සුප්‍රසිද්ධ 9/11 ප්‍රහාරය විසින් සුජාත කරන ලද ඊනියා ‛ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය’ ඉරාකය, ඇෆ්ගනිස්ථානය පසුකර භූගෝලීයව පමණක් නොව, සංකල්පීයව ද පැමිණ ඇති දුර මැනගැනීමට අවශ්‍ය කදිම මිනුම්දඬු මේ මොහොතේ සපයමින් සිටින්නේ ලිබියාව යි.
දශක හතරකට වැඩි ලිබියානු නායක ගඩාෆිගේ පාලනයට එරෙහිව අරගල කරන ජනතාව ලිබියානු නායකයා විසින් ‛ත්‍රස්තවාදීන්’ ලෙස හංවඩු ගසා ඇත. ඔහු සිය ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට එරෙහිව වීදිබැස සිටින තමන්ගේම රටවැසියන්ට එරෙහිව ගුවනින් පවා ප්‍රහාර එල්ල කරයි. මේ සන්නද්ධ මෙහෙයුම් ගඩාෆි ද හඳුන්වන්නේ ‛ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය’ නමිනි.
ඊළඟට රටේ පාලකයාට එරෙහිව සටනට බට රටවැසියන්ට එරෙහිව හමුදා ප්‍රහාර එල්ලකිරීමේ ගඩාෆි පිළිවෙත ‛ත්‍රස්තවාදයක්’ ලෙස හඳුන්වමින් ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ප්‍රංශය ගඩාෆිගේ හමුදාවට එරෙහිව හමුදා ප්‍රහාර එල්ලකරමින් සිටී. ගඩාෆිට අනුව සිය පාලනයට එරෙහිව සටනට බට තමන්ගේම රටවැසියෝ ‛ත්‍රස්තවාදීහු’ වන අතර, ඔවුන්ට එරෙහි සටන ‛ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය’ වෙද්දී, ඇමරිකාව ප්‍රමුඛ රටවලට අනුව ලිබියානු වැසියන්ට හමුදා ප්‍රහාර දෙන ගඩාෆි ‛ත්‍රස්තවාදියා’ වී කැරලිකාරී ජනයාට ප්‍රහාර එල්ල කරන ගඩාෆි හමුදාවට බැටදීම ‛ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය’ වෙයි. එකවිට ඛේදජනක ද, විසුළුකාරී ද වන මේ ක්‍රියාවලියේ අවසානය කුමක්දැයි නුදුරේදී ම දැකගත හැකිවනු ඇතත්, ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ දශකයක ගමන්මඟේ ගති සොබාව නම් ඒ ආකාර ය.
‛ත්‍රස්තවාදය පරාජය කිරීමට අදාළ ශ්‍රී ලාංකේය අත්දැකීම්’ ජාත්‍යන්තරය සමඟ බෙදාහදාගන්නට ශ්‍රී ලංකා ආණ්ඩුව තීරණය කර ඇති අවස්ථාවේ පවතින ලෝක දේශපාලනයේ දෛවෝපගත, සරදම් සහගත, විසුළුකාරී ස්වභාවය මෙබඳු ය.
‛‛ත්‍රස්තවාදය පරාජය කිරීම – ශ්‍රී ලාංකේය අත්දැකීම්’’ නම් සම්මන්ත්‍රණයට රටවල් 54ක් නිලවශයෙන් ආරාධනා ලබාඇති බව ප්‍රකාශිතය. සම්මන්ත්‍රණය මේ වසරේ මැයි 31වැනිදා සිට ජුනි 02වැනිදා දක්වා කොළඹ දී පැවැත්වෙනු ඇත. දින යන්තම් එහා මෙහා වුවද මෙය එල්ටීටීඊය පරාජය කළ බවට ශ්‍රී ලංකා ආණ්ඩුව නිලවශයෙන් ප්‍රකාශයට පත්කළ 2009 මැයි 19න් වසර දෙකක් ගතවන කාල වකවානුවට සමපාත වෙයි. ඒ අනුව මෙම ‛ත්‍රස්තවාදය පරාජය කිරීම – ශ්‍රී ලාංකේය අත්දැකීම්’ සම්මන්ත්‍රණය යුද ජයග්‍රහණයේ දෙවර්ෂ පූර්ණ සැමරුම ලෙස ගැනීමේ වරදක් නොපෙනේ. ආණ්ඩුව එය සමරන්නට යන්නේ ‛ත්‍රස්තවාදයට එරෙහි සිය ජයග්‍රාහණයේ විස්මිත රහස්’ රටවල් පනස් ගණනකට උගන්වමිනි.
