Colombo, end of the War, Featured Articles, Features

සමාජයට සොල්දාදු උපදෙස් දීම

විශ්ව විද්‍යාලයට ඇතුළු වීමේදී සෑම ශිෂ්‍යයෙක්ටම හමුදා කඳවුරක නායක්තව පුහුණුවක් ලබා දීමේ උසස් අධ්‍යාපන ඇමතිතුමාගේ යෝජනාවට රාජ්‍ය අනුග්‍රහයද ලැබී ඇත. ඉතිහාසයේ සිදු වූවාක් මෙන්ම ආණ්ඩුවේ මේ වැඩසටහනට ද ලාංකීය සමාජයෙන් කිසිදු විරෝධතාවයක් ඇති නොවීම පුදුමයට කරුණක් නොවේ. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් මේ සඳහා විරෝධතාවයක් හා සිසුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීම යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මේ සඳහා මැදිහත් වන්නේ එය සෘජුවම ඔවුන්ට බලපාන තත්ත්වයක් බැවිනි. නමුත් අනෙකුත් සිවිල් සංවිධාන මේ පිළිබඳ අනුගමනය කරන්නේ නිහඬ පිළිවෙතකි. මේ ලංකාවේ විරෝධතා දේශපාලනයේ ස්වභාවයයි. ආණ්ඩුව මේ වන විට ලංකාවේ ජනතාවගේ අයිතිවාසිකම් විවිධ ආකාරයට කඩකර ඇත. ඒ සෑම අවස්ථාවකම එක් පාර්ශවයක් පමණක් (ඒ ඒ අයිතිවාසිකම් කඩ කිරිම සෘජුවම දැනෙන පාර්ශවය පමණක්) හුදකලා සටනක නිරත වූ අතර එහි අවසාන ප්‍රථිඵලය වූයේ විරෝධතාවය වාෂ්ප වීමයි. පසුගිය කාලයේ සිදුවූ යුද්ධය, බඩු මිල ඉහල යාම්, මාධ්‍යවේදීන් ඝාතනය කිරීම හා අතුරුදහන් වීම්, 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ආදී මෙකී නොකී සෑම තත්ත්වයකදීම ආණ්ඩුවට විරෝධය දැක්වූයේ එක් පාර්ශවයක් හෝ කිහිපයකි පමණි.

අද නායකත්ව පුහුණුවට එරෙහිව විරෝධතාවය දක්වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය යුද්ධය සමයේ සිටියේ ආණ්ඩුවේ පැත්තේය. එදා බොහෝ සිවිල් සමාජ සංවිධාන යුද්ධයට එරෙහි වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ උදහසට ලක්විය. මේ ආකාරයට එක් එක් කාලයට එක් එක්කෙනාගේ ගුහා වලට ඇඟිලි ගසමින් විනෝද වන ආණ්ඩුව අද විශ්ව විද්‍යාල වලට ඇඟිලි ගසයි. ආණ්ඩුවේ මේ සියළු ක්‍රියා ක්‍රියාත්මක වන්නේ එකම මූලයක් යටතේදීය. එබැවින් තමාගේ ගැටළුවේ දී පමණක් නොව අනෙකා ගැටළුවේදී ද සමස්ත විරෝධතා සමාජයක් ලෙස නැගී සිටිමින් අනෙකා හුදකලා නොකිරීමට ක්‍රියා කළ යුතුය. නැතිනම් හුදකලා සටන් කරුවන්ට අවසානයේ ඉතිරි වන්නේ ලිප්ටන් වටරවුමේදී ගත් ඡායාරූප කිහිපයක් හා පත්තරවල පලවුනු පුවත් කිහිපයක් පමණි.

