‛චැනල් 4 වීඩියෝව’ නමින් ප්‍රසිද්ධ, ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධ ප්‍රබල සාක්ෂියක් වශයෙන් ජාත්‍යන්තරයේ දැඩි අවධානයක් ලබාගත් වීඩියෝ පටය පිළිබඳ මතකය අලුත් කරන සිදුවීමක් පසුගියදා සිදුවිය. වීඩියෝව පිළිබඳව තමන්ගේ විශේෂඥ අදහස් ඉදිරිපත් කරන්නැයි මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු හා පරිගණක විද්‍යා කථිකාචාර්ය ආචාර්ය චතුර ද සිල්වා හට උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමෙන් ආරාධනා ලැබිණි. ඔහු රහසිගතව සිය සාක්ෂ්‍ය ඉදිරිපත් කිරීම තෝරාගත්තේ ප්‍රසිද්ධියේ ඒ සඳහා ඉදිරිපත් වීම සිය ජීවිතයට තර්ජනයක් වෙතැයි කියමිනි. ඔහු සිය රහසිගත සාක්ෂ්‍යය කොමිසම හමුවේ ලබාදුන් බව ඡායාරූපමය සාක්ෂ්‍ය සහිතව ඇතැම් මාධ්‍යයන්හි පළවුවත්, ඔහුගේ සාක්ෂ්‍යයෙන් කියැවුණේ කුමක්ද යන්න අදටත් අප්‍රකටය.
ශ්‍රී ලංකා හමුදා සොල්දාදුවන්යැයි සැකකළ හැකි පිරිසක් විසින් දෑත් හා දෑස් බඳිනලද නිරුවත් පුද්ගලයන් දෙදෙනකු වෙඩිතබා ඝාතනය කරන අයුරුත්, ඒ ආසන්නයේ ඒ අයුරින් ඝාතනයට ලක්වීයයි පෙනීයන තවත් දෑස් හා දෑත් බඳින ලද පුද්ගලයන් දස දෙනකුගේ පමණ ප්‍රාණය නිරුද්ධ සිරුරු වැතිරී තිබෙනුත් දැක්වෙන විනාඩියකුත් තත්පර දෙකක බිහිසුණු වීඩියෝපටය බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ රූපවාහිනී නාලිකාවෙන් ප්‍රථම වරට විකාශය වූයේ මෙයින් මාස 21කට පමණ කලිනි. එනම් 2009 අගෝස්තු මාසයේදීය.
ජේ ඩී එස්
මේ අතිශය ආන්දෝලනාත්මක වීඩියෝ පටය මාධ්‍යවෙත මුදාහැරියේ, එතැන් පටන් ජේඩීඑස් නමින් ප්‍රකටවූ, රටින් පිටුවහල්ව වෙසෙන ජනමාධ්‍යවේදීන්ගේ ජාලයක් වූ ‛ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ජනමාධ්‍යවේදියෝ’ සංවිධානයයි. මෙම වීඩියෝ පටය විකාශනයවූ වහාම ආණ්ඩුව එය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමින්, ‛වීඩියෝ පටය ශ්‍රී ලංකාවේ කීර්ති නාමය විනාශකිරීම සඳහා ව්‍යාජව සකසන ලද්දකැ’යි ප්‍රකාශ කළේය. එහෙත් වීඩියෝ පටය විසින් ඇතිකරන ලද කතිකාවේ බරපතලකම නිසාම, එපමණකින් ප්‍රශ්නයෙන් ගැලවී යාමට ආණ්ඩුවට බැරිවිය. ඒ හේතුවෙන් ඔවුහු ‛විශේෂඥයන්’ ලෙස සඳහන්කළ සිව් දෙනකුගේ වාර්තා ඇසුරින් වීඩියෝව ව්‍යාජව සකසන ලද්දකැයි ප්‍රකාශ කළේ මෙයින් මාස 20කට පෙර, එනම් 2009 සැප්තැම්බරයේදීය.
