(රැකියා නොමැති උපාධිධාරීන් සංකේතවත් කරමින් ජවිපෙ මැයි රැලියේ අවස්ථාවක් 2011) – Photo by – Sampath Samarakoon
ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය සහ ප්‍රාදේශීය සභා මැතිවරණය යනාදී මැතිවරණ එක දිගට පවත්වා අවසන් කෙරුණි. මෙම සියලු මැතිවරණයන් සඳහා ප්‍රාදේශීය දේශපාලඥයින්, කලාකරුවන්, මාධ්‍යවේදීන්, නීතිඥවරුන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, විවිධ වෘත්තීය සමිති සංවිධාන, තරුණ සංවිධාන, කාන්තා සංවිධාන සහ විවිධ ප්‍රදේශයන් නියෝජනය කරන උපාධිධාරී සංවිධාන ඇතුළු එකි නොකි මෙකී පිරිස් බුරුතු පිටින් සන්ධානයේ ජය පතාත් තම තමන්ගේ ආත්මලාභය පතාත් අති විශාල පිරිසක් බොරු දේශප්‍රේමීත්වය පතාත් තම තමන් සහ තවෙකුන් ඇදගෙන එක එකාට කඩේ ගියහ.
ජනාධිපතිවරණයේදී ප්‍රාදේශීය දේශපාලඥයින් රාජපක්‍ෂ නැමති අපේක්‍ෂකයාට කඩේ ගියේ ඊලඟට එන මහ මැතිවරණයේදී දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඡන්දය ඉල්ලීම සඳහා කාඩ් එක ලබා ගැනීමේ අටියෙනි. ඒ සඳහා ඔවුන් මුදල් හදල් සහ විවිධ තුවක්කු චන්ඩීන් ද රාජපක්‍ෂ අපේක්‍ෂකයාට උපයා සපයා දුන්හ. නැතහොත් විවිධ දොලපිදේනි ලබා දුන්හ. එහිදී ඔහු ජන රැළි ආදිය සංවිධානය කර කැන්වසින් ගියේ දේශ ප්‍රේමීත්වය නිසා නොව කාඩ් එක ලබාගෙන මහ මැතිවරණයට ඉදිරිපත්ව තම තමන්ගේ වැඩ කටයුතු ඉෂ්ඨ සිද්ධ කර ගැනීම සඳහා ය. ඔවුන් කළ කැපවීම, ඔවුන්ගේ අධිෂ්ඨානය අද මල්ඵල ගැන්වී ඇත. ඔවුන්ගේ කඩේ යෑම සාර්ථකය.
ෆොන්සේකා, ජැක්සන්ලා, දිසානායකලා අඹු සැමි යුවල වැනි කලාකරුවන්ගේ කඩේ යෑම ද ඉතාමත්ම සාර්ථක ප්‍රතිපල ගෙන දුන්නකි. ඊට නිදසුන් බොහෝය. ෆොන්සේකා එකල ජනාධිපති අපේක්‍ෂක රාජපක්‍ෂට කඩේ යෑම මත පදනම්ව ඇය ජාතික ලැයිස්තුවෙන් අද පාර්ලිමේන්තුව නියෝජනය කරයි. දිසානායකලාගේ කඩේ යෑමේ ප්‍රතිපල ලෙස සිය සහෝදරයා නාවික හමුදාපති ධූරය උසුලයි. එමෙන්ම තව තව වරප්‍රසාද උවුන්ට ලැබී ඇත. ජැක්සන්ලා දක්ක්‍ෂ කඩේ යාම නිසා ඔහුට මාගම්පුර වරායේ කරදියවර මංගල්ලයේ සැරසිලි කටුයුතු ආදියට කෝටි ගනනක මුදලක් හිමි වූ අතරම විවිධ මාධ්‍ය සන්දර්ශන වලට පෙනී සිටීමේ වරම ද ලැබී ඇත.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අතරින් ‛‛දක්‍ෂතම කඩේ යන්නා’’ ශූරතා සම්මානය හිමි වූයේ දිසානායක ඇදුරුතුමන්ට ය. එහි අනුශූරතා සම්මානය රංජිත්ලාට හිමි විය. මෙම සූරතා දෙකම කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය නියෝජනය කරන ඇදුරන් දෙදෙනෙකුට හිමි වීම විශේෂිත විය. දිසානායක දක්ක්‍ෂතම කඩේ යන්නා වූ නිසා රජයේ නිල විචාරකයා වීමේ අවස්ථාව හා ජනමාධ්‍යයේ නිතර දෙවෙලේ පෙනී සිටීමේ අවස්ථාව හිමි විය.
