Colombo, end of the War, Featured Articles, Features

එ.ජා විද්වත් කමිටු වාර්තාවෙහි සාරාංශය – ‛‛ සිය මිලිටරි මෙහෙයුම ව්‍යාප්ත කළේ සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවකට මරු කැඳවමින් ය’’


ශ්‍රී ලංකාව තුළ වගවීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පත් කළ විශේෂඥ මණ්ඩලය නිකුත් කළ වාර්තාව

2011 අප්‍රේල් 15, ප.ව. 6:24

විධායක සාරාංශය

2009 මාර්තු 23 දා මහ ලේකම්වරයා කළ ශ්‍රී ලංකා සංචාරය අවසානයේ දී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහ මහ ලේකම්වරයා නිකුත් කළ ප්‍රකාශයෙහි අන්තර්ගත වූ ඒකාබද්ධ කැප වීම ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් තමන්ට උපදෙස් දීම සඳහා විශේෂඥ මණ්ඩලයක් පත් කළ බව 2010 ජූනි 22 දා මහ ලේකම්වරයා නිවේදනය කළේ ය. එම ඒකාබද්ධ ප්‍රකාශය තුළ දී, මහ ලේකම්වරයා “වග වීමේ ක්‍රියාවලියේ වැදගත්කම අවධාරණය කළ” අතර, “එම දුක් ගැනවිලිවලට විසඳුම් සෙවීමට පියවර ගන්නා බවට” ශ්‍රී ලංකාවේ ආණ්ඩුව එකඟ විය. මණ්ඩලය සතු විධිනියෝගය නම්, ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුමේ අවසන් අදියරවල් අතරතුර දී ජාත්‍යන්තර මානුෂීය සහ මානව හිමිකම් නීතිය සම්බන්ධයෙන් සිදු වුණු බවට චුදිත උල්ලංඝනයන්හි ස්වභාවය සහ පරිමාණය සැලකිල්ලට ගෙන, වගවීමේ ක්‍රියාවලියකට අදාළව යොදා ගත හැකි ආකෘතීන්, ජාත්‍යන්තර මිනුම් දඬු සහ සංසන්දනාත්මක අත්දැකීම් පිළිබඳව මහ ලේකම්වරයාට උපදෙස් දීම යි. මහ ලේකම්වරයා මණ්ඩලයේ සාමාජිකයන් ලෙස මතු සඳහන් අය පත් කළේ ය: මර්සුකි දරුස්මාන් (ඉන්දුනීසියාව), සභාපති; ස්ටීවන් රැට්නර් (එක්සත් ජනපදය); සහ යස්මින් සූකා (දකුණු අප්‍රිකාව). 2010 සැප්තැම්බර් 16 දා සිට මණ්ඩලය නිල වශයෙන් සිය කටයුතු ආරම්භ කළ අතර, මුළු කාලය පුරා ම ඊට ලේකම් කාර්යාලයක සහාය ලැබිණ.

මණ්ඩලයේ කටයුතුවල රාමුව

යුද්ධයේ අවසන් අදියරවලින් පැන නගින වගවීම පිළිබඳ බැඳීම් අවබෝධ කර ගැනීම සඳහා, විෂය ක්ෂේත්‍රයේ අවශ්‍යතාව පරිදි “චුදිත උල්ලංඝනයන්හි ස්වභාවය සහ පරිමාණය” පිළිබඳව තක්සේරුවක් කිරීමට මණ්ඩලයට පැවරිණ. කෙසේ වුව ද මණ්ඩලය සතු විධිනියෝගය කරුණු සෙවීම හෝ පරීක්ෂණ පැවැත්වීම දක්වා පැතිරෙන්නක් නොවේ. චෝදනාවල තරම විස්තර කිරීම සඳහාත් විශ්වසනීය වන්නේ කුමන චෝදනා දැයි තක්සේරු කිරීම සඳහාත් තමන් අත තිබූ තොරතුරු පදනම් කර ගෙන විවිධ මූලාශ්‍රවලින් ලැබුණු තොරතුරු විශ්ලේෂණය කළ මණ්ඩලය ඒවා නීතිමය වශයෙන් ඇගයීමකට ලක් කළේ ය. අවධාරණය කරනු ලබන ක්‍රියාව හෝ සිදුවීම සිදු වූයේ යැයි විශ්වාස කිරීමට සැලකිය යුතු පදනමක් පැවතියේ නම් චෝදනාව විශ්වසනීය විය යුතු යැයි මණ්ඩලය තීරණය කළේ ය. මෙකී මිනුම් දණ්ඩු හේතු කොට ගෙන රාජ්‍යයට සහ ප්‍රතිචාර දැක්විය යුතු අනෙක් ක්‍රියාකාරකයන්ට අදාළ නීතිමය වගකීමක් මතු වී ආවේ ය. මෙම වාර්තාව තුළ දී චෝදනා විශ්වසනීය යැයි සැලකෙන්නේ ඒවා අදාළ සහ විශ්වාසවන්ත යැයි මණ්ඩලය කල්පනා කරන මූලික මූලාශ්‍රවලින් ලැබුණු අවස්ථාවල දී පමණකි.
මෙම නීතිමය තක්සේරුව තුළ දී මණ්ඩලය සිය කටයුතු ආරම්භ කළේ දිගු කලක් තිස්සේ තහවුරුව පවතින ජාත්‍යන්තර නීතියේ අවයව මත ය. එනම්, ශ්‍රී ලංකාව තුළ සිදු වූවාක් වැනි සන්නද්ධ ගැටුමක් අතරතුර දී ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යන දෙක ම අදාළ වන්නේ ය යන පදනම මත ය. යුද්ධය තුළ මූලික ක්‍රියාකාරකයන් වූ දෙමළ ඊළම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානය සහ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව යන දෙපාර්ශ්වයට ම සම්බන්ධ විශ්වසනීය චෝදනාවලට මණ්ඩලය ජාත්‍යන්තර මානුෂීය සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීතියේ නියමයන් අදාළ කළේ ය. එක් එක් පාර්ශ්වය ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළ අරමුණු වත් (ආණ්ඩුව සම්බන්ධයෙන් ගත් කල ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සහ එල්ටීටීඊය සම්බන්ධයෙන් ගත් කල වෙනම නිජබිමක් සඳහා සටන් කිරීම) එක් එක් පාර්ශ්වය යොදා ගත් උපායන්හි අසමමිතික ස්වභාවය වත් ජාත්‍යන්තර මානුෂීය සහ මානව හිමිකම් නීතිය අදාළ කර ගැනීම කෙරෙහි බලපෑමක් නොකරයි.

