වව්නියාවේ වෙසෙන අවතැන් වූවන් හා එහි වර්ථමාන තත්ත්වය පිළිබඳව සොයා බලා ලිපි හා ගුවන් විදුලි වැඩසටහන් නිර්මාණය කිරීම සඳහා අප මාධ්‍ය කණ්ඩායම පිටත්වයාමට නියමිතව තිබුණේ මීට ෂති දෙකකට ඉහතදීය. කොළඹ සිට පැමිණෙන වාහනවලට මැදවච්චිය මුරපොළ පසුකර යාමට විශේෂ අවසරයක් ලබාගත යුතු බැවින් එම අවසරය ලැබෙන තෙක් සතියකට වැඩි කාලයක් අපි බලා සිටියෙමු.එහෙත් කොළඹ සිට පැමිණෙන වාහනයෙන් මැදවච්චිය මුරපොල පසුකර යාමට අපට අවසරය ලැබුණේ නැත.
ඒ නිසා කොළඹ සිට පැමිණෙන වාහනයෙන් මැදවච්චිය මුරපොල දක්වා පමණක් ගමන්කර එතැන්සිට වව්නියාවේ ඇති වාහනයකින් ගමන් කිරීමට අපි කටයුතු සූදානම් කරගත්තෙමු. එම කටයුතු සුදානම් කරගැනිම සඳහා අපට සතියක පමණ කාලයක් ගතවිය.
කෙසේ හෝ බාධක මැදින් වව්නියාවට යෑමට කොළඹින් අපි පිටත්වුයේ පසුගිය අඟහරුවාදා දිනයේ දීය.එහිදී පලමු වතාවට වව්නියාවට යන මට මැදවච්චිය මුරපොළේදි පාඩම් රැසක් ඉගෙන ගත හැකිවිය.
මෙම මුරපොලේදී ලංකාවේ වෙසෙන සියලුම ජාතීන්ට එක ලෙසින් සලකන්නේ නැත.සිංහල ජාතිකයන්ට ෂලකන්නේ එක් ආකාරයකටය. මුස්ලිම් ජාතිකයන්ට හා දෙමළ ජාතිකයන්ට ෂලකන්නේ තවත් ආකාරයකටය.සිංහල ජාතකයන් වූ මමත් උපුල් තම්මිටත් මුස්ලිම් ජාතිකයෙක් වූ ඕමාර්වත් පිටත්කර හැරියේ අපගේ සිරුරු හා ගමන් මළු පරීක්ෂාකිරීමෙන් අනතුරුය. නමුත් අපි සමඟ ගමන්ගත් දෙමළ ජාතිකයෙක් වූ මනිවානන්ට අපට මෙන් මැදවච්චිය මුරපොලින් පිටත්ව යාමට නොහැකි විය. පොලිස් නිළධාරීන්ගේ දැඩි පරීක්ෂාකිරීම් වලට ලක්වු මනිවානන්ට පොලීසිය විසින් කාඩ් පතක් ලබාදුන්නේය. වව්නියාවට යන දිනය හා නැවත එන දිනය සඳහන් කරමින් ලබාදුන් එම කාඩ්පත නොමැතිව නැවත එම මුරපොලින් පිටත්ව යා නොහැකි විය.
‛‛මාත් සමඟ ගිය කිසිඳු සිංහල ජාතිකයෙකුට මෙවැනි ගැටලුවක් ඇති වුනේ නැහැ. මම දෙමළ වැසියෙක් නිසාද මේ වගේ වුනේ. දෙමළ ජනතාවට සුවිශේෂ වූ ගැටලු තවමත් තියෙනව කියල හිතෙන්නෙ මෙහෙම උනාම තමයි.’’ පොලිස් මුරපොලින් පිටත් වන ගමන් මනිවානන් අප සමග කීවේ දුක්මුසු හඬකින්.
මැදවච්චියේ සිට වව්නියාව දෙසට ගමන් කරත්ම අපගේ ජංගම දුරකථන සියල්ලම ගොළු විය. ඒ ආරක්ෂක හේතූන් මත දවහවල් කාලයේ වව්නියාවේ ජංගම දුරකතන සංඥා අක්‍රිය කර තබන නිසාය.දහවල් කාලයේ ක්‍රියාත්මක වන්නේ ස්ථාවර දුරකථන පමණි.වව්නියාවට පැමිණි අපි අපේ ගෙවල් වලට ඇමතුම් ලබාදුන්නේ කොළඹදී දුරකථන ඇමතුමකට වැය කරන මුදලමෙන් දෙගුණයක් තුන් ගුණයක් වැය කරමිනි.
වව්නියාවට අප පැමිණි පළමු දිනයේම සවස හතරට පමණ අප පූන්තෝට්ටම් සරණාගත කඳවුර වෙත ගියේ එහි සිටින සරණාගතයන්ගේ තත්ත්වය පිළිබඳව ලිපියක් සැකසීමට තොරතුරු ලබාගැනීම සඳහය. අප කඳවුරට ඇතුළු වන විට එහි සිටි තරුණයින් යම් බිය මුසු බැල්මක් අප වෙත හෙලුවේය ඒ අප ගමන් ගත් රථය සුදු පැහැති එකක් නිසාය. පසුගිය සති කිහිපය පුරාම සුදු පැහැති වෑන් රථවලින් පැමිණ කඳවුරේ සිටි තරුණයින් පැහැරගෙන යාම මොවුන්ගේ බියට හේතුවයි.
