ටියුනීසියාව හා ඊජීප්තුව විසින් අත්හදා බැලුණු, ලිබියාව විසින් රුධිර ගංගාවක් තුළ මේ මොහොතේත් අත්හදාබලමින් සිටින දේශපාලන අරගලයට සමාන්තර අරගලකාරී මාවතක් ඔස්සේ ශ්‍රී ලංකාවේ අනාගත දේශපාලන ගමන්මඟ සකස්වීමට ඇති ඉඩකඩ පිළිබඳ ඇතැමුන් ගේ අවධානය යොමුවී තිබෙනු පෙනේ. ඇතැම් තැනෙක එය බලාපොරොත්තුවක් හෝ ප්‍රාර්ථනාවක් ලෙසද, තවත් තැනෙක ක්‍රියාමාර්ගයක් ලෙස ක්ෂූද්‍ර තලයේ හෝ යෝජනා කැරෙන්නක් ලෙසද පවතී.
ඉහත රාජ්‍ය තුනේ වැසියන් ඒ අරගලකාරී මාවත කරා යොමු වූ හේතුකාරණා, අපේ පොළොවේ දේශපාලන අත්දැකීම් ඇසුරෙන් සම්පින්ඩනය කරගන්නට උත්සාහ දැරීම මෙහිදී වැදගත් ය.
පවුල්ගස්
රාජ්‍ය පාලනය තුළ පැවැති උග්‍ර පවුල්වාදය හා දීර්ඝ කාලයක් නොවෙනස්ව පැවැති ඒකාධිපතිත්වයට කිට්ටු පාලන ව්‍යූහයන් මෙම රාජ්‍යයන්හි හදිසි ජනතා නැගිටීම්වල එක් සාධකයක් විය.
ශ්‍රී ලංකාවේ දේශපාලනයට පවුල්වාදය යන්න අරුමයක් නොවේ. එහි අර්ථය ඉහත රාජ්‍යයන්හි ජනතා අරගලයන්ට උත්තේජකයක් වූ පවුල්වාදය යන්න ශ්‍රී ලංකාවේ දී නොසලකා හළහැකි ප්‍රපංචයක්ය යන්නද? එය එසේයයි සාධනය කිරීමට යමකු කැමැති වුවත්, එය එසේ නොවේයයි තර්ක කිරීමටද වර්තමාන පවුල් බලසාධකය තුළ සාධාරණ ඉඩකඩක් පවතී.
2005 දක්වා ශ්‍රී ලාංකේය දේශපාලනය ගිලගත් පවුල්වාදයට වඩා වෙනස් හැඩතලයක් හා සංවිධිත ව්‍යූහයක්, 2005න් පසු පාලක පවුල්වාදය තුළ දැකගත හැකිය. කේවල අවස්ථාවක දෙකකදී හැර ඒ දක්වා දේශපාලන බලඅධිකාරයේ මුල්පුටුව පවුල්වාදයට නතුවීම, ඒ මොහොතේ ඊට අනුගතව පැවැති දේශපාලන ප්‍රවාහයන් තුළ අතිවිශාල ප්‍රතිරෝධයක් නොමැතිව, එහි කිසියම් අනුමැතියක් සහිතව ඉදිරියට තල්ලු වූවකි.
එහෙත් වර්තමානය ඉන් වෙනස්ය. 2005 දී රාජපක්ෂවරුන්ට දේශපාලන බලාධිකාරයේ මුල්පුටුව පුදන විට එසේ පිදූවන් තුළ පවා තවත් පවුල්ගහක් රෝපණය වීමේ මූලබීජය එතැනින් හටගන්නේය යන්න, එයින් කෙටි කලක් ඇවෑමෙන් දැනෙන්නට ගත් තරම් භීතියකින් හා අසහනයකින් දැනුණේ නැත. ශ්‍රීලනිපය තුළ පවා ඊළඟ පක්ෂ බලධූරාවලියේ සිටියවුන්ට අනාගත ඉඩකඩක් නිර්මාණය වන්නේය යන හැඟීම මුළුමනින්ම නැතිවී නොතිබිණි.
