Colombo, end of the War, Featured Articles, Features, Jaffna

71’’ එක කැරැල්ලක් – සැමරුම් දෙකක් සහ සැමරුම් තහනම් උතුර


1971අප්‍රේල්, ලාංකීය ඉතිහාසයේ ‛ඓතිහාසික දේශපාලනික වැදගත්කමකින් යුත් මාසයකි. ඒ අන් කිසිවක් නිසා නොවේ. ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ තරුණයින් විසින් මෙහෙය වූ සන්නද්ධ කැරැල්ල නිසා ය. එම කැරැල්ලෙන් එතෙක් පැවති සමාජ දේශපාලනික තත්ත්වයන් වෙනස් වීමට තිබූනත්, සිදුවූයේ වෙනත් දෙයකි. රාජ්‍ය බලය ලබා ගැනීම වෙනුවෙන් මෙහෙයවන ලද නිදහස් ලංකාවේ ප්‍රථම සන්නද්ධ කැරැල්ල රාජ්‍ය බලය විසින් පරාජය කරන ලද අතර දහස් ගණනක් ඝාතනය කර 20000කට ආසන්න තරුණ පිරිසක් සිරගත කිරීමෙනි.

එම කැරුල්ල පරාජය වුවත් එයට ඓන්ද්‍රයව සම්බන්ධ වු බොහෝ පිරිස් පවසන්නේ කැරැල්ල මෙහෙයවූවන් කැරැල්ලක් මෙහෙයවීමට තරම් දේශපාලනික මෝරා නොතිබුනත්, ඔවුන්ගේ කැපකිරීම සහ පරිත්‍යාගශීලීත්වය ඉතාමත් උණුසුම් බව ය.

කැරලි මර්ධනය කිරීම් සහ කැරලි සැමරීම්

එසේ 1971 දී මෙන්ම 1989 -1990 වසරවල දී ඇති වූ සියලු නැගිටීම් පරාජය කල ආකාරයට 2009 දී එල්ටීටීඊ ය මූලිකව උතුරේ දී සිදුකල සන්නද්ධ ක්‍රියාකාරීත්වය(අවසානයේ යුදමය තත්ත්වයකට පත් වූ) පරාජය කරන ලද්දේ ද එම ජවිපෙ කැරලි දෙකටම වඩා කෘර ලෙස ය. බිහිසුනු ලෙසය. එහි අවසානයේ දෙමළ සන්නද්ධ අරගලයේ අවසාන ප්‍රකාශකයා වූ එල්ටීටීඊ ය 2009 මැයි මාසයේ මිලිටරි ලෙස පරාජය කලේ ය. නමුත් උතුරේ සන්නද්ධ අරගලයත් දකුණේ සිදුකල සන්නද්ධ අරගලයේත් ප්‍රකාශිත අරමුණු වෙනස් වුවත් දෙකෙහිම පොදු ලක්ෂණයක් වන්නේ එම සන්නද්ධ අරගල දෙකම මෙහෙයවන ලද්දේ රාජ්‍යට විරුද්ධවයි. උතුරේ අරගලය ෆෙඩරල් ක්‍රමයක්, ස්වයංපාලනයක් සහ වෙනම රාජ්‍යක් දක්වාත් තම අරගලය මෙහෙය වීය. ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙය වූ අරගලය, රාජ්‍ය බලය ලබාගෙන සමාජවාදී රාජ්‍ය ක්‍රමයක් ස්ථාපිත කිරීම ප්‍රකාශිත අරමුණ විය.

කෙසේ වෙතත් 1971 ජවිපෙ කැරැල්ල සිදු වී අප්‍රේල් 05දාට 40වන සංවත්සරය සමරණ විට එල්ටීටිඊ ය මිලිටරි ලෙස පරාජය කර මෙම වසරේ මැයි මාසයට වසර 02කි.

