Colombo, end of the War, Featured Articles, Features

‛‛මහජන කථිකාව ‛දේශප්‍රේමී’ සහ ‛ද්‍රෝහී’ ලෙස දෙබෙදුමකට බලහත්කාරයෙන් සිරකොට තිබෙනවා.’’ – ආචාර්ය සරවනමුත්තු


Photo by – www.groundviews.org

පළමු පුරවැසි සාම සම්මානය පිලිගනිමින් ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් කරන ලද කථාව, 2011 පෙබරවාරි 28

මූලාසනයේ මහත්වරුනි, පූජකතුමනි, අතිගරු හිටපු ජනාධිපතිනි කුමාරණතුංග මැතිනියනි, මිත්‍රවරුනි

මෙම පළමු පුරවැසි සාම සම්මානය මාවෙත පිරිනැමීම පිළිබඳව ජාතික සාම මණ්ඩලය වෙත ස්තූතිය පලකරමින් මෙම කථාව ආරම්භ කිරීමට මට ඉඩදෙන්න. මෙම සම්මානය මා නිහතමානීව පිලිගන්නවා. සාමය, මානව හිමිකම් ආරක්‍ෂා කිරීම හා යහපාලනය යන අරමුණු තනි පුද්ගලයෙකුට හෝ පුද්ගලයන් රාශියක් විසින් සිදුකරන සමාන ක්‍රියාවන් මඟින් පමණක් සාක්‍ෂාත් කරගත නොහැකි වන බව මා පැහැදිලි ලෙසම දැනුවත්ව සිටිනවා. එය අඛණ්ඩ ක්‍රියාදාමයක්. අප විසින් සමරනු ලබන උච්ච අවස්ථාවන් කිහිපයක් තිබුණත් නැතත් එය දිගින් දිගටම සිදුවන අරගලයක්. ඉදිරියේ පවතින අභියෝගයනට මුහුණ දීමට අප ශක්තිමත් විය යුතුයි. ඒවගේම නැවත කැපවිය යුතුයි.

එහෙත් මෙයට වඩා යමක් කීමට පෙර මා ස්තූති කළ යුතුයි, පිලිවෙලින්, සියලු දෙනාටම පෙර, මහජන සේවය සහ මහජන යහපත පිළිබඳව වූ වටිනාකම් හා අගයයන් මාගේ සිතට ඇතුළු කළ මාගේ දෙමව්පියන් සහ පවුලේ උදවියට. ඊළඟට ඉතාම විශේෂයෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ මාගේ ජේ්‍යෂ්ඨ සගයින්ට සහ අනෙකුත් අයට – භවානි, මිරාක්, ලයනල්, අසංග, සංජන, ප්‍රදීප්, ශ්‍රියානි, රොහාන් – ඔබගේ සහාය සහ සහයෝගීතාවය ගතවූ අවුරුදු වලදී මා හට විශාල ශක්තියක් වුනා. ඒවාගේම මට ස්ථීරයි ඉදිරි අවුරුදු වලදීත් එසේම වන බව. ඒ වගේම මා හට සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයට ලබාදුන් සහාය හා සහයෝගීතාවය පිළිබඳව මාගේ ස්තුතිය සහ අගය කිරීම ජාතික හා ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රජාව වෙත පිරිනමන්න මා කැමතියි. මා දන්නවා මෙහිදී යම් අවස්ථාවක සුනිලා අබේසේකර වචන කිහිපයක් කථා කිරීමට සූදානම්ව සිටින බව. සුනිලා, මට මතකයි 2008 වසරේදී මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශණයට වසර 50ක් පිරීම නිමිත්තෙන්වූ ත්‍යාගය ඔබ දිනාගත් අවස්ථාව. එහිදී පැවති පිළිගැනීමේ දී මා සව්දියපිරීමේ කථාව කලා. මාගේ කථාවේදී මා උපුටා දැක්වූවා රෝසා ලක්සම්බර්ග් තම විවේචකයන්ට කී දේ “මට නටන්න බැරිනම්, ඔබම ඔබේ විප්ලවය කරගෙන යන්නෟ”. ඔබ ඉතාම දඟකාර ලෙස මට මතක් කර දුන්නා රෝසා ලක්සම්බර්ග්ට අත්වූ ඉරණම පිළිබඳව. ඔව් සුනිලා, ඔබ තාමත් ක්‍රියාකාරීව සිටිනවා. මමත් තාමත් ක්‍රියාකාරීව සිටිනවා. අප දිගටම මෙසේ ක්‍රියාකාරීව සිටිමු.