ශ්‍රී ලංකාව යනු මානව හිමිකම් ගිවිසුම් කිහිපයක පාර්ශ්වකරුවෙකු බැවින් ජාත්‍යන්තර මානුෂීය සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය උල්ලංඝනය කළ බවට කෙරෙන චෝදනා පරීක්ෂා කොට වගකිව යුතු අයට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට එය බැඳී සිටී; සන්නද්ධ ගැටුම්වලට අදාළ ව්‍යවහාර ජාත්‍යන්තර නීතිය තුළ ද එවැනි බැඳීම් ඇතුළත් ය. මහ ලේකම්වරයා වෙත සිය උපදෙස් සැපයීමේ දී මෙම නීතිමය බැඳීම් අවධාරණය කරනවාට අමතරව මණ්ඩලය එක්සත් ජාතීන්ගේ විවිධ ලියවිලිවල සහ ගිවිසුම් තුළ ප්‍රකාශිත ජාත්‍යන්තර මිනුම් දඬු ද ගෙන හැර පා ඇත. මෙම මූලාශ්‍රවලින් ප්‍රකාශයට පත් වන අවබෝධයේ හරය නම්, ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධ ලෙස සැලකෙන ක්‍රියාවන්ට හෝ සිදුවීම්වලට අදාළව වගවීම සාක්ෂාත් කර ගැනීම තුළ – යළි සිදු නොවන බවට ලබා දෙන ජාත්‍යන්තර සහතික වීම් ද සහිතව – සත්‍යය සඳහා පවතින අයිතිය, යුක්තිය සඳහා පවතින අයිතිය සහ වන්දි සඳහා පවතින අයිතිය ඇතුළත් බව යි. එමෙන් ම, වගවීම සහතික කිරීම සම්බන්ධයෙන් මීට සමාන අභියෝගයන්ට මුහුණ දී තිබෙන වෙනත් රටවල් ගණනාවක දී සකස් කර ගත්, මෙම මිනුම් දඬු සමග අනුරූප වන විවිධ ප්‍රායෝගික ප්‍රවිෂ්ටයන් ද මණ්ඩලය ගෙන හැර පා ඇත.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව වගවීම සම්බන්ධයෙන් මේ දක්වා ගෙන ඇති ප්‍රවිෂ්ටයට අදාළ දේශීය ප්‍රතිපත්ති, වැඩ පිළිවෙළවල් සහ ආයතන තක්සේරු කිරීමේ දී ද මහ ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ යුතු සිය නිර්දේශ සකස් කිරීමේ දී ද මණ්ඩලය පදනම ලෙස යොදා ගෙන තිබෙන්නේ මෙම රාමුව යි. අවසන් වශයෙන් කිව යුත්තේ, සිය උපදෙස් සූත්‍රගත කිරීමේ දී, ශ්‍රී ලංකාව තුළ දිගු කලක් තිස්සේ පැවති සන්නද්ධ ගැටුම තුළ දී දෙපාර්ශ්වය ම කළ ක්‍රියාවන් නිසා හට ගත් ඛේදනීය ප්‍රතිවිපාකවලින් පීඩා විඳි ගොදුරු වූවන්ගේ අයිතිවාසිකම්වලට සහ අවශ්‍යතාවන්ට මණ්ඩලය ප්‍රමුඛතාව දී ඇති බව යි; සාමාන්‍යයෙන් යුද්ධවල දී ප්‍රධාන වශයෙන් පීඩා විඳින්නේ ස්ත්‍රීන්, ළමයින් සහ වයස්ගත පුද්ගලයන් වන අතර, ශ්‍රී ලංකාව සම්බන්ධ තත්ත්වය ද ඉන් බැහැර නොවේ.

විශ්වසනීය බවට මණ්ඩලය සොයා ගත් චෝදනා

විශ්වසනීය චෝදනා බවට මණ්ඩලය කළ තීරණය නිසා යුද්ධයේ අවසන් අදියරවල් පිළිබඳව ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මේ දක්වා ඉදිරිපත් කළ විස්තරයට වඩා අතිශයින් වෙනස් විස්තරයක් එළිදරව් වේ. තමන් කර ගෙන ගියේ “සිවිල් වැසියන්ට කිසිදු හානියක් නොකිරීමේ” ප්‍රතිපත්තිය පදනම් කර ගත් “මානුෂීය මුදා ගැනීමේ මෙහෙයුමක්” බව ආණ්ඩුව පවසයි. එහෙත් ඊට මුළුමනින් ම වෙනස් ලෙස මණ්ඩලය විශ්වසනීය චෝදනා සොයා ගත්තේ ය. ඒවා ඔප්පු වුව හොත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සහ එල්ටීටීඊය යන දෙපාර්ශ්වය ම කළ ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීම් මාලාවක් ප්‍රකට වනු ඇත. ඉන් ඇතැම් ඒවා යුද අපරාධ ලෙස සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ලෙස සැලකිය හැකි වනු ඇත. ජාත්‍යන්තර නීතිය සැලසුම් කරන ලද්දේ පුද්ගල අභිමානය ආරක්ෂා කිරීම සඳහා ය. එනමුත් යුද්ධය කර ගෙන යාමෙන් සැබවින් ම නියෝජනය වූයේ යුද්ධය සහ සාමය යන දෙක ම අතරතුර දී ජාත්‍යන්තර නීතියේ මුළුමහත් තන්ත්‍රයට ම එල්ල වුණු මරු පහරකි.

විශේෂයෙන්ම මණ්ඩලය සොයා ගත්තේ යුද්ධයේ අවසන් අදියරවලට සම්බන්ධ විශ්වසනීය චෝදනාවන් ය. 2008 සැප්තැම්බර් සහ 2009 මැයි 19 දා අතරතුර දී ශ්‍රී ලංකා යුද හමුදාව වන්නිය තුළට සිය මිලිටරි මෙහෙයුම ව්‍යාප්ත කළේ සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවකට මරු කැඳවමින් මහා පරිමාණ සහ පුළුල්ව පැතිරි ෂෙල් වෙඩි ප්‍රහාර යොදා ගනිමිනි. 330,000ක් පමණ සිවිල් වැසියෝ නිරන්තරයෙන් කුඩා වෙමින් පැවති ප්‍රදේශයක් තුළ කොටු වූහ. ෂෙල් වෙඩිවලින් බේරී පලා ගිය ද ඔවුහු එල්ටීටීඊයේ ප්‍රාණ ඇපකරුවන් බවට පත් වූහ. මාධ්‍යය සහ යුද්ධය විවේචනය කළ අනෙක් අය බිය ගැන්වීමට සහ නිහඬ කිරීමට ආණ්ඩුව උත්සාහ ගත්තේ ය. එය පුද්ගලයන් පැහැර ගැනීම සහ අතුරුදන් කිරීම සඳහා සුදු වෑන් යොදා ගැනීම ඇතුළු විවිධ තර්ජන සහ ක්‍රියාවන් උපයෝගී කර ගත්තේ ය.

ඒකරාශි වන ලෙස සිවිල් ජනයා පොලඹවමින් අනුපිළිවෙළින් පිහිටුවූ යුද මුක්ත කලාප තුන තුළට ම ආණ්ඩුව මහා පරිමාණයෙන් ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළේ ය. බර අවි යොදා ගැනීම නතර කරන බව පැවසීමෙන් පසුව පවා මෙය සිදු විය. එක්සත් ජාතීන්ගේ මධ්‍යස්ථානයට ද ආහාර බෙදා හැරීමේ පෝලිම්වලට ද වෙරළ තීරවල සිටි තුවාලකරුවන් සහ ඔවුන්ගේ ඥාතීන් පටවා ගැනීමට පැමිණෙමින් තිබූ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) නැව් ආසන්නයට ද එය ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළේ ය.