මේ සම්මන්ත්‍රණය වර්ජනය කරන්නැ යි ඊට ඇරැයුම් ලබා සිටින රාජ්‍යයන්ගෙන් ‛හ්‍යුමන් රයිට්ස් වොච්’ නම් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය ඉල්ලා සිටියේ මෙයින් සති දෙකකට ඉහතදීය. සාමාන්‍යයෙන් නම් ආණ්ඩුවේ මර්දන යන්ත්‍රයේ දත් ශක්තිමත් කරන හා එහි සපාකෑම්, උලාකෑම් සාධාරණීකරණය කරන ජාතිවාදී නඩය පරල කිරීමට මේ වර්ජන ඉල්ලීම ප්‍රමාණවත් ය. එහෙත් අද මේ මොහොත දක්වා ඒගැන මහා අලකලංචියක් ආණ්ඩුවේ මේ ඝෝෂකයන් සිදුකර නැත. කෑ කෝ ගසා වැඩේ අවුල් කරගන්නවාට වඩා එවැනි වර්ජන ඉල්ලීමක් තමන් දන්නේත් නැති විදියට සිටීම යෙහෙකැයි ආණ්ඩුව සිතනවා වන්නට පිළිවන.
එක් අතකට ලෝකයේ බලවත් රාජ්‍යයන් මෙවැනි ආරාධනයකට ප්‍රතිචාර දැක්වීමේදී හ්‍යුමන් රයිට්ස් වොච් වැනි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක ඉල්ලීම මතම පදනම් නොවනු ඇතැයි ඔවුන් තක්සේරු කරනවා වන්නටද බැරි නැත. අනෙක් අතින් ජාත්‍යන්තර තලයේ දිගින් දිගටම ලබමින් සිටින අපකීර්තිය හමුවේ, මේ සම්බන්ධයෙන් ද සිය දඩබලු රැල ඉවක් බවක් නැතිව ලිහා දැමීමෙන් දැනට සැලසුම් කරඇති මේ මහා රහස් බෙදාගැනීමේ පුණ්‍යකර්මය අනාථ වෙතැයි බියකින් ද ආණ්ඩුව පෙළෙනවා වන්නට පුළුවන.
කෙසේ වෙතත් ‛හ්‍යුමන් රයිට්ස් වොච්’ සංවිධානය පවසන්නේ ලංකා ආණ්ඩුව උතුරේ යුද්ධයේ අවසන් අදියරේදී ක්‍රියාකළ ආකාරය ජාත්‍යන්තර මානව හිමිකම් නීතීන්ට එකඟව සිදු නොවීයයි ද, එම මෙහෙයුම්වල දී යුද අපරාධ සිදුවීයයි ද බරපතල චෝදනා එල්ලවී ඇති බවයි. ඒවා පිළිබඳ අපක්ෂපාතී අභ්‍යන්තර පරීක්ෂණයක් කිරීම නොසලකා හරින, එමෙන් ම එවැනි ජාත්‍යන්තර පරීක්ෂණයක් ද දිගින් දිගට ම ප්‍රතික්ෂේප කරන ලංකාණ්ඩුවේ පිළිවෙත එම සංවිධානය අවධාරණය කරයි. එවැනි තත්ත්වයක් තුළ එම ගැටලු විසඳාගන්නේ නැතිව අදාළ සම්මන්ත්‍රණයට සහභාගී වී ජාත්‍යන්තර මානව හිමිකම් නීති රීතිවලට අනුකූල නැතැයි චෝදනා එල්ල වී ඇති යුද්ධයේ ජයග්‍රහණය පිළිබඳ ශ්‍රී ලංකාවේ අත්දැකීම් බෙදාහදා ගැනීමෙන් ආණ්ඩුවට එහි යුද ක්‍රියාමාර්ගයේ සිදුවූ දෑ සාධාරණීකරණය කරගැනීමට අවස්ථාවක් ලෝකය හමුවේ ලැබෙන බව ඔවුන්ගේ තර්කය යි.