මිත්‍රවරුනි, අපගේ රට මංසන්ධියකට පැමිණ තිබෙනවා. ඒ වගේම රට අර්බුදයකද පවතිනවා. අප යුද්ධයක් දිනලා තිබෙනවා. නමුත් අප තවමත් පශ්චාත් යුධ තත්ත්වයක සිරවී සිටිනවා. පශ්චාත් ගැටුම් තත්ත්වයක් වෙත අප ගමන්කල යුතුයි. පශ්චාත් ගැටුම් තත්ත්වයක් යනුවෙන් හැදින්වෙන්නේ ගැටුම ඇතිකල සාධකයන් පෝෂණය නොවන්නාවූ තත්ත්වයක් පමණක් නොව එම සාධකයන් කිසිලෙසකින් වත් පුනර්ජනනය නොවන්නාවූ තත්ත්වයක් ලෙසයි. එහෙත් කනගාටුවට කරුණක් වන්නේ එය එසේ නොවන බවට අඟවන ප්‍රවනතාවයන් විශාල ගණනක් අද අප රටේ පැවතීමයි. වර්ථමානයේ පවතින තත්ත්වය නම් රට වසා පැතිර පවත්නා ඉලක්කය ලෙස ආර්ථික සංවර්ධනයට ප්‍රමුඛතාවය දීමයි. එහෙත් කනගාටුදායක හා අවාසනාවන්ත තත්ත්වය වන්නේ ආර්ථික සංවර්ධනය පිළිබඳ මෙම මතයෙහි අයිතීනට කිසිඳු ඉඩකඩක් නොමැති බව පෙනී යාමයි.

මෙම පර්යාලෝකය තුළ අයිතීන් සැලකෙන්නේ ‛අදාළ නොවන’ ලෙස හෝ ඊටත් වඩා අයහපත් ආකාරයෙන් ‛රාජ්‍ය විරෝධී’ ලෙසයි. මහජන කථිකාවත ‛දේශප්‍රේමී’ සහ ‛ද්‍රෝහී’ ලෙස දෙබෙදුමකට බලහත්කාරයෙන් සිරකොට තිබෙනවා. ‛නොඑකඟ භාවය’ ‛රාජ ද්‍රෝහීත්වය’ ලෙස සලකනු ලබනවා. මේවා එක් අතකින් අළුත් දේවල් නොවේ. එමෙන්ම විනිවිදභාවය හා වගවීම පිළිබඳ ගැටළුද අළුත් ඒවා නොවේ. නමුත් අද අප ඉදිරියෙහි ඇත්තේ වඩාත් විශාල, බෙහෙවින්ම විශාල පරිමානයක වූ තත්ත්වයක් බව මා අවධාරණය කොට කීමට කැමැතියි. අප අතීතයේ අත්විඳිමින් සිටි හිරිහැර, පීඩා හා ඛේදවාචකයන් ගෙන් පසු මෙම තත්ත්වය ඇති වී ඇතැයි යන්න නැවතී කල්පනාකරමින් සිටීමට හේතුවක් කර ගත යුතු නොවේ. එය මේ පිළිබඳව බොහෝමයක් දේ කලයුතුව පවතින බව හා ඒ සඳහා ක්‍රියාකාරී වීමට අවස්ථාව පැමිණ ඇති බවට වන තියුනු මතක් කරදීමක් බව කිව යුතුයි.

