එක්සත් ජාතීන්ගේ ලේකම්වරයාගේ ශ්‍රී ලංකාවේ සිදු වූ යුධ අපරාධ සම්බන්ධ විද්වත් කමිටු වාර්ථාව මේ මොහොත වන විට ශ්‍රී ලංකා රජය වෙත යොමුකර ඇති නිසා මෙවර මැයි දිනයේ තේමා පාඨය “සා දුකින් පෙළෙන උන් – මූන් කන්න නැගිටියව්” වන හැඩරුව දැන් මතුවෙමින් පවතී. මෙවර මැයි දිනය අපගේ බලය පෙන්වීමට යොද ගන්නවායැයි පවසමින් මහින්ද රාජපක්‍ෂ ජනාධිපති වරයා විසින්ම ඒ සම්බන්ධ දැනටමත් ඉඟියක් කර තිබුණි. වාර්තාව මේ වනවිට නිල ලෙස මාධ්‍යට මුදා හැර නොතිබුණද දැන් ඒ සම්බන්ධයෙන් ගත යුතු රාජත්‍රාන්ත්‍රික කටයුතු පසෙකලා දැවැන්ත ප්‍රචාරණ යාන්ත්‍රණයකට අර අදින සෙයක් කෙමින් කෙමින් මතුව එමින් පවතී. මේ වනවිට කොළඹ නගරය අවට ඒ සම්බන්ධ දැවැන්ත ප්‍රචාරණ පුවරු කීපයක් දැක ගැනීමට පුළුවන.
මැයි දිනය හෙවත් කම්කරු දිනය එම ප්‍රචාරණ යාන්ත්‍රණයේ මුහුරත් උළෙළ ලෙස යොදාගැනීමට රජය පිඹුරුපත් සකසමින් සිටී. වාර්තාව සම්බන්ධව නිසි අධ්‍යනයක් හෝ කරන්නට ප්‍රථම එය රජයට භාරදුන් දා පටන්ම දේශද්‍රෛා්හී නැතිනම් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ නම් වූ ජනප්‍රිය සටන් පාඨය නැවත කළඑළි බැස ඇත. රටට පැත්තෙන් ඉතාම සංකීරණ කාර්යයක් හා උපායමාර්ගික මුහුණ දියයුතු ප්‍රශ්ණයක් වූවද ඇත්තටම මෙය රාජපක්‍ෂ රෙජීමයට පැත්තෙන් එය ඔවුන්ගේ දේශපාලනික ව්‍යාපෘතියේම කොටසක් පමණක් කරගෙන ඇත. ඒ මේ මෙහොතේ රටතුල පවතින දේශපාලනික කථාබහ වෙනත්ම පැත්කට යොමුකර මින් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා වීර නාමාවලියට ඇතුළත් කරගැනීමේ මෙහෙයුමයි. මද්දුම බණ්ඩාර සිනාසෙමින් මරණය මුහුණ දුන්නාක් මෙන් මෑතකදී රාජපක්‍ෂ ජානාධිපතිවරයා ප්‍රකාශ කළේ තමන් සිනාසෙමින් විදුළි පුටුවේ අසුන් ගන්නාක් බවයි. ජාත්‍යන්තරය යුධ අපරාධ සම්බන්ධව තීන්දුවක් ගන්නත් ප්‍රථම ඔහු විසින් වරද බාරගෙන ඇත. එය එක් අතකින් හොරාට කළින් කෙසෙල් කැන වැට පැන්නීමකි.
අනෙක් පසින් මෙහොතේ රට තුළ වූ මානව හිමිකම් සම්බන්ධව. මාධ්‍ය නිදහස සම්බන්ධව සහ ඒ වගේම ජීවන වියදම සම්බන්ධව තිබූ දේශපාලනික සංවාදය නිහඬ කිරීමට මෙය ඉතාම හොඳ තෛලයකි. ඒ මේ වාර්තාව සම්බන්ධයෙන්, එයට පක්‍ෂපාතීව අදහස් දක්වීම හා මේ මොහොතේ රජය අපහසුතාවයට පත්වන කටයුතුවල නිරත වීම දේශද්‍රෝහී ක්‍රියාවක් ලෙස කිසිදු හිරිකිතකින් තොරව ලේබල් කළ හැකි හෙයිනි.
කම්කරු දිනය යම් ලෙසකින් තමන්ගේ කම්කරු බලය පෙන්වීමට යම්කිසි කණ්ඩායමක් හෝ පක්‍ෂයක් සුදානමින් සිටි නම් දැන් එය සිහිනයක් පමණි. එක් අතකින් එහි පුදුම වන්නට ද දෙයක් නැත. මේ වන විට ලංකාවේ අනෙක් සියලුම දෑ වගේම සෑම දිනයක්ම රාජපක්‍ෂ රෙජීමය සතුවන්නාසේම කම්කරු දිනය ඔවුන්ගේ අයිතියට ගෙන ඇත.