යුද්ධය අවසන් වුවද අද වන විට එහි බිහිසුනු තත්ත්වය වන්නේ දකුණ තමන්ගේ අරගලය උත්සවස්‍රීයෙන් සමරණ විට උතුරේ දී අරගලවලදී මියගිය සිය සමීපතමයින් සිහි කිරීමට තිබෙන සංස්කෘතික අයිතිය පවා අහිමි කර තිබීමයි. විශේෂයෙන් එය ලාංකීය මිලිටරිය විසින් පගා දමා තිබීමයි.

මිය ගිය තම සහෝදර සහෝදරියන්, දරුවන් සිහි කිරීමට ඔවුන්ගේ සමීපතමයින්ට දෙවරක් සිතීමට අද සිදුව තිබේ. එය උතුරේදී මිලේච්ඡ තත්ත්වයකට පත්ව තිබේ. මිය ගිය තම සහෝදර සහෝදරියන්, දරුවන් පිළිබදව ඔවුන්ගේ සමීපතමයින්ට තිබෙන එකම එක සිහිවටනය මරාදමන ලද වූවන් මිහිදන් කර ඇති සොහොන් බිම් ය. නමුත් අද ඔවුන් සිහි කිරීම සඳහා ඇති එම මතකබිම්(සොහොන්) මත හමුදා කඳවුරු ය. ඔවුන්ගේ වේදනාව මත ගොඩනගා ඇති හමුදා බංකර් ය. විටෙක ඔවුන්ට මිය ගියවූවන් සැමරීමට තියා ඔවුන් වෙනුවෙන් හැඬීමට පවා සිදුව ඇත්තේ රහසේ බව නොරහසකි.

71 ජවිපෙ කැරැල්ලට වසර 40 ගෙවෙන මොහොතේ සැමරුම් දෙකකි.

ලංකාවේ එක් කොනක මෙවන් මිලේච්ඡ තත්ත්වයන් වර්ධනය වන අවධියක දකුණේ සිදුවූ එක් අරගලයක් සැමරීමට සැමරුම් දෙකකි.
එකක් කැරැල්ල මෙහෙයවන ලද එහෙත් ජීවත් වීමට වාසනාව ලැබූ මිනිසුන් සහ ගැහැණුන් විසින් සංවිධානය කරනු ලබන 71 සැමරුම් උත්සවය යි. මෙම සැමරුම නම් කර තිබුනේ ‛ප්‍රත්‍යාවලෝකනය’ ලෙසයි. එය සංවිධානය කර ඇත්තේ ‛71 සහෝදරත්ව සංසදය’ විසින් එය සංවිධානය කර තිබුණි.

අනෙක ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන ඉල්මහ විරු සමරුවය. ලංකාවේ සැම තැනම පෝස්ටර් අලවමින් එම සැමරුම නම් කර තිබුණේ ‛‛සදා සමරමු සොහොයුරෝ. 40වන අප්‍රේල් විරු සමරුව’ ලෙසිනි.

සහෝදරත්ව සංසදයේ සැමරුම සිදුවූයේ කොළඹ දීය. ජනතා විමුක්ති පෙරමුණේ සැමරුම ගාල්ලේ දී සිදු විය.

මෙම සැමරුම් දෙකෙහි සිදුවන දේ සහ අපේක්ෂාවන් වෙනස් වුව ද මෙම වසරේ සැමරුම් දෙකටම මූලික වන්නේ එක් සිදුවීමකි. ඒ 1971 කැරැල්ල ය. කැරැල්ලේ දිවිපිදූවන් සැමරීම ය. ඔවුන් ගැන සිහිකිරීම ය. තවත් බොහෝ දේශපාලනික කාරණා සාකච්ඡා කිරිමට මෙම සැමරුම් දෙකම අවස්ථාවක් කර ගත්තේ ය. ඒ දකුණේ ය. නමුත් මෙම සැමරුම් දෙකටම කිසිවෙකුත් බාධා නොකළේ ය. තර්ජනය නොකළේ ය. එහෙත් උතුරේ….