එදා ආණ්ඩුව එළිදැක්වූ ‛විශේෂඥ වාර්තා’ සකස් කළ සිව්දෙනාගෙන් එක්අයකු වූයේ මේ කියන ආචාර්ය චතුර ද සිල්වාය. එදා මේ වීඩියෝව ව්‍යාජ එකකැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට ඉදිරිපත්වූ ආචාර්යවරයා අද සිය සාක්ෂ්‍යය රහසිගතව දීමට තීරණය කරන්නේ, එදා තමන් දුන් විශේෂඥ වාර්තාවට පටහැනි යමක් ප්‍රකාශ කිරීමට තීරණය කළ නිසාද යන සැකය ඇතිවේ. මන්ද එදා කීදේම නැවත ප්‍රසිද්ධියේ කීමෙන් අද ජීවිතයට ඇතිවන අමුතු තර්ජනයක් ගැන පවත්නා තතු යටතේ සිතාගැනීම අපහසු බැවිනි. එහෙත් එදා තමන් ඉදිරිපත් කළ මතයට වෙනස්ව යමින් වීඩියෝව ව්‍යාජ එකක් නොවන බව කීමට ඔහු තීරණය කර සිටියේනම්, එය ඔහුගේ ජීවිතයට නිසැක තර්ජනයක් බව පිළිගැනීමට සිදුවේ.
එළිපිට නොකියන කතාව
ආචාර්ය ද සිල්වාගේ මෙදා මතදැක්වීම කුමක් වුවත් මාස 21ක් පුරා ශ්‍රී ලංකාව තුළ තහනම් මාතෘකාවක් බවට පත්ව තිබූ, අදටත් කිසිවකුත් එළිපිට කතාකරන්නට ඉදිරිපත් නොවන මෙම වීඩියෝ පටය පිළිබඳ කෙටියෙන් හෝ සාකච්ඡා කිරීමට මෙය කදිම පසුබිමක් සපයයි. එම පසුබිම බෙහෙවින් පමාවී හෝ අප විසින් ප්‍රයෝජනයට ගතයුතුව ඇත්තේ, එය විසින් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට වසන් කළ, එහෙත් ලෝක පරිමාණයෙන් මහත් කැළඹිල්ලක් සහිතව ගොඩනැඟුණු කතිකාව පිළිබඳ ලුහුඬින් හෝ කතාකරන්නට ඉඩ ලැබෙන නිසාය එසේම ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳ කතිකාවේ ශ්‍රී ලාංකේය දූපත තුළ හා ඉන් පරිබාහිරව පවත්නා අහසට පොළොව මෙන් වූ පරතරය අවබෝධ කරගැනීමටත් එම කතිකාවේ සැබෑ බැරෑරුම්කම තේරුම්ගැනීමටත් එමඟින් අත්වැලක් සැපයෙන බැවිනි.
චැනල් ෆෝ නාලිකාවේ විකාශනය වීමත් සමඟ මෙම කෙටි වීඩියෝපටය ඇතිකළේ දැවැන්ත කැළඹීමකි. වීඩියෝව පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක අවශ්‍යතාව ලොව සතර අතින් දැඩිව අවධාරණය කැරිණි. වීඩියෝව ‛කොටි හිතවාදීන්ගේ’ ව්‍යාජ නිපැයුමක් බව ආණ්ඩුව සහතිකකොට කියාසිටියේ කිසිදු පරීක්ෂණයක් නොකරමින් වුවත් අපක්ෂපාතී පරීක්ෂණයක් උදෙසා ජාත්‍යන්තරව නැඟආ පීඩනය හමුවේ නිකම්ම කටවචනයෙන් ගැලවීමේ හැකියාවක් ආණ්ඩුවට නොවීය. චතුර ද සිල්වා ඇතුළු ‛විශේෂඥයන්’ ලෙස හැඳින්වුණු සිව්දෙනකුගෙන් සිය මතය සනාථ කිරීමට ආණ්ඩුව වාර්තා කැඳවන්නේ ඒ අනුවය. ආණ්ඩුවේ අනෙක් ‛විශේෂඥයන්’ තිදෙනා වූයේ වීඩියෝ තාක්ෂණ විශේෂඥයකු ලෙස ආණ්ඩුව හඳුන්වාදුන් සිරි හේවාවිතාරණ, (එවකට) ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ මේජර් ඒපී බණ්ඩාර සහ (එවකට) යුදහමුදා සංඥා බලකායේ බ්‍රිගේඩියර් ප්‍රසාද් සමරසිංහය.