යුද පෙරමුණුවල පිහිටා තිබුණු රෝහල්වලට ආණ්ඩුව සැලසුම් සහගතව ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළේ ය. පිහිටි ස්ථාන ආණ්ඩුව හොඳින් ම දැන සිටිය ද වන්නිය තුළ පිහිටි සියලු රෝහල්වලට මෝටාර් සහ කාල තුවක්කු ප්‍රහාර එල්ල විය. ඉන් ඇතැම් ඒවාට නැවත නැවතත් ප්‍රහාර එල්ල විය. ගැටුම් කලාපය තුළ සිටි ජනයා විඳි දුක් පීඩාවන් වැඩි කරමින් ආහාර සහ වෛද්‍ය සැපයුම්, විශේෂයෙන් ම ශල්‍ය කර්මවලට අදාළ සැපයුම් ලෙස ඔවුන්ට සැපයුණු මානුෂීය ආධාර අහිමි කිරීමට ද ආණ්ඩුව සැලසුම් සහගතව ක්‍රියා කළේ ය. මෙම අරමුණ සපුරා ගැනීමට එය ගැටුම් කලාපය තුළ රැඳී සිටි සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව හිතාමතා ම අඩුවෙන් තක්සේරු කළේ ය. 2009 ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ දසදහස් ගණනකට සිය ජීවිත අහිමි විය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු මිය ගියේ අවසන් දින කිහිපයේ සිදු වුණු මනුෂ්‍ය සංහාරය තුළ දී නිර්නාමික ලෙස ය.

ගැටුමට ගොදුරු වූවන් සහ ගැටුමෙන් දිවි ගළවා ගත්තවුන් ගැටුම් කලාපය හැර ගිය පසුව ආණ්ඩුව ඔවුන් තව දුර අහිමි කිරීම්වලට සහ දුක් පීඩාවන්ට පාත්‍ර කළේ ය. එල්ටීටීඊ සැකකරුවන් සොයා කළ සෝදිසි කිරීම් සිදු වූයේ කිසිදු විනිවිද භාවයකින් හෝ බාහිර නිරීක්ෂණයකින් තොරව ය. වෙන් කොට ගන්නා ලද ඔවුන්ගෙන් සමහරු විධිමත් පටිපාටියකින් තොරව වහා ම මරණයට පත් කරනු ලැබුණහ. ඔවුන් අතර සිටි ස්ත්‍රීන්ගෙන් ඇතැමෙකු දූෂණයට ලක් වන්නට ඇත. උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසමේ විභාග කිරීම් අතරතුර දී බිරින්දෑවරුන් සහ ඥාතීන් විස්තර කළ පරිදි අනෙක් අය අතුරුදන් වූහ. සියලු අභ්‍යන්තර අවතැන් වූවන් රඳවනු ලැබුණේ සංවෘත කඳවුරු තුළ ය. දැවැන්ත ලෙස තදබද වීම භයානක කොන්දේසිවලට මග පෑදී ය. රැඳවියන්ගේ මූලික සාමාජීය සහ ආර්ථික අයිතිවාසිකම් උල්ලංඝනය විය. නිරපරාදේ බොහෝ ජීවිත අහිමි විය. කඳවුරු තුළ සිටි ඇතැම් පුද්ගලයෝ දැඩි ප්‍රශ්න කිරීම්වලට ද වධබන්ධනවලට ද ගොදුරු වූහ. බාහිර ලෝකය සමග කිසිදු අදහස් හුවමාරුවකින් තොරව සහ තව දුරටත් අපයෝජනයන්ට ලක් විය හැකි කොන්දේසි යටතේ එල්ටීටීඊ සැකකරුවෝ වෙන් කොට වෙනත් ස්ථානවලට රැගෙන යන ලදහ.

ගැටුම් කලාපය තුළ පැවතියේ බරපතළ ලෙස අන්තරායකර තත්ත්වයක් වුව ද එල්ටීටීඊය සිවිල් වැසියන්ට පිට වී යාමට අවසර දීම ප්‍රතික්ෂේප කළේ ය. ඔවුන් ප්‍රාණ ඇපකරුවන් ලෙස යොදා ගත්තේ ය. ඇතැම් අවස්ථාවල දී ඔවුන් එහි සිටීම තමන් සහ ඉදිරියට ඇදෙන ශ්‍රී ලංකා යුද හමුදාව අතර මූලෝපායික මානව පවුරක් ලෙස යොදා ගත්තේ ය. යුද්ධය පුරා එය බලාත්කාරයෙන් හමුදාවට බඳවා ගැනීමේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවූ නමුත් අවසන් අදියරවල දී වයස දාහතර තරමේ ළමයින් ද ඇතුළු සියලු වයස්වල ජනයා බලාත්කාරයෙන් බඳවා ගැනීමේ සිය ප්‍රතිපත්තිය බෙහෙවින් දැඩි කළේ ය. තම ආරක්ෂාව සඳහා අගල් කපා ගැනීමට එල්ටීටීඊය සිවිල් වැසියන්ට බල කළේ ය. එයින් සටන්කරුවන් සහ සිවිල් වැසියන් අතර වෙනස නොපැහැදිලි වී සිවිල් වැසියෝ අතිරේක හානිවලට ගොදුරු වූහ. මේ සියල්ල කරනු ලැබුණේ පැහැදිලි ලෙස ම පරාජයට පත් වුණු යුද්ධයක් කර ගෙන යාමට දැරූ උත්සාහයක දී ය. එල්ටීටීඊයේ අරමුණ නමැති අල්තාරය මත සහ ජ්‍යෙෂ්ඨ නායකත්වය ආරක්ෂා කර ගැනීමට එය දැරූ ප්‍රයත්නවල දී බොහෝ සිවිල් වැසියෝ බිලි දෙන ලදහ.

2009 පෙබරවාරි මාසයේ පටන් එල්ටීටීඊය ගැටුම් කලාපයෙන් පලා යාමට ප්‍රයත්න දරන සිවිල් වැසියන්ට එක එල්ලේ වෙඩි තැබීමට පටන් ගත්තේ ය. යුද්ධයේ අවසන් අදියරවල දී සිදු වුණු මරණ සංඛ්‍යාව වැඩි වීමට මෙය සැලකිය යුතු ලෙස හේතු විය. අභ්‍යන්තර අවතැන් වූවන්ගේ විශාල කණ්ඩායම් සිටි සමීපයට කාල තුවක්කු ප්‍රහාර ද එල්ල කළ එල්ටීටීඊය, අභ්‍යන්තර අවතැන් වූවන් හෝ රෝහල් වැනි සිවිල් වැසියන් සිටි ගොඩනැගිලි ආසන්නයේ සිට වෙඩි තැබීම් කළේ ය. එමෙන් ම, එම ගොඩනැගිලි ආසන්නයේ මිලිටරි උපකරණ ගබඩා කළේ ය. යුද්ධයේ අවසන් අදියරවල් පුරා ම ගැටුම් කලාපයෙන් පිටත මරා ගෙන මැරෙන ප්‍රහාර සිදු කිරීමේ තම ප්‍රතිපත්තිය එල්ටීටීඊය අඛණ්ඩව ක්‍රියාවට නැංවී ය. එවැනි ප්‍රහාර එල්ල කිරීමට ඊට පැවති හැකියාව ගැටුමේ පෙර අවධිවලට සංසන්දනාත්මකව හීන වී ගිය ද එය ගැටුම් කලාපයෙන් පිටත දී සිවිල් වැසියන්ට එරෙහි ප්‍රහාර ගණනාවක් සිදු කළේ ය.