පසුගිය දින කිහිපයේදී මා දිල්ලියේ පැවති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් සිටියා. එහිදී කථාවන් පැවැත්වූ අය අතර නෝබෙල් ත්‍යාගලාභී මහාචාර්ය අමාර්ත්‍යා සෙන් ද සිටියා. අයිතීන් පිළිබඳව වූ ශක්තිමත් පර්යාලෝකයක් හා සුසමාදර්ශයක් මත පදනම් නොවූ සංවර්ධනය ආවේනික ලෙසම අවදානම් හා ආවේනික ලෙසම අනතුරුදායක ද වන බව සෙන් අපට සිහිපත් කළා. මහජන සුභසාධනය, මහජන යහපත හා රජයේ ප්‍රතිපත්ති සාකච්ඡාවට ලක්කිරීමට සියලු පුරවැසියන් හට ඇති හැකියාව ක්‍රියාත්මක ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක මූලික කොන්දේසියක් වනවාය යන කරුණ ද ඔහු අවධාරණය කලා. සැබෑ ලෙසම ගත්කල අද අපහට මෙය නොමැතිවීම සැබවින්ම ඛේදවාචකයක්.

මේ රටෙහි සිදුවන දේ ගැන සලකා බලන විට සැබවින්ම අප අපටම සිහිපත් කරගත යුතු වන්නේ අප සමාජයක් ලෙස, පුරවැසියන් ලෙස මෙම රටෙහි වටිනා, අගයැති හා වැදගත් දේවල් ආරක්‍ෂාකර ගැනීමට නැවත ඇපකැප නොවේනම් අපට දේශප්‍රේමය, ජාතික යහපත හා මහජන යහපත යනාදිය පිළිබඳව කථා කිරීමට අයිතියක් නොමැති වන බවයි. අප ක්‍රියාකාරී වීම අවශ්‍යමය.

ජන ජීවිතයේ සියලු අංශවල හා තලවල දී අප හට මහත් පීඩාවක් වී ඇති දෙයක් වන්නේ දඬුවම් නොලබා වරද කිරීමේ සංස්කෘතියයි. ජිනිවාහී කාර්යසාධක කණ්ඩායමෙහි වාර්තාගතව ඇති බලහත්කාරයෙන් සිදුවන සහ ස්වේච්ඡාවෙන් නොවන අතුරුදහන් කරවීම් හී තවමත් වාර්තාවී ඇති ඉහලම සංඛ්‍යාව වන්නේ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සංඛ්‍යාවයි. පරීක්‍ෂණ කොමිසම හමුවට ඉදිරිපත් කරනු ලැබු සිදුවීම් දහසය සම්බන්ධයෙන්ම කිසිඳු ක්‍රියාමාර්ගයක්, මොනම ක්‍රියාමාර්ගයක්වත්, ගෙන නොතිබීම දැනටත් පවතින තත්ත්වයයි. කිසිම ප්‍රවෘත්තියකට විෂයක් නොවන උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමක් ද අපට තිබේ. අපගේ දිනපතා පුවත්පත්වල එයට පිටුවක පහලින්ම වන සඳහනක් පවා නොලැබේ. සමගිසංධානය (ප්‍රතිසන්ධානය) ජාතික ක්‍රියාදාමයක්, ජාතික උත්සාහයක්, ජාතික අවශ්‍යතාවයක් වියයුතු නම් වවුනියාවේ, කිලිනොච්චියේ හා යාපනයේ ඒ දුප්පත් කාන්තාවන් යුද්ධය පැවති කාලයේ දී හා යුද්ධයේ අවසන් කාලයේ දී තමන්ට සිදුවූ දේ විස්තර සහිතව කියමින් කල වැලපිල්ල, පලකල කම්පනය හා පීඩාව අප සැම දැනගත යුතුයි. අප සැම කියවිය යුතුයි. අප සැම දැකිය යුතුයි. එමෙන්ම එය ජාතික උත්සාහයක් විය යුතුනම් හා පාඩම් සැබවින්ම උගතයුතු නම් අප සැම එම සමගිසංධාන ක්‍රියාවලියේ නියැලිය යුතුයි. රජයේ නිලධාරීන්, ඇමතිවරුන් සහ ලොකු ලොක්කන් උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසමෙහි වාර්තාවන්හී ශිර්ෂාපාඨ ඩැහැගැනීම ප්‍රමාණවත් නොවේ. එම කාන්තාවන් තම කථාව කියා ඇත. එමෙන්ම තව බොහෝ වාර ගණනක් ඔවුන් තම කථාව කියනු ඇත. අප මෙම තුවාල සුවකොට ගතයුතු නම්, අප අපගේ දේශපාලන දේහය සහ සිවිල් සමාජය කාදමන පිලිකාව වන පීඩාවේ, හිංසාවේ සහ වෛරයේ දේශපාලනයෙන් ඉවතට ගමන්කල යුතු නම්, මේ රටේ අනෙක් පලාත්වල ගැහැනුන් සහ මිනිසුන් විසින් ඇහුම්කන් දිය යුත්තේ එම කාන්තාවන්ගේ වැලපිල්ලට, වේදනාවට සහ දුකටයි. අප මේවා ගැන සිතා බැලිය යුතුයි. එමෙන්ම ක්‍රියාත්මක විය යුතුයි.