මැතිවරණයන් වලදී කඩේ ගිය අනෙකුත් පිරිස වන රජවාසල ඇම්බැට්ටයින් වැනි මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට ද රටේ නීතිය, මානව අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කෙළ පැමිණි නීතිවේදීන් කිහිප දෙනෙකුට ද තරුණයාට හෙටක් හදන මහත දෙහත තරුණයින් කිහිප දෙනෙකුට ද වෘත්තීය සමිති අයිතිවාසිකම් බොහෝ පවතින නිසා තව ඒවා එපා යැයි මොරදෙන වෘත්තීය සමිති නායකයින් කිහිප දෙනෙකුට ද කාලයාගේ ඇවෑමෙන් අති සාර්තක ප්‍රතිපළ අත්කර දුනි.
එමෙන්ම, මැතිවරණයන් වලදී කඩේ ගිය උපාධිධාරීන්ගේ කඩේ යෑමේ භූමිකාව විවිධ ස්වරූපයන්ගෙන් විදහා පෑවද එහි අවසන් ප්‍රතිඵලයන් ද ඉහත තත්ත්වයන් මෙන්ම කිහිපදෙනෙකු වටා ගොනු වීම වලකන්නට නොහැකි විය. බහුතර උපාධිධාරීන් තව තවත් අගාධයටම වැටුනි. නැතහොත් බහුතර උපාධිධාරීන්ගේ කඩේ යෑම අසාර්ථක විය.
ජනාධිපතිවරණයේ දී එක් එක් උපාධිධාරීන් සිය ආසන සංවිධායකවරයා සමග මූලික වටයේ දී මංගල කඩේ යාම ආරම්භ කළහ. ඒ ජනසභා ලේකම් තනතුරක් ලබා ගැනීමේ අටියෙනි. එමෙන්ම එම වටයේදී ම සන්ධාන අපේක්‍ෂකගේ පුතුගේ තරුණයින්ට කරන සංවිධානය සමග ද උපාධිධාරීන් කොටසක් රොද බැඳ ගත්හ. කොළඹ ආශ්‍රිත විශ්ව විද්‍යාලවල අභ්‍යන්තර සිසුන් ද වැඩි වශයෙන් කඩේ යාම හරහා සිත් මල් පුබුදා ගත්හ. රැකියා අපේක්‍ෂා සිහින දකින්නට පටන් ගත්හ. අඩු වැඩි වශයෙන් කොළඹින් පිටත විශ්ව විද්‍යාලවල අභ්‍යන්තර සිසුන්ද කඩේ යෑමේ තරඟයට ක්‍රමක්ක්‍රමයෙන් ප්‍රවිශ්ට වූයේ විශ්ව විද්‍යාලයෙන් අවුට් වෙච්ච අයියලගේ කීමට අනුවය. අයියල මල්ලිලාට බලාපොරොත්තු ලබා දුනි. එම බලාපොරොත්තුවලින් මත්ව මහින්දට කඩේ ගියේ අවුට් වෙච්ච ගමන්ම රැකියාවක් ලබා ගැනීමේ අරමුණෙනි. ඔවුන් ගම් දනව් පීරනු ලැබීය. කැන්වසින් යාම හා කැම්පේන් එක එකෙකුට එකෙක් පරයා යමින් සංවිධානය කළහ. හිත යටින් තරහ අය අනෙකාට රැකියාවක් ලැබේ යැයි සිතා මේ කඩේ යෑමේ රහස නොකියන්නට ද පිරිසක් වග බලා ගත්තේ ය. හොස්ටල් එකේ ද පෝස්ටර් ඇලවිනි. තරුණයට හෙටක් හදන්න සූදානම් වුණු අයියත් එක්ක සෙට් වෙන්න විවිධ උපක්‍රම භාවිතා කළහ.
