”ඇත්ත වශයෙන්ම යුද්ධය අවසන් වුවද ලංකාව තුල චිරස්ථායී සාමයක් තවමත් උදාවී නොමැත. පශ්චාත් ගැටුම් අවධියක් තුළ චිරස්ථායි සාමයක් උදාකරගැනීම වෙනුවෙන් සමාජයක් වශයෙන් ලගා කරගත යුතු සාධක බොහෝමයක් ඇත. මෙම සාධකයන් වෙත ලඟාවීම වෙනුවට සිංහල සමාජය ඉතා කනගාටුදායක ලෙස මෙම සාධකයන්ගෙන් ඈතට ගමන් කරමින් සිටියි. මෙය පෙන්වන මෑත එක් ජනප්‍රිය උදාහරණයක් වශයෙන් රජය විසින් ජාතික ගීයේ දෙමළ අනුවාදනය ඉවත් කිරිමට තීරණය කිරීම දැකිවිය හැකිය. වසර 30ක යුද්ධයකින් පසුව තූවාල වූ සමාජයක් සුවපත් කිරීම සඳහා පොදු සංඥාර්තයන් ගොඩනගා ගැනීම වෙනුවට මෙවැනි ක්‍රියාවන්ගෙන් සිදුවන්නේ එවැනි පොදු සංඥාර්තයන් කඩා බිඳ දමා ජන වර්ගයන් අතර සැකය හා විරසකභාවය සඳහා පසුබිම සැකසීමයි. ‛පුරවැසි මංපෙත් ’ වැනි කෘතීන් අප සමාජය තුළ දැඩිව සාකච්ජාවට ලක්විය යුත්තේ මේ නිසයි. මේ තුළ සමාජයක් විසින් චිරස්ථායි සාමයක් අත්කරගැනීම සඳහා සමාජයක් වශයෙන් මාන ගණනාවක් හරහා ගැඹුරු පරිවර්ථනයන්ට ලක්විය යුතු ආකාරය පෙන්වා දෙනවා.”
ආචාර්‍ය සුනිල් විජේසිරිවර්ධන විසින් රචිත නවතම කෘතිය ඔහු නම් කර ඇත්තේ ‛පුරවැසි මංපෙත් ’ නමිනුයි. එය තේමා ගත කොට ඇත්තේ ‛ ගැටුම්වේදය ආශ්‍රිත සංස්කෘතික හා දාර්ශනික අවලෝකන’ වශයෙනි. මේ පිළිබඳව සුනිල් විජේසිරිවර්ධන මහතා කෘතියේ පෙරවදන තුළ මෙසේ සඳහන් කරනවා.
‛‛පුරවැසි මංපෙත්’ නමින් අන්තිම මොහොතේ නම් කෙරුණු මේ කෘතිය ශ්‍රී ලාංකික සමාජයේ යහපත් වෙනසක් ගැන සැබෑ ලෙස උනන්දු වන සියළු දෙනාගේ අවධානය සඳහා යොමු කරනු කැමැත්තෙමි; ඒ අතර, ආගමික නායකයින්, කලාකරුවන්, මාධ්‍යකරුවන්, ගුරුවරුන් සහ සමාජ-දේශපාලන ක්‍රියාධරයින් යන පස් වැදෑරුම් සමාජ සන්නිවේදකයන් එහි විශේෂ ඉලක්ක පාඨකයින් ලෙස සලකමි. ඒ අදහස නිසා, මේ ග්‍රන්ථය, එය යම් ශ්‍රාස්ත්‍රීය පදනම් මත මූලික වශයෙන් ගොඩ නගා ඇතත්, එහි භාෂාව සහ ආකෘතිය, සාමාන්‍ය පාඨකයාට එතරම් ගෝචර නොවන්නා වූ ශ්‍රාස්ත්‍රාලීය රාමුවෙන් හැකි තාක් දුරට මුදා ලිහිල්ව තබන්නට උත්සාහ කළෙමි. එනමුත් මෙහි එන ඇතැම් අදහස් සහ ප්‍රවාද ගැන වැඩිදුර සෙවීමට කැමති විද්‍යාර්ථීන් සහ පර්යේෂකයින් ගේ ප්‍රයෝජනය පිණිස, ඉඩ ලැබෙන ආකාරයට, අත්‍යවශ්‍ය පරිශීලන මූලාශ්‍ර පෙළ තුළ දක්වා ඇත. එමෙන්ම ඒ ඒ පරිච්ඡේද ආශ්‍රිත වැදගත් අධ්‍යයන මූලාශ්‍රවල ලැයිස්තුවක් ද වෙනම පොතට එකතු කොට ඇත…’’
මෙම කෘතියේ වැඩි කොටසක් ලංකාවේ ජනවාර්ගික යුද්ධය පැවති වකවානුවේම ලියවුනු බව එය කියවීමේදී පැහැදිලි වෙනවා. නමුත් මෙම කෘතිය එලි දැක්වෙන්නේ යුද්ධය ‛අවසන් ’ වු සන්දර්භයක් තුළයි. මේ අනූව ‛පශ්චාත් යුධ අවදියක් ’ තුළ මෙම කෘතියේ හරය අප විසින් සන්දර්භ ගත කරගන්නේ කෙසේද?
