් කමිටුවට පැහැදිළි කළහ.
ශ්‍රී ලංකාණ්ඩුවෙහි ස්ථාවරයේ මෙම වෙනස සිදුවෙමින් පවතින්නේ වෙනස්වන ලෝක තත්ත්වයක් ද තුළ ය. එනම් ජයග්‍රාහී උතුරු අප්‍රිකානු විප්ලවයන් පසුබිමෙහි ඒකාධිපති ජනඝාතක පාලනයන් සහ පාලකයන්ට එරෙහිව ලෝක ජනමතයක් ඇති වීමයි. ඊට හොඳම උදාහරණය වුයේ ලිබියාවේ මුවමර් ගඩාපි සහ ඔහුගේ දරුවන් පිළිබඳ යුද අපරාධ පරීක්ෂනයක් කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මංඩලය තිරණය කිරීම යි. දැන් එය ආරම්බ වී තිබේ. අන්තර් ජාතික තලයෙහි ජනඝාතක ලිබියනු නායක මුවමර් ගඩාපි ආරක්ෂා කිරීමට රාජපක්ෂ පාලනය විසින් දරන ලද ලැජ්ජා නැති ප්රයත්නය විසින් ද අන්තර් ජාතික තලයෙ හි ශ්‍රී ලංකාණ්ඩුව තව දුරටත් හුදකලා කරන ලදී.
මෙම හමුවීමෙන් සතියකට පසු දකුණු සහ මධ්‍යම ආසියාව බාර ඇමෙරිකානු ආරක්ෂක උප ලේකම් රොබට් බ්ලේක් ලිබියාව පිළිබඳ තීරණය ද සඳහන් කරමින් කියා සිටියේ යුද්ධයෙ හි අවසාන අදියරෙහි සිදුවූ බව කියන මානව හිමිකම් කෙළෙසීම් පිළිබද ස්වාධීන පරීක්ෂනයක් සිදු නොවන්නේ නම් ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා එල්ල වීම වැළැක්විය නොහැකි බව ය. ඔහු කියා සිටියේ එම කාලය තුළ දහස් ගණනාවක් සිවිල් ජනයා ඝාතනය වූ බවට එජා සංවිධානයේ වාර්තා කියන බව යි.
යුද අපරාධ ඝනයට ඇතුළත් වන මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ද සොයා බැලිය යුතු බවට සඳහන් ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් ඇමෙරිකානු සෙනෙට් මංත්‍රී මංඩළය ඒකමතිකව සම්මත කළේ බ්ලේක්ගේ එකී ප්‍රකාශයෙන් දින 03කට පසු මාර්තු 03දා ය. බ්ලේක් යුද්ධයේ අවසන් කාලයේ ශ්‍රී ලංකාවේ සිටි ඇමෙරිකානු තානාපතිවරයෙකි.
වෙනදා මෙන් මේ යෝජනාවට එරෙහිව ඇමෙරිකානු තානාපති කාර්යාලයට ගල් ගසා බ්ලෙක්ගේ පිළිරූ පිළිස්සීමට සහ කිලෝ තුනක උපවාසයක් කිරීමට වීරවංශ ඉදිරිපත් වූයේ නැත. නීතිඥ සංගමය තහනම් යෝජනා ගෙන ආවේත් නැත. කැළනියෙන් මැරපිරිස් කොල්ලුපිටියට ගොඩ බැස්සේත් නැත.
ඒ වෙනුවට මෙම වර්ධනයන්ට පිළිතුරක් ලෙස විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් කියා සිටියේ ශ්‍රී ලංකාවේ උගත් පාඩම් සහ ප්‍රති සංධාන කොමිසම ස්වාධීන යාණ්ත්‍රනයක් බවත් අන්තර් ජාතික මානව හිමිකම් නීතිය කඩකිරීම් සහ ඕනෑම මානව හිමිකම් කෙළෙසීමක් පරීක්ෂා කිරීමට එයට බලයක් ද ඇති බව යි. එය ඇත්තක් ද නැත්තක් ද යන්න කෙසේ වෙතත් එවැනි ස්වාධීන පරීක්ෂණ යාන්ත්රනයක් අවශ්‍ය බව කියා සිටීම නිසා කලකට පෙර අප වැනි පිරිස් මත පෙර නොවී විරූ ප්රහාරයන් දියත් කරන ලද බවත් මතක් කිරීම වැදගත් ය. ඒ කෙසේ වෙතත් අමාත්‍ය ජී. එල්. පීරිස් ගේ එම ප්‍රකාශය හරහා දැන් රාජපක්ෂ ආණ්ඩුව කියා සිටින්නේ යුද්ධයේ අවසන් අදියරෙහි සිදුවූ බව කියන මානව හිමිකම් කෙළෙසීම් ස්වාධීන යාන්ත්‍රණයක් මගින් පරීක්ෂා කිරීම අවශ්‍ය බව තමන් පිළිගන්නවා පමණක් නොව එය කරමින් ද සිටින බව යි.
ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් කල්තියාම කළ යුතුව තිබුණේ යුද්ධයේ අවසන් අදියරෙහි පමණක් නොව සමහර විට යුද්ධය පුරාම සිදු වූ මානව හිමිකම් කෙළෙසීම් සොයා බලා නිසි පිළියම් ඉදිරිපත් කල හැකි අන්තර් ජාතික ප්‍රමිතීන්ට ගැලපෙන ස්වාධීන සහ බලසතු පරීක්ෂනය යාන්ත්‍රණයක් පිහිටුවීම යි. ඒ වෙනුවට එය කළේ එවැනි යාන්ත්‍රණයක අවශ්‍යතාවය පෙන්වා දුන් සියළු දෙනා ද්‍රෝහීන් ලෙස හංවඩු ගැසු වෛර ප්‍රචාරයන් දියත් කිරීම යි.
එසේ නොකිරීමේ විපාකයට දැන් ශ්‍රී ලංකාණ්ඩුව මුහුණ දී සිටී. මේ සියළු ගැලවිජ්ජාවන්ගේ අරමුණ එම විපාකයන්ගෙන් ගැලවීම යි. එය අව්‍යාජ නොවනතාක් දුරට ප්‍රතිපල සාධනීය නොවනවා ඇත.