end of the War, Featured Articles, Features, Jaffna

සුභාෂ් හෝටලය සහ කෝපායි සොහොන


ෙකා්පායි ෙසාෙහාන් භූමිය(දැන් විනාශ කර අැ


සුභාෂ් ෙහා්ටලය – This Photo by – http://www.defence.lk/new.asp?fname=20110318_03

යුද්ධයෙන් පසු උතුරේ වසන්තයක් ගැන සුභ සිහින දකින්නන් බොහෝදෙනෙක් අමන්දානන්දයට පත්කරන සිදුවීමක් පසුගිය දවසක සිද්ධ වුණා. ඒක තමයි ලංකාවේ යුද්ධ හමුදාව විසින් සුභාෂ් හෝටලය නැවත අයිතිකරුවන්ට භාරදීම. යුධ හමුදාව විසින් මෙම හෝටලය තම යටතට ගත්තේ 1995 දෙසැම්බර් මාසේ. එතැන ඉඳලා අද දක්වා අවුරුදු 16 ක් මේ හෝටලේ තිබ්බෙ යුධ හමුදාවේ 51 වෙනි සේනාංකයේ මූලස්ථානය විදිහට.

වසන්තය පැමිණ ඇත

යුද්ධයෙන් පස්සෙ මුළු උතුරටම තිබ්බ ප්‍රධාන ගැටළුව වුණේ අවුරුදු 15කින් විතර සුභාෂ් හෝටලයෙන් කෑමක් ගන්න බැරි වුණ එක. ඒ ප්‍රශ්නෙත් දැන් ඉවරයි. තමන්ගෙ අතුරුදහන් වූණු දරුවාව හොයලා මහන්සි වුණු අම්මා කෙනෙකුට මීට පස්සෙ පිපාසයෙන් ගෙදර යන්නට ඕනෙ නෑ. සුභාෂ් හෝටලය තියෙන හින්දා බීම වීදුරුවක් බීලා තමන්ගෙ දුක සහ වෙහෙස නිවා ගන්න පුළුවන්. සත්තකින්ම උතුරට වසන්තය ඇවිල්ලා. උතුර මිලටරීකරණය වෙලා කියලා කෑගහන අයට මේවා හොඳ පාඩම්. පවුලෙ කට්ටිය එක්ක ඊළඟ පාර යාපනේ ගියාම මමත් සුභාෂ් හෝටලේට යන්න ඕනෙ. දකුණේ ගෙදරක ඉඳලා රූපවාහිනියෙන් ප්‍රවෘත්ති බලන පුද්ගලයෙක් මේ විදිහෙ සිහින දකින්න ඉඩ තියෙනව.

යුධ හමුදාව කොහේ ගියාද?

නමුත් ගැටළුව වෙන්නේ, සුභාෂ් හෝටලයට වසන්තය උදාකරමින් පසුබැස්ස 51 මූලස්ථානය කෝපායිහි එල්.ටී.ටී.ඊ සමූහ සොහොනක් තම වාසස්ථානය විදිහට තෝරා ගැනීම. යුද්ධය කාලය තුළ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් තම මිය ගිය සගයන්ගේ සිරුරු තැන්පත් කිරීම සඳහා සැකසූ සාමුහික සොහොන් අතරින් කෝපායි සොහොනට ප්‍රධාන තැනක් හිමිවුණා. මේ වගේම තවත් ප්‍රදේශ කිහිපයක මෙවැනි සමූහ සොහොන් තිබුණා. 51 සේනාංකයේ නව මූලස්ථානය ඉදි වූණේ කෝපායිහි සොහොන් කොත් විනාශ කරලා. සතුරාට පවා මෛත්‍රී කළ යුතුය යනුවෙන් දිව්ර දිව්රා කෑගසන දකුණේ සමාජයට මේ සිදුවීම හුදෙක් හම්බන්තොට ක්‍රිකට් ක්‍රීඩාංගනය සඳහා කැලෑව එලිකිරීමට සමාන වෙලා තියෙන එක ගැටළුවක්.

දකුණේ අපි සහ උතුරේ උන් මෙම සාමුහික සොහොන් හදලා තියෙන පිළිවෙල සහ අලංකාරය දකිනකොට, සත්‍ය වශයෙන්ම මිය ගිය උන්ට එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් සැබෑ ගෞරවයක් ලබා දීලා තියෙනව කියලා හිතෙනවා. එල්.ටී.ටී.ඊ සංවිධානය කොතරම් ත්‍රස්තවාදී යැයි කිව්වත් මරණය සඳහා ඔවුන් දීලා තිබුණ වටිනාකම මෙම සොහොන් වලින් මනාවට ඔප්පු වෙනව. ඉදිකලාට පස්සෙ ඒකෙ පැවැත්ම ගැන කිසිදු වැඩපිළිවෙලක් නැති දකුණේ ස්මාරක සමග සසඳන කොට මේ සොහොන් ඉතා පරස්සමෙන් පවත්වාගෙන ගිහිල්ලා තියෙන බව පේනවා. දකූණේ සමාජයට අඥාත සාමුහික මිනීවලවල් හොඳින් හුරුපුරුදු වුණාට, මේ වගේ සොහොන් සම්බන්ධයෙන් තියෙන ආගන්තුකභාවය පාර්ලිමේන්තුව ආසන්නයේ ඉදිකරලා තියෙන ‛අහිංසකයන්ගේ ආරාමය’ වගේ ස්මාරක වල්වැදිලා තියෙන හැටි දැක්කාම පේනවා. ඉතින් එහෙම පිරිසක් කෝපායි ගැන හිතන ආකාරය ගැන මොන කතාද?

