ලාංකීය සමාජීය සැකැස්ම බහු වාර්ගික, බහු ආගමික ස්වරූපයක් තමයි ගන්නෙ. විවිධ ජනකණ්ඩායම් වල අවශ්‍යතාවයන්, උනන්දූන් ප්‍රධාන දේශපාලන ධාරාව ඇතුලෙ නියෝජනය වෙන්නෙ නැතිවුණාම යම් ආකාරයක අර්බුද එනවා. නිදහසින් පස්සෙ පශ්චාත් යටත් විජිත රාජ්‍ය සැකැස්ම විවිධ ජාතීන්ගේ උනන්දූන් සන්තර්පනය නොවුණ සන්දර්භයක් ඇතුළෙ සුළු ජන කොටස් ජාතික දේශපාලනයෙන් බැහැර වීමක් දකිනවා.
පහුගිය අවුරුදු 30 කාලය ඇතුළත මෙලෙස ජාතික දේශපාලනයෙන් බැහැර වෙච්ච කොටස් ශ්‍රී ලාංකීය රාජ්‍යයට යම් කිසි විදියකට සන්නද්ධව තර්ජනයක් එල්ල කලා. එම තර්ජනය දකුණේ දේශපාලනය විසින් මර්ධනය කරලා ඉවර වෙලා අද තාවකාලික සාමයකට ඇවිල්ලා ඉන්නවා. සුළු ජනයා අතර ප්‍රශ්නයක් නෑ, ඒ අයගේ දේශපාලන ප්‍රශ්න, ජාතික අනන්‍යතාවයන් බැහැර කරලා ඉවර වෙලා කිසියම් විදිහකට ඒ අයගේ අවශ්‍යතාවයන් සන්තර්පණය නොවන තැනක ඉඳලා පාලනය ගෙනියන්න අපි කල්පනා කරනවනම් ඒක ඉතාමත්ම බොළඳ තිරණයක්.
වඩාම වැදගත්ම කාරණාව තමයි යුද්ධය ඉවර වෙලා දැන් මේකට දේශපාලන විසඳුමක් අවශ්‍යයි කියන තැන ඉන්නවා. යුද්ධය යන කාලය පවා මේ පිළිබඳ විවිධ සාකච්ඡාවන්, විවිධ දේශපාලන යෝජනා තිබුණා. කොටසක් මේකට ෆෙඩරල්වාදයේ විසඳුමක් ඕනෙ කිව්වා. සමහර අය අර්ධ ෆෙඩරල් විසඳුමක් අවශ්‍යය, පළාත් සභා හරහා බලය විමධ්‍යගත කිරීම් වගේ යෝජනා ආවා.
සමහර සිංහල බෞද්ධ අන්තවාදීන් කිසිසේත්ම බලයක් ලබා දෙන්න ඕනෙ නෑ, මෙතන ප්‍රශ්නයක් ඇත්තෙම නෑ කියන අදහසේ හිටියා. ඒ වගේම සමහර දෙමළ දේශපාලන පක්ෂ ඒ අය ස්වාධීන රාජ්‍යයක් අවශ්‍යයි කියන තර්කනය අරන් ආවා.
මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් තියෙන්නෙ විවිධ කතිකාවන්. මෙම කතිකාවන් මූලික වශයෙන්ම ස්ථානගත වෙලා තියෙන්නෙ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලෙ. කවුරුහරි විශ්වාස කරනවානම් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලෙ මෙම ප්‍රශ්නය විසඳගන්න පුළුවන් කියලා මං හිතන්නෙ නෑ ඒක කරන්න පුළුවන් කියලා. මොකද ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්ණය මං හිතන විදිහට හුදු ජනවර්ග අතර තියෙන ප්‍රශ්නෙකට වඩා මේ ප්‍රශ්නය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය මේ රටට උරුම කරලා තියෙන ප්‍රශ්නයක්.
1931දී සර්වජන ඡන්ද බලය ලැබුණායින් පස්සෙ එක පුද්ගලයෙක්ට එක ඡන්දයක් ලබාදෙන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ගොඩනැගෙනවා. ඊට පස්සෙ රටේ සුළු ජාතිය, මහ ජාතිය කියන මූලික බෙදීම ඇතිවෙනව. වැඩි ජනගහනයක් ඉන්න ජාතියට වැඩි බලයක් පාර්ලිමේන්තුව තුළ ලැබෙන්න ගන්නවා. මෙන්න මේ බහුතරයේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළෙ තමයි සුළුතරයක් ගොඩනැගෙන්නෙ. ඒ නිසා මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළෙ මේ ප්‍රශ්නය විසඳගන්න යනවා නම් ඒක තාවකාලික පැලැස්තරයක් විතරයි.
දෙමළ දේශපාලන පක්ෂ ගත්තත්, දකුණේ දේශපාලන පක්ෂ ගත්තත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ඇතුළෙ තමයි මේ ප්‍රශ්නය විසඳගන්න ඕනෙ කියන එක ස්ථානගත කරලා තියෙන්නෙ. මං හිතන්නෙ මේ වැරදි තැනෙන් අල්ලගෙන තියෙන්නෙ. මේක ඇතුළෙ වෙන්නෙ එකිනෙකා ඇතුළෙ කේවල කිරීමක්. දෙමළ පක්ෂ කියනවා අපිට වැඩිපුර බලතල අවශ්‍යයි, දකුණෙ ඉන්න බහුතර සිංහල සංයුතියක් තියෙන පක්ෂ කියනවා එහෙම දෙන්න බෑ, අපියි මහ ජාතිය කියලා. මේ කේවල් කිරීම් වෙන්නෙ සංඛ්‍යාව උඩ. මේ සංඛ්‍යාව ගොඩනැගිලා තියෙන්නෙ මූලික වශයෙන්ම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුළෙ. ස්ථීරසාර විසඳුමකට යන්න ඕනෙ නම් මෙන්න මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් ඔබ්බට ගිහින් විසඳුමකට අපිට යන්න වෙනව.