මෙලෙස, මණ්ඩලය සිය නිගමනයේ දී ශ්‍රී ලංකාවේ ආණ්ඩුව කළැයි සිතිය හැකි ප්‍රධාන ප්‍රභේද පහක බරපතළ උල්ලංඝනයන් සහිත විශ්වසනීය චෝදනා සොයා ගත්තේ ය: ඒවා නම්,[i] පුළුල්ව පැතිරි ෂෙල් වෙඩි ප්‍රහාර හරහා සිවිල් වැසියන් ඝාතනය කිරීම;[ii] රෝහල්වලට සහ මානුෂීය ඉලක්කවලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීම; [iii] මානුෂීය සහාය ප්‍රතික්ෂේප කිරීම;[iv] අභ්‍යන්තර අවතැන් වූවන් සහ එල්ටීටීඊ කේඩර යැයි සැක කළවුන් ඇතුළු ගැටුමට ගොදුරු වූවන් සහ ගැටුමෙන් දිවි ගළවා ගත්තවුන් අත්විඳි මානව හිමිකම් උල්ලංඝනය කිරීම්; සහ [v] මාධ්‍යයට සහ ආණ්ඩුව විවේචනය කළ අනෙක් අයට එරෙහිව කළ ඒවා ද ඇතුළුව ගැටුම් කලාපයෙන් පිටත සිදු වුණු මානව හිමිකම් උල්ලංඝනය කිරීම්.

යුද්ධයේ අවසන් අදියරවලට සම්බන්ධ එල්ටීටීඊයට එරෙහි විශ්වසනීය චෝදනා බවට මණ්ඩලය කළ තීරණය නිසා බරපතළ උල්ලංඝනයන් ලෙස සැලකිය හැකි ප්‍රධාන ප්‍රභේද හයක් එළිදරව් වේ: [i] සිවිල් වැසියන් මානව පවුරක් ලෙස යොදා ගැනීම; [ii] එල්ටීටීඊ පාලනයෙන් මිදී පලා යාමට ප්‍රයත්න දැරූ සිවිල් වැසියන් ඝාතනය කිරීම; [iii] සිවිල් වැසියන් ආසන්නයේ සිට මිලිටරි උපකරණ පාවිච්චි කිරීම; iv] ළමයින් බලාත්කාරයෙන් හමුදාවට බඳවා ගැනීම; [v] බලාත්කාරී ශ්‍රමය; සහ [vi] මරා ගෙන මැරෙන ප්‍රහාර හරහා සිවිල් වැසියන් ඝාතනය කිරීම.

වගවීම

ජාත්‍යන්තර මානුෂීය හෝ මානව හිමිකම් නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගවීම යනු තෝරා ගැනීමක් හෝ ප්‍රතිපත්තියක් පිළිබඳ කාරණයක් නො වේ. එය දේශීය සහ ජාත්‍යන්තර නීතිය යටතේ ඉටු කළ යුතු වගකීමකි. විශ්වසනීය ලෙස චුදිත මෙම උල්ලංඝනය කිරීම් බැරෑරුම් පරීක්ෂණයක ද වගකිව යුත්තන්ට එරෙහිව නඩු පැවරීමේ ද අවශ්‍යතාව මතු කරයි. ඔප්පු වුව හොත්, ශ්‍රී ලංකාවේ හමුදාපතිවරුන් සහ ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම එල්ටිටීඊයේ මිලිටරි සහ සිවිල් නායකයන් ඇතුළු වඩාත් ම වගකිව යුතු අය ජාත්‍යන්තර අපරාධ සම්බන්ධයෙන් අපරාධ වගකීම දරනු ඇත.

එපමණක් නො ව, සිදු කර ඇති බරපතළ අපරාධ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමෙන් සහ එම අපරාධවලට එරෙහිව නඩු පැවරීමෙන් ඔබ්බට ද වගවීම ව්‍යාප්ත වෙයි. සැබවින් ම එය වූකලි අතීතයේ දී කළ මානව හිමිකම් සහ අභිමානය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයන් සහ ආයතන සතු දේශපාලනික, නීතිමය සහ සදාචාරාත්මක වගකීම කෙරෙහි අවධානය යොමු කරන පුළුල් ක්‍රියාවලියකි. ඉහත සඳහන් කළ ජාත්‍යන්තර මිනුම් දඬුවලට අනුව, වගවීම යනු ගොදුරු වූවන් සඳහා සත්‍යය, යුක්තිය සහ වන්දි දිනා ගැනීම යි. පුරවැසියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් තමන් ඉටු කළ කාර්ය භාරය සහ තමන් සතු වගකීම නිල වශයෙන් පිළිගැනීමේ අවශ්‍යතාව ද වගවීමෙන් මතු වේ. එක්සත් ජාතීන්ගේ ප්‍රතිපත්තිවලට එකඟව කටයුතු කරන මණ්ඩලය වගවීම සම්බන්ධයෙන් “කෝකටත් තෛල” සූත්‍රයක් හෝ විදේශීය ආකෘති ආනයනය කිරීම වෙනුවෙන් කතා නොකරයි. ඒ වෙනුවට, පුලුල් පුරවැසි සහභාගිත්වය, අවශ්‍යතා සහ ප්‍රාර්ථනා ඇතුළු ජාතික තක්සේරුවක් පදනම් කරගෙන වගවීමේ ක්‍රියාවලි අර්ථ දැක්වීමේ අවශ්‍යතාව පිළිගනී. එහෙත්, ඕනෑම ජාතික ක්‍රියාවලියකින් ජාත්‍යන්තර මිනුම් දඬු සැපිරිය යුතු ය. එලෙස, යුද්ධයේ අවසන් අදියරවල ගොදුරු බවට පත් වූවන්ට සත්‍යය, යුක්තිය සහ වන්දි සඳහා තිබෙන අයිතිවාසිකම් සාක්ෂාත් කර ගැනීමට කොපමණ සාධනීය ඉඩකඩක් සැලසෙන්නේ දැයි වටහා ගැනීමට වගවීම සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රවිෂ්ටය එම මිනුම් දඬුවලට ද සංසන්දනාත්මක අත්දැකීම්වලට ද අනුව තක්සේරු කළ යුතු ය.

ප්‍රතිෂ්ඨාපන යුක්තිය අවධාරණය කරමින් ප්‍රතිසන්ධානය සහ වගවීම තුලනය කිරීමට උත්සාහ කරන බව ආණ්ඩුව ප්‍රකාශ කර ඇත. ප්‍රතිෂ්ඨාපන සහ දණ්ඩන යුක්තිය අතර තෝරා ගැනීමක් පවතින බව කියා සිටීමෙන් ප්‍රදර්ශනය වන්නේ ව්‍යාජ බෙදීමකි. දෙක ම අවශ්‍ය ය. තව ද, මණ්ඩලයේ දැක්ම නම් ආණ්ඩුවේ මතය දෝෂ සහගත බව යි. මන්ද, පසු ගිය ආණ්ඩුවේ ප්‍රතිපත්තිවල දේශපාලනික වගකීම ද සත්‍යය, යුක්තිය සහ වන්දි කෙරෙහි අවධානය යොමු කරන, අව්‍යාජ, ගොදුරු වූවන් කේන්ද්‍ර කොට ගත් වගවීමක් උදෙසා ත්‍රස්තවාදයෙන් පුරවැසියන් ආරක්ෂා කිරීමට ඔවුන් අසමත් වීම ද පිළිබඳ නොපැහැදිලි මතයක් ඉන් ආදේශ වන බැවිනි. ඇතැම් එල්ටීටීඊ කේඩරයන් දෝෂාරෝපණයට ලක් විය යුතු ය යන කරුණ කෙරෙහි විශේෂ අවධාරණයක් යොදනු ලැබේ. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව අත ඇති සැලැස්මෙන් අදහස් වන්නේ බහුතරය පුනරුත්ථාපනය කිරීම සහ දිවි ගළවා ගත් එල්ටීටීඊ කේඩරයන් අතර සිටින “දැඩි මතධාරීන්” සඳහා තදබල නොවන දණ්ඩන පැනවීම යි. මණ්ඩලය වෙත පැහැදිලි කෙරුණු පරිදි නම්, අතීත ආණ්ඩුවල සහ එල්ටීටීඊයේ වගකීම කෙරෙහි අවධානය යොමු කරමින් වගවීම පිළිබඳව ආණ්ඩුව ඉදිරිපත් කරන දෙයාකාර මතය යුද්ධයේ අවසන් අදියරවල් කර ගෙන යාමේ දී හෝ යුද්ධයෙන් පසු සමයේ දී ආණ්ඩුව ගත් තීරණ සහ ආණ්ඩුවේ කල්ක්‍රියාව පිළිබඳව වත් ඒවායේ ප්‍රතිඵලයක් ලෙස සිදු වන්නට ඇති නීතිය උල්ලංඝනය කිරීම් පිළිබඳව වත් බැරෑරුම් විමර්ශනයක් කිරීමට කල්පනා නො කරයි.

