Colombo, end of the War, Featured Articles, Features

”කිසිම ආගමකට ප්‍රමුඛස්ථානයක් කියලා විශේෂිත ස්ථානයක් ලබා දියු යුතු නැහැ.” – ගාමිණි වියන්ගොඩ


Photo by – mysrilanka.blogspot

ආමිස පූජාව පිළිබඳ වැඩියෙන් සැලකිලිමත් වීම ලංකාවේ බුද්ධාගම තුළ පැහැදිලිවම පේන්න තියෙන තත්ත්වයක්. තොරණ් හදන එක, කූඩු හදන එක වගේ දේවල් ආමිස පූජා ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ප්‍රතිපත්ති පූජා කියලා දෙයක් බුදු හාමුදුරුවො දේශනා කරලා තියෙනවා. මම තේරුම් අරන් තියෙන විදිහට සත්ත්ව ජීවිතය මුල්කරගෙන තමයි බුද්ධාගමේ ප්‍රතිපත්ති පූජාව විග්‍රහ කෙරෙන්නෙ. පසුගිය කාලේ යුද්ධය පවතින කොට මේ රටේ සතුරාව නැසිය යුතුයි කියලා සතුරාව නැසීම නිවනට මාර්ගයයි කියලා භික්ෂූන් වහන්සේලා ගීත ලියුවා, කවි ලියුවා, ධර්ම දේශනා කළා. මේ දේවල් වලට රට පුරාම ප්‍රසිද්ධියක් දුන්නා. මිනිස්සුත් මේ දේවල් කිසි දෙයක් ප්‍රශ්න කළේ නැහැ. මට හිතෙන විදිහට මිනිස්සුන්ට බුද්ධාගමේ ප්‍රතිපත්ති පූජාව එච්චර වැදගත් නැහැ. මිනිස්සුන්ට ඕනෙ කරන්නෙ බාහිරෙන් කෙරෙන වතාවත් ආදී දේවල් වලින් සමන්විත වන ආමිස පූජාව විතරයි. ඒවායින් සෑහීමකට පත්වෙන තත්ත්වයක් ලංකාවේ බෞද්ධයින්ගෙ පේන්න තියෙනවා. මේක ඉතාම නරක තත්ත්වයක්. බුද්ධාගම වෙනත් ආගම් වලින් වෙනස් වන මූලික කාරණය තමයි ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට තැන දීම. බුදු හාමුදුරුවෝ දේශනා කරපු මේ මූලික ප්‍රතිපත්තිම අපේ භික්ෂු ශාසනය උල්ලංඝණය කරනව නම් ගිහියන් ගැන කතා කරන්න දෙයක් ඇත්තටම ඉතුරු වෙන්නෙ නැහැ. ලංකාවේ බුද්ධාගම ඇදහීම සම්බන්ධයෙන් මම දකින විශාලතම පරස්පරය ඒක තමයි.

බුද්ධාගම විතරක් නෙමෙයි කිසිම ආගමක් ලෞකික විය යුතු නැහැ. සෑම ආගමක්ම ලෝකෝත්තරයි. නමුත් රාජ්‍ය පාලනය සහ දේශපාලනය ලෞකිකයි. යුරෝපයේ මේ දෙක එකට එකතු වෙලා තිබුණ ශත වර්ෂ දහයකට පහළවකට අධික කාලයක් තිබුණා. ඒ කාලයේ ආගම විසින් දේශපාලනය පාලනය කළා. ඒ සමාජ බොහෝ දුරට හිංසාවාදී සමාජ බවට පත්වීමට මේ තත්ත්වය බලපෑවා. මීට ශත වර්ෂ කිහිපයකට ඉහතදි යුරෝපයේ ස්පාඤ්ඤය වගේ රටවල් ප්‍රධාන කරගෙන දණ්ඩන ධර්මාධිකරණ තිබුණා. මෙම ධර්මාධිකරණ වලින් කළේ මිථ්‍යා දෘෂ්ටිකයන්ව විනාශ කිරීම. ආගමේ ඉතාම සුළු දෙයක් හරි විවේචනය කරපු පමණකින්ම ඒ අය මිථ්‍යා දෘෂ්ටිකයන් කියලා හඳුන්වලා මරණීය දණ්ඩය පවා පනවන්න පුළුවන් තතත්වයක් මේ ධර්මාධිකරණ වලට තිබුණා. මේ තත්ත්වය තේරුම් ගත්ත යුරෝපීය ජාතීන් ඊට එරෙහිව නැගී සිටියා. රාජ්‍ය පාලනයට සහ දේශපාලනයට ආගම සම්බන්ධ විය යුතු නැහැ කියලා සම්මුතියක් අවසානයේ ඒ අය හදා ගත්තා. එදා ඉඳන් යුරෝපයේ ආගම වෙනම ආයතනයක් විදිහට තියෙනවා. රාජ්‍ය වෙනම තියෙනවා.

