Original Image – Sriyan Indika
මේ සටහන ලියන මොහොත මධ්‍යම රාත්‍රිය පසුකර සිටියද තවමත් ඈත ලවුඩ් ස්පීකරයකින් පුන්සිරි සොයියාගේ සහ අජිත් මුතුකුමාරණ යටිගිරියෙන් බෙරිහන් දෙන රොමැන්තික සින්දුවක් ඇසේ. ඒ අස්සෙන්ම ඈතින් ඇසෙන කවි බණකි. ඔය අස්සෙන්ම ජෝතිගේ හඬද අන් සියල්ල පරයා ඇසේ. තවත් තැනක ඔය සියලු තාලයට නැටෙනා ඔලු බක්කේ නැටුමකි. කඩල කරත්ත අයිස්ක්‍රීම් වැන් ද තවමත් එහෙට මෙහෙට යයි. සවස 7 තෙන් අටෙන් පසු බලුබල්ලෙක් නැතිවන පාරේ තවමත් කුමක් හෝ වාහනයක නැග ආතල් ගන්නා කොල්ලෝ කුරුට්ටන්ගෙන් පිරී ඇත. මඟ දෙපස කොඩියක් නොදැමූ ගෙයක් නොමැති තරම්ය. ඊට අමතරව අතහැර දමා ඇති ගොඩනැගිලි පවා ලයිට් වැලක් දමා හෝ සරසා ඇත. වෙනත් දවසක මිනිසෙකු දිව ගිලී මියැදෙන්න ගියද වතුර පොදක් නොදෙනා මිනිසුන් රාත්‍රිය පාරේ ගතකරමින් එහෙට මෙහෙට කරක් ගසන රංචු හට කෝපි සාදමින් දෙති. බලෙන් ඇද කන්න දෙති. ඇත්තෙන්ම කිව්වොත් මාරය…රාත්‍රී 10පසු ශබ්ද විකාශණට තහනම් රටේ, අද මේ විශේෂය නැතහොත් මේ කානිවල් එකක් මෙන් සමරන්නේ ගෞතම බුදුන්ගේ ඉපදීම. බුදුවීම සහ පිරිනිවන් පෑම යන ත්‍රිවිධ කාරණා මුල්කර ගෙන යෙදෙන වෙසක් පොහෝදින වෙනුවෙනි.
ලංකාවේ දැන් අලුත්ම විලාසිතාව, සිතේ කොණකවත් ධර්මය නොමැති බුදුන්ව හන්දියක් හන්දියක් ගානේ වැඩැම්මවීමයි. පන්සල් ජනයාගේ ඉතිරී ගියත් බුදුන් පන්සලේද නැත. මෙම කාරණා ඉතාම සරලව විග්‍රහකර ගතහොත් ලාංකීය සමාජයට වෙසක් යනු තවත් සතියක් පමණ හොඳ ප්‍රමෝධයක් ලබාගත හැකි කානිවල් එකකි. නමුත් සියල්ල මේ ආකාරයෙන් සිදුවන්නේ අහම්බයකින්නම් නොවේ. මෙම කානිවල් සංස්කෘතිය ලංකාව තුළ සමාජ ගතකිරීමේ අරමුණ පවතින යථාර්තය අමතක කරදමා ජනතාව සිහින ලෝකයකට ඔසවා තැබීමේ දේශපාලනික ව්‍යාපෘතියේම කොටසකි. මිනිසුන්ද මේ ක්‍රමයට ඉතාම ප්‍රියය. කාලයකට ඉහතදී යුද්ධය යන කාරණය දකුණුලකට කානිවල් ප්‍රමෝධයක් ගෙන දුන්නේය. ඉන්පසු ක්‍රිකට් ලෝක කුසලානය කාලසමයද එලෙසම විය. එපමණක් නොව ලෝක කම්කරු දිනය පවා ලංකාව තුළ කානිවල් ස්වරූපයක් ගන්නා ලදී.
ඒ අනුවම යමින් මෙවර වෙසක් පුන් පොහෝ දිනයේදීද, එම කනිවල් ස්වරූපය දෙගුණ තෙගුණ වී ඇත්තේ ගෞතම බුදුන් බුද්ධත්වයට පත්වී වසර දෙදහස් හයසීයක් පිරීම නිමිත්තෙනි. දැන් සිදුවන්නේ එදා ගෞතම බුදුන් බුදුවන මොහොතේදී හීනෙන්වත් නොසිතූ දෑ මෙහි සිදුවෙයි. මේ නිෂ්චිත නිමේෂය තුළ බුද්ධ ධර්මය ලංකාව තුළ බුදුන් දේශනා කල බුද්ධ දර්ශණ, එහි මානවවාදී ගුණය පසෙකලා සිංහල බෞද්ධ නම් වූ ශ්‍රද්ධ වූ හෙජමොනිය නිර්මාණය කිරීමට යොදා ගනී. එය වරක් වැන්දොත් කැළණියේ සියලු පව් සේදෙනවායි කියනා පට්ටපල් බොරු අන්ධ භක්තික අදහස මෙන්, ලංකාවේ බහුතර බෞද්ධයන් සිතන්නේ වෙසක් පෝයට කොඩියක්, විදුලි බුබලක්, දන්සැලක් දුන් පමණින් තමන්ගේ සියලු අමන අතීතයන් සෝදා ඉවත හැකිය කියාය.