වගවීම පිළිබඳ ආණ්ඩුවේ මතය ජාත්‍යන්තර මිනුම් දඬුවලට අනුකූල නොවේ ය යන නිගමනයට මණ්ඩලය එළඹ ඇත. ආණ්ඩුව දෙපාර්ශ්වය ම සිදු කළ උල්ලංඝනයන් පිළිබඳ චෝදනා කෙරෙහි අව්‍යාජ අවධානයක් යොමු නොකරන්නේ නම් සහ ගැටුමේ ගොදුරු බවට පත් වූවන්ගේ අයිතිවාසිකම් සහ අභිමානය වගවීම පිළිබඳ සිය ප්‍රවිෂ්ටයේ කේන්ද්‍රය බවට පත් කර නොගන්නේ නම් එය ක්‍රියාවට නංවන වැඩ පිළිවෙළවල් ජාත්‍යන්තර අපේක්ෂාවන්ගෙන් විස්මිත ලෙස පහළ මට්ටමක පවතිනු ඇත.

උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසම

2002 දී ඇති කර ගත් සටන් විරාම ගිවිසුමේ සිට 2009 මැයි මාසයේ දී ගැටුම අවසන් වීම දක්වා අතීතය පිළිබඳව අවධානය යොමු කිරීමේ සිය ප්‍රතිපත්තියේ ප්‍රධාන පදනම ලෙස ආණ්ඩුව උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසම පිහිටුවා ඇත. මෙම කොමිසම ශ්‍රී ලංකාවේ ගැටුම පිළිබඳව ජාතික සංවාදයක් ආරම්භ කිරීමට ප්‍රයෝජනවත් විය හැකි අවස්ථාවක් නියෝජනය කරයි. පුද්ගලයෝ විශාල සංඛ්‍යාවක්, විශේෂයෙන් ම සිය කැමැත්තෙන් ඉදිරිපත් වී කොමිසම හමුවේ කතා කළ ගොදුරු වූවෝ, එවැනි සංවාදයක අවශ්‍යතාව පෙන්වා දුන්හ.

එතකුදු වුවත්, සංයුතියෙන් සම්මුති ගැස්වුණු බැවින් ද ඇතැම් සාමාජිකයන්ගේ අවශ්‍යතා අතර ගැඹුරට මුල් බැස ගත් ගැටුම් පැවති නිසා ද ස්වාධීනත්වය සහ අපක්ෂපාතිත්වය පිළිබඳ ජාත්‍යන්තර මිනුම් දඬු සපුරා ලීමට කොමිසම අසමත් විය. කොමිසමේ විධිනියෝගය ද මේ දක්වා කොමිසම ඉටු කාර්යය සහ එහි ක්‍රමවේදය ද ජාත්‍යන්තර මානුෂීය සහ මානව හිමිකම් නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා පරීක්ෂා කිරීමට වත් දශක ගණනාවක් තිස්සේ ඇදී ගිය ජනවාර්ගික ගැටුමේ මූල හේතූන් විමසා බැලීමට වත් ප්‍රමාණවත් නොවේ. එහි අවධානය බලගතු ලෙස යොමු වී තිබෙන්නේ වගවීම පිළිබඳව ආණ්ඩුව ඉදිරිපත් කළ දෝෂ සහගත සහ පක්ෂග්‍රාහී සංකල්පය ද අඩංගු ඉහත සඳහන් කළ දේශපාලනික වගකීම පිළිබඳ පුළුල් මතය කෙරෙහි ය. මේ දක්වා එය කර ඇති කාර්යයෙන් පෙන්නුම් කෙරෙන්නේ කොමිසම ගැටුමේ අවසන් අදියරවල දී සිදු වුණු දෙය පිළිබඳව අව්‍යාජ සත්‍යය සෙවීමක් කර නොමැති බව යි. යුද්ධයට සම්බන්ධ වුණු දෙපාර්ශ්වය කළ බරපතළ උල්ලංඝනයන් පිළිබඳව ක්‍රමානුකූල ලෙස සහ අපක්ෂපාතීව පරීක්ෂණයක් කිරීමට උත්සාහ දරා නැති බව යි. අභිමානය සහ දුක් පීඩාවන් සම්බන්ධයෙන් ගොදුරු වූවන්ට පූර්ණ ගෞරවයෙන් සලකන ප්‍රවිෂ්ටයක් යොදා ගෙන නැති බවයි. සැබෑ පෞද්ගලික අවදානමකට මුහුණ දී සිටින තත්ත්වයන්හි දී පවා සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය පියවර ගෙන නොමැති බව යි.

සමස්තයක් ලෙස ගත් විට, උගත් පාඩම් සහ ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසම අතිශයින් ම දෝෂ සහගත ය. වැඩදායක වගවීමේ යන්ත්‍රණයක් සඳහා වූ ජාත්‍යන්තර මිනුම් දඬු නොසපුරයි. වගවීමේ ක්‍රියාවලියක් සඳහා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ සහ මහ ලේකම්වරයාගේ ඒකාබද්ධ කැප වීම එයින් සම්පූර්ණ නො කෙරෙනවා පමණක් නොව ඊට එය සම්පූර්ණ කළ නොහැකි ය.

වෙනත් දේශීය යන්ත්‍රණ

කොමිසමේ ක්‍රියාකාරිත්වය හෝ ප්‍රතිඵල නොතකා, වග වීම සාක්ෂාත් කර ගැනීමේ දී අධිකරණ පද්ධතිය ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කළ යුතු ය. කෙසේ වුව ද, පද්ධතියේ අතීත ක්‍රියාකාරිත්වය සහ වත්මන් ව්‍යුහය සමාලෝචනය කරන විට, වත්මන් දේශපාලන වාතාවරණය තුළ දී එය යුක්තිය උදෙසා සේවය කරනු ඇති බවට මණ්ඩලයට තිබෙන විශ්වාසය ස්වල්ප ය. මෙම තත්ත්වය නිර්මාණය වී තිබෙන්නේ හැකියාවක් නැතිකමට වඩා දේශපාලන අධිෂ්ඨානයක් නැතිකම හේතුවෙනි. විශේෂයෙන් ම බලය වැඩි වශයෙන් ජනාධිපතිවරයා අත සංකේන්ද්‍රණය වීම නිසා මෑත අතීතයේ දී නීතිපතිවරයාගේ ස්වාධීනත්වය දුර්වල වී ඇත. එමෙන් ම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පණතේ දැනට ක්‍රියාත්මක ස්වරූපය සමග ඒකාබද්ධ කොට හදිසි නීතිය දිගින් දිගට ම පැනවීම නිසා මානව හිමිකම් වගකීම් ඔසවා තබන ගමන් රජය කරන වැරදි කෙරෙහි අවධානය යොමු කිරීමට නොහැකි වන සැලකිය යුතු බාධාවක් අධිකරණ පද්ධතියට ඉදිරිපත් වේ. මේ අයුරින් ම, තමන් හඳුනා ගෙන තිබෙන විශ්වසනීය චෝදනා සම්බන්ධයෙන් හෝ යුද්ධයේ අවසන් අදියරවල දී සිදු කළ වෙනත් අපරාධ සම්බන්ධයෙන් මිලිටරි අධිකරණ පද්ධතිය වැඩදායක වගවීමේ යන්ත්‍රණයක් ලෙස ක්‍රියා කරන බවට මණ්ඩලයට කිසිදු සාක්ෂියක් දක්නට නැත.