එහෙත් රාජපක්ෂ ආගමනයත් සමඟ ශ්‍රී ලංකාවේ පවුල් බලව්‍යූහයට එතෙක් නොවූ විරූ ඒකාධිකාරී දෘඪභාවයක් හා උග්‍ර දරදඬු ස්වභාවයක් ආරූඪ වී තිබේ. ජනාධිපති ධූරය දරන්නා පසෙකින් තැබුවත්, රටේ මුළුමහත් මිලිටරි ක්‍රියාදාමයම හැසිරවෙන්නේ පවුලේ හස්තයක් යටතේය. ඊට ඇඟිල්ලක් හෝ ගැසීමට පිටස්තරයකුට හැකියාවක් නැත. මුළුමහත් ආර්ථිකයේ සුක්කානම ඇත්තේ පවුලේ හස්තයකට යටත්වය. උතුරු වසන්තයේ සිට විදෙස් ආයෝජකයන් පැමිණීම දක්වා ‛සංවර්ධනයන්ට’ පමණක් නොව, කිසිදු මහාපරිමාණ ආර්ථික කටයුත්තකට ඒ හස්තයෙන් මිදුණු ස්වායත්ත පැවැත්මක් නොමැත. ව්‍යවස්ථාදායකය තුළ බලගතුම පුටුවද පවුල් හස්තයේ අණසක යටතේ පවතින්නේ ව්‍යවස්ථාදායකය තුළ මේ පවුල් බලඅධිකාරයේ නිරුපද්‍රිතබව වෙනුවෙනි.
ඊට අමතරව 2005 මේ පවුල්ගසේ බීජය පැලවෙන අවස්ථාවේ කිසිවකුත් වැඩි සැලකිල්ලට නොගත් අනාගත ඔටුන්න හිමි කුමාරයා ද කරලියට වඩම්මා සිටී. මේ ඔටුන්න හිමි කුමාරයාට වෙට්ටුවක් දමා ඔහු ඉස්සරකර යාමේ සිහිනයක් මෙයින් වසරකට ඉහතදීත් කාට හෝ තිබිණිනම්, 18වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ඒ සිහිනය ද බිඳවැටී හමාරය. දැන් මෙය නොපෙනෙන අනාගතයකට අතු විහිදෙන පවුල්ගසක ලක්ෂණ පෙන්වයි.
දිගුකාලීන බලය
ඉහත අරගලයන් සිදුවූ රාජ්‍යයන්ගෙන් ශ්‍රී ලංකාව වෙනස්වන තැනක් වන්නේ, දීර්ඝ කාලීනව නොවෙනස් වූ පාලනයක් පැවැතීම යන්නෙනි. රාජපක්ෂ පාලනය පමණක් තනිකොට ගත්කළ එහි දැනට වයස වසර හයකි. අනාගත කාලය ද එකතු කළ විට එය 2016 දී වසර එකොලහක් සපුරනු ඇත. එහෙත් ’94 සිට මේ දක්වා වසර 17ක කාලයක් ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයන් විසින් රට පාලනය කර ඇත. ඊට පෙර එජාප සමයද වසර 17කි. අනෙක් අතට මේ දීර්ඝ කාලය වුව ප්‍රමාණවත් නොවෙතැයි යමකු සිතන්නේ නම්, 18වැනි සංශෝධනයෙන් පසුව ඈඳෙන අනාගතයද මෙයට එකතු කරගත් විට කැමැති කාලයකට මේ කතාව දික්ගස්සාගත හැකිය.
මැතිවරණ ක්‍රමයේ ගරාවැටීම
මේ ඇතැම් රටවලද මැතිවරණ පැවැත්විණි. නිදසුනකට 2009 ඔක්තෝබරයේ පැවැති ජනාධිපතිවරණයෙන් ටියුනීසියානු ජනාධිපති බෙන් අලී පස්වැනි වරටත් ජනාධිපති ධූරයට පත්වන්නේ 90%කට ආසන්න ඡන්ද ප්‍රතිශතයකිනි. ශ්‍රී ලංකාවේ පාලක රෙජීමයද 2005න් පසුව ගත්තත් එක පිට එක මැතිවරණ ජයග්‍රහණ ලබමින් සිය දැවැන්ත ජනප්‍රියත්වය පෙන්වමින් සිටී. එහෙත් සැබෑවටම සාමාන්‍ය මිනිසුන් තුළ කෙසේවෙතත් සිහිබුද්ධියෙන් දේශපාලනයේ නියැලෙන්නන් තුළ හෝ මේ මැතිවරණ ක්‍රමය තුළ සැබෑ ජනමතයක් පිළිබඹු වන්නේයයි විශ්වාසයක් පවතීද? ටෙලියකින් විසිවුණු පබා එජාපයේ නියෝජ්‍ය නායකයාවත් යටකරගෙන පාර්ලිමේන්තු පැමිණි ගමන අද වනවිට ගොස් ඇති දුර දෙස බැලීමෙන් හා පොලිස් පැමිණිලි පොතෙන් සේදී ගියද, ඇය ආණ්ඩුවට සහයෝගය දීමට ගත් තීරණය පසුපස වූ සැබෑ ගනුදෙනුමය හේතුගැන සැලකුව ද, මැතිවරණ ක්‍රියාදාමයේ ඇති විසුළුකාරී කෘත්‍රිම හා සැබෑ ජනමතය වෙනුවට එහි විකෘතියක් පොලාපැනීමේ තත්ත්වය තේරුම් ගතහැකිය. මේ විකෘති ක්‍රියාදාමයට ‛කොම්පියුටර් ජිල්මාට්’ නම් අලුත් වචනයද එක්වී ඇත. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට මැතිවරණ ක්‍රියාදාමය ඔස්සේ රාජ්‍ය බලය වෙනස් කිරීම වෙන කවරදාටත් වඩා දුෂ්කර වීම අනිවාර්ය ය.
