පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්
මෙසේ කියන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ය. ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය පීරිස් විසින් ඇය වෙත යවන ලද සුබ පැතුමකින් මහ ඇමැතිනී ජයලලිතා සමඟ එක්ව වැඩ කිරීමට ශ්‍රී ලංකාණ්ඩුව අපේක්ෂා කරන බවත් කියැවේ. මෙම සුබ පැතුම විදේශ අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ දක්නට නැතත් ඒ පිලිබඳ ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත්පත පළ කළ පුවත ශ්‍රී ලංකාණ්ඩුවේ වෙනත් වෙබ් අඩවියක් වන ලංකා පුවත් හි දක්නට ලැබේ.
පසුගිය 16දා ජයලලිතා ජයරාම් තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිනිය බවට පත් වූයේ නොසිතූ විරූ වැඩි ජන්දයකින් සිය පක්ෂය බලයට ගෙන ඒම මගිනි. ඉන්දියානු ප්‍රාන්ත අතුරින් භුමි ප්‍රමාණයෙන් 11 වන තැන ද ජනගහණයෙන් 7වන තැනද ගන්නා තමිල්නාඩු ප්‍රාන්තය එරට දළ ජාතික නිශ්පාදනය අතින් පස්වන තැන ගනී.
ඥාති සංග්‍රහය මත පදනම් වූ පාලනයක් ගෙන යමින් නම වසරක් පුරා බලයේ සිටි කරුණානිධි නායකත්වයෙන් යුතු ඩී.එම්.කේ. පක්ෂය මෙතරම් අන්ත පරාජයකට ලක්වනු ඇතැයි අනාවැකි කී කිසිවකු නොවීය. ජයලලිතාගේ ජයග්‍රහණය එහි බලය සහ ප්‍රවේගය මත තමිල්නාඩුවෙන් එපිටට ගමන් කරමින් නව දිල්ලියේ මධ්‍යම ආණ්ඩුව කරා ද බලපෑමක් ඇති කරනු නිසැක ය.
ඇයගේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අදාළ වන්නේ තමිල්නාඩුවෙ හි ශ්‍රී ලංකාවේ ජනගහණය මෙන් තුන් ගුණයක් එනම් ලක්ෂ 700ක් [72138958] දෙමළ ජනයා ජීවත්වන නිසාම නොවේ. ඇය ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ දෙමළ ජනයාගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් දක්වන ප්‍රබල අදහස් නිසාය. සිය ජයග්රහණයෙන් පසු කළ ප්‍රථම ප්‍රකාශයේ දී ඇය මෙසේ කියා සිටියේ ය: “දෙමළ ජන ඝාතනය සම්බන්ධයෙන් යුද අපරාධකරුවකු ලෙස ජනාධිපති රාජපක්ෂ අන්තර් ජාතික යුද අධිකරණයට ගෙන යන ලෙස මධ්‍යම ආණ්ඩුවට මහ ඇමැති වූ විගස බලපෑම් කරනවා….ශ්‍රී ලංකාවේ ආණ්ඩුව දෙමළ ජනයාට සාධාරණය ඉටු නොකරන්නේ නම් ඉන්දියාව එරටට විරුද්ධව ආර්ථික සම්බාධක පැනවිය යුතුයි.”
ශ්‍රී ලංකාණ්ඩුවේ සුබ පැතුම ගැන වාර්තාවක් ලියූ ජනප්‍රිය ඉන්දීය වෙබ් අඩවියක් කියා සිටියේ “ජයලලිතාගේ ජයග්රහණයෙන් පසු ශ්‍රී ලංකාවේ කොන්ද නැමී ඇති බවයි”. ශ්‍රී ලංකාවේ දෙමළ දේශපාලන පක්ෂ හැරුණු විට විපක්ෂයේ කිසිදු පක්ෂයක් විශේෂයෙන්ම එජාපය පවා ඇයට සුබ පැතුමක් යැවුයේ නැත. ඒ බොහෝ විට ද්‍රෝහී ලේබලය ඇලවේ යැයි බියෙන් විය යුතු ය. රටෙහි ජනාධිපතිවරයා යුද අපරාධකරුවකු ලෙස අධිකරණයට ගෙන යා යුතු බව ප්‍රකාශ කරන එතෙර දේශපාලන නායිකාවකට සුබ පැතීම වත්මන් ශ්‍රී ලංකාවේ මර්දනීය දේශපාලනවාතාවරණය යටතේ මරණීය වරදක් විය හැකිව තිබුණි. එහෙත් දැන් ශ්‍රී ලංකාණ්ඩුව ම සිය ජනාධිපතිවරයා යුද අපරාධකරුවකු ලෙස ප්‍රකාශයට පත් කරන මහ ඇමැතිනියට ජයවේවා..! කියා සුබ පතයි.