‛විශේෂඥ’ තර්ක
ශ්‍රී ලංකා විශේෂඥයන්ගේ වාර්තාවලින් වීඩියෝව ව්‍යාජ එකක් බව පෙන්වීමට ගෙනා ප්‍රධාන තර්ක කිහිපයක් මෙසේය.
ජංගම දුරකතනයකින් ලබාගන්නා ලදැයි පැවසුවත් එය රූගත කරතිබෙන්නේ වඩා දියුණු වීඩියෝ කැමරාවකිනි. ජංගම දුරකතනයකින් මෙවැනි රූගතකිරීමක් කළ නොහැක. දුරකතන කැමරාවකින් රූගතකළ සේ පෙනීයාම සඳහා පසුව වීඩියෝවේ ආකෘතිය වෙනස්කර ඇත.
වීඩියෝවේ වෙඩි තබන රූපරාමු හා වෙඩිහඬ අතර කාල පරතරය වෙනස්ය. පසුබිම් හඬ හා රූප අතර ගැලපීමක්ද නැත. ඒ අනුව මෙය දිළිඳු වෘත්තීයභාවයකින් හඬකවන ලද්දකි.
ඝාතනයට ලක්වන්නන්ගේ සේම කලින් ඝාතනය වූබව පෙන්වන පුද්ගලයන්ගේද චලනයන් සිද්ධියට අනුව අතාත්විකය. ඝාතනය වූබව පෙන්වන පුද්ගලයන් අවට විසිරී තිබෙන රුධිර පදාසවල වර්ණය හා විසිරීම තාත්වික නොවන අතර පසුව තාක්ෂණිකව සැකසූ ඒවාබව පෙනීයයි.
ඝාතන සිදුකරන බව පෙන්වන සොල්දාදුවන් ශ්‍රී ලංකා හමුදාවේ නිල ලාංඡන පැළඳ නොසිටී. එක් අයෙක් නිල ඇඳුමට යටින් සුදු ටී ෂර්ටයක් ඇඳ සිටී. අයෙක් කොණ්ඩය දිගට වවා ඇත. මේවා ශ්‍රී ලංකා හමුදා ඇඳුම්වලට හා පැවතුම්වලට එකඟ නැත.
මේ ප්‍රධාන කරුණු ඇතුළුව ශ්‍රී ලංකා ‛විශේෂඥයන්ගේ’ වාර්තාවන්ගෙන් හුවාදැක්වුණේ මෙම වීඩියෝපටය ආණ්ඩුව හා එහි හමුදාවන් අපකීර්තියට පත්කිරීම සඳහා ව්‍යාජව නිර්මාණය කරනලද්දක් බවය.
විශේෂඥ වාර්තාලෙස නම්කළ මෙම වාර්තා 4ට රටතුළ දැවැන්ත ප්‍රචාරයක් එකලම ලබාදුනි. එහි නිගමන සත්‍ය බවත් ඒ අනුව වීඩියෝව ශ්‍රී ලංකා හමුදාවන් අපකීර්තියට පත්කිරීම සඳහා සැකසූ ව්‍යාජ එකක් බවත් රටතුළ තහවුරුවූ මතය විය.