ආර්ථිකයේ ළුලවල අසමාන බෙදීයාම
ආර්ථිකයේ ළුල සාධාරණව බෙදී නොයාම, රටේ ධනය සුළු පිරිසක් අත, විශේෂයෙන් පාලක රෙජීමයේ ඥාතීන් හා හිතෛෂීන් අත සංකේන්ද්‍රණය වීම හා බහුතරය දුගී භාවයේ ගැලී සිටීම ද මෙම අරගලයන්ගේ පසුබිම නිර්මාණය කළේය. ශ්‍රී ලංකාවටද මේ තත්ත්වයේ කිසියම් පොදුබවක් ඇත. ශ්‍රී ලංකා මහබැංකුවට අනුව පසුගිය වසරේ මෙරට දළ දේශීය නිශ්පාදිතය අත්කරගත් වර්ධනය 8%කි. එහෙත් රටේ බස්නාහිර පළාත දිගින් දිගටම දළ ජාතික නිශ්පාදිතය මත වැඩි බලයක් පතුරුවන බවද මහබැංකුවම පවසයි. ඊට අනුව රටේ දළ ජාතික නිශ්පාදිතයෙන් 45.5%කට හිමිකම් කියන්නේ බස්නාහිර පළාතයි. බස්නාහිර පළාතේ ඒක පුද්ගල ආදායම වන ඇමරිකානු ඩොලර් 3210 රටේ සමස්ත ඒක පුද්ගල ආදායම වූ ඩොලර් 2014 මෙන් 1.6 ගුණයකි රටේ ඉතිරි සියලු පළාත් සිටින්නේ සමස්ත ඒක පුද්ගල ආදායමට පහළිණි. ඒ මහබැංකුවටම අනුව රටේ මුළු ජනගහනයෙන් 41.6%කගේ දෛනික ආදායම ඇමරිකානු ඩොලර් 2ට අඩුය. ඉහත රාජ්‍යයන් හා සන්සන්දනය කිරීමට නොගියත් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පුරවැසියාගේ ආර්ථික තත්ත්වයේ පවත්නා ඛේදය මේ සංඛ්‍යාලේඛනවලින් හෙළිවෙයි.