වෘත්තීයමය බව නිසාම සාඩම්බර බවකින් යුතුවූ අපගේ රාජ්‍යසේවයට සිදුවූයේ කුමක්ද යන ප්‍රශ්ණය අප අපගෙන් අසාගත යුතුයි. එමෙන්ම වෘත්තියමය බව නිසාම ප්‍රෙෘඩත්වයකින් යුතුවූ විදේශ සේවාවකට සිදුවූයේ කුමක්ද යන ප්‍රශ්ණය ද අප අපගෙන්ම අසාගත යුතුයි. රටේ වඩාත්ම දූෂිත ආයතනය ලෙස පොලිස් සේවය පිළිබඳව ලෝක ව්‍යාප්ත ලෙස නොසිතනු ලැබූ යුගයට සිදුවූයේ කුමක් ද යන්න අප අපගෙන්ම අසාගත යුතුයි. මේ රටේ පුරවැසියන් ලෙස රාජ්‍යය සහ ආණ්ඩුව වෙනස්කොට සැලකීමට සමත් මෙන්ම ප්‍රායෝගික භාවිතය තුළද එම තත්ත්වය රඳවා ගැනීමට සමත්වන බවට සහතික කළ හැකි යුගයක් පිළිබඳව අප සිතිය යුතුවේ. මැතිවරණයක් යනු කිසිසේත්ම කොල්ල කෑමට දෙනුලබන බලපත්‍රයක් නොවේ.

මානව හිමිකම් සහ රාජ්‍යකරණය පිළිබඳව අවධානය යොමුකළ සිවිල් සමාජයේ අප එසේ කලේ අපරට එයට අත්කර ගැනීමට සියලු සුදුසුකම් ඇති මෙන්ම නිසැකවම අප සැම දෙනාම එසේ අත්කර ගන්නවාට කැමති සෞභාග්‍යය ලබාගැනීමට නම්, රාජ්‍ය ක්‍රියාකාරීත්වය සහ රාජ්‍ය ප්‍රතිපත්ති පදනම් විය යුත්තේ එම වටිනාකම් මතමය යන දැඩි හා නොසැලනසුළු විශ්වාසයකින් යුතුවය. අප සෑහෙන කාලයක් තිස්සේ එසේ කරමින් සිට ඇත්තේ ජයග්‍රහණයකින් තොරවම වාගේ වන නමුත්, එමනිසා කිසිලෙසකින් වත් අප අධෛර්යමත් වීමක් හෝ ඉදිරියට ගමන් කිරීම වැලැක්වීමක් සිදුනොවිය යුතුය.