වගවීම සාක්ෂාත් කර ගැනීම සම්බන්ධයෙන් කාර්ය භාරයක් ඉටු කළ හැකි වෙනත් දේශීය ආයතන ද පෙන්නුම් කරන්නේ බරපතළ දුර්වලකමකි. බරපතළ මානව හිමිකම් ගැටලු ගණනාවක් විභාග කිරීම සඳහා දශක තුනක් තිස්සේ පරීක්ෂණ කොමිසම් පිහිටුවා ඇත. ඇතැම් ඒවා කරුණු සෙවීම සම්බන්ධයෙන් වැදගත් පරමාර්ථ ඉටු කර ගැනීමට සේවය කර ඇති නමුත් සමස්තයක් ලෙස ගත් විට හඳුනා ගත් උල්ලංඝනයන් සම්බන්ධයෙන් පුළුල් වගවීමක් සාක්ෂාත් කර ගැනීමට මෙම කොමිසම් අසමත් වී ඇත. ප්‍රසිද්ධ වාර්තාවක් ඉදිරිපත් කිරීමට බොහෝ කොමිසම් අසමත් වී ඇති අතර, නිර්දේශ ක්‍රියාත්මක කරනු ලැබ ඇත්තේ කලාතුරකිනි. වගවීමේ ඇතැම් පැතිකඩවල් වැඩි දියුණු කිරීම සඳහා දායක වීමට ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට හැකියාව ඇති නමුත් මණ්ඩලය සතුව තව මත් බැරෑරුම් සීමා පවතී. අතුරුදන් වූවන් පිළිබඳ පරීක්ෂණවල නියැළීම සම්බන්ධයෙන් සහ රඳවා ගෙන සිටින පුද්ගලයන්ගේ සුභසාධනය නිරීක්ෂණය කිරීම සම්බන්ධයෙන් කොමිසම දේශපාලන අධිෂ්ඨානය සහ උපායශීලී භාවය ප්‍රදර්ශනය කළ යුතු යැයි මණ්ඩලය විශ්වාස කරයි.

වගවීම සම්බන්ධ වෙනත් බාධක

අවධානය යොමු නොකළ හොත් අව්‍යාජ වගවීම සඳහා දරන පරිශ්‍රමයන්ට බාධාකාරී වන සහ එහි ප්‍රතිඵලයක් ලෙස ස්ථිරසාර සාමය සඳහා පවතින අපේක්ෂාවන්ට වළ කැපී යා හැකි තවත් කාලීන ගැටලු කිහිපයක් ද ශ්‍රී ලංකාව තුළ පැවති බව සිය කාර්යය අතරතුර දී මණ්ඩලය නිරීක්ෂණය කළේ ය. වඩාත් ම සැලකිය යුතු ඒවා අතරට ඇතුළත් වන්නේ: [i] දේශපාලන ස්වාධීනත්වය සහ පිළිගැනීම සඳහා වූ දෙමළ ජනයාගේ ප්‍රාර්ථනා අවසානයකට පමුණුවමින් “ත්‍රස්තවාදය” පරාජය කිරීම සඳහා මාධ්‍යයන් සහ අධිෂ්ඨානය අත් කර ගැනීම පිළිබඳව සිදු වුණු සංවාදය හරහා ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ප්‍රකාශයට පත් වුණු පමණ ඉක්මවූ ප්‍රීති ප්‍රමෝදය සහ සිය මිලිටරි මූලෝපාය නිසා දරන්නට සිදු වුණු මානුෂීය පිරිවැය සම්බන්ධයෙන් එය කරන ප්‍රතික්ෂේප කිරීම; [ii] ගැටුමේ හදවත ලෙස පැවතී ඇති දේශපාලනික, සාමාජීය සහ ආර්ථික වශයෙන් බැහැර කිරීම ලෙස ගත් විට විශේෂයෙන් හානිකර දැනට ක්‍රියාත්මක බැහැර කිරීමේ ප්‍රතිපත්ති සහ හැඟුණු හෝ සැබෑ ජනවාර්ගිකත්වය පදනම් කර ගත් බැහැර කිරීම; :[iii] ඉහත සඳහන් කළ හදිසි නීති සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත පමණක් නො ව භීතියේ, බිය ගැන්වීමේ සහ ප්‍රචණ්ඩත්වයේ වාතාවරණයක් තහවුරු කරමින් කලින් පැවති ගැටුම් කලාප අඛණ්ඩව මිලිටරීකරණය කිරීම සහ පැරා මිලිටරි ඒජන්තයන් යොදා ගැනීම ද ඇතුළු යුද කාලීන වැඩ පිළිවෙළවල් අඛණ්ඩව ක්‍රියාත්මක වීම; [iv] ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට පටහැණි ලෙස මාධ්‍යයට පැනවෙන සීමා සහ මූලික පුරවැසි අයිතිවාසිකම්වලට පැනවෙන සීමා; සහ [v] දශක ගණනාවක් තිස්සේ එල්ටීටීඊයට ඉතා වැදගත් සදාචාරාත්මක සහ ද්‍රව්‍යමය සහායක් සම්පාදනය කළ දෙමළ ඩයස්පෝරාව ඉටු කරන කාර්ය භාරය සහ වගවීමට ද තිරසර සාමයට ද තවත් බාධාවක් නිර්මාණය කරමින් ඔවුන්ගෙන් ඇතැමෙකු වන්නිය තුළ සිදු වුණු මානුෂීය ව්‍යසනයේ දී එල්ටීටීඊය ඉටු කළ කාර්ය භාරය පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම.

දිග කාලයක් තිස්සේ කෙරී ගෙන ගිය ජනවාර්ගික-ජාතිකවාදී ගැටුමේ මූල හේතූන් ද ඇතුළු පුළුල් අතීත රටාවන් අව්‍යාජ ලෙස තක්සේරු කිරීමට ඉඩ සැලසෙන වගවීමට මහෝපකාරී වන වාතාවරණයක් වර්තමානයේ නොපවතී. මානව අයිතිවාසිකම්වලට ගරු කරන විවෘත සමාජයක් කරා වූ සංයුක්ත පියවරයන් මෙන් ම, පමණ ඉක්මවූ ප්‍රීති ප්‍රමෝදයෙන් සහ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික විවිධත්වයත් රටේ අනාගතයේ පදනම ලෙස දෙමළ ජනයා ඇතුළු තම සියලු ජනතාවගේ පූර්ණ සහ අසීමිත පුරවැසි භාවයත් පිළිගන්නා දේශපාලන විසඳුමක් සඳහා අව්‍යාජ ලෙස කැප වීම ප්‍රතික්ෂේප කිරීමෙන් මූලධර්මාත්මක වෙනසක් අත් කර ගැනීම ද අවශ්‍ය ය.


