Colombo, end of the War, Featured Articles, Features

ගඩාෆිගේ දීකිරට සාක්කි කියන හොර බළල්ලු


අපේක්ෂිත ලෙසම ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවතුන්ගේ ලිබියානු ආක්‍රමණය ශ්‍රී ලංකාව තුළද තදබල විවේචනයකට බඳුන්වී තිබේ. මේ ප්‍රහාරයන්ට එරෙහිව සමස්ත ලෝකවාසී ප්‍රගතිශීලී ජනතාවගේ විරෝධය එල්ලවීම ස්වභාවික සේම අත්‍යවශ්‍යය.

එහෙත් ඒ සමස්ත විරෝධය මැද, ශ්‍රී ලංකාව තුළ එල්ලවන විරෝධයේ මූලකේන්ද්‍රය දෙස විචාරශීලීව බැලීමද වැදගත්යයි විශ්වාස කරමි.

විදේශ කටයුතු ඇමැතිවරයාත්, ආණ්ඩු දේහයේ එල්ලී සිය පැවැත්ම සොයාගත් මහජාතිවාදී පරපෝෂිතයනුත්, ආණ්ඩුවේ අපාය සහායක කේවට්ටයන් වන ඊනියා දේශපාලන විචාරක බුරුත්තත් ලිබියානු නායක කර්නල් මුවම්මර් ගඩාෆිගේ මිලිටරියට පහරදෙන ඇමරිකාව ඇතුළු ලෝක බලවතුන්ගේ සුදුහම වචන සැතින් තූ තූ කොට ඉරා දමමින් සිටිති. සාමාන්‍යයෙන් රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬනඟන ප්‍රගතිශීලී බලවේග මැඩලීම සඳහා පෙළගැහෙන මේ බලවේග, අද ලිබියානු ප්‍රහාරවලට එරෙහිව ලංකාව තුළ නැගෙන අනෙක් සමස්ත විරෝධයන් යටපත් කරන මාරාන්තික ඝෝෂාව බවට පත්ව සිටී.

බැලූ බැල්මට මේ සියල්ලන්ගේ විරෝධය එක තනි අරමුණක් වෙනුවෙනි. එනම් ‛බටහිර අධිරාජ්‍යවාදීන් ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් වෙස්මුහුණ අස්සේ සඟවාගෙන එන අප වැනි රටවල් වෙත සිය ආධිපත්‍යය පැතිරවීමේ හා මේ රටවල් කොල්ලකෑමේ නග්න අධිරාජ්‍යවාදී ක්‍රියාපිළිවෙතට එරෙහි වීම’ය. එහෙත් මේ නඩයේ ප්‍රතිචාරයන්ගේ පොදු සාම්‍යයට යටින් පවතින වෙනස්කම් කිහිපයක් හඳුනාගත හැකිය.

එක් පිරිසක් කොන්දේසි විරහිත ව ගඩාෆි වන්දනාමාන කරමින් ඔහු ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන්ට එරෙහි දැවැන්ත වීරයකු සේ ගෙන ඔහු වෙනුවෙන් පෙනීසිටිති. තවත් කොටසක් ‛ගඩාෆිගේ මොන දුර්වලතා තිබුණත්’ යන අඩමානයට පසුබැස ‛මේ මොහොතේ ඔහු අධිරාජ්‍යවාදයට විරුද්ධ සටනේ අයෝමය සෙන්පතියෙකැ’යි යන ප්‍රවාදය වපුරමින් ඔහු වෙනුවෙන් පෙනීසිටිති. මේ දෙපිරිසටම වඩා කපටි කේවට්ටයෝ ගඩාෆිගේ ඒකාධිපතිවාදී දූෂිත පාලනය ගැන කිසිවක් නොකියා බටහිර බලවතුන්ගේ ප්‍රහාර පමණක් පට්ටා ගසති.

එහෙත් වෙනත් වෙනත් තාල අල්ලමින් මේ තුන්ගොල්ලන්ම කරමින් සිටින්නේ ලංකාවේ මිනිසුන් බියවැද්දීමට හොඳින් ගැලපෙන ලෙස වෙස්ගැන්වූ අධිරාජ්‍යවාදී ආක්‍රමණ බිල්ලා හැකි වැරයොදා නැටවීමය.