ශෝක වීමත් දේශද්‍රෝහී කිරීම

ජනතා විමුක්ති පෙරමුණේ කැරලිකරුවන් සිහි කිරීමට පෝස්ටර් ගසා රතු කොඩි ඔසවා තම විරුවන් සමරණ විට, ලංකාවේම තවත් දිශාවක ජනයාට තම සමීපතමයින් වෙනුවෙන් සුදු කොඩියක් එසවීමට පවා දෙවරක් සිතිය යුතු තත්ත්වයක් මොරා එමින් ඇත. මෙයින් වන හැඟවුම කුමක් ද? උතුරේ දී රාජ්‍යට එරෙහිව අවි ගත්තවුන්ගේ සන්නද්ධ කැරැල්ල පරාජය කර අවසානයේ දී, (ආණ්ඩුවේ හැදින්වීමට අනුව දැන් සාමය නම්) වුවද ඔවුන්ට හිමිවිය යුතු අයීතින් ජාතිවාදී මුහුණුවරක් ගන්නා බව ය. එපමණක් ද නොව ශෝකවීමත් දේශද්‍රෝහී ලෙස නම් කිරීම ය.

දකුණේ අරගලවලදී මිය ගිය තම ගමන් සගයන් සමරන්නට තිබෙන අයිතිය, උතුරේ අරගලවලදී ද මියගිය ඔව්න්ගේ ගමන් සගයන් සැමරීමටත් තිබිය යුතුය. එය දකුණේ සැමරීම නිසාම නොව එය මිනිසෙකුගේ සංස්කෘතික අයිතියක් වන නිසාය. ඒ මියගිය හෝ මරා දැමූවෙකු සිහිකිරීම ශිෂ්ඨ සමාජයක යහපැවැත්ම පිළිබදව කාරණාවක් වන නිසාය.

කෙසේ නමුත් උතුරේදී මියගිය වූවන් උත්සවස්‍රීයෙන් සැමරීම පසෙකලා ඔවුන් වෙනුවෙන් ශෝක වන්නටවත් අයිතියක් තිබිය යුතුය. එයට නිදහසක් තිබිය යුතුය. අද එය එසේ වන්නේ නැත. එය දකුණේ ජාතිවාදී නඩය විසින් උතුරේ ජනයාගේ ශෝක වීමේ සංස්කෘතික අයිතියත් මරා දමමින් ඇත.
තම අහිමිවූවන් පිළිබඳව ශෝක වීම පසෙකලා, ඔවුන්ට අද ඉතිරිව ඇති තම භූමිය, ගහකොළ ආදී සම්පත් අධිපතිවාදීන් විසින් අහිමිකිරීම පිළිබදව තම හෘද සාක්ෂියෙන්ම පැන නගින ප්‍රචණ්ඩ නොවන විරෝධයත් මරණය ගෙන්වන කාරණයක් බවට පත් වී ඇත. එයට කදිම උදාහරණයක් 2011 වසර ලබද්දි සිදුවිය. යාපනයේ, කුඩත්තනයි ප්‍රදේශයේ ආණ්ඩුවට සම්බන්ධ දේශපාලකයින් සහ ආරක්ෂක අංශ එක්ව සිදුකරන අනවසර වැලි ගොඩදෑමීමක් පිළිබදව ෆේස්බුක් හරහා ජනයා දැනුවත් කළ යාපනයේ තවරාජා කතීස්වරන් නම් තරුණයා ඊට දින කිහිපයකට පසු ආයුධ සන්නද්ධ පිරිසක් විසින් ඔහුගේ පරිඝණකය පරීක්ෂා කර බල ඔහු පැහැරගෙන ගොස් මරා දමා තිබිනි. පසුව ඔහුගේ අවමංගල්‍ය කටයුතු සිදු කළේද ඉතාමත් බියෙන් හා සන්ත්‍රාසයෙන් බව පසුව වාර්තා විය.

