සිංහල, Colombo, Democracy, Economic issues, Human Rights, Media

ක්‍රිකට් ‛ටිකට් මාෆියාව’

ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය සඳහා මෙවර සත්කාරකත්වය දරන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශයයි. ශ්‍රී ලංකාවේ පවත්වන තරඟ සඳහා ප්‍රවේශපත්‍ර විකිණීමේ හිමිකාරිත්වය දරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයයි. ඉන් අදහස් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හැර සෙසු කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට තරඟ සඳහා ප්‍රවේශ පත්‍ර විකිණීමේ කිසිදු අවසරයක් නොමැති බවයි.

නමුත් අහම්බෙන් හෝ ඔබට ශ්‍රී ලංකාවේදී පැවැත්වුණ දෙවන වටයේ තරඟයට හේ අර්ධ අවසාන පූර්ව තරඟයට ප්‍රවේශ පත්‍ර වුවමනා වූයේ නම් ඔබත් මේ සිදුවීමට මුහුණ දෙන්නට ඇත. තරඟය පැවැත්වෙන සහ ඊට පෙර දිනයේදී කලින් නියමිත මුදල ගබා ගත් ප්‍රවේශ පත්‍ර වෙන්දේසියේ විකිණෙයි. එහිදී විකිණෙන්නේ ප්‍රවේශ පත්‍ර එකක් දෙකක් නොවේ. මහා පරිමාණයෙනි. මෙහිදී රුපියල් 300 ප්‍රවේශ පත්‍රය විකිණෙන්නේ රුපියල් 3000ත් 5000ත් අතරය. රුපියල් 500යේ ප්‍රවේශ පත්‍රය රුපියල් 5000ත් 7000ත් අතරය. අර්ධ අවසාන පූර්ව තරඟයට පෙර දින ප්‍රවේශ පත්‍රයක් සොයමින් සිටියෙදී මට රුපියල් 2000ට මිල දී ගත් ප්‍රදේශ පතක් රුපියල් 12000කට හමු විය. මා එය මිලදී නොගත්ත ද එම මිලට වෙනත් අයෙකු එය මිලදී ගත් බව මට විශ්වාසය.

මින් මතු වන ගැටඑ දෙකක් ඇත. එකක් නම් ලෝක කුසලාන තරඟාවලිය ශ්‍රී ලංකාව වැනි රටක පැවැත්වීමට මූලික වන කාරණා වලින් ඔබ්බට ගොස් ක්‍රිකට් මාෆියාවත් ඇති වීමයි. සැබෑවටම ක්‍රිකට් වලට ආදරය කරන ක්‍රීඩකයන්ට වන්දනීයව සලකන සාමාන්‍ය ජනතාවට රුපියල් 3000කට ටිකට් පතක් කෙසේ මිලදී ගත හැකිද? රුපියල් 12000ක් ගෙවා ප්‍රවේශ පතක් මිලදී ගත හැක්කෙකු වෙනම් ඔහුට හෝ ඇයට එංගලන්තයට ගොස් ක්‍රිකට් තරඟයක් නැරඹිය හැකි බව මගේ විශ්වාසයයි. නැතිනම් ඉන්දියාවට ගොස් අවසාන මහා තරඟය නැරඹිය හැකියි. එසේ කළ නොහැකි, ක්‍රිකට් තරඟයක් ඇස් දෙකෙන් බලා සතුටු වන්නට පෙරුම් පුරන කොල්ලන්ට කෙල්ලන්ට ඒ අවස්ථාව අහිමි වන්නේ මේ ටිකට් මාෆියාව නිසාය.

අනෙක නම් රුපියල් 12000කට ක්‍රිකට් බලන ජනතාවක් අපේ රටේ සිටී නම් ඒ මුදල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබිය යුතුය. එම ලාභයෙන් ග්‍රාමීය පාසල් වල ක්‍රිකට් සංවර්ධන කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වැඩ පිළිවෙළක් සකස් කළ හැකිය. නමුත් සිදු වූයේ ප්‍රවේශ පතේ සැබෑ වටිනාකමට පස් ගුණයක් වැඩියෙන් අතරමැදියන් විසින් ලාභ ලැබීමයි. මෙම කතාවේ අතර මැදියන්ද කිහිප දෙනෙක් සිටිති. රුපියල් 300ට ගන්නා ටිකට් පත රුපියල් 3000 ට විකිණෙන්නේ සිවු වන අතරමැදියා අතිනි. ප්‍රධාන පෙලේ මුල්‍ය ආයතනයක සේවය කරන පුද්ගලයෙක් මේ ආකාරයට ප්‍රවේශ පත් විකුණා රුපියල් ලක්ෂ 3කට අධික ලාභයක් ලැබූ බව මගේ මිතුරෙක් පැවසීය.

දෙවන වටයේ තරඟය නැරඹීමට ගොස් ත්‍රී රෝද රථයෙන් බිමට බට විගසම අපව වට කර ගත් මෙවැනි ජාවාරම්කරුවන් රුපියල් 500යේ ටිකට් පත රුපියල් 6000ට මිලදී ගත හැකි බව පැවසුවේ පොලිස් හි සෙසු ආරක්ෂක නිලධාරීන් සියඑ දෙනාම ඉදිරිපිටය. ඉතින් මේ අසාධාරණය නීතිය රකින්නො නොදනිත් යැයි අප විශ්වාස කරන්නේ කෙසේද?

මෙම ප්‍රවේශ පත් කලු කඩ වල ඕනෑ තරම් ඇත. නමුත් එක් හැඳුනුම් පතකට නිකුත් කරන්නේ ටිකට් පත් 4ක් පමණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නීතියක් පනවා තිබුණි. එය හරිආකාරව ක්‍රියාත්මක වූවා නම් මෙවැනි කලු කඩ ඇරෙන්නේ නැත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවැරදිව ප්‍රවේශ පත් නිකුත් කිරීම සිදු කළා නම් ඕනෑම ටිකට් පතක් මිලදී ගත් පුද්ගලයා කවුරුන් දැයි සෙවිය හැකි විය යුතුය. එසේ වූවා නම් මෙම ටිකට් මාෆියාව මෙතරම් ජයට කෙරෙන්නේ නැත. එම නිසා අවාසානාවකට හෝ අපට සිතීමට ඉතිරිව ඇත්තේ මේ මාෆියාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ පුද්ගලයන් ගේ කුමන හෝ සම්බන්ධයක් ඇති බව නොවේද?

මැණිකේ
2011/03/28