සිවිල් වැසියන් ආරක්ෂා කිරීමේ දී ජාත්‍යන්තර කාර්ය භාරය

යුද්ධයේ අවසන් අදියරවල් අතරතුර දී සිවිල් වැසියන් ආරක්ෂා කළ හැකිව තිබුණු පියවරයන් ගැනීමට එක්සත් ජාතීන්ගේ දේශපාලන ආයතන සහ මණ්ඩල අසමත් විය. තව ද, සිවිල් වැසියන් ආරක්ෂා කළ යුතු බවට සහ රෝහල්වලට සහ එක්සත් ජාතීන්ගේ හෝ රතු කුරුස කමිටුවේ ස්ථානවලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීම නතර කළ යුතු බවට ජ්‍යෙෂ්ඨ ජාත්‍යන්තර නිලධාරීන් ප්‍රසිද්ධියේ සහ පෞද්ගලිකව ආණ්ඩුවට කරුණු කියා සිටිය ද වන්නිය තුළ සිදු වුණු සිදුවීම් දිග හැරෙද්දී ඇති වුණු හානි පිළිබඳ සංඛ්‍යා ප්‍රසිද්ධියේ යොදා ගැනීම නිසා සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට කළ කැඳවුම වඩා ප්‍රබල වන්නට ඇති බව මණ්ඩලයේ අදහස යි. මීට අමතරව, යුද්ධය අවසන් වීමෙන් පසුව, ශ්‍රී ලංකාව පිළිබඳව 2009 මැයි මාසයේ දී ඉදිරිපත් කළ සිය යෝජනාව සම්මත කර ගනිද්දී මානව හිමිකම් කවුන්සිලය ක්‍රියා කරමින් සිටියේ අසම්පූර්ණ තොරතුරු මත විය හැකි ය.

නිර්දේශ

මෙම තත්ත්වය තුළ මණ්ඩලය පහත සඳහන් වැඩ පිළිවෙළවල් නිර්දේශ කර සිටී. වගවීම සම්බන්ධයෙන් මහ ලේකම්වරයා සහ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව අතර ක්‍රියාත්මක සහ වැඩදායක බැඳීමක් ඇති කර ගැනීම සඳහා රාමුවක් ලෙස එම නිර්දේශ සමස්තය සේවය කරනු ඇතැයි මණ්ඩලය බලාපොරොත්තු වේ. ඉතා වැදගත් යැයි මණ්ඩලය සලකන වගවීමේ විවිධ පැතිකඩවල් කෙරෙහි ඒවා අවධානය යොමු කරයි. එම වගවීම සාක්ෂාත් කර ගැනීමට නම් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ද එක්සත් ජාතීන් ද වෙනත් පාර්ශ්වයන් ද අනුපූරකව ක්‍රියා කළ යුතු වේ.

1 වන නිර්දේශය: පරීක්ෂණ

අ. විශ්වසනීය යැයි මණ්ඩලය සොයා ගත් චෝදනා සලකා බලා, සිය ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව සහ ප්‍රබල දේශීය වගවීමේ ක්‍රියාවලියකට මුල පිරීමේ දැක්මකින් යුතුව ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සන්නද්ධ ගැටුම තුළ සම්බන්ධ වී සිටි දෙපාර්ශ්වය ම ජාත්‍යන්තර මානුෂීය සහ මානව හිමිකම් නීතිය සම්බන්ධයෙන් කළ මෙම සහ වෙනත් චුදිත උල්ලංඝනයන් පිළිබඳව වහා අව්‍යාජ පරීක්ෂණ ආරම්භ කළ යුතු ය.

ආ. විධිනියෝග අතර පහත දැක්වෙන සමගාමී ක්‍රියාවන් ඇතුළත් වන ස්වාධීන ජාත්‍යන්තර යන්ත්‍රණයක් ස්ථාපනය කිරීමට මහ ලේකම්වරයා වහා ම ක්‍රියා කළ යුතු ය:

[i] චුදිත උල්ලංඝනයන් සම්බන්ධයෙන් අව්‍යාජ පරීක්ෂණ පැවැත්වීම ද ඇතුළුව ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ප්‍රබල දේශීය වගවීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන්නේ කොතරම් දුරකට ද යන්න නිරීක්ෂණය කිරීම සහ තක්සේරු කිරීම, සහ එහි සොයා ගැනීම් පිළිබඳව කලින් කලට මහ ලේකම්වරයා දැනුවත් කිරීම;

[ii] අව්‍යාජ සහ ප්‍රබල දේශීය පරීක්ෂණ ඇති කොට චුදිත උල්ලංඝනයන් සම්බන්ධයෙන් ස්වාධීනව පරීක්ෂණ පැවැත්වීම; සහ

[iii] එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ පවතින මෙම මණ්ඩලය ද වෙනත් මණ්ඩල ද රැස් කරන තොරතුරු ඇතුළුව යුද්ධයේ අවසන් අදියරයන් සම්බන්ධයෙන් වගවීමට අදාළව මණ්ඩලය වෙත සැපයෙන තොරතුරු එක්රැස් කොට සුදුසු පරිදි අනාගතයේ දී ප්‍රයෝජනයට ගැනීමට තිබෙන අයිතිය ආරක්ෂා කිරීම.

2 වන නිර්දේශය: වගවීම වැඩි දියුණු කිරීමේ වෙනත් වැඩ පිළිවෙළවල්

අ. වන්නිය තුළ දී ගොදුරු වුණු සහ දිවි ගළවා ගත් සියලු දෙනාගේ අයිතිවාසිකම් සහ අභිමානය පිළිගැනීම පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පහත සඳහන් කෙටි කාලීන වැඩ පිළිවෙළවල් ක්‍රියාවට නැංවිය යුතු ය:

[i] රාජ්‍යය, එහි ආයතන සහ රාජ්‍යයේ ඒජන්තයන් ලෙස ක්‍රියා කරන හෝ රාජ්‍යය ඉවසා සිටින සියලු පැරා මිලිටරි සහ වෙනත් කණ්ඩායම්වල ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම;

[ii] ප්‍රකෘති තත්ත්වයට පත් වීම සඳහාත් මානව අවශේෂ ඔවුන්ගේ පවුල් වෙත ආපසු යැවීම සඳහාත් පහසුකම් සැපයීම සහ මිය ගිය අය වෙනුවෙන් සංස්කෘතික චාරිත්‍ර ඉටු කිරීමට ඉඩ සලසා දීම;

[iii] පවුලේ සාමාජිකයන් ඉල්ලා සිටි විට අය කිරීමකින් තොරව කඩිනමින් සහ ගෞරවනීය ආකාරයෙන් මිය ගිය අය සහ අතුරුදන් වූවන් වෙනුවෙන් මරණ සහතික ලබා දීම සහ එම කටයුත්තේ දී තව දුර පරීක්ෂණ සහ සිවිල් අයිතිවාසිකම් සඳහා ඔවුන්ට පවතින අයිතිය සම්මුති නො ගැස්වීම;

[iv] සංස්කෘතික වටිනාකම්වලට සහ සාම්ප්‍රදායික සිරිත්වලට ගරු කරමින් දිවි ගළවා ගත් සියලු දෙනා උදෙසා මනෝ සාමාජීය සහාය සැපයීම;

[v] සියලු අවතැන් වූවන් මුදා හැරීම සහ ඔවුන් කලින් ජීවත් වූ නිවාස කරා ආපසු යාමට පහසුකම් සැපයීම හෝ ඔවුන්ගේ කැමැත්ත පරිදි වෙනත් ස්ථානයක නැවත පදිංචි වීමට අවස්ථාව සැලසීම; සහ

[vi] දිවි ගළවා ගත් සියලු දෙනාට යළි සාමාන්‍ය ජීවිතයට පිවිසීමට සහාය දීමක් ලෙස කෙරෙන අන්තර් කාලීන සහනාධාර සැපයීම අඛණ්ඩව කර ගෙන යාම.