අධිකරණයේ විශ්වසනීයත්වය
සියලු පුරවැසියන් විෂයයෙහි යුක්තිය හා සාධාරණය එක සමානව ඉටු නොවීමද මේ රාජ්‍යයන්හි ජනයා අරගලකාරී මාවතට තල්ලු කිරීමට හේතුවූ බව පෙනේ. ශ්‍රී ලංකාවේ තත්ත්වය කෙබඳුද? පුරවැසියාගේ සාමකාමී ජනජීවිතය වෙනුවෙන් වගකීමෙන් බැඳීසිටින, සියලු අපරාධ නඩු සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ චෝදනා ගොනුකිරීමේ කටයුත්ත භාරව සිටින නීතිපතිවරයා එසේ චෝදනාවන්ට ලක්ව නීතිමය ක්‍රියාමාර්ගයක් හමුවට පමුණුවන ලද්දන්ගේ පවා දේශපාලන පාර්ශවීයත්වය සලකා ඔවුන්ට එරෙහි චෝදනා ඉවත්කරගනී. මිනීමැරුම් චෝදනා ලබාසිටි රාජපක්ෂ පාක්ෂික චන්දන කර්ත්‍රිආරච්චි හිටපු මන්ත්‍රීවරයා සේම, සමෘද්ධි මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබසිටි 18වැනි සංශෝධනයට අත එසවීම සඳහා පිල් මාරුකළ අබ්දුල් කාදර් වත්මන් මන්ත්‍රීවරයා ද ඔවුන්ට එරෙහි චෝදනාවලින් නීතිපතිවරයා විසින් මුදවා හරිනු ලබන්නේ හුදෙක්ම ඔවුන්ගේ දේශපාලන හිතෛෂීවන්ත භාවයන් නිසාවෙනි. මිනීමැරුම් චෝදනා ඔප්පුවීමෙන් ජීවිතාන්තය දක්වා බන්ධනාගාර ගතකැරුණු දේශපාලන සබඳතා ඇත්තෝ ජනාධිපති සමාවෙන් නිදහස්වී ගෙදර යති. යුක්තිය හා සාධාරණය ඉටු වූ බව සාධාරණ සැකයකින් තොරව ඔප්පු නොවන සරත් ෆොන්සේකාට එරෙහි නීතිමය ක්‍රියාවලිය තනිකරම දේශපාලන පළිගැනීමක ස්වභාවයක් ගනී. රාජ්‍ය පාක්ෂිකයකු වීම වරදක් කොට දඬුවම් නොලබා සිටීමට හෝ සමාවක් ලැබීමට හේතුවනවා සේම රාජ්‍ය පාක්ෂිකවීම ප්‍රතික්ෂේප කිරීම වරදක් ඇතිව හෝ නැතිව දඬුවම් ලැබීමට හේතුවන්නක්ය යන්න මේ ඔස්සේ සමාජය මත තහවුරුවන ඇඟවුම්කාරකයන්ය. පොලීසිය මුළුමනින්ම දේශපාලන හිතෛෂීකම පළමු තැන තබාගෙන ජනයා පෙළමින් කටයුතු කරන බවට උදාහරණ දීම අනවශ්‍යය.
විරුද්ධවාදීන් මර්දනය
විරුද්ධවාදීන්ට එරෙහි දරුණු මර්දනයද ඉහත රාජ්‍යවල ප්‍රකට ලක්ෂණයක් විය. ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සමීප හිතවතකු බව පෙනෙන ලිබියානු නායක ගඩාෆි මේ මොහොතේත් තමන්ට එරෙහිව නැඟීසිටින පුරවැසියන්ට ගුවනින් පවා පහරදෙයි. ශ්‍රී ලංකාවේ අපට මේ ගැන අමුතුවෙන් උදාහරණ අවශ්‍ය නැත. කොටින්ම නිදහස් දිනයේදී සාමකාමී විරෝධතාවක් පැවැත්වීමට හෝ විරුද්ධ දේශපාලන මත දරන්නන්ට නිදහසක් නැත.
කරුණු සියල්ල මෙසේ වෙතත්, අප ටියුනීසියාව ඊජීප්තුව හෝ ලිබියාව දෙස බලාගෙන කොතරම් කෙල හැලුවත්, පවත්නා පාලනයට එරෙහිව ශ්‍රී ලංකාව තුළ ජනයා එවැනි අරගලකාරී මාවතකට අවතීර්ණවනු තබා සිය ඡන්දය හෝ ඊට එරෙහිව පාවිච්චි නොකරන තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ ඇයි? (තව දින කිහිපයකින් පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදීද මෙය යළිත් වතාවක් සනාථ වනු ඇත)
පාලක සූත්‍රය හා මන්තරය
මේ ගැටලුව තේරුම්ගත හැක්කේ මෙම පාලනය සිය පාලිතයන් පාලනය කරන සූත්‍රය හරියට අල්ලාගැනීමෙනි. සැබෑ ගැටලුව වන්නේ ඒ සූත්‍රය විරුද්ධ දේශපාලන ක්‍රියාකාරිකයින් කිසිවකුත් නොදැන සිටීම නොවේ. ඉන් පිරිසක් එය තමන්ගේ ද සූත්‍රය සේ වන්දනාමාන කිරීම යි. අනෙක් පිරිස එය දන්නා බව ඇඟවීමට එළිපිට කීමට හා ඊට ප්‍රසිද්ධියේ අභියෝග කිරීමට සූදානම් නොවීමයි.