පොදුවේ දකුණේ ප්‍රභූ දේශපාලනයත්, උතුරේ ප්‍රභූ දේශපාලනයත් සාමාන්‍ය ජනයා මගහරිමින් මේ අය තමන්ගේ තලවලදි යම් යම් විසඳුම් ලබා ගන්න උත්සාහ ගන්නවා. දෙමළ ප්‍රභූ දේශපාලනය බලන්නෙ ඒ අය කොහොමද තමන්ගෙ දේශපාලන බලඅධිකාරිය සාමාන්‍ය ජනතාව මත පවත්වගෙන යන්නෙ කියන එක. ආණ්ඩුවත් බලනවා තමන්ගේ දේශපාලන අධිකාරිය දෙමළ ජනතාව මත පවත්වාගෙන යන්නෙ කොහොමද කියන කාරණය. මේ අධිකාරී දෙක ඇතුළෙ විතරයි කිසියම් විදිහක සාකච්ඡාවක් තියෙන්නෙ. ඉස්සර ඉඳලම මේක තිබ්බා. බණ්ඩාරනායක චෙල්වනායගම් එක්ක ගිවිසුමක් ගහන්න ගියා. නමුත් සාමාන්‍ය ජනතාවගේ දේශපාලන බලාපොරොත්තු ඉෂ්ට වෙන තත්ත්වයක් නෙමෙයි මෙතන තියෙන්නෙ. ඉදිරියටත් ටී.එන්.ඒ එක්ක ආණ්ඩුව සාකච්ඡා කරයි. මේවායින් සාමාන්‍ය දෙමළ ජනයාට වෙනසක් වෙන්නෙ නෑ. මෙතන වෙන්නෙ ආණ්ඩුවෙ දේශපාලන අධිකාරිය පවත්වාගෙන යන එකට දෙමළ සන්ධානය විරුද්ධයි. දෙමළ සන්ධානයට අවශ්‍යයි තමන්ගේ දේශපාලන බලඅධිකාරිය පවත්වගෙන යන්න.
එක පැත්තකින් උතුරෙ ජනයාගේ කැමැත්ත දිනාගන්න පුළුවන් පක්ෂයක් අද නැහැ. දකුණෙත් එහෙමයි. ඇත්තටම ලංකාවේ දේශපාලන පක්ෂ ගත්තම අතිශය ජාතිකවාදී තලවල තමයි මේ දේශපාලන පක්ෂ තියෙන්නෙ. උතුරෙ දෙමළ අය නියෝජනය කරන පක්ෂ බැලුවත් සාමාන්‍ය ජනයා මත ඒ අයගෙ දේශපාලන බලය පවත්වගෙන යන්න පුළුවන් සැලසුම් තමයි ඒ අය ක්‍රියාත්මක කරන්නෙ. දකුණේ දේශපාලනය ගත්තත් හුදු සිංහල බෞද්ධ ජනයා මත දේශපාලන බලඅධිකාරය පවත්වගෙන යන්න පුළුවන් තත්ත්වයක් තමයි තියෙන්නෙ. ඒ හින්දා මං හිතන්නෙ විශාල හිඩැසක් තියෙනවා. මේ තියෙන පුළුල් අවකාශය මං හිතන්නෙ පුරවන්න පුළුවන් යම් දේශපාලන දර්ශනයක් එක්ක වැඩකරන්න පුළුවන් ව්‍යාපාරයක් අපට අවශ්‍යයි.
උතුරේ සහ දකුණේ ජනයා බහුතරයක් ඉන්නෙ ගොවීන්. මේ අය තමන්ගෙ ප්‍රශ්න විසඳගන්න නම් තමන්ගෙ පන්ති හරහා මේ ප්‍රශ්නෙ හිතන්න ඕනෙ. පන්තිය කියන සාධකය තමයි වැදගත්. දකුණේ සහ උතුරේ තියෙන ලිබරල් දක්ෂිණාංශික දේශපාලනය මේක මතුකරන්නෙ නෑ. එසේ නම් කළ යුතු කාරණාව තමයි උතුරේ සිටින ජනතාවත්, දකුණේ ඉන්න ජනතාවත් තමන්ගේ වාර්ගික හා සංස්කෘතික අනන්‍යතාවයෙන් ඔබ්බට ගිහිල්ලා පන්ති දැක්මක් යටතේ මේ ප්‍රශ්නය තේරුම් අරගෙන මේ සම්බන්ධයෙන් කිසියම් ආකාරයකට සමාජ ව්‍යුහාත්මක වෙනසක් ඇති කිරීම සඳහා පෙළගැසීම.
ආචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා
සමාජ විද්‍යා අධ්‍යනාංශය, කොළඹ විශ්ව විද්‍යාලය.
(සාකච්ඡාවක් ඇසුරිණි)