සෙනසුරාටත් බටකොළ කන්න වෙනවා යැයි කියන්නේ මෙවැනි අබග්ගයන්ට ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය අධිරාජ්‍යවාදී ගුබ්බෑයමක් සේ හෙළා දැක එහි කොළඹ කාර්යාලය වටලා තොවිල් නටා මහ ලේකම් බෑං කි -මූන්ගේ අනුරූ ගිනි තැබූ අමාත්‍ය වීරවංශ අවසානයේ දී සම්බුද්ධ ජයන්තිය සැමරීමට ගියේ අනුරාධපුරයට නොව නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයට ය. අනේ කාලේ වනේ වාසේ..!
එ.ජා. මහ ලේකම් කමිටුව ශ්‍රී ලංකාණ්ඩුවටත් එල්ටීටීඊයටත් යුද අපරාධ පිළිබඳ පිළිගත හැකි චෝදනා ඇතැයි වාර්තා කළ විට රට කරවන ආරක්ෂ ලේකම් රාජපක්ෂ කීවේ අපි දැන් වීනයේ සහ රුසියාවේ සහාය ලබා ගන්නවා කියා ය. නමුත් එම දෙරටටම කලින් සාකච්ජා පිණිස අමාත්‍ය පිරීස් ගියේ ඉන්දියාවට ය. ඉන්දියාව දැන් සිය මතය කෙලින්ම ප්‍රකාශ කර තිබේ. අමාත්‍ය පීරිස්ගේ සංචාරයෙන් පසු දෙරට විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ සාකච්ජා අරභයා නිකුත් කරන ලද ඒකාබද්ධ ප්රකාශණයෙහි සදහන් වන අන්දමට ඒ මෙසේ ය:
“සෑබෑ ප්රතිසංධානයකට අවශ්‍ය පූර්ව කොන්දේසි සකස් කරනු ඇත්තේ 13වන සංශෝධනය මත ගොඩනැගෙන බලය බෙදීමේ යෝජනාවලියක් මගිනි.”
අප මෙම පෙළ වත්මන් දේශපාලන පසුබිම මත කියවිය යුත්තේ මෙසේ ය: යුද්ධාවසානයෙන් දෙවසරක් ගතවී තිබියදීත්, ජනාධිපති රාජපක්ෂ විසින් ඉන්දියාවට දෙන ලද පොරොන්දු ඉටු කරමින් 13වන සංශෝධනය මත පදනම්ව ඉන් ඉදිරියට යන දේශපාලන විසඳුමක් දෙමළ ජනයාට ලබා දීමට ක්‍රියා නොකිරිම ගැන ඉන්දියාව කණස්සල්ලට පත්ව සිටී. එය ඉක්මන් කළ යුතු ය. එවැනි පියවරකින් තොරව සැබෑ ප්රතිසංධානයක් ඇති වන්නේ නැත.
ඊළගට ඒකාබද්ධ යෝජනාව මෙසේ කිය යි. “ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙසේ කීය. යළි පදිංචි කිරීම සහ සැබෑ ප්‍රතිසංධානය සහතික කළ යුතු ය. අභ්‍යන්තරව විතැන්ව සිටින ජනයාට ඉකිමණින් ම සිය වාසස්ථාන කරා යාමට මඟ සැළසිය යුතු ය. හදිසි නීති රෙගුලාසි ඉක්මණින් ඉවත් කළ යුතු ය. මානව හිමිකම් කෙළෙසීම් පිළිබඳ ඇති චෝදනා පරීක්ෂා කළ යුතු ය. යුද්ධයේ බලපෑමට ලක් වූ ප්‍රදේශන්හි සාමාන්‍ය තත්ත්වය ඇති කළ යුතු ය. වින්දිත පවුල්හි මානුෂිය අවශ්‍යතාවයන්ට ප්‍රතිකර්ම සැළසිය යුතු ය.”