සටන්විරාම ගිවිසුමක් පැවති අවධියෙහිදී සුනිලා, ජෙහාන් ඇතුළු අප කණ්ඩායමක් එක්ව ‛සාම සහයෝගීතා කණ්ඩායම’ පිහිටුවා ගතිමු. එහිදී අපගේ මූලික අරමුණ වූයේ මානව හිමිකම් හී වැදගත්කම පිළිබඳව වූ සාකල්‍යමය හැඟීමක් නොමැති වුවහොත් සාමය වැඩි කල් නොපවතිනු ඇති බවත්, එය සාධාරණ හෝ ප්‍රජාතාන්ත්‍රික සාමයක් නොවනු ඇති බවත්, සාම සාකච්ඡා පැවැත්වූ පාර්ශවයනට සිහිපත් කොට දීමය. ලහිලහියේ සාම සාකච්ඡා පැවැත්වූ සතාහීප් වෙත ගිය ගමන, ගුවන් යානයෙන් බැස කඩිනමින්, සවිස්තර සාම ගිවිසුමක් සඳහා වූ ඉල්ලීමක් ද සහිතවූ අපගේ ලියවිල්ල ද රැගෙන, පළමු සාම සාකච්ඡා වටය පැවති ස්ථානය වෙත ගිය ගමන පිළිබඳව වූ විචිත්‍ර මතකයන් තවමත් මා වෙත පවතී. අප මැතිවරණ සම්බන්ධයෙන් ඒවායේ අක්‍රමිකතා, ප්‍රචණ්ඩ ක්‍රියාවන් සම්බන්ධයෙන් කටයුතු කොට ඇත්තෙමු. දශක හතකට වැඩි කාලයක් පුරා වැඩිහිටි සර්වජන ඡන්දබලය පැවති රටක මෙසේ මැතිවරණ ක්‍රියාදාමයේ සුපිලිපන් බව අනතුරට ලක් කිරීම නම් වූ සුවිශේෂ ඛේදවාචකය පිළිබඳව අපි සන්තාපයට පත්වීමු. කෙසේ කුමක් සිදුවුවද ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයක තේරීම සහ වෙනස් කිරීම පිළිබඳව වූ මූලික යාන්ත්‍රණය මැතිවරණයි.

මේ රටේ රාජ්‍යකරණය සහ රාජ්‍යකරණ ආයතන අකර්මන්‍යව හා අබලන් බව ඇති බව මා කියන විට සංඛ්‍යාවෙන් බොහෝමයක් වූ මාගේ විවේචකයන් මාවෙත සුවිශේෂ අවධානයකින් යුතුව ක්‍රියාත්මක වෙති. මා ඔවුනට පෙරලා අභියෝග කරන්නෙමි. මේ රටේ එවැනි ආයතනයක් ක්‍රියාත්මක වියයුතු යයි අදහස් කරනු ලබන ආකාරයට ක්‍රියාත්මක වන එක් ආයතනයක් හෝ ඇත්නම් එය නම්කරන්න. ව්‍යවස්ථා සංශෝධනයට පෙර පැවති මැතිවරණ ව්‍යාපාරයන් දෙකකදී, ජාතික මැතිවරණ ව්‍යාපාරයන් දෙකකදී, කිසිදු සඳහනක් සිදු නොකරනු ලැබ, චාරිත්‍රානුකූලව 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගනු ලැබිනි. එහි ප්‍රතිඵලයක් ලෙස අපට ලැබී ඇත්තේ කුමක්ද? ප්‍රායෝගික ලෙස ගත්කල යාවජීව වන විධායකයක් දැන් අපට ඇත. ඒ පිළිබඳව යමක් කරනු පිණිස අපගේ සහෝදර පුරවැසියන්ගේ සිත්හී ප්‍රමාණවත් උද්වේගයක් ජනනය කිරීමට සිවිල් සමාජය ලෙස අප අසමත් වූයෙමු. රාජ්‍යකරණය, ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් පිළිබඳව වූ ප්‍රශ්ණයන් – අපට සෘජුවම බල නොපාන්නේ නම් – කිසිඳු ආකාරයක ජනතා ක්‍රියාකාරීත්වයක් සඳහා අවදිකිරීමක්, පෙලඹවීමක් සිදු නොකරන බව අපට නිරතුරුවම කියාදෙනු ලැබේ. නමුත් මා මෙය කිසිසේත්ම පිලිනොගනිමි. එක්කෝ අප රටේ රාජ්‍යකරණය හා මානව හිමිකම් පිළිබඳව වූ අභියෝගයට මුහුණ දීමට අප කැපවිය යුතුය. නැත්නම් අපට අපගේ මූලික නිදහසවල් අහිමිකරවන ඒක පුද්ගල පාලනයකට මුහුණදීමට සිදුවනු ඇත. එහිදී සාකච්ඡාවන් නොපවතිනු ඇත. ඒ වෙනුවට පවතිනු ඇත්තේ ආඥාවන්ය.