ඉතාම කෙටියෙන් හඳුන්වන්නේ නම් මෙම ආධිපත්‍යධාරී මතවාදී සූත්‍රය වූකලී සිංහල අධිපතිවාදී ජාතිවාදය යි. සිංහල අධිපතිවාදී රාජ්‍යයට සන්නද්ධව අභියෝග කළ දෙමළා වනසාදැමීම සඳහා ශක්තිමත් කරන ලද සිංහල ජාතිවාදයයි ‛ඒකීය රට, භෞමික අඛණ්ඩතාව, රණවිරුවන්, සිංහල බෞද්ධයා, ස්වෛරීත්වය, ජාත්‍යන්තර කුමන්ත්‍රණ හා දෙමළ ඩයස්පෝරාව……’ මේ සූත්‍රය ජනතාව වෙත ගෙනයවන මහාබලගතු මන්තරය සැදුම් ලබන වචන සෙට් එකෙන් කොටසකි. 2006 වසරේ යුද්ධය පටන්ගත් තැන් පටන් මේ දක්වා පාලකයන් සිය රාජ්‍යයේ පුරවැසියන් වශයෙන් සලකන සිංහල බහුතරය වශීකරගැනීමට ඔවුන් මත ආධිපත්‍යය පතුරුවමින් ඒ ආධිපත්‍යය සාධාරණීකරණය කිරීමට උසුරුවන මන්තරය මෙය යි. මේ ඉතාම සරල සූත්‍රය තුළ පුරවැසියා කොටස් දෙකකට බෙදා තිබේ. මේ සූත්‍රයට එකඟවන මේ මන්තරයෙන් දැපනෙවැටෙන එකා දේශප්‍රේමියා වේ. සූත්‍රය ප්‍රශ්නකරන, මන්තරයෙන් මෙල්ල නොවන එකා දේශද්‍රෝහියාය. පාලකයාගේ මේ පාලනය කිරීමේ සූත්‍රයට හා එහි ප්‍රකාශමානය වන මන්තරයට අභියෝග නොකර, ඊට එරෙහිව කෙලින් සිටගන්නේ නැතිව ශ්‍රී ලංකා පොළොව මත මේ මොහොතේ කිසිදු වෙනස්කමක් කිරීමේ හැකියාවක් නැත.
පසුගියදා හදිසි නීති යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අගමැති දිමු ජයරත්න කියාසිටියේ උතුරේ සන්නද්ධ ක්‍රියාවල නිරතවීමේ අරමුණින් දෙමළ ඩයස්පෝරාවේ අනුග්‍රහයෙන් දකුණු ඉන්දියාවේ සන්නද්ධ පුහුණු කඳවුරු පවත්වන බවය. එහි අරුත නම් සිංහලයා මුහුණදෙන අභියෝගය යුද්ධය නිමාවුවද අවසන් නැති බවය. එය තවත් බිල්ලකු මැවීමකි. මෙයින් යළිත් තහවුරු වන්නේ සිංහල සමාජය ත්‍රස්ත නොකර, ඔවුන් බියගන්වන්නේ නැතිව, ඒ බියට එරෙහි වීර වික්‍රමාන්විත ක්‍රියාවන් උත්කර්ෂයට නංවන්නේ නැතිව, තව තවත් වික්‍රමයන් ගැන ප්‍රතිඥා දෙන්නේ නැතිව මේ පාලනයට පැවැත්මක් නැතිබවය.
මන්තරයට වශීවීම
පාලක රෙජීමයට අභියෝග කිරීම හා ඊට එරෙහිව සිටගැනීම වෙනුවට අප අත්දකිමින් සිටින්නේ කුමක්ද? ඒ අධිපතිවාදී සූත්‍රය විසින් උගුලකට හසුකරගන්නා ලද ඒ මන්තරය විසින් මෙල්ලකරන ලද, ඊටම අනුගත වී ක්‍රියාකරන විපාක්ෂික දේශපාලන ක්‍රියාකාරීන් පිරිසකි. මෙහි ප්‍රකාශමාන චරිතයක් ලෙස එජාපයේ ඊළඟ නායකත්වය අපේක්ෂා කරන සජිත් ප්‍රේමදාස හඳුන්වා දිය හැකිය. ඔහුගේ දේශපාලන වාග්කෝෂය නිර්මාණය වී ඇත්තේ තනිකරම මේ රාජපක්ෂ පාලනයේ සූත්‍රයෙනි. ඔහුට අනුව ද රටේ ජාතිකත්ව අර්බුදයක් නැත. දෙමළා මේසා දීර්ඝ යුද්ධයකට මුලපිරූ මහපොළොවේ හේතුකාරණා නැත. තිබී ඇත්තේ හුදු ත්‍රස්තවාදී ප්‍රශ්නයකි. දැන් එයට අවශ්‍ය බේත දී හමාරය. ලෙඩේට බෙහෙත දී හමාරනම්, ඒ බෙහෙත දුන් වෙදාටම ඉතිරි ටිකත් කරගෙන යන්නට දුන්නාම කතාව ඉවර ය. එසේනම් අමුතුවෙන් දේශපාලන වෙනසක් හෝ සජිත් ප්‍රේමදාස කෙනෙක් අවශ්‍ය නැත. මේ අධිපතිවාදී සූත්‍රයට රිංගන්නා ඒ සූත්‍රය තුළම නන්නත්තාර වන්නේ එපරිද්දෙනි.