අන්තර් ජාතික රාජ්‍ය නොවන සංවිධානයක ඉල්ලීමක් මතම මෙවැනි කරුණක් සම්බන්ධයෙන් ලෝකයේ බලවත් රාජ්‍යයන් ගේ ප්‍රතිපත්ති හා ක්‍රියාකලාපයන් තීරණය වෙතැයි සිතීමට ඇති ඉඩකඩ මඳ බව සැබෑවකි. එහෙත් මෙම ඉල්ලීමට දැක්වෙන ඍජු ප්‍රතිචාරයක් ලෙස නොවුණත්, අදාළ රාජ්‍යයන්ට මේ පිළිබඳ සිය ප්‍රතිපත්තිය තීරණය කිරීමෙහි දී කිසියම් බලපෑමක් කිරීමට මේ ඉල්ලීම හේතුවීමේ ඉඩක් නැත්තේ නොවේ. දැනටමත් ඇතැම් රාජ්‍යයන් විවිධ හේතු දක්වමින් මෙම ආරාධනාව භාර නොගන්නා තැනට තල්ලුවී ඇතිබවක් ද දැනගන්නට ඇත.
එහෙත් මේ වර්ජන ඉල්ලීම තුළම කිසියම් ගැටලුවක් ද පවතී. මේ ඉල්ලීම කරන්නේ සම්මන්ත්‍රණයට ඇරැයුම් ලබා සිටින රාජ්‍යයන්ගෙනි. ඉල්ලීමේ මූලික හරය වන්නේ ජාත්‍යන්තර නීති රීතීන් කඩකළ බවට චෝදනා ඇති ශ්‍රී ලංකා යුද්ධයේ අත්දැකීම් හෙවත් ‛ජයග්‍රහණයේ රහස්’ බෙදාහදාගැනීමට සිය හමුදාවන් සහභාගී කිරීමෙන් වලකින ලෙසය. එහි අරුත වන්නේ සිය රටවැසියාගේ අභිමතයට හිස නමන, තම රටවැසියන්ට හෝ අන් රටක වැසියන්ට අබමල් රොනක පීඩාවක් නොකරන, සුපිරිසුදු ආණ්ඩු හා ඒ යටතේ වන සුපිරිසුදු හමුදාවන් ලෝකයේ කොයියම්ම තැනක හෝ පවතින්නේය යන්නද? ශ්‍රී ලංකාවේ ‛නරකය යි චෝදනා එල්ලවී ඇති’ යුද අත්දැකීම් බෙදා හදාගැනීමෙන් මෙබඳු ‛අහිංසක’ ‛හොඳ’ හමුදා නරක් විය හැකිබවත් මින් ගම්‍යමාන වේද? යථාර්ථය නම් මේවා දරුණු මිත්‍යාවන් වීම ය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සන්දර්භය වෙතට යළි හැරෙන්නේ නම්, ශ්‍රී ලංකා හමුදාවන් යුද්ධයේ දී ජාත්‍යන්තර යුද නීතිරීතිවලට අනුකූල නොවන ලෙස කටයුතු කළබව හෝ හමුදාවන් අතින් යුද අපරාධ සිදුවූ බව හෝ කියන්නට කටක් අරින්නට සමතකු රටතුළින් සොයාගැනීම කළුනික සෙවීමට වඩා උගහට වීමගැන අප පුදුම වියයුතු නැත. ඊට එක් ප්‍රධාන හේතුවක් වන්නේ සමස්ත සමාජයේ ඉහළ සිට පහළට සියලු සාමාජිකයන් වෙලාගෙන ඇති දැවැන්ත භීතියයි. එවැන්නක් කියන්නට කට අරින්නකු ජාති ද්‍රෝහියකු, රට පාවාදෙන්නකු, එල්ටීටීඊ බිල්ලා තරමට ම විශාලනය වී සිටින ඩයස්පෝරා බිල්ලාගේ (සිංහලයා හමුවේ ප්‍රාදූර්භූතකර ඇති අලුත්ම බිල්ලා මූය) ඒජන්තයකු, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයේ (කොහේ තිබෙන එකක්දැ යි නොදනිමි) හවුල්කාරයකු වී දුටුතැන අල්ලා හමගැසිය යුත්තකු සේ හංවඩු ගැසීමේ නොවරදින අවදානමයි.