අද උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදු කිරීමට යන පර්යේෂණය අනාගතයේදී ලාංකීය සමාජය තුළ විකෘති උපාධිධාරියෙක් බිහි කිරීමට පාර කපනු ඇත. ආණ්ඩුව විශ්ව විද්‍යාල ශිෂ්‍යයාව පර්යේෂණයකට භාජනය කරන ගෙම්බෙක් කර ඇත. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තුළ සිදු වන මේ විගඩම් ප්‍රජාතන්ත්‍රවාදයේ එකලොස්වෙනි හෝරාවේ සීනුව නාද කරයි. එබැවින් මේ විගඩම් වලට එරෙහිව සමස්ත සමාජයක් ලෙස නැගී සිටීමේ අවසාන අවස්ථාව ද අප මග හරිමින් සිටින බව මතක් කර දීමට කැමැත්තෙමු.

විශ්ව විද්‍යාලයට පිවිසෙන නවකයින්ට හමුදාව තුළ දෙනු ලබන පුහුණුව පිළිබදව ‘ඔබ සොල්දාදුවෙක් වෙමින් සිටියි’ යන හිසින් ‘විකල්ප’ හි පලවූ ලිපිය නැවත මෙසේ පළ කරනු ලබන්නේ එදාට වඩා අදට එය උචිත බැවිනි – සංස්කාරක

ඔබ සොල්දාදුවෙක් වෙමින් සිටියි


Photo – flickr.com

නීතිදැමීමට ලංකාවේ ඇමති වරු අතර ඇත්තේ පුදුමාකාර තරඟයකි. එසේම මෙම නීති ද පුදුමාකාරය. සිතෙන ආකාරයට නම් ඇමතිවරුන් උත්සාහ කරන්නේ අයිසෙක් නිව්ටන්, ඇලෙකස් සැන්ඩර් ග්‍රුහැම් බෙල් වැන්නවුන් මෙන් අළුත් අළුත් නීති සොයා ගැනීමටය. පෙර කිසිවෙක් මේ පොළොව මත නොදැමූ නීති ගෙනඒම තුළින් තමාගේ නාමය අමරණිය කිරීමටය. කොට ගවුම් වලට දඩ ගහනවා යැයි මෑතකදී එක් ඇමති වරයෙක් පැවසීය. එය කොතරම් වටිනා අළුත් සොයා ගැනීමක්ද? නමුත් අභාග්‍යකට මෙන් හොට බිම ඇනීම නිසා කොට ගවුමේ නීතිය විහිළුවක් බවට පරිවර්තනය වී අවසන් විය.

දැන් අළුත්ම නීතිය (විහිළුව) එන්නේ නිරතුරුවම නීති (විහිළු) සපයන උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙනි.එනම් විශ්ව විද්‍යාල හා උසස් තාක්ෂනික ආයතන වලට ඇතුළුවන සෑම සිසුවෙක්ම යුධ හමුදා කඳවුරක සති තුනක පුහුණුවක් ලැබීම අනිවාර්ය කිරීමයි. මින් පසු විශ්ව විද්‍යාල ශිෂ්‍යාට ශාස්ත්‍රිය ග්‍රන්ථ, පර්යේෂණ අවශ්‍ය නොකෙරේ. ඒවා කුමටද තුවක්කුවක් තියෙන විට? තුවක්කුවෙන් සියළුම ප්‍රශ්න විසඳීමට හැකියාව තියෙන බව ඕනෑවටත් වඩා හොඳින් ඔප්පු වී ඇති මොහොතක දැනුම ගවේෂණය මොන කජ්ජක්ද? එබැවින් වඩා වටින්නේ මිල්ටරි පුහුණුවයි.

මෙම මිල්ටරි පුහුණුව අර්ථ දක්වා ඇත්තේ නායකත්ව පුහුණුවක් ලෙසය. නායකත්ව පුහුණුව තුළින් බලාපොරොත්තු වන්නේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයා සමාජය තුළ සැබෑ නායකයෙකු කිරීමටය. නමුත් ගැටළුව වන්නේ මෙම නායකත්ව පුහුණුව යුධ හමුදා කඳවුරක පවත්වන්නේ මන්ද? එයින් අදහස් කරන්නේ සැබෑ නායකයින් සිටින්නේ හමුදා කඳවුරු තුළ පමණක් බවද? නායකත්වය යනු මිල්ටරිකරණයට පර්යාය වූ ක්‍රියාවක් බවද?