නමුත් ලංකාවේ පසුගිය කාලය තුළ මීට ශත වර්ෂ කිහිපයකට පෙර යුරෝපයේ ඇතිවුණු තත්ත්වය දකින්නට ලැබෙනවා. අද ලංකාවේ රාජ්‍ය පාලනයට ආගම ඉතාමත් සීඝ්‍රයෙන් ඇතුල් වෙමින් පවතිනවා. ආගම නැතුව රට පාලනය කරන්න බැහැ කියලා රාජ්‍ය පාලකයො පවා විශ්වාස කරනවා. රාජ්‍ය පාලකයෝ ආගමික ධර්මානුකූලව රට පාලනය කළ යුතුයි කියලා මිනිස්සුත් හිතනවා. ධර්මානුකූලව රට පාලනය කිරීම සහ ආගමකට විශේෂිත වරප්‍රසාද දෙමින්, ආගම ආණ්ඩුවෙ කොටසක් කරගෙන රට පාලනය කිරීම වෙනස් තත්ත්වයන් දෙකක්. අපි බොහෝ වෙලාවට අන්තවාදී ලෙස එක් ආගමකට මුල් තැන දෙමින් අනික් ආගම් වලට ඒ තැන ලබා නොදෙමින් ක්‍රියාකරනවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා බුද්ධාගම තමයි ප්‍රමුඛස්ථානය ලැබෙන්නෙ කියලා. අනික් ආගම් වලට ප්‍රමුඛස්ථානය ලැබෙන්නෙ නැහැ කියන එක ඒකෙන් සෘජුවම කියවෙනවා. කිසිම ආගමකට ප්‍රමුඛස්ථානයක් කියලා විශේෂිත ස්ථානයක් ලබා දියු යුතු නැහැ. තමන් නිවැරදියි කියලා විශ්වාස කරන ආගම අදහන්න මිනිසුන්ට අයිතිය තියෙනවා. ඒ ආගම ඇදහීමට රාජ්‍ය මැදිහත් විය යුතු නැහැ. පසු ගිය ශතවර්ෂ වල නොයෙක් සමාජයන් වල ලේ හලලා ඉගෙන ගත්ත පාඩම මේක තමයි. නමුත් ලංකාව මේක ඉගෙන ගත්ත බවක් පේන්නෙ නැහැ. අද ලංකාවේ ආගම හරහා මිනිසුන්ව, සමාජය පාලනය කිරීමේ තත්ත්වයක් දකින්නට තියෙනවා. මේක හොඳ තත්ත්වයක් නෙමෙයි. මිනිසුන්ට ආගමික අයිතියක් තිබිය යුතු නැහැ කියලා මෙයින් අදහස් වෙන්නෙ නැහැ. සෑම මිනිසෙකුටම ආගමික අයතියක් තියෙන්න ඕනෙ. ආගම ඇදහීමේ අයිතිය වගේම ආගමක් අදහන්නෙ නැතුව ඉන්න අයිතියකුත් සුරක්ෂිත විය යුතුයි.

ගාමිණි වියන්ගොඩ