ශ්‍රී ලංකාවේ යුද්ධයට අදාළව මානව හිමිකම් චෝදනා එල්ල වී ඇත්තේ කාගෙන් ද? ඉන්දියානු ආණ්ඩුව මේතාක් කල් නොකළ එවැනි යෝජනාවක් දැන් ඉදිරිපත් වන්නේ කුමන ලියැවිල්ලක් මත පදනම්ව ද? එය ඉතා පැහැදිළි ය. එවැනි චෝදනා එල්ල වී ඇත්තේ එ.ජා. මහලේකම් ගේ කමිටු වාර්තාවෙනි. හදිසි නීති ඉවත් කරන ලෙස ඉල්ලා ඇත්තේත් එම වාර්තාවෙනි. මෙම ඒකාබද්ධ ප්‍රකාශණයේ එම එජා මහලේකම් වාර්තාව වචනයෙන් නැතත් පේළි අතර පැහැදිලිවම දක්නට ලැබේ.
යුද්ධයේ බලපෑමට ලක් වූ ප්‍රදේශයන්හි සාමාන්‍ය තත්ත්වය ඇති කිරීම ඉන්දියාවේ තවත් ඉල්ලීමකි. ඉන් අදහස් කැරෙන්නේ මිලිටරි පාලනය වෙනුවට සිවිල් පරිපාලනය ඇති කිරීම යි. එම ප්රදේශයයන්හි ජනයා මත පනවා ඇති අනේක මර්දන නීති රීති අහෝසි කිරීම යි. රැස්වීමේ, කතා කිරීමේ, ගමන් බිමන් යාමේ යනාදී අයිතීන් කිසිදු බාදාවකින් තොරව ලබා දීම යි.
අප මෙම ඒකාබද්ධ ප්‍රකාශණයේ දේශපාලන කියැවීමක් කරන්නේ නම් ඉන්දීය පාර්ශවය විසින් එජා මහලේකම් වාර්තාව නොනිල අනුමත කිරීමක් කර තිබෙන බව දැක ගත හැක. අමාත්‍ය පීරීස් අඬබෙර ගසා නව දිල්ලියට ගියේ එම වාර්තාවට එරෙහිව ඉන්දියාවේ සහයෝගය ගැනීමට ය. නමුත් ඒකාබද්ධ ප්රකාශනයේ වාර්තාවට එරෙහිව වචනයක්වත් නැත. මෙම වර්ධනය පෙර දැකිය හැකිව තිබුණි. මන්ද යත් පාලක ඉන්දීය කොන්ග්රස් පක්ෂය හැර අන් සියලූ ජාතික පක්ෂ එජා මහලේකම් වාර්තාවට සහ රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව පක්ෂව ස්ථාවරයන් ගෙන තිබූ නිසා ය. ප්‍රධාන විපක්ෂය වන භාරතීය ජනතා පක්ෂය කීවේ ඉන්දීය ආණ්ඩුව යුද අපරාධ චෝදනා ලබා සිටින රාජපක්ෂ ආණ්ඩුවට ඇප දීමට ඉදිරිපත් නොවිය යුතු බවත් යුද අපරාධකරුවන් නීතිය හමුවට පැමිණිවිය යුතු බවත් ය. ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය යුද අපරාධ වාර්තාවට පක්ෂව රැස්වීම් මාලාවක් පවත්වමින් අත්සන් ව්‍යාපාරයක් දියත් කළ අතර ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය යුද අපරාධ අධිකරණය හමුවට චූදිතයින් ගෙන යා යුතු බව අවධාණය කළා ය. තවත් කැපී පෙනෙන වර්ධනයක් නම් රාජපක්ෂ ආණ්ඩුවේ සුහද මිතුරකු වන එන්. රාම් කර්තෘත්වය දරන හින්දු පුවත්පත මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවට පක්ෂව කිසිදු ලිපියක් හෝ කතු වැකියක් පළ නොකිරීම යි. තමිල් නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන පක්ෂ දෙක වන ඩී.එම්.කේ. (කරුණානිධි) සහ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. (ජයලිලිතා) පමණක් නොව අන් සියළුම ප්‍රාන්තීය පක්ෂ ද එජා මහ ලේකම් වාර්තාවට පක්ෂව යුද අපරාධ පරීක්ෂනයක් අවශ්‍ය බව ප්‍රසිද්ධියේ කියා සිටියා ය. වාර්තාවට එරෙහිව කතා කළ කිසිදු ඉන්දීය දේශපාලනඥයකු ගැන වාර්තා වී නැත.