අනෙක් අතට විශ්ව විද්‍යාල ශිෂ්‍යයා තුළ සැබෑ නායකයා බිහිවන්නේ විශ්ව විද්‍යාල පරිසරයත් සමග ශිෂ්‍යයාගේ ඇති වන නිරුත්සාහී ගැටීමෙන් මිස යුධ හමුදා කඳවුරක් තුළ බලපෑම් සහගත තත්වයකින් නොවේ. එබැවින් විශ්ව විද්‍යාල ශිෂ්‍යයා මිල්ටරි නායකයෙක් එසේත් නැතිනම් මේජර් කෙනෙක් කිරීමේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් විහිළුව සිවිල් සමාජයේ සෑම ඉඩක්ම මිල්ටරීකරණය කිරීමේ ක්‍රියාවලියේ තවත් එක් අවස්ථාවක් ලෙස හඳුනා ගත යුතුය. සමහර විට මෙම නායකත්ව පුහුණුව බස් කොන්දොස්තරලාට, ත්‍රීවිල් රියදුරන්ට, හෝටල් සේවකයන්ට, ජනමාධ්‍ය ආයතන වලට ආදී මෙකී නොකී විවධ ආයතන වලට දීමට ඒ ඒ ආයතන භාර ඇමතිවරු තීරණය කරනු ඇති. බැරිවෙලාවත් මෙවර ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාව පැරදුණොත් ඔවුන්ටද යුධ හමුදා කඳවුරක මිල්ටරි පුහුණුවක් ලබා දී ඔවුන්ව මේජර්ලා කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කරනු ඇත. එවිට ශ්‍රී ලංකාව, සහලින් ස්වයංපෝෂිත ආසියාවේ ආශ්චර්ය වෙනුවට හාස්‍යයෙන් ස්වයංපෝෂිත ආශ්චර්යමත් රටක් වනු ඇත.

මේ සැරසෙන්නේ කුමකටද ද?

විශ්ව විද්‍යාල ශිෂ්‍යායට මෙම පුහුණුව දීමේ අරමුණ ඇමතිවරයා පවසන ආකාරයට වෙලාවට වැඩකිරීම, විනයගරුකබව ඇති කිරීම, ඇඳුම් පැළඳුම් අඳින ආකාරය, නායකත්වය , කණ්ඩායම් හැඟීමෙන් වැඩකිරීම වැනි ගුණාංග විශ්ව විද්‍යාල සිසුන් තුළ ඇති කිරීම ද? නැත. විකල්ප අවකාශයන් වාෂ්ප කිරීම වර්තමාන ලාංකීය දේශපාලනය තුළ දැකිය හැකි ප්‍රධාන තත්වයකි. එක්කෝ මෙම අවකාශයන් රාජ්‍ය මතවාදය විසින් ආක්‍රමණය කරමින්ද නැතහොත් මෙම අවකාශයන් විනාශකර දමමින්ද එම අවකාශයන් වල පැවැත්ම අවලංගු කරයි. විශ්ව විද්‍යාලය වූ කලි ලංකාවේ පවතින ප්‍රධාන විකල්ප දේශපාලන අවකාශයකි. ඇමතිතුමාට හූ කියන්නේත්, ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණ පවත්වන්නනේත්, තම ඉල්ලීම් දිනාගැනීමට වතුර ටැංකි උඩ මාරාන්තික උපවාස කරන්නේත් එබැවිනි. රාජ්‍යයේ මතවාදයන් කිසිදු හිරිකිතයකින් තොරව පිළිගන්නා ඒකමානීය ශ්‍රී ලාංකිකයෙක් නිර්මාණය කරන ආශ්චර්යමත් කාර්යයට මෙම විශ්ව විද්‍යාලීය ශිෂ්‍යයා හිසරදයකි. එබැවින් මොහුව ශික්ෂණය කළ යුතුය. විශ්ව විද්‍යාලයට පැමිණි කාලයක් ගත වූ පසු මොහුව ශික්ෂණය කිරීමට නොහැකි බව ඇමතිවරයා තම පෞද්ගලික අත්දැකීමෙන්ම දනියි. එබැවින් විශ්ව විද්‍යාලයට පැමිණ නරක් වීමට ප්‍රථම මොහුව ශික්ෂණය කළ යුතු බව තීරණය කරයි. ඒ සඳහා හොඳම ආයතනය හමුදාවයි. මන්ද විශ්ව විද්‍යාල ශිෂ්‍යයාට වඩා ඉතා නරකම නරක ලෙස හැසිරුන අයව පවා ශික්ෂණය කිරීමට හමුදාවට හැකි වූ නිසාවෙනි.