අනෙක් හේතුව නම් නන්දිකඩාල් කලපුව අසළින් ප්‍රභාකරන්ගේ මළ සිරුර සොයාගැනීම නම් සංසිද්ධිය විසින් ශ්‍රී ලාංකේය සමාජයේ සාමාජිකයන් පහළ සිට ඉහළටම දේශපාලනිකව නන්නත්තාර කරදමා තිබීමයි. එමඟින් යුද්ධය හෝ එය සිදුවූ ආකාරයත්, එහි ඵලවිපාකත් ඍජුව විවේචනය කිරීමට තරම් විද්‍යාවක් නැති අදේශපාලනික අනාථ භාවයකට සමාජයේ අති බහුතරය ඇදදමා තිබේ. දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් ලබාදිය යුතුය කියන කටවල්වලින් ම ‛රණවිරුවන් එළවලු විකුණන්නට දමාතිබීම’ ගැන අවලාද නැඟීම මේ නන්නත්තාර කමේ දිග, පුළුල හා ගැඹුර පෙන්වන එක් ක්ෂුද්‍ර අවස්ථාවක් පමණි.
ඒ තත්ත්වය හමුවේ ‛ත්‍රස්තවාදය පරාජය කිරීම – ශ්‍රී ලාංකේය අත්දැකීම්’ නම් යුද්ධයේ දෙවර්ෂ පූර්ණ ජයග්‍රහණ මංගල්‍යය සැමරීම ගැන කට වසාගෙන සිටීම යෙහෙකැ යි බහුතරයක් සිතන්නේ නම් ඒගැන පුදුම වීමට හේතුවක් නැත.
(‛‛යුද්ධය දිනා දුන් විරුවා හිරේ විලංගුවේ දමා යුද ජයග්‍රහණ ගැන කතාකිරීම විහිළුවකි’’ පන්නයේ අදේශපාලනික විවේචන ගැන මෙහිදී සලකා නොබැලෙන බව කරුණාවෙන් සලකන්න)
මේ භීතියේ ද, දේශපාලන නන්නත්තාර භාවයේ ද සීමාවන්ගෙන් මඳකට ඔබ්බට යා හැකිනම් මේ මංගල්‍යයේ යථාව හා මිත්‍යාව ගැන අපට කිසියම් සංවාදයකට මාවතක් විවරකරගත හැකිවනු ඇත. මෙතැන් පටන් අපි ඒ සඳහා කෙටි උත්සාහයක් දරමු.
අප එළිපිට කීමට කොතරම් අකමැති වුවත්, ඊට කොතරම් බිය වුවත්, ඇත්තම කතාව නම් යුද්ධයක් තුළ නීත්‍යානුකූල ආණ්ඩුවකින් මෙහෙයැවෙන හමුදාවන් විසින් යොදා නොගතයුතු ක්‍රමෝපායයන් මේ යුද්ධයේදී ශ්‍රී ලංකා හමුදාවන් යොදාගත් බවට ප්‍රබල චෝදනා එල්ලවී ඇති බවය. යුද අපරාධ සිදුවීම් පිළිබඳව ද එබඳුම බරපතල චෝදනා එල්ලවී ඇති බවත්, ඒවාට අදාළ සාක්ෂ්‍ය ද කොතෙකුත් පවතින බවත්, එබඳුම සත්‍යයයන්ය. මේ මොහොත දක්වාත් ශ්‍රී ලංකා ආණ්ඩුව අතාර්කික, විකාර සහ ඛේදනීය ප්‍රතිචාරයන් දක්වනවා මිස, මේ කිසිවක් සම්බන්ධයෙන් විනිවිද පෙනෙන ප්‍රතිපත්තියක් අනුගමනය කර නැත. එවැන්නකට සූදානමක් හෝ පෙන්වා නැත. මේ චෝදනාවල ඇත්ත නැත්ත සොයාබැලීමට අපක්ෂපාතී, සාධාරණ, ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට සමපාත වන විධිමත් පරීක්ෂණයක් සිදුකර, එහි ප්‍රතිඵල සම්බන්ධයෙන් අවශ්‍ය නෛතික පියවර නොගන්නා තාක්කල් ලංකා ආණ්ඩුවට ‛ත්‍රස්තවාදය මැඩලීමේ ශ්‍රී ලාංකේය අත්දැකීම්’ ගැන කතාකිරීමේ හැකියාවක් තිබිය නොහැකිය.