රටට වසංගා තැබූ කතාව
එහෙත් එතැන් පටන් ජාත්‍යන්තරව මතුවූ, රටේ මිනිසුන්ගෙන් වසාතැබූ තත්ත්වය මීට හාත්පසින්ම වෙනස්ය. ආණ්ඩුව සේවයේ යොදාගත් ‛විශේෂඥයන්’ ස්වාධීන හෝ අපක්ෂපාතී සේ සැලකීම බොහෝ ජාත්‍යන්තර සංවිධාන, ජාත්‍යන්තර මාධ්‍ය සේම රාජ්‍යයන්ද ප්‍රතික්ෂේප කළහ. ‛ශ්‍රී ලංකා විශේෂඥයන්’ සිව්දෙනාගෙන් දෙදෙනකුම සක්‍රිය හමුදා සේවයේ නිලධාරීන් වීම සුවිශේෂ අවධානයට ලක්විය. වීඩියෝවෙන් චෝදනා නැගෙන්නේ හමුදාවන්ට නම් ඒ චෝදනා ලබන හමුදාවේම නිලධාරීන් විසින් සපයන වාර්තා අපක්ෂපාතීද යන ගැටලුව පැනනැඟිණි. එසේම පොදුවේ මේ ‛විශේෂඥයන්ගේ’ වාර්තාවලින් මතුවූ කරුණුද ප්‍රශ්න කැරිණි.
මේ තත්ත්වය හමුවේ නීතියට පිටින් සිදුවන හා අත්තනෝමතික ඝාතන පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥ මහාචාර්ය පිලිප් ඇල්ස්ටන් විසින් වීඩියෝවේ සත්‍යාසත්‍යතාව පරීක්ෂා කිරීම සඳහා ස්වාධීන විශේෂඥයන්ගේ වාර්තාවක් කැඳවන ලදී. මෙම විශේෂඥ කමිටුව තිදෙනෙකුගෙන් සමන්විත විය. Jeff S. Spivack අධිකරණ වීඩියෝ විශ්ලේෂකයෙකි. ආචාර්ය ඩැනියෙල් ස්පිට්ස් [Dr.Daniel Spitz] අධිකරණ වෛද්‍ය විද්‍යාව හා විෂවිද්‍යාව පිළිබඳ විශේෂඳයෙකි. පීටර් ඩියැක්සුක් [Peter Diaczuk] ගිනිඅවි සාක්ෂ්‍ය පිළිබඳ විද්‍යාත්මක විමර්ෂණ විශේෂඥයෙකි. (මේ තිදෙනාගේ වෘත්තීය නිපුණතාව පිළිබඳව සේම ඔවුන්ගේ පරීක්ෂණ ක්‍රමවේදය ගැනද ඇල්ස්ටන් වාර්තාවේ දැක්වේ)
2010 ජනවාරියේදී ප්‍රකාශයට පත්වූ එම වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ විශේෂඥයන් විසින් මතුකරනලද ප්‍රධාන තර්ක සියල්ලකටම පාහේ ප්‍රතිතර්ක සැපයිණි.
ජාත්‍යන්තර විශේෂඥයන්ගේ ප්‍රතිතර්ක
වීඩියෝව රූපගත කරඇත්තේ වීඩියෝ කැමරාවකින් නොව ජංගම දුරකතන කැමරාවකින් බව එහි කරුණු සහිතව පෙන්වාදෙයි. වීඩියෝවේ රූප හා හඬ අතර කාලවෙනස අස්වාභාවික නොවන බවත් හඬ කැවීමක් පිළිබඳ සාක්ෂ්‍ය නොමැති බවත් වීඩියෝවේ ගලායාමට බාධා නොමැති බවත් අලුතින් එකතු කරනලද වීඩියෝ ස්ථරයන් හෝ ව්‍යාජ සකස්කිරීම් පිළිබඳ සාක්ෂ්‍ය නොමැති බවත් එහි කියයි. ඝාතනයට ලක්වූවන්ගේ සිරුරුවල චලනයන් ස්වභාවික බවද එහි සඳහන්ය. එසේම රුධිර පදාසවල වර්ණය හා ස්වභාවයද තාත්වික බව සවිස්තරාත්මකව පෙන්වාදෙන වාර්තාව ඒවා සංස්කරණයකින් සකස් නොකළ බවද පවසයි. මෙම වාර්තාවේ විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා ‛විශේෂඥයන්’ මතුකළ කාරණා සියල්ලකටම පාහේ මේ විශේෂඥයන් විසින් සිය විෂය පථය තුළ ප්‍රතිතර්ක ඉදිරිපත් කොට තහවුරු කිරීමය.
