සුනන්ද දේශප්‍රිය
ශ්‍රී ලංකාවේ මාධ්‍ය මර්ධනයේ ක්‍රමය වන්නේ ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම යැයි, අන්තර්ජාතික වාර්තා සඳහන් කළේ, 1990 දී රිචඩ් ද සොයිසා ගේ ඝාතනයෙන් පසුය. ජනමාධ්‍යවේදී රිචඩ් ද සොයිසා ඝාතනය, එකළ විපක්ෂයේ සිටි අද ආණ්ඩුවේ සිටින බොහෝ දෙනෙකුගේ ද දැඩි විරෝධයට හේතු විය. එකළ අද ජනාධිපති ධූරයේ සිට ඇමැතිකම් දක්වා නිල තල හොබවන බොහෝ දේශපාලනඥයින් අප සමඟ එක්ව රිචඩ් ඝාතනයට විරෝධය පෑහ.
2006 සිට 2007 දක්වා කාලය තුළ යළි මෙරට ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීමේ භයානක කාලයක් උදාවිය. ආණ්ඩුව කෙරෙහි සහ එහි යුද්ධමය පිළිවෙත කෙරෙහි විවේචනාත්මකව වාර්තාකළ ජනමාධ්‍ය ආයතන ද ජනමාධ්‍යවේදීහුද ඉලක්ක වූහ. 2008 වසර තුළ ඝාතනය වූයේ ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකි. එම ඝාතන දෙකම සම්බන්ධයෙන් වැඩිපුර සැකය ඇත්තේ එල්.ටී.ටී.ඊ.ය කෙරෙහි ය. නමුත් කොළඹදී පැහැරගෙන මරා දැමීමට සැළසුම් කෙරුණු ජනමාධ්‍යවේදීන් දෙදෙනා සම්බන්ධයෙන් බොහෝවිට චෝදනා එල්ල වන්නේ රජයටය. මඩකලපුවේදී ජනමාධ්‍යවේදිනියක වෙඩි තබා මරා දැමීමට තැත්කිරීම සම්බන්ධයෙන් වැඩි සැකය ඇත්තේ ආණ්ඩු හිතවාදී අර්ධ-මිලිටරි සංවිධාන වෙතය.
ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීමේ සංස්කෘතිය, මෙරට තවම එහෙමම ඇති බවට මේ සිදුවීම් පහ සාක්ෂි දරයි. කෙසේ නමුත් දැන් පෙනෙන විදියට එළඹ ඇත්තේ ඝාතනය සහ තර්ජනය මඟින් බිය ගන්වන ලද මෙරට ජනමාධ්‍ය, නීති රීති මඟින් සහ වාරණය මඟින් තලා දැමීමේ කාල පරිච්ඡේදයකට බව පෙනේ.
ඊට පළමු සාක්ෂිය තිස්සෙයිනායගම්, ජසීහරන් සහ වලර්මතී යන ජනමාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය සේවකයින්ට පවරන ලද පෙර නොවී විරූ භයානක නඩුවය. දෙවැන්න නම් රජයට අයිති නොවන රූපවාහිනී නාලිකා පාලනය කිරීමට ගෙනැවිත් ඇති 2008 ඔක්තෝබර් 10 දරණ රෙගුලාසිය. තෙවැන්න නම් තෝරාගත් ජනමාධ්‍යවේදීන් පමණක් යුද කාලයේ වාර්තා කිරීම පිණිස ගෙන යමින්, යුද කාලය වාර්තාකරණය සහමුලින්ම වාගේ වාරණය කිරීමට ගෙන ඇති පියවරයන් ය. එහිම යාපනයේ දිගුවක් වන්නේ නගර සභා මැතිවරණය පැවැත්වීමට යෝජිත යාපනයේ ජනමාධ්‍ය මත එල්ල කැරෙමින් තිබෙන අර්ධ-මිලිටරි හමුදා තර්ජනයන් ය.
මෙම ප්රවණතාවයන් තුනම ඉදිරියේදී තවදුරටත් වර්ධනය නොවනු ඇතැයි කිව නොහැක්කේ කාටද?