ජනාධිපතිවරණය අවසන් විය. සති කිහිපයකින් කඩේ ගිය උපාධිධාරීන් රංචුවට ආරංචි වූයේ කඩේ යන්න උදව් කරපු රැකියාවක සිහින මාලිගා හැදිමට උදව් උපකාර කළ නාමල් ඇතුළු අනෙකුත් රාජපක්‍ෂවරු සහ ආසන සංවිධායකවරු ලඟින්ම ඇසුරු කළ හිතවත් උපාධිධාරී තරුණ තරුණියන් කිහිපදෙනෙකුට පමණක් රැකියා ලැබුණු බවයි.
මීලඟට මහ මැතිවරණය පවත්වන්නට යෙදිනි. එය උපාධිධාරී තරුණ තරුණියන්ට රැකියා අපේක්‍ෂා මල්පළ ගැන්වීමටත් ඔවුන්ගේ අනෙකුත් බලාපොරොත්තු ඉෂ්ඨ කර ගැනීමටත් මහඟු අවස්ථාවක් වන බව ඒත්තු ගැන්වීමට ප්‍රදේශයේ දේශපාලඥයා අවශ්‍ය පියවර ගනු ලැබීය. උපාධිධාරීන්ට රජයේ රැකියාවන් ලබාදීමේ දී ආසන සංවිධායකවරයා හරහා සිදු වෙනු ලැබේය, යන්න ආසන සංවිධායකවරයා ප්‍රචාරය කරනු ලැබීය. ප්‍රධාන වශයෙන්ම ජනාධිපතිවරණයේදී ප්‍රකාශයට පත් කළ ප්‍රසිද්ධ බොරු දේශපාලන පොරොන්දුවක් වූ ‛ජනසාභා ලේකම් ධූරය’ ලබා දීමේදී ආසන සංවිධායකතුමාට කඩේ ගොස් තිබීම මුලික සුදුසුකමක් සේ සලකන බවට ප්‍රචාරය කෙරුණි. මෙය කන වැකුනු උපාධිධාරීන් වැල නොකැඩී පැමිණ ආසන සංවිධායකවරයා වටකර කඳවුරු බැඳ ගත්හ. ඔවුහු රැස්වීම් සංවිධානය කළහ. අව්ව වැසිස නොතකා ගෙයක් ගෙයක් පාසා ඇවිද්දහ. මනාප එකතු කළහ. ගම් පුරා පෝස්ටර්ද ගැසීය. උගුර ලේ රහ වෙනකම් අපේක්‍ෂකයාගේ ගුණ වැඩීය.
මැතිවරණය අවසන් විය. අපේක්‍ෂකයා ජය ගනු ලැබීය. හොඳ අමාත්‍යාංශයක් ද ඔහුට හිමි විය. නොබෝ දිනක් ගත විය. පසුව උපාධිධාරීන්ට ආරංචි වූයේ අපේක්‍ෂකයාට ලඟින්ම සිටි, අනෙකුත් උපාධිධාරීන්ව සංවිධානය කළ තරුණ තරුණියන් කිහිප දෙනෙකුට පමණක් තම අපේක්‍ෂකයාගේ අමාත්‍යාංශයට අයත් ආයතන වල රැකියා හිමිව ඇති බවයි.