එජාප මහලේකම් මෙයින් මාස කිහිපයකට පෙර බීබීසී සන්දේශයට කියා සිටියේ මේ මොහොතේ උතුරේ සටනක් නොපවතින බැවින් උතුරට දේශපාලන විසඳුමක් දීමේ අවශ්‍යතාවක් දැන් නැති බවයි. තම පක්ෂය එදා එවැන්නක් ගැන කතාකළේ උතුරේ සටන්කාමී කණ්ඩායම් විසින් සටනක් ගෙන ගිය නිසා බවයි. ඊට අනුව දෙමළාට කිසිවක් ලැබීමට නම් ඔහු එය ආයුධයක් රැගෙනවිත් ම ඉල්ලා සිටිය යුතුය.
ජවිපෙ ද අද මේ රාජ්‍ය පාලිත සූත්‍රයේම අසරණ සිරකරුවෙකි. එදා දෙමළාගේ හිස මතට බෝම්බ දැමීමට අවශ්‍ය ආශීර්වාදය පමණක් නොව මතවාදී හයියද සැපයූ ඔවුහු අද තමන්ගේම ආශිර්වාදයෙන් කළ යුද්ධයෙන් විනාශවූවන්ගේ හා අත්අඩංගුවට පත්වූවන්ගේ නම් ලැයිස්තු ඉල්ලාගෙන යයි.
පාලක රෙජීමයේ මේ පාලන සූත්‍රයට අභියෝග කරමින් දේශපාලන වෙනසක් සඳහා සටන් කරනු වෙනුවට අද සිදුවන්නේ එම සූත්‍රයට ම වක්‍රව උදව් කරමින් ආර්ථික කාරණා මත පමණක් ම පදනම්ව ඒ වෙනස කළහැකිවෙතැයි සිතීම යි. ඒ උපාය මාර්ගය විසින් නැවතත් උතුර හා නැගෙනහිර සමස්ත සටනින් තව තවත් ආන්තික කරනු ඇත. අනෙක් පැත්තෙන් මේ මොහොතේ රට පෙළන කේන්ද්‍රීය ප්‍රශ්නය විතැන්කර සිදුකරන කිසිදු දේශපාලන වෙනසක් රටට දීර්ඝකාලීන සංහිඳියාවක් ගෙන එන්නේ නැත. ටියුනීසියාවේ හා ඊජීප්තුවේ ජනඅරගල එහි ක්ෂණික අභිමතාර්තය ඉටුකරගත් බව සැබෑවකි. එහෙත් එහි අනාගත ගමන්මඟ ඒ අරගලයන්ගේ සැබෑ දීර්ඝකාලීන ජයග්‍රහණයන් වෙතට වැටෙනු ඇතිද නැතිනම් ඒ ජයග්‍රහණ වෙනත් ප්‍රජා පීඩක අවකාශයක සිරගතවනු ඇතිදැ යි අප අදටත් නොදන්නාක් මෙනි.
එබැවින් ලංකාවේ කේන්ද්‍රීය ගැටලුව වන දෙමළ ජාතිකයන්ගේ ප්‍රශ්නයට විසඳුම් ලබාදෙමින් දේශපාලන ක්‍රමයේ පූර්ණ ප්‍රතිසංස්කරණයක් ඇතිකිරීම පසෙක ලා යන ගමනක් ශ්‍රී ලංකාවට සාමය හා සංහිඳියාව ගෙනඑනු ඇතැයි විශ්වාස කළ නොහැක.