කෝපායි හුදෙක් ත්‍රස්තවාදීන්ගේ සොහොනක් විතරයි කියලා යුධ හමුදාවට සහ අනෙකුත් පාර්ශවයන්ට හිතෙනවා ඇති. සතෙක් වුණත් වල දැම්මට පස්සෙ මල් ගසක් හිටවන එක දකුණේ චාරිත්‍රයක්. ඉතින් ඒවගේ සංස්කෘතියක් කරතබාගෙන ජීවත් වෙන දකුණට මේ සොහොන හුදෙක් කැලෑවක් පමණක් වීම තුළින් කොපමණ පිරිහීමකට මානුෂිකත්වය පත්වෙලාද කියලා හිතෙනව.

සංහිදියාව ගැන පාරම්භාන, උතුරෙ වසන්තයක් ගැන කෑ ගසන අයට නොපෙනන පැත්ත තමයි උතුරේ අද ජීවත්වන බහුතරයකගේ දරුවන්, නෑදෑයින් මෙම සමූහ සොහොනෙ ඉන්නවා කියන එක. ඔවුන් මෙතෙක් කල් මේ සොහොනේ දැක්කෙ තම සහෝදරයාගේ, නෑදෑයාගේ, දරුවාගේ මතකය මිසක් ඔවුන් එල්.ටී.ටී.ඊ ද නැද්ද කියන එක නෙමෙ. යුධ හමුදාව තම මූලස්ථානය හදන්නෙ උතුරේ මෙම මතකයන් උඩ, ඒ මතකයන් වල උණුසුම පහවෙන්නත් කලින්. මීට පස්සෙ උතුරේ වැසියාට ඉතිරි වෙලා තියෙන්නෙ 51 වෙනි සේනාංකයේ මූලස්ථානය දිහා බලාගෙන හූල්ලන එක විතරයි.

සුභාෂ් හෝටලය සහ කෝපායි සොහොන

සුභාෂ් හෝටලයෙන් හමුදාව ඉවත් කිරීම තුළින් බලාපොරොත්තුවන අරමුණු කීපයක් තියෙනව. ආණ්ඩුවේ ප්‍රධාන අවධානය යොමුකරල තියෙන සංචාරක ව්‍යාපාරය්දී, සංචාරක කලාපයක් විදිහට යාපනය හා අවට ප්‍රදේශයට ප්‍රධාන ස්ථානයක් හිමිවෙනව. යාපනය නරඹන්න එන සංචාරකයො බංකර් ඇතුළෙ හරි පැල්පත් ඇතුළෙ හරි නවාතැන් ගන්න කැමති වෙන්නෙ නැහැ. ඒක හින්දා ආණ්ඩුවට යාපනය විකුණලා මුදල් හම්බකරන්න සුභාෂ් හෝටලයේ යහපැවත්ම අත්‍යවශ්‍යයි. අනික තමයි, මානව හිමිකම් සම්බන්ධයෙන් ලංකාව දැඩි අර්බුදයකට මුහුණ දීලා තියෙන මේ වෙලාවෙ මිල්ටරීකරණය සම්බන්ධයෙන් පවතින චෝදනා සඳහා මුහුණ දෙන්න, සුභාෂ් හෝටලයෙන් හමුදාව ඉවත් කිරීම ප්‍රබල සාක්ෂියක් වෙනව.

සුභාෂ් හෝටලයෙන් හමුදාව ඉවත් කිරීමෙන් උතුරේ සාමාන්‍යවැසියාට සහනයක් වෙනව කියන එක සැකසහිතයි. මොකද ඒ වගේ හෝටලයක සේවාව ලබා ගන්න තරම් ආර්ථික ශක්තියක් සාමාන්‍ය වැසියාට නැහැ. මිල්ටරීකරණය අවම කිරීමට හිතනව නම් ආණ්ඩුව කරන්න ඕනෙ, අඩියක් පාසා තියෙන චෙක් පොයින්ට් ඉවත් කරන එක. මොකද තාම උතුරේ සාමාන්‍ය ජනතාවට රාත්‍රී 8න් පස්සෙ නිදහසේ ගමන් කරන එක මේ චෙක් පොයින්ට් වලින් වලක්වන හින්දා. මේ තත්වයන්ගෙන් පැහැදිලි වෙන්නේ ආණ්ඩුවේ වෙළඳ වුවමනාවට සහ දේශපාලන වුවමනාවට සුභාෂ් හෝටලය මතවාදීමය චිත්‍රයක් විදිහට භාවිතා කරනවා කියන එක.

ආණ්ඩුවේ ඕනෑම වුවමනාවකට සුභාෂ් හෝටලයෙන් හමුදාව ඉවත් කලාට කමක් නැහැ. ගැටළුව වෙන්නේ මේ විදිහට ඉවත් කරන හමුදාව ස්ථාපිත කරන්නේ සාමාන්‍ය වැසියාගේ දයාබර මතකයන් පිරුණු කෝපායි භූමියේ. ඒක හින්දා අපි ඔවුන් වෙනුවෙන් මේ විදිහට කියනව.

සුභාෂ් හෝටලය නුඹලාම තියාගන්න. ඔවුන්ට ඔවුන්ගේ මතකයන් දෙන්න. මොකද සුභාෂ් හෝටලයේ මිල අධික රස කෑම වේලකට වැඩිය ඔවුන්ට ඔවුනගේ මතකයන් වටින හින්ද.