ධම්ම සර් වෙත,
ඉතින් ධම්ම සර්, ඔබ සැපෙන් සතුටින් බව මම දනිමි. පසුගිය දා ඔබ සහභාගී වූ සුභාරතී වැඩසටහනට මම සවන් දුන්නෙමි. එහිදී ඔබ පැවසූ දෑ අසා මට පුදුමත් සිතුණි. මන්ද එහිදී ඔබ පැවසූ දෑ මීට වසර දෙකකට පමණ ඉහතදී අපට ඔබ අපට ඉගැන්වූ දේට ඉදුරාම වෙනස් හෙයිනි.
ආයුබෝවන් මහරජාණනි ගීතය රෑපවාහිනියේ ප්‍රචාරය වනවා දැක ඔබ කීවේ ගීතය ගායනා කරන ගායිකාව ගැන ඔබට අනුකම්පා සිතෙන බවයි. ඇය එසේ කරන්නේ ඇගේ දේශපාලන නොදානුවත්කම නිසා බව ඔබ කීවේය. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට එවැනි ස්තෝත්‍ර ගායනා අවශ්‍ය නොවන බව ඔබ අපට ඉගැනුවා මතකද? ඉතින් ධම්ම සර් අද මට ඔබ ගැන අනුකම්පා සිතේ. මන්ද එකම මතය දරන තිදෙනෙක් එකතු වී එය සංවාදයක් යැයි කියා ගනිමින් එකාට එකා පරයා රාජපක්ෂ ආණ්ඩුවේ පිට කැසීම ගැනය.
ඔබට මතකද, 1988/89 කාලයේ සිදු වූ ම්ලේඡ්ච ඝාතන පිළිබද ඔබ කළකිරීමෙන් කතා කළ ආකාරය? 88/89 පිළිබද සාධාරණ පසු විපරමක් සිදු නොවීම පිළිබදව දකුණේ සිහල ජනයා තුළ දැඩි කළකිරීමක් පවතින බව ඔබ අපට කීවේය. දෙමල ජනයාගේ ගැටළු පිළිබද සාර්ථක විසදුමක් ගෙන ඒමට දකුණේ සිංහල ජනයා තුළ වැඩි උනන්දුවක් නොපවතින්නේ 88/89 කාලය පිළිබදව ප්‍රධාන ධාරාවේ සාකච්ඡාවක් ගොඩ නොනැගීම මත හට ගත් කළකිරීම බව ඔබ විශ්වාස කළා නේද? එවකට පැවති ආණ්ඩුව ගණන් නොතබා සිය ගණනින් එවකට ඔබේ වයසේ තරුණයින් මරා දැමූ බව, විශ්ව විද්‍යාලයේ ලේ පැල්ලම් ගැන, රට පුරා පැතිර තිබූ භිෂණය ගැන අපට ඉගැන්වූවා නේද?
ඉතින් ධම්ම සර්, 1988/ 89 කාලයේ පැවති ආණුඩුව විසින් සිංහල කොල්ලන් කෙල්ලන් මරා දැමූ ආකාරය අත් දුටු ඔබ වත්මන් ආණ්ඩුව විසින් වන්නියේ දෙමල කොල්ලන් කෙල්ලන් මරා දැමූ බව විශ්වාස නොකරන්නේ ඇයි? ඒ ගැන ස්වාධීන පරීක්ෂණයක් නොපැවැත්වීමෙන් දෙමල ජනයා තුළ එවැනි කළකිරීමක් ඇති වන බව සිතන්නේ නැද්ද? එසේ නැතිනම් සිංහල ජාතිකවාදී යුධ ජයග්‍රහණයේ උන්මාදය විසින් ඔබට එසේ සිතීමට ඇති ඉඩ කඩ අහුරා දැමුවාද?
එක්සත්ජාතින්ගේ සංවිධානය, එක්සත් ජනපද සංවිධාන ලෙස සුභාරතියේදී ඔබ අර්ථ ගැන්වූවා මම අසා ගෙන සිටියෙමි. එ.ජා මහ ලේකම් ගේ වර්ථාව ඔබ ප්‍රතික්ෂේප කරනවා නම්, ඒ වෙනුවට ස්වාධීන පරීක්ෂණයක් සිදු කිරීම සදහා ඔබ යෝජනා කරන ජාර්ශවය කුමක්දැයි මම දැන ගැනීමට කැමැත්තෙමි. අවතැන් වූ දෙමල ජනයාට නිදා ගන්නා පැදුරේ සිට හිසට සෙවන දෙන කූඩාරම දක්වා බොහෝ දේ දී තිබුණේද සරණාගතයින් සදහා වන එ.ජා මහ කොමසාරිස් කාර්යාලයෙන් බව මා මැනික් ෆාම් කදවුරේ ස්වෙච්ඡාවෙන් ආහාර පිසීමට ගිය විට අවස්ථාවේ දුටුවෙමි. අද ඔබ ප්‍රශස්ති ගායනා කරන රජයට අවතැන් දමිල වැසියාට නිදා ගන්න පැදුරක් දෙන්නට වුවමනාවක් තිබුණාද? අපි එදා මෙන් අදත් ජය පැන් බොනවා විනා ඔවුන් ගැන සිතනවාද?
ඉතින් සර්,
අතීතය පිළිබද වන සාධාරණ ඇගයුමක් හරහා ජාතීන් අතර විශ්වාසය ගොඩනැගිය හැකි වනු ඇති බව අපට ඉගැන්වූයේ ඔබය. එවැනි විශ්වාසයක් සදහා මේ පවතින සිංහල ජාතික වාදී සහ ජයග්‍රහණවාදී වාතාවරණය උපකාරී වේ යැයි ඔබ සිතනවාද? එසේත් නැතිනම් ජයග්‍රහණයේ උන්මාදයෙන් යථාර්ථය අමතක වී ගොස්ද?
මීට,
ඔබගේ ශිෂ්‍යාවක්