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය කළේ මෙම වර්ධනයන් වාර්තා කරමින් දැනුවත් සාකච්ජාවකට මුල පුරනු වෙනුවට “ දරුස්මාන් කල්ලිය තනිවෙලා” යනාදී මෝඩ චූන් වැපිරීම යි. යුරෝපයේ රටවල් 27ක් එක්ව එජා මහලේකම් වාර්තාව පිළිගනිමින් එහි නිර්දේශ ක්‍රියාත්මක කරන සේ ශ්‍රී ලංකාවට දැන්වීමට තීරණය කළ විට “ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව යුරෝපා සංගමයේ දී පරදී” යැයි ශීර්ෂ පාඨ ලීවේත් ඒ අනුව ය. මේ වනාහී දිය රත්වන තුරු සැළියේ නටන කකුලු භූමිකාව මිස අන් කුමක්ද?
අන්තිමේ දී මහ ලේකම් බෑං කි-මූන් වඳුරකුට සමාන කරමින් නැටූ මැයි දින ජෝගියේ සූර් බැසීමටත් පෙරම, එජා මහලේකම් වාර්තාව අනුව යමින් ජනාධිපති රාජපක්ෂ යුද අපරාධකරුවකු ලෙස නම්කළ යුතු යැයි කී තමිල් නාඩු මහ ඇමැතිනී ජයලිලතා ජයරාම් ට සුබ පතා, “ඔබට ජයවේවා, අපි එකට වැඩ කරමු කියා” කීමට අහෝ, රාජපක්ෂ ආණ්ඩුවට සිදු විය. චීනයවත් රුසියාවවත් ඉන්දියාවේදී ගිණිකන වැටුණු අමාත්‍ය පීරිස්ට කණවැළ අල්ලන්නට ආවේ නැත.
යුද්ධාවසානයෙන් පසු මහින්ද රාජපක්ෂ අභිමුවෙහි තෝරා ගැනීම් දෙකක් තිබුණි. ඒ ධර්මාශෝක සහ චන්ඩාශෝක යනු ය. ඔහු චන්ඩාශෝක වරිතය ම ඊටත් වඩා සක්‍රීය ලෙස පවත්වා ගැනීමට තීරණය කළේ ය. එහි විපතක් ලෙස දැන් ශ්‍රී ලංකාව ලෝක ඉතිහාසයට එක්කරමින් සිටින්නේ යුද්ධය විසින් ගෙන එන්නේ අත්තනෝමතිකත්වය සහ භීෂනය මිස ප්රජාතන්ත්රවාදය සහ සාමය නොවන බවට තවත් ජීවමාන අත්දැකීමකි. යුද්ධ ඛේදවාචකයේ අවතාරයෙන් එයට දැන් ගැලවීමක් නැත.
කොමියුනිස්ට් ප්රකාශණයෙහි මාක්ස් සහ එංගලස් ලිවූ පරිදි “ඝන වූ සෑම දෙයක්ම දියවී වාතයට එක්වෙයි. ශූද්ධ වූ සෑම දෙයක්ම අලු බවට පත්වෙයි. මිනිසාට අවසානයේ දී ජීවිතයේ යථාර්තයට, සිය වර්ගයා සමඟ ඇති බැදීම්වලට සන්සුන්ව මුහුණ දීමට සිදුවෙයි.”
අප්පමාදෝ අමතපදං…!