‛‛…. කෙටියෙන් කිවහොත් මේ පොත ලියා අවසන් කිරීමත්, එය මුද්‍රණය කිරීමත් අතර කාල පරතරය මාස 18 කට ආසන්න වෙයි. ඒ කාලය තුළ ශ්‍රී ලංකාවද, ලෝකයද, බරපතල වෙනස්කම්වලට භාජනය වී තිබේ. ශ්‍රී ලංකාවේ 30 වසරක යුද්ධය රජයේ ජයග්‍රහණයෙන් සහ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ යුධමය පරාජයෙන් නිමාවකට පැමිණ තිබේ. අමෙරිකා එක්සත් ජනපදයේ ජෝජ් බුෂ්ගේ පාලන සමය අවසන් වී බැරක් ඔබාමාගේ පාලන සමය ආරම්භ වී තිබේ. මේ පොත ලියා නිමවුනු සමාජ-දේශපාලන සන්දර්භය බැලූ බැල්මට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් රැඩිකල් වෙනස්කම් ගණනාවකට බඳුන් වී ඇති බවයි උක්ත කෙටි සඳහන් දෙකින් කියැවෙන්නේ. එ’නමුත් නිමාවී ඇති ග්‍රන්ථයේ පඨිතය අළුත් සන්දර්භයන්ට යාවත්කාලීන කිරීමට කිසිදු වෑයමක් නොදරා මුද්‍රණයට භාර දෙන්නට මා තීරණය කළෙමි. ඊට හේතුව ඒ සඳහා කාලය නොමැතිවීම පිළිබඳ ප්‍රශ්නයම නොවේ. මා හිතන ආකාරයට යුද්ධය නිමා වීම, ශ්‍රී ලංකාවේ සමාජ ගැටුම්වල “ගැඹුරු සන්දර්භය”, සහ මේ ග්‍රන්ථය අවධානය යොමු කරන “ගැඹුරු ව්‍යුහයන්ගේ” සාධනීය වෙනසක් ලකුණු කරන්නේ නැත. ඉදින් මෙය කියවීමට අවශ්‍ය කෙරෙන සරල “ගැලැප්පීම්” ඔබටම කර ගත හැකි යැයි මා සිතමි….’’
ඇත්ත වශයෙන්ම යුද්ධය අවසන් වුවද ලංකාව තුල චිරස්ථායී සාමයක් තවමත් උදාවී නොමැත. පශ්චාත් ගැටුම් අවධියක් තුළ චිරස්ථායි සාමයක් උදාකරගැනීම වෙනුවෙන් සමාජයක් වශයෙන් ලගා කරගත යුතු සාධක බොහෝමයක් ඇත. මෙම සාධකයන් වෙත ලඟාවීම වෙනුවට සිංහල සමාජය ඉතා කනගාටුදායක ලෙස මෙම සාධකයන්ගෙන් ඈතට ගමන් කරමින් සිටියි. මෙය පෙන්වන මෑත එක් ජනප්‍රිය උදාහරණයක් වශයෙන් රජය විසින් ජාතික ගීයේ දෙමළ අනුවාදනය ඉවත් කිරිමට තීරණය කිරීම දැකිවිය හැකිය. වසර 30ක යුද්ධයකින් පසුව තූවාල වූ සමාජයක් සුවපත් කිරීම සඳහා පොදු සංඥාර්තයන් ගොඩනගා ගැනීම වෙනුවට මෙවැනි ක්‍රියාවන්ගෙන් සිදුවන්නේ එවැනි පොදු සංඥාර්තයන් කඩා බිඳ දමා ජන වර්ගයන් අතර සැකය හා විරසකභාවය සඳහා පසුබිම සැකසීමයි. ‛පුරවැසි මංපෙත් ’ වැනි කෘතීන් අප සමාජය තුළ දැඩිව සාකච්ජාවට ලක්විය යුත්තේ මේ නිසයි. මේ තුළ සමාජයක් විසින් චිරස්ථායි සාමයක් අත්කරගැනීම සඳහා සමාජයක් වශයෙන් මාන ගණනාවක් හරහා ගැඹුරු පරිවර්ථනයන්ට ලක්විය යුතු ආකාරය පෙන්වා දෙනවා.
මේ සියළුම කාරණා තුළ ‛‛පුරවැසි මංපෙත්’’ පිළිබඳව පුළුල් සංවාදයක් ගොඩනගා ගැනීම වැදගත් යැයි සිතමු. හෙට (මාර්තු 22) මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී සවස 3.00ට ‛පුරවැසි මංපෙත් ’ කෘතිය සම්බන්ධයෙන් පැවැත්වෙන ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයන් වැදගත් වන්නේ මේ අර්ථයෙනුයි. මෙහිදී කරුණු දැක්වීමට සුසිල් සිරිවර්ධන, නිර්මාල් රංජිත් දේවසිරි, ජානකී ජයවර්ධන, ටියුඩර් වීරසිංහ, ගාමිණි වියන්ගොඩ, චන්දන සිරිමල්වත්ත සහ පියල් කාරියවසම් යන අය එකතු වෙනවා.