ආ. බලාත්කාරයෙන් අතුරුදන් කරනු ලැබ ඇතැයි කියැවෙන පුද්ගලයන් පිළිබඳව පරීක්ෂණ පවත්වා, ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ඔවුන්ගේ ඉරණම සහ ඔවුන් සිටින ස්ථානය හෙළිදරව් කළ යුතු ය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙස, බලාත්කාරීව සහ අකමැත්තෙන් අතුරුදන් කරනු ලැබූවන් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ආරාධනා කළ යුතු ය.

ඇ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව රට තුළ පවතින දේශපාලන තත්ත්වය සලකා බලා හදිසි නීති වහාම අවලංගු කිරීමට ප්‍රතිඥා දිය යුතු ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත තුළ තිබෙන ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර බැඳීම්වලට පටහැණි සියලු විධිවිධාන වෙනස් කළ යුතු ය. එමෙන් ම, මෙම සහ වෙනත් විධිවිධාන යටතේ අත් අඩංගුවේ තබා ගෙන සිටින එල්ටීටීඊ සැකකරුවන් සහ සියලු අනෙක් පුද්ගලයන් සම්බන්ධයෙන් පහත සඳහන් වැඩ පිළිවෙළවල් ක්‍රියාවට නැංවිය යුතු ය:

[i] රඳවා ගෙන සිටින ස්ථානය කුමක් වුවත් මේ වන විට රඳවා ගෙන සිටින සියලු දෙනාගේ නම් ප්‍රසිද්ධ කිරීම සහ ඔවුන් රඳවා ගෙන සිටීමේ නීතිමය පදනම ඔවුන්ට දැනුම් දීම;

[ii] නිතිපතා පවුලේ සාමාජිකයන් මුණ ගැසීමට සහ නීතිමය උපදෙස් ලබා ගැනීමට සියලු රැඳවියන්ට ඉඩ සලසා දීම;

[iii] තමන් රඳවා ගෙන සිටීමේ බරපතළ අයුක්ති සහගත භාවයට එරෙහිව උසාවියේ දී සටන් වැදීමට සියලු රැඳවියන්ට ඉඩ සලසා දීම;

[iv] බරපතළ අපරාධ පිළිබඳව ප්‍රමාණවත් සාක්ෂි සහිත අයට චෝදනා ඉදිරිපත් කිරීම සහ අනෙක් සියල්ලන් මුදා හැර තව දුරටත් බාධාවකින් තොරව සමාජයට යළි ඒකාබද්ධ වීමට ඉඩ සලසා දීම.

ඈ. යාමේ ඊමේ, රැස් වීමේ සහ අදහස් පළ කිරීමේ නිදහස සීමා කරන හෝ භීතියේ වාතාවරණයක් ඇති වීමට දායක වන රාජ්‍ය ප්‍රචණ්ඩත්වය සහ වෙනත් පරිචයන් අවසන් කිරීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ක්‍රියා කළ යුතු ය.

3 වන නිර්දේශය: දිගු කාලීන වගවීමේ වැඩ පිළිවෙළවල්

අතීතය පිළිබඳව අව්‍යාජ විමර්ශනයක් කිරීමට වත්මන් වාතාවරණය උපකාරී නොවන නමුත් දිගු කාලයේ දී දේශපාලන අවකාශයන්ට විදැහෙන්නට ඉඩ සැලසෙද්දී යුද්ධය අතරතුර දී ගත් පියවරයන් සම්බන්ධයෙන් පූර්ණ ලෙස වගවීම සඳහා පහත සඳහන් වැඩ පිළිවෙළවල් පෙරට ගත යුතු ය:

අ. පහත සඳහන් දෑ සලකා බලා, එහෙත් ප්‍රතිසන්ධානය පිළිබඳ කොමිසමේ කාර්යයට වෙනස්ව තීරණාත්මක ආකාරයෙන් ඒවා විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකාව බලගතු සිවිල් සාමාජීය සහභාගිත්වයක් සහිත ක්‍රියාවලියකට මුල පිරිය යුතු ය: එනම්, දෙපාර්ශ්වයේ ම ජනවාර්ගික-ජාතිකවාදී අන්තවාදය ද ඇතුළුව ගැටුමේ මූල හේතු; යුද්ධය කර ගෙන යාම සහ ප්‍රචණ්ඩත්වයන්හි රටා; සහ අදාළ ආයතනික වගකීම්.

ආ. යුද්ධයේ අවසන් අදියරයන්හි දී සිවිල් වැසියන්ට සිදු වුණු පුළුල් හානි සම්බන්ධයෙන් තමන් ඉටු කළ කාර්ය භාරය සහ තමන් දරන වගකීම පිළිබඳව ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ප්‍රසිද්ධ, නිල පිළිගැනීමක් නිකුත් කළ යුතු ය.

ඇ. ජාත්‍යන්තර මිනුම් දඬුවලට අනුකූලව, ස්ත්‍රීන්, ළමයින් සහ විශේෂයෙන් ම ගොදුරු විය හැකි කණ්ඩායම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව යුද්ධයේ අවසන් අදියරවල් අතරතුර දී සිදු වුණු බරපතළ උල්ලංඝනයන්ට ගොදුරු වූවන් උදෙසා වන්දි ප්‍රදානය කිරීමේ වැඩ සටහනක් ඇති කළ යුතු ය.

4 වන නිර්දේශය: එක්සත් ජාතීන්

ශ්‍රී ලංකාව තුළ යුද්ධයේ අවසන් අදියරවල් අතරතුර දී සහ යුද්ධය අවසන් වුණු පසුව වන්නියෙහි සිවිල් වැසියන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන් දැක්වූ ප්‍රතිචාර සලකා බැලීම:

අ. මෙම වාර්තාව සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2009 මැයි මාසයේ දී තමන් සම්මත කළ විශේෂ සැසි යෝජනාව (A/HRC/8-11/L. 1/Rev. 2) යළි සලකා බැලීමට මානව හිමිකම් කවුන්සිලයට ආරාධනා කළ යුතු ය.

ආ. ශ්‍රී ලංකාව තුළ යුද්ධය අතරතුර දී සහ යුද්ධය අවසන් වුණු පසුව තම මානුෂීය සහ රැකවරණ විධිනියෝග ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ පද්ධතිය ගත් පියවරයන් පිළිබඳව මහ ලේකම්වරයා පුළුල් සමාලෝචනයක් කළ යුතු ය.

[ශ්‍රී ලංකාව තුළ වගවීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පත් කළ විශේෂඥ මණ්ඩලය නිකුත් කළ වාර්තාවෙහි විධායක සාරාංශයේ සිංහල පරිවර්තනයයි.]

සම්පූර්ණ වාර්තාව සදහා පිවිසෙන්න Full report