අමාත්‍යවරයා මෙම තීරණය ගනු ලබන්නේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයාගේ ප්‍රචණ්ඩත්වය පාලනය කිරීමට බව පැහැදිලිය. නමුත් මෙලෙස විශ්ව විද්‍යාල ශිෂ්‍යයා ප්‍රචණ්ඩව හැසිරෙන්නේ කුමන හේතුවක් නිසාද යන්න ඇමතිවරයා සොයා නොබලයි. සත්‍ය වශයෙන්ම ලංකාවේ විශ්ව විද්‍යාල ගත කරන්නේ අතිශය දුක්ඛිත ජීවිතයකි. වර්තමානය වන විට විශ්ව විද්‍යාල යනු, ලංකාවේ පළාත් සභා මෙන්ම කිසිදු ගුණාත්මක වටිනාකමක් සමාජයට එකතු නොකරන ආයතනයක් බවට පත් වී ඇත. මෙහි අසාර්ථකභාවය ප්‍රකාශ වන්නේ ශිෂ්‍යයාගේ ප්‍රචණ්ඩත්වය තුළිනි. ඕනෑම ගැටළුවක මතුපිට දෙස නොව එහි ගැඹුර දෙස අවධානය යොමු කරන ලෙස කොතරම් ලොකු අකුරින් ලියුවත් එදා සිට අද දක්වාම ලංකාවේ දේශපාලනය තුළ සිදු වූයේ ප්‍රශ්න වල මතු පිට අතගෑම පමණි. මතුපිට අතපත ගෑමේදී හසුවන ප්‍රධාන අවිය වන්නේ මර්ධනය හා බලපෑම්සහගතභාවයයි. මෙම කාර්යය සඳහා ලංකාවේ ආරක්ෂක අංශ කප් ගසා ඇත. ලංකාවේ දේශපාලනයට මෙම උපකරණය කල්‍යාණ මිත්‍රයෙකි. නමුත් මර්ධනය හා බලපෑම් සහගතභාවයෙන් පමණක් විසඳන සෑම ගැටළුවකම ප්‍රතිඵල කෙටිකාලීන බව අප මතක තබා ගත යුතුය.

එබැවින් මුළු ලංකාවම ආශ්චර්යමත් පුරවරයක් කරන තෙක් බලා සිටින පුරවැසිය, ඔබට කියන වග නම් ඔබ ඉන්නා නිදහස් සමාජය හමුදා කඳවුරක් වෙමින් පවතී. ඔබ සොල්දාදුවෙක් වෙමින් පවතී. ඇස් රවටා නොගන්න……..එසේ වුවහොත් ඉදිරියේ ඔබ ඇවිදිනවා වෙනුවට මාච් ෆාස් කිරීමට සිදුවනු ඇත.

චමිල ප්‍රියංක
මෙම ලිපියේ සම්බන්ධතා ගොනුව සදහා..ඔබ සොල්දාදුවෙක් වෙමින් සිටියි