තිස්සෙයිනායගම් ට සහ අනෙක් දෙදෙනාට පවරා ඇති නඩු, ඉතාම පැහැදිලිව ප්රකාශනයේ අයිතියට එරෙහිව පවරා ඇති නඩුය. තිස්සෙයිනායගම් නඩුව ප්රජාතන්ත්රවාදී ලෝකයෙහි, ප්රකාශනයේ අයිතිය පාලනය කිරීම පිණිස, ත්‍රස්තවාදය මැඩලීමේ නීති යොදා ගනිමින් පවරා ඇති එකම සහ මුල්ම නඩුවය. එම නඩුවෙන් කියැවෙන්නේ “ජාතිවාදී හැගීම් ඇවිස්සීමට” අනුබල දෙන ලිපියක් පළකිරීම නිසා ඔහු සිරගත කළ යුතු බවය. වලර්මතී දැනට මාස 9ක් පමණ රැදවුම් සිරභාරයේ සිටින්නෙත් නඩු විභාගයකට මුහුණ දෙන්නෙත් තිස්සෙයිනායගම්ගේ සඟරාව වූ “නෝර්ත් ඊස්ටන් හෙරල්ඩ්” හි අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකාවක් වීම නිසා පමණය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ, මෙම තිදෙනාට දඬුවම් කළහොත්, ඉන් මෙරට විවේචනාත්මක ජනමාධ්‍යවේදයේ හඬ සහමුලින්ම වැසීයනවා ඇත. මන්දයත් නඩුපවරා ඇති එකී ලිපියට වඩා බොහෝ සෙයින් විවේචනාත්මක ලිපි, අප බොහෝ දෙනා තවමත් ලියමින් සිටින නිසාය. මෙම නඩුවෙන් තිස්ස ඇතුළු පිරිස සිරගත කළයුතු බව ආණ්ඩුවේ මතයයි. එය සාර්ථක වුවහොත් ඒ පූර්වාදර්ශය මත අප බොහෝ දෙනෙක් සිරගත කොට ජනමාධ්‍ය ආයතන ගණනාවක්ද වසා දැමීමේ අවස්ථාව ආණ්ඩුව ලබාගන්නවා ඇත.
මේ වනාහී නීතිය එනම් ත්ර.වැ.පනත මඟින් මෙරට ජනමාධ්‍ය වාරණය කිරීමේ නිරුවත් ප්රයත්නයකි. නමුත් ඛේදවාචකය නම්, මේ නඩුව අරභයා මෙරට ජනමාධ්‍ය දක්වන භයානක නිහඬතාවයයි. ඒ තිස්ස දෙමළ නිසාද? රිචඩ් ජවිපෙට ඇගෑලුම්කම් පෑ බව දැන දැන ම ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනමාධ්‍ය ප්‍රජාව අද විරෝධය නොපාන්නේ මන්ද? ලබ්බට තැබූ අත පූහුලට නොතබන බව නොදන්නා නිසාද?
දැන් පූහුලට ද අත තබා තිබේ. එනම් ඔක්තෝබර් 10 දරණ පුද්ගලික රූපවාහිනී නාලිකා පාලනය කිරීමේ රෙගුලාසීන් ය. මෙම නීති රෙගුලාසි මඟින්, පුද්ගලික රූපවාහිනී නාලිකා පාලනය කිරීමේ සම්පූර්ණ අයිතිය ඇමැතිවරයාට පැවරෙයි. නාලිකා සඳහා අවසර ලැබෙන්නේ එක් වසරකට පමණි. රූපවාහිනී වැඩසටහන් අන්තර්ගතය පාලනය කිරීමේ නීති, අවිනිශ්චිත වන අතර පුළුල්ය. අර්ථ දැක්වීම ඇමැතිවරයා සතුය. මෙම නව රෙගුලාසි, රූපවාහිනී නාලිකා පමණක් නොව ජංගම දුරකථන පවා සන්නිවේදන උපාංග වශයෙන් යොදා ගැනීම පාලනය කිරීමට සැලසුම් කොට තිබේ. මේ අනුව රූපවාහිනී නාලිකා හිමිකරුවන් ශ්‍රී ලාංකික පුරවැසියන් විය යුතු අතර ඒ කිසිවකුට දේශපාලන පක්ෂයක සාමාජිකත්වය හෝ දැරිය නොහැක. දේශපාලන පක්ෂයන්ට නාලිකා පැවැත්වීම තහනම් ය. රාජ්‍ය පාලිත ජනමාධ්‍ය සහමුලින්ම ආණ්ඩු පක්ෂයේ දේශපාලන තොරණ බවට පත්ව ඇති රටක, දේශපාලන පක්ෂයක සාමාජිකත්වය දැරීම, නාලිකාවක් පවත්වාගෙන යෑම තහනම් කිරීමට සාධාරණ හේතුවක් නොවේ. ඊටත් වඩා මෙම රෙගුලාසි තුළ රාජ්‍ය පාලිත රූපවාහිනී නාලිකා ස්වාධීන කිරිම පිළිබඳ කිසිදූ සඳහනක් නැත.