වීඩියෝවේ නිසැකවම නිර්වචනය කළ නොහැකි සුළු කොටස් තිබෙනබව පිළිගන්නා මොවුහු සමස්තයක් වශයෙන් මෙය ව්‍යාජ ලෙස සකස්කරන ලද්දක් නොව, සත්‍ය වීඩියෝ පටයක්බව සහතික කරති.
බ්‍රිතාන්‍යයේ ‛ද ටයිම්ස්’ පුවත්පත විසින් එෆ්බීඅයි ජාතික ඇකඩමියේ උපදේශකයකුද වන ස්වාධීන අධිකරණ වීඩියෝ විශේෂඥ ග්‍රාන්ට් ෆෙඩ්රික්ස්ගේ වාර්තාවක් 2009 දෙසැම්බර් මස ප්‍රකාශයට පත්කළේය. එමඟින්ද ශ්‍රී ලංකා විශේෂඥයන්ගේ තර්කවලට ප්‍රතිතර්ක ඉදිරිපත් කරමින් වීඩියෝවේ සත්‍යතාව තහවුරුකර ඇත.
ශ්‍රී ලංකා විශේෂඥයන් (හමුදා නිලධාරීන්) විසින් ඉදිරිපත් කරන ලද වීඩියෝවේ පෙනීසිටින හමුදා නිලධාරීන්යැයි හැඳින්වෙන පුද්ගලයන්ගේ ඇඳුම් පැළඳුම් කොණ්ඩා සහ නිල ලාංඡන නොපැළඳ සිටීමෙන් මතුවන්නේයැයි කී සැකය පිළිබඳ චෝදනාවට චැනල් ෆෝ ආයතනය විසින්ම ඡායාරූපමය සාක්ෂිවලින් ප්‍රබල පිළිතුරක් සැපයීය.
මීට අමතරව තවත් විවිධ සංවිධාන විසින් විවිධ මට්ටමේ පිළිගත් ජාත්‍යන්තර විශේෂඥයන් හා විශ්ලේෂකයන් ලවා මෙම වීඩියෝවේ සත්‍යතාව තහවුරුකරන වාර්තා එළිදක්වා ඇත.
ලංකාව නොදන්නා ජාත්‍යන්තර සත්‍යය
මේ සියලු වාර්තාවන්ගෙන් ජාත්‍යන්තරව තහවුරු කර ඇත්තේ ජේඩීඑස් සංවිධානය විසින් නිකුත්කරනු ලැබ, චැනල් 4 ආයතනය විසින් විකාශනය කරන ලද වීඩියෝ පටය ව්‍යාජ එකක් නොව සත්‍ය එකක් බවය. එසේම මේ සියලු වාර්තාවලින් පුනපුනා කියා සිටින්නේ මේ පිළිබඳ වැඩිදුර අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකළ යුතු බවය. එහෙත් ආණ්ඩුව දිගින් දිගටම පැහැර හරින්නේද මේ කාරණයයි. තමන් විසින්ම සේවයේ යොදාගන්නා ලද ‛විශේෂඥයන්’ විසින් ලබාදුන් වාර්තා අභියෝගයට ලක්වන නිරීක්ෂණ ජාත්‍යන්තර වශයෙන් එළිදුටු විට ඒවාට ප්‍රතික්‍රියා දක්වා තමන්ගේ වාර්තාවන්හි ඇති නිවැරැදි භාවය සනාථ කිරීමේ වගකීම ඇත්තේ ආණ්ඩුටය. එහෙත් මේදක්වා ශ්‍රී ලංකා ආණ්ඩුව හෝ ආණ්ඩුව වෙනුවෙන් ඉදිරිපත්වූ විශේෂඥයන් මෙම ජාත්‍යන්තර වාර්තාවන්ට පිරිමසින ප්‍රතිතර්ක සපයමින් තමන්ගේ සොයාගැනීම් වෙනුවෙන් පෙනීසිට නැත.