මහාචාර්ය පට්ටමේ පමණක් නොව සිය ආත්මයේම ගෞරවය හා වටිනාකම රැකගැනීම වෙනුවට පාලක රෙජීමයේ එහෙයියකු වී ලබන සුඛවිහරණය තෝරාගත් (හිටපු) නීති විශාරද විදේශ ඇමැතිවරයා ඇතුළු ආණ්ඩුවේ පරපෝෂිතයන්ට හා එහි කේවට්ටයන්ට ගඩාෆි වෙනුවෙන් පෙනීසිටිනවා හැර වෙනත් කළහැක්කක් නැත්තේ තමන් අන්තේවාසිකකම් කරන ජනාධිපති රාජපක්ෂ ලිබියානු ආඥාදායක ගඩාෆිගේ රාජ්‍යතාන්ත්‍රික පමණක් නොව පවුලේ හිතවතකුද බවට ඡායාරූපමය සාක්ෂි ඇති බැවිනි. බජාර් එකේ චණ්ඩියකු සිය ගෝලයකුගේ කරට අත දමන ලීලාවෙන් ගඩාෆි මහින්දගේ කරේ අත දැමූ ඡායාරූපය ඉන් එකක් පමණි. නාමල් රාජපක්ෂ පසුගිය ජනවාරියේ ලිබියාවේ කරන ලද සංචාරයේද ආකර්ශණීය ඡායාරූපමය සාක්ෂ්‍ය වෙයි. ඉතින් ‛මහරාජෝත්තමයාගේ මිත්‍රයා අපේ මිත්‍ර රාජෝත්තමයකු නොවේය’ යි කටපියාගෙන ඉන්නේ කෙසේද?

එහෙත් මේ පෙනීසිටීම තුළ ඇති වඩා බැරෑරුම් හා වැඩියෙන් අවධානයට ලක්විය යුතු කාරණය අනෙකකි.

යුද ජයග්‍රහණය නිවේදනය කළතැන් පටන් සිය ප්‍රධාන සතුරා අහිමිවීම විසින් ඇතිකරන ලද සිය යැපීම් මාර්ග හිදැස, රටේ ජනතාව හමුවේ ආණ්ඩුව පුරවාගන්නා එක් ප්‍රධාන මාර්ගයක් වන්නේ ‛ශ්‍රී ලංකාවට එරෙහි අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් ඇත: යුද්ධය ජයගත්තාටත් වඩා මේ කුමන්ත්‍රණය පරදවා රට ආරක්ෂා කිරීම අසීරුය’ යන ප්‍රවාදය තරකිරීමයි. ලිබියාවට ගුවන් ප්‍රහාර දීම තුළින් බටහිර බලවතුන් ලංකාණ්ඩුවට පිරිනමා ඇති ලොතරැයි දිනුම මේ මුසාවාදය තහවුරු කිරීමේ සරු පොළොවයි. ‛අන්න දැක්කද අපි කියපු කුමන්ත්‍රණය ලිබියාවට ඇවිල්ලා’යි කීමට ආණ්ඩුවට අපූරු අවස්ථාවක් ලැබී තිබේ. නිකම්ම නිකම් ලිබියාවට නොව ‛අපේ ජනාධිපතිතුමාගේ කරේ අතදැමූ, ජනාධිපති පුත්‍රයා වැළඳගත් නායකයා ගේ ලිබියාවට’ය. ගඩාෆි විනාශ කිරීමෙන් පසු මේ ප්‍රහාරක යානා අප රටද සුන්නද්දූලි කිරීමට එනු ඇත. ඒ මහා ආක්‍රමණයෙන් අප බේරාගත හැක්කේ කොටින්ගෙන් අප බේරාගත් ජනාධිපතිතුමාට හැර වෙන කාට ද? ඒ අනුව මේ සිදුවන්නේ ලිබියාව හෝ ගඩාෆි රැකීම නොව තමන්ම රැකීමට මේ ලොතරැයි දිනුම යහමින් පාවිච්චි කිරීමකි.

ලිබියාවේ සිදුවීම් දඩමීමා කරගෙන මේ කරන්නට හදන කූට ව්‍යාපෘතියේ යථාර්ථය තේරුම් ගැනීම උදෙසා ඔවුන්ගේම කතිකාවේ පවත්නා අතාර්කික, කරුණු වශයෙන් වැරැදි ගජබින්න හෙළිදරව් කරගැනීම වැදගත්ය.

වර්ෂ 1969දී මහජන අරගලයකින් බලයට පත්, එතැන් පටන් සැලකියයුතු කාලයක් බටහිර බලවේගයන්ට එරෙහි ලෝකයේ සෙසු කලාපවල ජනයාට කිසියම් ආශ්වාදයක් සපයමින් කටයුතු කළ ගඩාෆිට නොව, එයින් දශක හතරකට පසු අද ලිබියාවේ සිටින, තමන්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී දූෂිත ඥාතිසංග්‍රහවාදී චෞර පාලනතන්ත්‍රයට එරෙහිව නැගිටින සිය රටවැසියන්ටම ගුවනින් පවා පහරදෙන ගඩාෆි වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනීසිටීමේ හැකියාවක් ලෝකයේ කිසියම්ම හෝ ශිෂ්ඨ මිනිසකුට තිබේද?