ඉන් අනතුරුව ටික කාලයකින් මෙම උපාධිධාරීන්ට අසන්නට ලැබුනේ රජය විසින් ‛‛ජනසභා ලේකම්’’ තනතුර ද අහෝසි කර ඇති බවයි. ඉන් පසුව රැකියාවක් සොයා ගැනීමේ අභිලාසයෙන් ඇමතිතුමාට කොපමණ ඇවටිලි කළත් පලක් වූයේ නැත. ටිකෙන් ටික ඇමතිතුමාව මුණගැසීමට පවා ඔහුට කඩේ ගිය උපාධිධාරියාට නොහැකි විය. මෙයින් ඉච්චාභංගත්වයට පත් උපාධිධාරින් පුවත්පත්වල පළ වන රජයේ රැකියාවලට ඉල්ලුම් කිරීමට පටන් ගති. දැන් ඔවුන් විවිධ තරඟ විභාග වලට අයදුම් කරයි. තරඟ විභාගවලට අයදුම් කිරීමේදී රුපියල් 1000කට වැඩි ප්‍රමාණයක් වියදම් කරයි. තරඟ විභාග සමත් වුවද රාජපක්‍ෂවරුන්ගේ මනාපය දිනා ගැනීමට නොහැකි වීම නිසා රැකියා අවස්තා අහිමිකර ගනී. රැකියා සඳහා වන සම්මුඛ පරීක්‍ෂණවලට මුහුණ දෙන බොහෝ පිරිසකට අසන්නට ලැබෙන්නේ ‛‛අනේ ළමයෝ මෙකට ඇතුළෙන්ම අරන් ඉවරයිනේ. මෙච්චර දුර ඉඳන් මොකට ආවඳ මන්දා’’ යනුවෙනි.
නිදර්ශනයක් ලෙස ඈත ප්‍රදේශයක (අම්පාර, ත්‍රිකුණාමලය, යාපනය වැනි) සිට රජයේ රැකියාවකට අයදුම් කරන උපාධිධාරියෙකු ගැන මෙසේ සිතා බලමු. ඔහු හෝ ඇය රැකියාවකට අයදුම් කිරීමේදී හෝ තරඟ විභාගයකට අයදුම් කිරීමේ දී රුපියල් 1000කට ආසන්න මුදලක් රජයේ හෝ වෙනත් ගාස්තු වශයෙන් ගෙවිය යුතුය. අදාල සහතිකවල ඡායා පිටපත් ලබා ගත යුතුය. ඒ සඳහා රුපියල් 100කට එහා මුදලක් වියදම් කළ යුතුය. මෙම අයදුම් පත රෙජිස්ටර් තපෑලෙන් යැවිය යුතුය. එයට ද රුපියල් 100ට එහා මුදලක් වියදම් කළ යුතුය. පසුව සම්මුඛ පරීක්‍ෂණයට කැඳ වූ විට ගැහැනු ළමයෙක් නම් තවත් කවුරුහරි සමග කොළඹ යා යුතුය. එහිදි යාම් ඒම් සඳහා රුපියල් 1000කට ආසන්න මුදලක් වියදම් කළ යුතුය. සමම්මුඛ පරීක්‍ෂණය පවතින දිනට පෙර දින කොළඹ ආ යුතුය. ඒ නිසා ඉඳුම් හිටුම් සපයා ගත යුතුය. කෑම බීම සපයාගත යුතුය. එනයින් බැලූ කළ ඉහත සියලු දේ සඳහා රුපියල් තුන් හාරදාහසක මුදලක් විය පැහැදම් කළ යුතුය. මේ සියළුම දේ කෙසේ හෝ සපයා ගත් උපාධිධාරිනියට සම්මුඛ පරීක්‍ෂණයේ දී අසන්නට ලැබෙන්නේ ‛‛අනේ ළමයෝ මේකට ඇතුළෙන්ම අරන් ඉවරයිනේ. මෙච්චර දුර ඉඳන් මොකට ආවද මන්දා, ඔයාලා පව්’’ වැනි අමිහිරි වදන් පෙළක් නම් ඇයට කුමක් සිතෙනු ඇති ද?
ඉතින් උපාධිධරයිනි! එක එකාට කඩේ යාමෙන් ඔබට පළක් වේද?
එච්. ජේ. සම්පත්