ඒ වෙනුවට ආණ්ඩුව කරන ලද්දේ තමන්ගේ තර්ක බරපතල ලෙස අභියෝගයට ලක්කරන මේ ජාත්‍යන්තර වාර්තා රටතුළ ප්‍රසිද්ධ වීම වැළැක්වීමයි. එහෙයින්ම චැනල් 4 වීඩියෝව සම්බන්ධයෙන් අදටත් ශ්‍රී ලංකා වැසියන් බහුතරයක් දන්නේ මාස විසිගණනකට පෙර ආණ්ඩුව විසින් පුළුල් ප්‍රචාරයක් දී වඩම්මනලද, ‛රට අපකීර්තියට පත්කිරීම උදෙසා කොටි හිතවාදීන් විසින් ව්‍යාජව සකසන ලද්දක්’ බවට සහතික කරන ප්‍රබන්ධය පමණි.
දූපත්වාසීන් ගොනාට ඇන්දවීම
මෙතරම් ජාත්‍යන්තරව පිළිගත් අනාවරණයන් තිබියදීත් අදටත් ආණ්ඩුව කියන්නේ මේ වීඩියෝව ව්‍යාජ එකක් බවයි. ඉතා මෑතකදීත් කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් හමුවේ වාදනය කළේ මේ තැටියමය. එහෙත් ඊට ප්‍රතිවිරුද්ධව යමින් මේ වීඩියෝව සත්‍ය එකක්ය යන්න ජාත්‍යන්තරව තහවුරුවී අවසන්ය එයින් ඉස්මත්ත්ට ගෙනෙන චෝදනා තවදුරටත් අපක්ෂපාතී විමර්ශණයකට ලක්කොට සත්‍යය සොයාගැනීම ශ්‍රී ලංකා ආණ්ඩුව හමුවේ ඇති වගකීමකි. රටතුළ ඊට කෙබඳු ප්‍රතිචාරයක් තිබුණත් මේ ජාත්‍යන්තර උගුලෙන් ශ්‍රී ලංකාවට මේ යන කරුණු සැඟවීමේ මාවත ඔස්සේ ගැලවීමක් නැත.
මෙයින් මතුවන අනෙක් කාරණාව වන්නේ දිගින් දිගටම ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවන යුද අපරාධ චෝදනාවන්හි රටට සඟවන යථාර්ථයයි. චැනල් ෆෝ වීඩියෝවේ ඇත්ත නැත්ත නොදන්නා සේම ශ්‍රී ලංකාව නම් දූපතේ වැසියෝ ජාත්‍යන්තරව පැතිර පවත්නා ශ්‍රී ලංකාවේ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳ චෝදනාවල සැබෑතතු නොදන්නේය යන්න කටුක යථාර්ථයයි. ලෝකය පිහිටා තිබෙන්නේ ලංකාව තුළ නොවන බැවින්, ලංකාව පිහිටා තිබෙන්නේ ලෝකය තුළ බැවින් අපේ දූපත හතර වටේට සන්නිවේදන බැරියර් දමාගෙන රටට පෙනෙන්නට චණ්ඩිපාට් දැමීම පවත්නා ලෝක යථාර්ථය තුළ භයානක විහිළුවකි.