මා මේ කරන අවධාරණය සිදු කරන්නේ ඔබ මා වෙත පිරිනමා තිබෙන්නේ පුරවැසි සාම සම්මානයක් ය යන කරුණ පිළිබඳව මා ඉතාමත් තියුනු ලෙස සවිංඥානක වන නිසාය. මා මේ කරුණු අවධාරණය කරන්නේ අපවටා සෑම දෙසින්ම සෑම සමාජ ස්ථරයන්ටම අයත් වන අය, ජනජීවිතයේ විවිධ අංශයන් හා තලයන් හීදී ඒක පුද්ගල පාලනයට හා අධිකාරීවාදයට එරෙහිව නැගී සිටිමින් ධෛර්ය සම්පන්න හුදකලා ක්‍රියාවන් හී නිරත වීම දකින අය, ඔබ රටේ බොහෝ දේවල් අර්බුධයකට ලක්ව තිබෙනවා නම් ඊට එරෙහිව විරෝධය පෑමක් නැත්තේ ඇයි? රජයට වෙනස්වීම සඳහා යම් පීඩනයක් එල්ල කරන ජනතා නොඑකඟතාවය ප්‍රකාශ කිරීම් නැත්තේ ඇයි? යනුවෙන් නිතරම අසන නිසාය. ජන සමුහය වෙනස්කල හැකි ජනතා ව්‍යාපාරය තිබෙන්නේ කොහේද?

අවාසනාවකට මෙන් ඒ සඳහා සූදානම් කල උත්තරයක් මා සතුව නැත. එහෙත් මට ඔබහට කීමට අවශ්‍යයයි, අවුරුදු බොහෝ ගණනකට පෙර – ඇත්තෙන්ම සියවස් තුනකට පෙර, මොන්ටෙස්ක්‍යූ මෙම කරුණ සඳහන් කලා. එම කරුණ සරල දෙයක් : “ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක පුරවැසියාගේ උදාසීනකම නිසා මහජන යහපතට සිදුවන අනතුර තරම් අනතුරක් බලවත් ඒකාධිකාරී පාලකයෙකුගේ කුරිරුබව නිසාවත් සිදු වන්නේ නෑ”. බ්‍රුන්ඩයිස් විනිසුරුවරයා ප්‍රකාශ කළ කරුණක් වන්නේ වඩාත්ම වැදගත්වන දේශපාලන තනතුර වන්නේ ‛පුද්ගලික පුරවැසියා’ යන තනතුර බවයි. එහෙත් දිගින් දිගටම සිතමින් කාලය නාස්ති නොකරමු. කවර හෙයින්ද යත් අපට එසේ කිරීමට අභිරුචියක් පවතින නිසාය. පසුගිය අවුරුදු වලදී නීමෝලර් දේවගැතිවරයා නිතරම උපුටා දැක්වනු ලැබුවා. එහෙත් ඔහු කීමට උත්සාහකල ප්‍රධාන පණිවිඩය සිතට ගත්තේ ඉතාම සුළු පිරිසක්. එය මෙසේ කිව හැකිය. යම් වර්ගයක ජන කණ්ඩායමක් සොයා ඔවුන් පැමිණි විට එම කණ්ඩායමට අයත් නොවූ යම් පුද්ගලයකු එය නොතකා සිටියා. ඉන්පසු වෙනස් ජන කණ්ඩායම් ගණනාවක් සොයා ඔවුන් පැමිණෙත්දීත් ඔහු එම කණ්ඩායම් වලට අත්වූ ඉරණම නොතකා සිටියා. අවසානයේ ඔහු තනිවුනා. ඊලඟට ඔවුන් පැමිණියේ ඔහු සොයාගෙනයි. එවිට ඔහු බේරා ගැනීමට කිසිවෙකුත් ඉතිරිව සිටියේ නෑ.

එබැවින් මිත්‍රවරුනි, මේ සම්මානය පිලිගැනීමේ කථාව අවසන් කරමින් ඔබෙන් මෙම ආයාචනය කිරීමට මාහට ඉඩ දෙන්න. එම හොඳ රාත්‍රිය වෙත ශාන්ත ලෙස නොපිවිසෙන්න. ආලෝකය නිවී යෑම නැවැත්වීම සඳහා හැකි සියලු වෙර දරන්න.

ස්තූතියි