මේ යුද්ධයෙන් පසු උතුරේ එක් සිදුවීමක් පමණි. තවත් බොහෝ ව්‍යසනයන් අද උතුරේ සිදුවෙමින් ඇත. සිදුකරමින් ඇත. විශේෂය නම් අතුරුදහන් කිරීම්, ඝාතනය කිරීම් සහ තර්ජනය කිරීම් වැනි දේ අද උතුරේ සිදුවන්නේ 50000කට වඩා වැඩි ආරක්ෂක අංශ සාමාජිකයින් එම ජනයාට ආරක්ෂාව සපයමින් සිටින බවට ප්‍රකාශ කරමින් සිටින විටදීය.

දකුණේ කැරලි සැමරීම් සහ උතුරේ සැමරීම්

දකුණේ ඇතිවූ කැරලි උත්සවස්‍රීයෙන් පසුගිය 05වනදා සමරණ විට උතුරේ මරා දමන ලද තම සමීපතමයන් සිහිකර පහන් වැටියක් දැල්වීමට නොහැකිය. ඔවුන්ගේ සංස්කෘතියට, ආගමට අනුව ඔවුන් සිහිකිරීමට නොහැකිය. එසේම ඝාතනය කරන ලද මිනිසුන් සහ ගැහැණුන් මිහිදන් කර ඇති සොහොන් බිම් උදුරා දමමින් ඇත. මේ නිසා යුද්ධය අවසන් වුවද ඔවුන්ගේ හදවත් තුළට නැවත වරක් වේදනාව එක් කරමින් ඇත.

එහි මිලේච්ඡතම සිදුවීම් පසුගිය දා සිදුවිය. පසුගිය පෙබරවාරි 20 වනදා මිය ගිය ප්‍රභාකරන්ගේ මව වන පාර්වතී අම්මාන්ගේ චිතකය මතට මරා දමන ලද බල්ලන් දමා සිය තිරිසන් මනෝභාවයන් ප්‍රදර්ශණය කිරීමත් සහ මිය ගිය එල්ටීටීඊ සමාජිකයන්ගේ ප්‍රදාන සොහොන් බිමක් වන කෝපායි සොහොන් බිම සහමුලින්ම සමතලා කොට හමුදා කඳවුරක් ඉදිකිරීමත් ය.

දේශපාලන සිතීම්, සන්නද්ධ අරගල කෙසේ වුවත්, මිනිස් මෘත දේහයක් මතට මරා දමන ලද බල්ලන් දෑමීමත්, මරා දමන ලද වූවන් පිළිබදව තම සමීපතමයින්ට තිබෙන එකම මතකය වන ඔවුන් මිහිදන් කළ සොහොන් භූමි විනාශ කිරීමත් ශිෂ්ඨ ලෝකය කිසිදාක අනුමත නොකරනු ඇත.

මේ තත්ත්වයන් තුළ වසර 40කින් පසුව 71’අරගලය දකුණේ දී සමරණ විට තම අනෙකාගේ ජීවත්වීමේ අයිතියේ සිට අඩුම තරමේ ශෝක වීමට තිබෙන සංස්කෘතික අයිතියවත් ආරක්ෂා කිරීමට සහ ඒ වෙනුවෙන් පෙනී සිටීමට රතු කොඩි ඔසවා සිටින්නන්ට මෙන්ම අනෙක් සියලු කොඩි ඔසවා සිටින්නන්ට ද දේශපාලනික ලෙස හැකි වුවහොත් මිලිටරීකරණය වීම නිසා නැවත වරක් උතුරේ දී සිදුවිය හැකි ව්‍යසනයෙන් යම් පමණකට හෝ ලාංකීය සමාජය ආරක්ෂා කරගෙන වඩා සාධාරණ යුක්ති සහගත සමාජයක් ගොඩනගාගැනීමට හැකි වනු ඇත.