එදා සඳුදා දවසක් (8.9.2008). කාර්යාලයේ සිට ගෙදර පැමිණි මා කිසියම් වැඩක නිරත වී සිටියෙමි. රාත්‍රී 7.25 ට පමණ මගේ ජංගම දුරකථනය නාද විය. ඇමතුම රාධිකාගෙනි. රාධිකා අපත් සමඟ කිට්ටුවෙන් ආශ්‍රය කරන, මඩකළපුව ප්‍රදේශයේ මාධ්‍යවේදිනියකි. අප මඩකළපුවට යන හැම වෙලාවකම අපගේ වැඩ කටයුතු වලට ඇය උදව්වෙනවා. ඒ වගේම නැගෙනහිර පැවැත්වූ පළාත් සභා හා පළාත් පාලන ඡන්ද විමසීම් දෙකේදීම ඇය අපගේ ඡන්ද නිරීක්ෂණ කටයුතු සඳහා අප සමග එක්වුයේ මඩකළපුවේ තිබෙන අනාරක්ෂිත තත්ත්වයද නොසලකමිනි.
මෙදින දහවල් වෙනත් වුවමනාවක් සඳහා මා රාධිකා ඇමතීමට උත්සාහ කළද මා හට ඇය හා සම්බන්ධ වීමට නොහැකි විය. රාධිකාගේ ඇමතුම ඒ නිසා යැයි මම සිතුවෙමි.
මම සුපුරුදු ලෙස ඉංග්‍රිසි භාෂාවෙන් ” How are you Rathika ? ’’ යැයි විමසුවෙමි. වෙනදා ඇසෙන ගාම්භීර කටහඬ වෙනුවට බොහෝ අසීරු, එහෙත් විශ්වාසයෙන් යුතු හඬකින් ඇය ‛‛ Rasika Some One shot me,Please help me. ’’ යනුවෙන් පැවසුවාය. මා ඉඳගෙන සිටි පුටුවෙන් නැගිටුනේ ඉබේය. ඇයි මොකද? මම නැවත විමසුවෙමි. ‛‛මගේ ගේ ඉස්සරහදී කවුද මට වෙඩි තිබ්බා.
මම ළග ගෙදරකට රිංගල දොර වහගත්ත. මට වෙඩි වැදිල ඉන්නෙ ඉස්පිරිතාලෙට යන්න උදව්කරන්න’’ එසැනෙනින් දුරකතනය විසන්ධි විය. ඒ සැනෙන් මම දුරකථනය ඔබන්නට වුයේ අපේ සගයන්ට සිද්ධිය දැනුම් දීම සඳහායි. මා අත ඇත්තේ මගේ නැතිවූ දුරකථනය වෙනුවට ලබාගත් අලුත් දුරකථනයකි. එහි ගබඩා කරන ලද අංක තිබුනේ නැත. වෙනදාට අනිවාර්යයෙන් ගෙදර රැගෙන යන පරිගණකය එදින මා ගෙදර රැගෙන නොආවෙමි. මගේ දුරකථන අංක සඳහන් කළ පොතද ඇත්තේ පරිගණක බෑගය තුළය. දැන් කුමක් කරන්නද? මම රවී අයියාට පණිවුඩය ලබාදුන්නෙමි. මම ඔහුට විස්තරය කියා මා සතුව දුරකථන අංක නැති බවද කීවෙමි. ඊළගට ඇමතුම ගත්තේ දොඩාටය. දොඩා මඩකළපුව විශේෂ කාර්ය බලකායට සහ ඇමැති අනුකමිටුවට සිද්ධිය දැනුම් දීමට භාරගත්තේය. මා ඊළගට ඇමතුවේ අතුලටය. ඔහුට සිද්ධිය දැනුම් දී මාධ්‍ය මධ්‍යස්ථානයේ සගයන්ට කියන ලෙස ඉල්ලීමි. ඉන්පසු ඔට්ටමාවඩි වල සිටින අපගේ මිතුරා වු සදික්ට ඇමතුමක් ගත්තේ ඔහු මඩකළපුවේ සිටීය යන විශ්වාසයෙනි. එහෙත් ඔහු සිටියේ කොළඹය. මඩකළපුවේ උදව් ලබාගත හැකි අය සිටී නම් දැනුම් දෙන ලෙස ඔහුගෙන් ඉල්ලීමක් කළ මා කාතාන්කුඩි හා මඩකළපු පොලිස් ස්ථාන වල අංකයන් හැකි ඉක්මනින් මා හට ලබාදෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියෙමි. ඉන්පසු මා නැවතත් රාධිකාගේ දුරකථනයට ඇමතුවෙමි. එවර ඇයගේ කට හඬ ඉතා පහත මට්ටමට වැටී තිබිණි. ඇයගේ තත්ත්වය වඩාත් අසාධ්‍ය බව මට තේරුම් ගියේය. බිය නොවන ලෙසත්, තව ස්වල්ප මොහොතකින් පොලීසිය ඇයව රැගෙන යාම එන බවත් එතෙක් තුවාල වලට යමක් තබා ලේ වහනය වීම නැවැතීමට තද කරගන්නා ලෙසත් ඉල්ලා සිටියෙමි. එහෙත් ඇයගේ අතින් දුරකථනය ගිලි හී වැටුන බව මට තේරුණි. මා ද හෙඳටම අසරණ වනු මට දැනුනේය. මේ සිද්ධිය කොළඹ හෝ ආසන්නයක සිදුවුනි නම් එසැනෙනින් එහි යාමට පුළුවනි. ඒ නැතත් දන්නා හඳුනන අය හරහා හෝ උදවු කිරීමට පුළුවන එහෙත් මඩකළපුවට කෙසේ යන්නද? එය අඩුම තරමින් පැය 10 ක ගමනකි.