දීර්ඝ කාලීනව ලිබියාවේ අසහාය නායකයා ලෙස කටයුතු කිරීම තුළින් අද වනවිට ගඩාෆි සිටින්නේ එදා ඔහු බලය අත්පත් කරගත් අධිරාජ්‍යවාදයට එරෙහි ආකර්ෂණීය අභියෝගයක් වූ ගඩාෆිගෙන් ආලෝක වර්ෂ ගණනාවක් ඈතිනි. අද ඔහු මේ කියන අධිරාජ්‍යවාදයේ හෝ ඇමරිකාව ප්‍රමුඛ ලෝක බලවතුන්ගේ පරම හතුරකු නොවේ.

අවම වශයෙන් දශකයක පටන් ගඩාෆි ඇමරිකාව ප්‍රමුඛ ලෝක බලවතුන්ගේ විශ්වාසවන්තයකු වී සිටී. ඔහු ලිබියානු තෙල් සම්පත ගසාකෑම සඳහා ඇමරිකානු සමාගම්වලට දොර විවෘත කරදුන්නේය. රට සතු මහා තෙල් සම්පතින් උපයාගත් දැවැන්ත ලාභය රටට හිමිකර නොදී තමන්ගේ හා සිය ඥාතීන්ගේ නමට පොම්ප කරගත්තේය. ඒ අතිවිශාල ධනස්කන්ධය ඔහු ආයෝජනය කළේ හෝ තැන්පත් කළේ බ්‍රිතාන්‍යයේ, ඉතාලියේ, ස්පාඤ්ඤයේ හා ඇමරිකාවේ ඇතුළු මේ කියන බටහිර බලවතුන්ගේ රාජ්‍යයන් තුළය. ඊට අමතරව ඔහුගේ වත්කම් ලෝකයේ විවිධ තැන්වල ගොඩගසා ඇතිබව දැන් හෙළිදරව් වෙමින් පවතී. ගඩාෆි සහ ඔහුගේ දරුවන් ඇතුළු ඔහුගේ සමීප ඥාතීන්ගේ වත්කම් අදටත් ගණන්බලා නැත. එය ඩොලර් බිලියන සිය ගණනක් බව පැවසේ. පසුගිය කාලය පුරා ඔහු ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු මේ කියන ‛අධිරාජ්‍යවාදීන්ගේ’ මූල්‍ය ආයතනවල සැලසුම් සමඟ එකට ගමන් කළේය. අතිවිශාල සන්තෝෂම් දෙමින් දක්ෂිණාංශික මෙන්ම ලිබරල්වාදී චින්තකයන්යයි ප්‍රසිද්ධ වූවන්ගේ පවා ප්‍රශංසා හා චරිත සහතික කුලියට ලියවා ගත්තේය. ඔහුගේ රහස් පොලීසිය ‛ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධයේ’දී සීඅයිඒ සංවිධානය සමඟ සමීපව කටයුතු කරඇති බව හෙළිවී තිබේ. ගඩාෆිගේ එක් පුත්‍රයකු ජාත්‍යන්තර බලශක්ති පිළිබඳ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකාරක ලෙස කටයුතු කිරීම සඳහා එක්සත් ජනපද – ලිබියා ව්‍යාපාරික සංගමයේ ආරම්භක සභාපති ලෙස තනතුරු ලද්දේ හිලරි ක්ලින්ටන්ගේ ආශීර්වාදයෙනි.

රටේ ජනතාවට කොතරම් එපා වුවත් ඔහු අදටත් රටේ පාලන බලය අත්හැරීමට සිහිනෙනුදු සිතා නැත. එහි අරුත නම් සිය දේශපාලන බලයේ තීරකයන් වන්නේ රටේ මහජනතාව නොව තමන්මය යන්නයි. එයට ආඥාදායකත්වය නොකියා ‛අධිරාජ්‍යවාදයට එරෙහි නායකත්වය’ වැනි විකාර නමක් පටබැඳීය හැක්කේ ගඩාෆි මේ වනවිට කරමින් සිටින මේ සකල ප්‍රජාතන්ත්‍ර විරෝධී චෞරතාන්ත්‍රික ක්‍රමයෙන් ආදර්ශ ලබා ඉදිරියට යන්නට බලා සිටින්නන්ට හා ඒ ගමනින් වාසි ගන්නට හදන්නන්ට පමණකි.