වව්නියාව නගරයේ සැරිසැරූ අපට හැම අතින්ම දක්නට ලැබුණේ ආයුධ අතින්ගත් හමුදා සොල්දාදුවන්ය. නගරයේ සෑම මංසන්ධියකම හමුදා මුරපොලවල්ය. හමුදා සෙබලුන් රැගත් ලොරි හා බෆල් මෙහි වෙසෙන්නන්ට සුපුරුදු දසුන්ය.වව්නියාවට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු කිසිදු පෙර දැනුම් දීමකින් තොරව ක්ෂණික පරීක්ෂාවට ලක්විය හැකිය.
වව්නියාවේ සිටි අපට අපූරු අත්දැකීම් රැසක් අත්විඳීමට අවස්ථාව හිමිවිය. ඉන් එක් අත්දැකීමක් වුයේ හර්තාලයක් කැඳවන අයුරු හා එම හර්තාලය අසාර්ථක වන අයුරුය.
‛‛හෙට වව්නියාවේ හර්තාලයක් පැවැත්විය යුතු බවට වෙබ් අඩවියක සඳහන් වෙනව ඒ නිසා හෙට සමහර විට එළියට බහින්නවත් ලැබෙන එකක් නැහැ. ඔයාලට හෝටලය ඇතුලට වෙලාම ඉන්න වේවි.’’ පසුගිය බදාද දිනයේදී අපට එසේ කීවේ වව්නියාවේ සිටින රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධානියෙක්. එදිනම තවත් රාජ්‍ය නොවන සංවිධාන කිහිපයකම නියෝජිතයින් හමුවූ අතර ඔවුන් සියලු දෙනාම කියා සිටියේ හර්තාලයක් පැවැත්වෙන බවට නිවේදනය කර ඇති නමුත් තමන් ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බවයි.
‛‛ හර්තාලය තියෙනවාද නැද්ද කියලා බලන්න වෙන්නේ හෙට උදේටම තමයි.උදේට කවුරුවත් කඩ ඇරියේ නැත්නම් අපිත් කඩ අරින්නේ නැහැ. කට්ටිය කඩ අරිනවනම් අපිත් කඩ අරිනව.’’ නම හෙළිනොකරන ලෙෂ ඉල්ලා සිටි වව්නියාවේ කඩ හිමියෙක් අපට කීවේය.
හර්තාලය ගැන අපි වව්නියාව ජනතාවගෙන් විමසුවද අපට කිසිවක් කීමට ඔවුන් බිය වූහ. එයට හේතුව හර්තාලයට විරුද්ධව හෝ පක්ෂව අදහස් දැක්වීම ඔවුන්ගේ හිසට නාඳුනන තුවක්කු කරුවකුගේ උණ්ඩයක් ඇතුළුවීම හේතුවක් වන බව ඔවුන් දන්නා නිසාය.
වව්නියාව නගරයේ කිසිඳු අයුරකින් හර්තාල් නොපැවැත්විය යුතු බවට යුධ හමුදාව විසින් නිවේදනයක්ද නිකුත් කර තිබුණි. ‛‛හර්තාල් තියන්න අපි ඉඩ දෙන්නේ නැහැ. නගරයේ ආරක්ෂාව තහවුරු කරල තියෙන්නෙ. වව්නියාව කියන්නෙ හමුදා පාලනය යටතේ පවතින ප්‍රදේශයක් මිස එල්ටීටීඊ ය යටතේ පවතින ප්‍රදේශයක් නොවෙයි. හමුදාවෙන් දාල හරි අපි බස් දුවවනව.’’ එහි හමුදා ප්‍රධානියෙක් පැවසුව.
කෙසේ වෙතත් පසුදා වව්නියාවේ හර්තාලය අසාර්ථක වුනි. වසා තිබු කඩ සියල්ල හමුදා නියමයෙන් විවෘත විය. එහෙත් වෙනදා මෙන් මිනිස්සු බියක් සැකක් නොමැතිව නිදහසේ ගමන් කරන අයුරු අප දුටුවේ නැත. පාසැල් ලමුන් පාසැල් වලට පැමිණ සිටියේද නැත.
වව්නියාවේ සිට නැවත කොළඹ බලා පැමිණිම වව්නියාවට ගියාටත් වඩා අපහසු කාරණයක් විය. පරීක්ෂා කිරීම් ඒ තරම්ම බරපතල ය. නැවත එන ගමනේ මුල්ම පරීක්ෂා කිරීම සිදුවුයේ වව්නියාව පොලිස් අධිකාරී කාර්යාලය අසල ක්‍රිඩාංගනයේ ඇති මුරපොලේදීය. එතැනදී වාහනයේ ආසන පමණක් නොව එන්ජිමද පරීක්ෂාවට ලක් කෙරිණි. එතැන පිහිටි පොලිස් අධිකාරී කාර්යාලයෙන් ලබාගත් අවසර පත රැගෙන වහාම මැදවච්චිය මුරපොල වෙත ගමන් කළ යුතුව තිබිණි. වවුනියාව හා මැදවච්චිය අතර පිහිටි ඉරට්ටෛයිපෙරයකුලම් මුරපොල පසුකිරීමට ලැබී තිබුණේ විනාඩි විස්සක් පමණි. එම කාලය ඇතුළත එම මුරපොල පසු නොකල හොත් නැවත වව්නියාවට ගොස් වාහන පරීක්ෂාකර අවසර ගැනිමට සිදුවෙයි.
මැදවච්චිය පොලිස් මුරපොල වෙත පැමිණි අප නැවතත් පූර්ණ සෝදිසීයකට ලක්විය. එම මුරපොළින් වව්නියාව දෙසට පිටත්ව යන විට මනීට ලබාදුන් කාඩ්පත නැවත මුරපොල වෙත ලබාදීමෙන් අනතුරුව මැදවච්චිය මුරපොලට ආයුබෝවන් කියූ අපි කොළඹ බලා පිටත් වූයෙමු.
සංජය නල්ලපෙරුම
ඉන්ටර් නිවුස්