මේ කෝකටත් ප්‍රතිකර්මය ලෙස ආණ්ඩුවම ඇඟිල්ල දිගුකර පෙන්වන උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම හමුවේ නිරාවරණය වූ ගැටලුවලට ආණ්ඩුව මෙතෙක් දක්වා ඇති ප්‍රතිචාරය සාධනීයද? අවම වශයෙන් යුද්ධයෙන් මියගිය සිය ප්‍රියයන් වෙනුවෙන් ශෝකවීමේ අයිතිය හෝ දෙමළ ජනයාට ආණ්ඩුව විසින් ලබාදී ඇතිද? යුද්ධයෙන් විනාශ වූ ජීවිත හා අත්අඩංගුවේ පසුවන පිරිස් පිළිබඳ පිළිගතහැකි සංඛ්‍යා ලේඛනයක් හෝ අදටත් එළිදැක්වීමට ආණ්ඩුව කටයුතු කර තිබේද?
මෙම සම්මන්ත්‍රණයේ දී ජාතික ඒකාග්‍රතාව ඇතිකිරීමේ උපාය මාර්ග පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිත බව කියැවේ. යුද්ධයෙන් අනාථ වූ දස දහස් ගණන් ජනයාට ගස්යට හෝ තාවකාලික මඩු කූඩාරම්වල වසර දෙකක් තිස්සේ ලගින්නට සලස්වා තිබෙන, මියගියවුන් සඳහා අවම වශයෙන් මරණ සහතිකයක් හෝ නිකුත් කිරීමට කටයුතු නොකරන, අත්අඩංගුවේ සිටින්නවුන් ගැන පරස්පර විරෝධීත්වයකින් තොර සංඛ්‍යාලේඛනයක් ඉදිරිපත් කිරීමට උනන්දුවක් නැති, හමුදාවට භාර වූවායින් පසු අතුරුදන් වී ඇතැයි කියන පිරිස් ගැන කිසිදු නිල ප්‍රකාශයක් නොකරන, යුද්ධයට හේතුපාදක වූ දෙමළ ජනයාගේ සැබෑ ගැටලු ආමන්ත්‍රණය කිරීමට කිසිදු උත්සාහයක් නොදරන, තිස් වසරක යුද්ධයකින් පසුවත් ‛දෙමළාට සුවිශේෂ වූ ප්‍රශ්න තිබෙනවාදැ’ යි මහන්තත්තයෙන් අසන, මළවුන් සැමැරීමට ඉඩදීම කෙසේවෙතත් මළවුන් සැතැපෙන මිනීවල පවා ඩෝසර් කරදමන යුද්ධයෙන් විනාශකරන ලද භූමිය නිදහසේ කොල්ලකන සන්දර්භයක ජාතික ඒකාග්‍රතාව ඇතිකිරීමේ උපාය මාර්ග කතාකිරීම විහිළුවක් නොවන්නේනම් වෙන කුමක්ද?
එල් ටී ටී ඊ සොහොන්කොත් බුල්ඩෝසර් කර ඒමත යුද හමුදා මූලස්ථාන ඉදිකිරීමෙන් අත්කරගතහැකි සංහිඳියාවක් ගැන ලෝකයාට පාඩම් කියාදීමට යන්නේ නම් එයින් එළිදරව් වන්නේ අපේම ම්ලේච්චත්වය මිස අන් කවරක්දැ යි කල්පනා කරබැලීම වැදගත් ය.