ලෝක බලවතුන් ගේ ප්‍රහාරයන්ට පෙර ලිබියානු ජනතා නැගිටීම් මධ්‍යයේ මාධ්‍ය හමුවේ ප්‍රතිචාර දැක්වූ ඔහුගේම ජ්‍යෙෂ්ට පුත්‍රයාට අනුව ගඩාෆි කිසිසේත්ම පාලන බලය අත් නොහරිනු ඇත. ඔහු සිය ආධිපත්‍යය වෙනුවෙන් මරාගෙන මැරෙනු ඇත. යම්හෙයකින් අභියෝගයකට මුහුණ නොදී ස්වභාවික හේතූන් මත පාලන බලයෙන් සාමකාමීව ඉවත්වන්නට සිදුවන කඩඉමකට පැමිණියේ නම් ඔහුගේ අනුප්‍රාප්තිකයා තෝරන්නට ඉඩතිබුණේ රටේ පාලනය භාරගැනීමට සපුරා ඇති රාජ්‍ය තාන්ත්‍රික සුදුසුකම් සලකා බැලීමෙන් නොවේ. හුදෙක්ම ගඩාෆිගේ ලේ උරුමය එය තීරණය කරන්නට නියමිතව තිබිණි.

කරුණු මෙසේනම් ගඩාෆි යනු අධිරාජ්‍යවාදී විරෝධී සටනේ අයෝමය සෙනෙවියෙකැයි කිවහැක්කේ වංචනිකයකුට හෝ ගඩාෆිගේ මඟ යාමට සිතන්නකුට, එසේ යන්නකුට උල්පන්දම් දී සිය පැවැත්ම සපයාගන්නට සිතන්නකුට පමණි. එසේම වත්මන් ලිබියානු තත්ත්වය ගැන කතාකරන අවංක විචාරකයකුට ගඩාෆි ගේ මේ ආඥාදායක දූෂිත ඥාතිසංග්‍රහවාදී ප්‍රජාතන්ත්‍ර විරෝධී පිළිවෙත මඟහැර යාමේ හැකියාවක්ද නැත.

ගඩාෆිට එරෙහිව නැගීසිටි ලිබියානු ජනතාව වූකලී ගඩාෆිගේම මේ දූෂිත පාලනයෙන් අභිප්‍රේරණය කරන ලද්දවුන් මිස අන් බලවේගයක් නොවේ. වසර හතලිහක් තිස්සේ රටේ සම්පත් කොල්ලකෑ, අධිරාජ්‍යවාදීන්ගේ පරම හතුරෙකැයි මවාපාමින් අධිරාජ්‍යවාදීන්ගේම ගජමිතුරු භූමිකාවක් හා කොල්ලකාරී සහායක භූමිකාවක් රඟපෑ ගඩාෆිගේ ක්‍රියාකලාපයම එරට ජනතාව එම පාලනයට එරෙහිව නැඟීසිටීමේ දිශාවට තල්ලුකර තිබේ.

සිය අයිතිවාසිකම් ඉල්ලා නැඟීසිටින තමන්ගේම රටේ පුරවැසියන්ට එරෙහිව හුදු ත්‍රස්තවාදී ලේබලය පමණක් අලවා එම අරගල සහමුලින් වනසා දැමිය හැක්කේත්, එසේ වනසා දමා එවැනි ජනතා නැගිටීමකට කිසිදු සාධාරණ හේතුකාරණාවක් නොතිබිණැයිද, තිබුණේ ත්‍රස්තවාදී ප්‍රශ්නයක් පමණකැයිද කියාසිටිය හැක්කේත් එවැනි ක්‍රියාමාර්ගවලින්ම සිය පැවැත්ම සෙවූ සහ තවදුරටත් සොයන පාලකයන්ටම පමණකි.

දැන් අප හමුවේ පැනනඟින ගැටලුව වන්නේ එසේනම් මෙබඳු වූ දූෂිත ගඩාෆිට එරෙහිව බටහිර බලවතුන් දියත්කර ඇති ආක්‍රමණයට අප පක්ෂපාතී වියයුතුද යන්නයි.

කෙසේවත්ම නැත. ලෝකයේ සමස්ත ප්‍රගතිශීලී බලවේගයන්ගේ උපරිම ශක්තිය මේ ආක්‍රමණයට එරෙහිව යෙදීමේ අවශ්‍යතාව තීරණාත්මක ලෙස උත්සන්න වී තිබේ.