රාජපක්‍ෂ රෙජීමයට අනුව මෙය කොටි හිතවාදී කුමන්ත්‍රණයකි. එය ඉතාම සරල නිර්වචනයකි. අනෙක ඔවුන්ට ඇති එකම උත්තරය ද එයයි. ලෝකයත් සමඟ ගනුදෙනු කිරීමට ගමේ හන්දියේ චන්ඩියෙකු වැනි විදෙස් ප්‍රතිප්‍රත්තියක් අනුගමනය කිරීමේ ප්‍රතිඵලයකි. 2009 දෙමළ සන්නද්ධ ව්‍යාපාරය සමූල ඝාතනය කිරීම ශ්‍රී ලංකා රාජ්‍යයේ පැහැදිලි කිරීම්වලට අනුව මානුෂීය මෙහෙයුමක් කියා නිර්චචනය කල ද එය වචනයේ අර්ථයෙන් පවා අසමත්ය. මන්ද මිනිසුන් සමූල ඝාතනය කෙරෙනා යුධ මෙහෙයුමක් කිසිම ආකාරයකින් මානුෂීය මෙහෙයුමක් වන්නට නොහැකි නිසාය. කමිටුව පත්කරන්නේම ශ්‍රී ලංකාව තුළ දිගින් දිගටම සිදුවන මානව හිමිකම් කඩවීමේ සහ දමිළ ජනයා වෙත මුදාහල මර්ධනයේ ප්‍රතිඵලයක් වශයෙනි. ඒ අනුව මෙය ශ්‍රී ලංකා ආණ්ඩුව විසින්ම ඇතිකර ගත් තත්ත්වයක් මිස ජාත්‍යන්තරය විසින් හෝ වෙනයම් සංවිධානයක් විසින් ඇතිකරනු ලැබූ සුවිශේෂී තත්ත්වයක් නොවන්නේය. බලයෙන් උදම්ව මානව දහම අමතක කර දැමූ පාලකයන් වෙත මෙවැනි තත්ත්වයන් උදාවීම පුදුමයක් නැත.
අද (2011-04-24) විමල් වීරවංශ ඇමතිවරයා පිම්ඹීම අරමුණු කරගත් ලංකා සී නිවුස් නම් වෙබ් අඩවියේ ප්‍රවෘත්තියක් පළකරමින් ප්‍රකාශ කර සිටින්නේ එක්සත් ජාතීන්ගේ විද්වත් කමිටු වාර්ථාව නිසා ලංකාව නේටෝ සම්බාධක පැනවීමේ අවධානමක් ඇති බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජය සමඟ මේ සම්බන්ධව නිල වශයෙන් සාකච්ඡාවක්වත් නොමැති වටපිටාවක මොවුන් මේ පවසන්නේ කුමක්ද?? මේවැනි වගකීම් රහිත පුවත් පළකිරීමේ ප්‍රධානම අරමුණ විමල් වීරවංශ වැනි දේශපාලනික ලෙස අනාථ චරිතවලට මාධ්‍ය පෙළහර පාන්නට අවශ්‍ය වේදිකාවක් සකසා දීමයි. අනෙක් පැත්තෙන් ලංකාවේ දූපත් වැසියාගේ දේශප්‍රේමය අවදි කිරීමයි. කුමන මතවාදී තලවල සිටියද දෙමළ ජාතික ප්‍රශ්ණයේදී දකුණම සිටින්නේ එක පෙළකය. උතුරේදී ඝාතනය වූයේ දමිළ ජනයා නිසා දකුණට මේවා ප්‍රශ්ණ නොවෙති. ඒ මතයේ එල්බ සිටින දකුණ හට මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය. ලෝක වැසියාගෙන් ලංකීය දුපත් වැසියා වෙන්වී මනාව කැපීපෙනෙන්නේ මෙවැනි අවස්ථාවන්වලදීය.
මින්පසු දකුණේ පාන් මිල වැඩිවීමට ද නැතිනම් බස් ගාස්තු වැඩිවීමට ද හේතුව මූන්ය. මෙරට සා දුකින් පෙළෙන උන්ට රාජපක්‍ෂ ආණ්ඩුවට බඩකට පිරෙන්න දෙන්න ඇති එකම දෙය දැන් මූන්ය. ඒ සඳහා රූපවාහිනියේ පැය ගණන් වැයකරමින් සිටී. මහින්ද අබේසුන්දරට අත හිරි වැටෙනකම් විමසුම ලිවිය හැක. විමල් වීරවංශට, ගුණදාර අමරසේකරට කටවල් රිදෙනකන් මාධ්‍ය හරඹ දැක්විය හැක්කේ ය. ඔවුන්ගේ අභිලාශයන් වන්නේ ඒවාය. එසේනොමැතිව වඩාත් පුළුල් ඇසකින් මෙම ප්‍රශ්ණ විග්‍රහකරගනිමින් ඒ සම්බන්ධයෙන් රාජත්‍රාන්ත්‍රික ක්‍රියාමාර්ග වලට යොමුවීම නොවේ.
කෙසේ නමුත් විද්වත් කමිටුවේ වාර්ථාවට සුභපතමු… ඒ අන් කිසිවක් නිසානොව අවුරුදු 40 ක් තිස්සේ සිදුවූ මහා ඝාතන සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් ආණ්ඩු කරවන රටක, 2009 වසරේ සිදුවූ ජනසංහාරය ගැනවත් නීතිය ක්‍රියාත්මක කරන්නට බලකිරීම ඉතාම අගේය. ඒ නිසා මේ මොහොතේ අවශ්‍ය වාර්ථාව මාධ්‍යයට නිකුත්කළ පසු වඩාත් පූළුල්ව එය අධ්‍යනය කිරීමයි. ජනතා විමුක්ති පෙරමුණ පවා මේ මොහොත විග්‍රහකරන්නේ රණවිරුවන් පෝරකයට යැවීමක් ලෙසය. ඔවුන්ගේ සහෝදරයන් දහස් ගණනක් මරු තුරුළට යැව්වේම ඔය මිළිටරිය කියා කිසිත් මතකයක් නැත.
මේ මොහොත දෙස අප ඉතාම විමසිල්ලෙන් බලාසිටිමු. ඒ අවස්ථාවාදී දේශපාලකයන් හත්පොළේ ගාගෙන දඟලද්දී පාලකයන්ගේ අදූරදර්ශී භාවය, අසමත්කම තව තවත් මනාව පෙන්වන නිසාවෙනි.