ලෝකයේ නව ප්රවණතා අනුව ජංගම දුරකථන හෝ අන්තර්ජාල රූපවාහිනී නාලිකා මත තහංචි පැණවීම, ශ්‍රි ලංකාව ආපස්සට ගෙන යාමකි. ඇත්ත වශයෙන්ම මෙම රෙගුලාසි මඟින් ද බුරුමය හෝ සිම්බාබ්වේ මෙන් කිසිදූ ජනමාද්‍ය නිදහසක් නැති රටක් බවට නීතියෙන්ම පත්කිරීමටයි. මෙම රෙගුලාසි, පැරදවීමේ නීතිමය වූත් දේශපාලනමය වූත් ක්‍රියාදාමයක් ගොඩනැගීම අප අද හෙටම ක්‍රියාකළ යුතුය. නැතහොත් අප සමාජයම පත්වනු ඇත්තේ ගොළුවන් සහ බිහිරන් බවටය.
තෙවනුව, අද උතුරෙහි මෙන්ම නැගෙනහිරෙන් ද සිදුවන මාධ්‍ය මර්ධනය යි. යාපනයේ උදයන් පුවත්පත් වසා දැමෙන මට්ටමේ මර්ධනයක් ඊට එරෙහිව මුදා හැර තිබේ. නැගෙනහිර “තමිල් අලෙයි” නම් ටීවීඑම්පී පුවත්පතෙහි අයිතිය උදෙසා කරුණා සහ පිල්ලෙයාන් අතර ඇති තරඟය සන්නද්ධ ගැටුමක් බවට පත්ව, මිනිස් ඝාතන පවා සිදුවන තත්ත්වයට පත්ව තිබේ. මඩකලපුව ස්වාධීන ජනමාධ්‍යවේදීනට “මරණයේ භූමියකි” ආණ්ඩුවේ ආශිර්වාදය ඇතිව නැගෙනහිර පාලනය කරන ටී.එම්.වී.පී. ය මෙන්ම උතුර පාලනය කිරීමට නියමිතව සිටින ඊ.පී.ඩී.පී. ය යන පාර්ශවයන් දෙකම, ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දක්වන්නේ එල්.ටී.ටී.ඊ. යේ මර්ධනකාරී පිළිවෙතම ය.
ආණ්ඩුව දකුණේ ජනමාධ්‍ය ගර්ජනයෙන් නීතියෙන් සහ ආර්ථික බලපෑම් මඟින් මර්ධනය කරයි. උතුරු නැගෙනහිර ආණ්ඩුවේ සගයෝ එය අවිබලයේ කරති. එල්.ටී.ටී.ඊ.ය යටතේ මාධ්‍ය නිදහස පිළිබඳ ඡායාවක් වත් නැත.
මිනී මරා නොමරා ජනමාධ්‍ය පාලනය කරන, ශ්‍රී ලංකාවේ පිළිවෙත ලෝකයේම මෙවැනි රටවලට ආදර්ශයක් වන තරම් නොවේද?