මේ වන විට විනාඩි 10 පමණ ගතවී තිබිණි. එවිට ම සදීක් කාතාන්කුඩියේ හා මඩකළපුවේ පොලිස් ස්ථාන වල අංක ලබා දුන්නේය. රවී අයියා නැවත කථාකොට දැනුම් දුන්නේ ඔහු පෝද්දලට හා උවිඳුට ද සිද්ධිය දැනුම් දුන් බවත් අනෙකුත් අයටත් දැනුම් දෙන බවත් මා හට රාධිකා සමඟ සබඳතාවය දිගටම තබාගන්නා ලෙසත්ය. මේ අතර කථා කළ දොඩා පැවසූවේ ඔහු විශේෂ කාර්ය බලකායට හා පොලීසියට සිද්ධිය දැනුම් දුන් බවයි. හැකි ඉක්මනින් විශේෂ කාර්ය බලකායට එම ස්ථානයට යනු ඇති බවත්ය.
මා ඉතා අසීරුවෙන් මඩකළපුව පොලිසියට ඇමතුමක් ලබා ගත්තෙමි. එහෙත් සිද්ධිය හරියට අසන්නේවත් නැතිව කල්අඩි යැයි කියූ සැනෙන් ඔහු එය ඔවුන්ට අයිති නොමැති ප්‍රදේශයක් බව කියමින් දුරකථනය විසන්ධි කළේය. ඉන්පසු ඇමතුම ගත්තේ කාත්තන්කුඩි පොලීසියටයි. එහි දුරකථනය නාද වන විට කිසිවෙකු එය ඔසවා පැත්තකින් තබයි. කිහිප වරක් උත්සාහ කිරිමෙන් පසු රීසිවරය ඔසවනවාත් සමඟම දුරකථනය ඉවත නොතබා මා හට සවන් දෙන්නැයි මම ආයාචනා කළේම්. අවසානයේ කෙසේ හෝ එම පොලිස් නිලධාරියා මාගේ ඇමතුම ලබා ගත් අතර පැමිණිල්ල ද සටහන් කරගන්නා බව පැවසුවේය.
මේ අවස්ථාවේ උදව් ගත හැකි කවුරුන් හෝ මඩකළපුවේ සිටීදැයි කල්පනා කරද්දී මට මතක් වුයේ අප එහි ගිය විට රැඳී සිටින හෝටලයේ අයිතිකරුය. මම ඔහුට ඇමතුමක් ගෙන රාධිකා සිටින ස්ථානය සඳහන් කොට ඉක්මනින් වාහනයක් ඒ ස්ථානයට යැවිය හැකි දැයි ඔහුගෙන් විමසුවෙමි. එහෙත් ඔහු පැවසුවේ මේ අවස්ථාවේ කිසිම වාහනයක් එහි යාමට කැමති නොවනු ඇති බවයි.
මම නැවතත් රාධිකා ඇමතීමට උත්සාහ ගත්තද එය නොහැකි විය. පසුව මම පෝද්දලට කථා කළෙමි. එවිට ඔහු පැවසුවේ ඔහුද පොලීසියට කථා කළ බවත්, පොලීසියේ ප්රධානීන්ටද සිද්ධිය දැනුම් දුන් බවත් ය. මම නැවතත් රාධිකාගේ දුරකථනයට කථා කළෙමි. එවිට ඇමතුම සම්බන්ධ විය. අනෙක් පැත්තෙන් දුරකථනයට පිළිතුරු දුන්නේ රාධිකාගේ සැමියා වූ දේවකුමාර්ය. ඔහු පැවසුවේ විශේෂ කාර්ය බලකාය පැමිණ රාධිකා රෝහලට රැගෙන ආ බවයි. ඇයගේ තත්ත්වය අසාධ්‍ය බවත්, වාසනාවකට විශේෂඥ ශල්යවෙද්යවරයාද එවෙලෙහි සේවයේ ඉන්නා බවත්, එම නිසා බිය විය යුතු නැති බවත්, ඔහු පැවසූවේය. පසුව උවිඳුට හා පෝද්දලට නැවත කථා කළෙමි. ඔවුන් දෙදෙනාම ඒ වන විටත් රෝහලට කථා කොට තිබිණි. දොඩා ද රෝහලට කතාකොට විස්තර දැනගෙන තිබිණි. මේ සියල්ලට පැයක පමණ කාලයක් ගත වී තිබුණත් එය ඉතා දීර්ඝ වුත්, අසහනකාරීවුත් හෝරාවකි.