ලිබියාවට පහරදෙන සහ ඊට හුරේ දමන ලෝක බලවතුන් ගේ ආදිකාලීන චර්යාවන් පසෙකින් තැබුවත් ඔවුන්ගේ මෑත කාලීන ක්‍රියාදාමයන්ද බරපතල ලෙස පෙන්වා දෙන්නේ මේ ලෝක බලවතුන්ට ලිබියානු ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ලබාදිය නොහැකි බවය. එවැනි අවශ්‍යතාවක්ද ඔවුන්ට නැති බවය. ඇමරිකාව ප්‍රමුඛ ලෝක බලවතුන්ගේ දශකයකට මෙපිට ඉරාක හා ඇෆ්ගනිස්තාන් මැදිහත්වීම් මීට අවශ්‍ය සාක්ෂි අවශ්‍ය පමණටත් වඩා සපයයි. අනෙක් අතට බටහිරට ගැති රෙජීමයන් පවතින යේමනය සෞදි අරාබිය වැනි තැනක දැන් සිදුවන මීට සමාන්තර සිදුවීම්වලට, මීට සමාන ලෙස සලකන්නද මේ බලවත්තු කල්පනා නොකරති.
ගඩාෆිට එරෙහිව නැගීසිටි ලිබියානු ජනතාවට අමානුෂික ලෙස පහරදීමේ ගඩාෆිගේ ක්‍රියාකලාපය දඩමීමා කරගෙන මේ ලෝක බලවතුන් ලිබියාවට යන්නේ ලිබියානු ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය දීමට නොවේ. බැලූ බැල්මටම ඔවුන්ගේ කූට අරමුණුවල ස්වභාවය පැහැදිළිය. එක් අතකින් ගඩාෆි අත සංකේන්ද්‍රණය වූ ලිබියානු තෙල් සම්පත තමන් සතුකරගැනීමටය. අනෙක් අතින් ලිබියාවේ සිදුවන ජනතා නැගිටීම් බටහිරට පාලනය කළනොහැකි බලවේග අතට බලය සංකේන්ද්‍රණය කරමින් අවසන්වන ක්‍රියාවලියක් වීම නැවැත්වීමටය. ඊටත් අමතරව උතුරු අප්‍රිකාව හා මැදපෙරදිග තෙල් සම්පත් කලාපය තුළ ඇතිවෙමින් යන අරගලකාරී රැල්ල තමන්ට අහිතකර දිසාවකට හෙවත් සිය කොල්ලකාරී අවශ්‍යතාවට බාධාවන දිසාවකට ඇදීයාම නැවැත්වීමටය.

එසේනම් අප ලිබියාව සම්බන්ධයෙන් ගතයුත්තේ කෙබඳු ස්ථාවරයක්ද? පැහැදිළිවම ලිබියාවේ අනාගතය විසඳාගැනීමේ අයිතිය ලිබියානු ජනතාවට ලබාදීමය. ඒ අයිතිය ඔවුන්ට ලබාදීම සඳහා හැකි පමණින් වැරදැරීමය. නිවැරැදි දේශපාලන නායකත්වයක් නොමැති ජනතා නැගිටීමක් කෙළවර විය හැක්කේ කොතැනින්ද යන ගැටලුව මෙම කලාපයේ මෑතකාලීන හැම නැගිටීමකටම උරුමව තිබූවකි. ලිබියානු ජනතාවගේ නැගිටීම නිවැරැදි දිසාවකට තල්ලු කිරීමේ හැකියාව ලැබෙන්නේ ඒ ජනතාවගේ සටන්කිරීමේ අයිතිය පිළිගන්නවුන්ට පමණි.

ත්‍රස්තවාදය පරාජය කිරීමේ මුවාවෙන් තමන්ගේම රටේ පුරවැසියන් මතට බෝම්බ හෙලා, අතදරුවාගේ පටන් රෝගී මහල්ලා දක්වා ඝාතනය කළ සියල්ලන් ත්‍රස්තවාදීන්ගේ ගොඩට දමා, සිවිල් ඝාතන සිදු නොවිනැයි කියන පාලකයන්ට ගඩාෆි රැකගැනීමේ අවශ්‍යතාවත් ගඩාෆි දශක හතරක් තිස්සේ ගිය කොල්ලකාරී ප්‍රජාතන්ත්‍ර විරෝධී මාවත තමන් වෙනුවෙන්ද රැකගැනීමේ අවශ්‍යතාවත් තිබීම ගැන අප පුදුම විය යුතු නැත. එහෙත් එය පොදු ජනයාගේ අවශ්‍යතාව නොවන බව අප හඬගා කිවයුතුව තිබේ.

සනත් බාලසූරිය