මෙවර වෙසක් පෝයත් සමඟ උත්කර්ෂයට පත්වී ඇති මතවාදයනම්, ශ්‍රද්ධ සිංහල බෞද්ධ රාජ්‍යයි. නලින්ද සිල්වාට අනුවනම් එය මේ වනවිටත පිහිටා අවසන්ය. ගුණදාස අමරසේකරට හෝ හෙළ උරුමයට අනුව මේ එම රාජ්‍ය සඳහා යන මාවතේ උත්තරීතර මොහොතකි. මර්වින් සිල්වා වැනි අයෙකුට අනුව මේ බුදුන්ගේ දේශයයි. මේ සියලු කාරණා නිසා සිංහල බෞද්ධයා අමන්දානන්දය පත්ව තිබේ. බුද්ධ රාජ්‍යය යන්නම බෞද්ධ දර්ශණයට පටහැණිය. ලෞකිකය හා ලෝකෝත්තරය අතර ගැටුමකි.
ඒ නිසාම සරල ලෙසම බැලුවහොත් බුදුන්ගේ ධර්මය සමග ජාතියක් අදාගත නොහැකිය. ගෞතම නමින් බුදු වූ සිද්ධාර්ථගේ අරගලයම තමන් තුළ වූ ඇති ජාති ආගම් කුල ආදී පාෂාණිභූත වූ ස්ථරයන් දියකර හරිමින් තමා තුළ ඇති මානවයා අවදි කිරීමය. බුදුදහමේ අභ්‍යාසයම තමා තුළ ඇති මානවයා සහ මානව ප්‍රේමය අවදියෙන් තබාගැනීමය. තමන් වෙලී සිටින්නාවූ මනෝ රාජ්‍යයන්ගෙන් එළියට බැස වඩාත් යථාර්තවාදීව, සත්‍යවාදීම සහ මානවවාදීව ලෝකය දෙස ජීවිතය දෙස බැලීම බුදු දහමේ සරල අර්ථය වුවත් දැන් සිදුවන්නේ මනෝ රාජ්‍යයන් තුළ තවදුරටත් කුටුම්භ ගත වීමයි.
නමුත් ලංකාව තුළ මේ මොහොත තුළ සිදුවන්නේ තමන්ගේ පාලනයේ පැවැත්ම තහවුරු කරගැනීම උදෙසා පාලකයන් වෙසක් කුඩුවලින්, තොරණ් වලින් දන්සැල්වලින් බැති ගී ප්‍රසංගවලින් ලාංකිකයාව යම් ලෞකික ප්‍රබෝධයක තැබීමයි. බුදු දහමේ හරය කිසි විටෙක ලාංකියාට නිරාවරණය කිරීමට පාලකයන් කිසිවිටෙක කුඩා හිඩැසැක්වත් තබන්නේ නැත. ඒ එය තමන්ගේ බලයේ පැවැත්මට අභියෝගයක් වන හෙයිනි.
මෙරට සිංහල බෞද්ධයා සැබෑ බෞද්ධයෙකු වූවානම්, මීට වසර දෙකකට පෙර මහපාර මැද කිරිබත් කානිවල් පවත්වන්නට බැරිය. මන්ද සියලු බන්ධනයන් මානව බන්ධනය ඉක්මවා නොයන හෙයිනි. උතුරේ දන්සැල් සංවිධානය කිරීමට පෙර කළ යුතුව තිබුනේ බිදුණු සිත් සුවපත් කිරීමයි. අවමය ලෙස දමිළ ජනයාට කළ මහා විනාශය සම්බන්ධයෙන් සමාවවත් අයද සිටීමයි. නමුත් පාලකයන් කරමින් සිටින්නේ උතුර පුරා මිලිටරි දන්සැල් සංවිධානය කර උතුරේ දමිළ ප්‍රජාව වෙසක් සැමරීට පොරකන බව ලෝකයට පෙන්වීමකි. සමස්ථ වෙසක් උත්සවයම පාලකයන්ට මාධ්‍ය මෙහෙයුම්, දේශපාලන බල ව්‍යාපෘතීන් සක්‍රීයව තබා ගැනීමට ඉතා හොඳ නිමිත්තක් පමණක් වේ.
සැබෑ බුදුන් මඟ යන්නේ නම් කළ යුතුව ඇත්තේ බුද්ධ කානිවල් පැවැත්වීම නොව ජනතාවාදී පාලන තන්ත්‍රයක් රටතුළ ස්ථාපිත කිරීමයි. අනෙකාගේ මතයට ඉඩක් සලසා දීමයි. සිංහල ජාතිවාද වැපිරවීම දැන්වත් අවසන් කිරීමයි. පැරුණු සිත් සුවපත් කිරීමට ප්‍රමාද වී හෝ කටයුතු කිරීමයි. නමුත් අවාසනාවට පාලකයන්ගේ දේශපාලන බල ව්‍යාපෘතින් නිසා සිදුවන්නේ ජනයා අතර යළි එක්විය නොහැකි තරමේ දුරස්ථභාවයක් නිර්මාණය කිරීමයි. දැනටමත් එය සිදුවී අවසානය.
දැන් ලංකාව තුළ ඇරඹී ඇත්තේ කානිවල් යුගයයි. බුද්ධ කානිවල් තව ටික දිනකින් අවසන් වී පොසොන් කානිවල් ආරම්භවනු ඇත. ඒ වෙනුවෙන් ජනයාද දතකට මැදගෙන බලාසිටිනු ඇත.
ක්‍රිශාන් රාජපක්‍ෂ