වේලාව, පසුගිය ඉරිදා(මැයි 01) රැයේ අලුයම 1.00 යි. අබෝදාබාද් නගරයේ ජීවත් වූ පරිගණක උපදේශකයකු වූ සෙයිඩ් අතාර් සිය ජංගම දුරකථනයෙන් ‛ට්විටර්’ අන්තර්ජාල පණිවිඩයක් ලියා යැවුයේය. ‛‛නගරය අහසේ හෙළිකොප්ටර් කැරකෙනවා. මට නිදා ගන්න දීලා කරදර නොකර යන්න යනවා.’’ ඔහුගේ දෙවැනි පණිවිඩය මෙසේ විය : ‛‛මහ පිපුරුමක් මගේ ජනේල දෙදරුම් කනවා. ඒක නපුරක් නොවේවා.’’ ඔහු දිගටම ‛ට්විටර්’ පණිවිඩ යවමින්, හෙළිකොප්ටරයක් කඩා වැටී ඇති බවත්, වෙඩි හඬ ඇසෙන බවත් ලියා යැවුයේය.
ඉන් පැය කිහිපයකට පසු පකිස්ථානයේ ඉස්ලාම්බාද් නුවර ආසන්නයේ උප නගරයක් වූ අබෝදාබාද් හි දී අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සිය හමුදා විසින් මරා දැමූ බව ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා ප්‍රකාශයට පත් කළේය. බින් ලාඩන් ඝාතනය ප්‍රහාරය ලොවට හෙළි කළ පළමු වැන්නා තමා බව සොයිඩ් අතාර් දැන ගත්තේ එවිටය. ඔහුගේ ට්විටර් සහ සිකයිප් සබඳතාවයන්ට දස දහස් ගණනින් පණිවිඩ ගලා ආවේ ය.
අල්කයිඩා නායක බින් ලාඩන්ගේ මරණය, ඒ බව නොදැන ලොවට ප්‍රථමයෙන් හෙළි වූයේ ‛ට්විටර්’ අන්තර්ජාල පණිවිඩ හුවමාරුවෙන් වීම එක්තරා අන්දමක දෛවෝපගත සිදුවීමකි. මන්දයත් ඔහුගේ මරණයට පෙරම, ‛ට්විටර්’, ‛ෆේස්බුක්’, ‛යූ ටියුබ්’ වැනි සමාජ සබඳතා අන්තර්ජාල අඩවි මගින් අල්කයිඩා දේශපාලනයේත් බින් ලාඩන් ප්‍රතිරූපයෙත් පදනම් දෙදෙරා දීමට පටන් ගෙන තිබූ නිසාය.
බින් ලාඩන් දේශපාලනයේ ප්‍රධාන ඉලක්කය වූයේ බටහිර ධනවාදී රටවල්ය. මුස්ලිම් ජනයාගේ ප්‍රධාන සතුරා වන්නේ බටහිර දේශපාලනය, සංස්කෘතිය සහ ආර්ථිකය බව ඔහුගේ දර්ශනය විය. එබැවින් අමෙරිකාව ප්‍රමුඛ බටහිර විනාශ කිරීම අරමුණු කරගත් ශුද්ධ යුද්ධයක් ඔහු විසින් දියත් කර තිබුණි. එම යුද්ධයට කිසිදු නීතියක් රීතියක් තිබුණේ නැත. දස දහස් ගණනින් වුව සිවිල් නිරායුධ ජනයා මරා දැමීම ඔහුගේ යුද්ධ දේශපාලනයට අනුකුල විය. රණකාමී අර්ථ දැක්වීමක් සහිත ඉස්ලාම් ආගම ඔහුගේ යුද්ධයේ මතවාදී පදනම විය.
මුස්ලිම් ජනයා සිය ශක්තිය ගොනු කළ යුත්තේ අරාබිකරයේ ‛ෂරියා’ නීතිය රජ කරන ඉස්ලාමීය රාජ්‍යයන් බිහි කිරීමට බව බින් ලාඩන්ගේ දේශපාලන ඉගැන්වීම විය. ඔහු සිය ගණනින් සියි දිවි තොර කරගන්නා සටන්කාමීන් නිර්මාණය කළේ ඒ පිණිස ය. දහස් ගණනින් මුස්ලිම් ජනයා ඝාතනය කළේත් ඒ අරමුණිනි. එසේ නමුත් දැන් ‛ආරාබි වසන්තය’ යනුවෙන් හැඳින්වෙන උතුරු අප්‍රිකානු විප්ලවයන් විසින් පෙන්වාලූයේ, එරට මහා ජනයාගේ සතුරා බවට පත්ව ඇත්තේ ඇමරිකාව හෝ බටහිර නොව, සිය දේශයන් යකඩ සපත්තුවට පාගා පාලනය කරන පාලකයින් ම බවයි. උතුරු අප්‍රිකානු සමාජ විප්ලවයන් කිසිවක් බින් ලාඩන්ගේ දේශපාලනය සමග සමපාතවීමක් පෙන්වූයේ නැත. ඊට සහමුලින්ම එරෙහිව වීදි අරගත් ලක්‍ෂ සංඛ්‍යාත අරාබි ජනයා ඉල්ලා සිටින්නේ මානව නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථික සංවර්ධනයයි. අරාබි වසන්තය තුළ ෂරියා නීතියට තැනක් තිබුණේ නැත.
මේ උතුරු අප්‍රිකානු විප්ලවයන් ඇවිල වූ ගිනිසිලු මහා ජනයා කරා ගෙන ගියේ, පසුගිය ඉරිදා රැයෙහි සොයිබ් අතාර් විසින්, බින් ලාඩන් මරා දැමීමේ ප්‍රහාරය ළොවට වාර්තා කළ ‛ට්විටර්’ වැනි අන්තර්ජාල සබඳතාවයන් විසිනි.
ඒ හා සමානව වැදගත්කමකින් යුතු අනෙක් කාරණය වන්නේ, බින් ලාඩන් සැඟ වී ජීවත් වූයේ අන්තර්ජාල හෝ දුරකථන සබඳතා නොමැතිව ඉතාම රහසිගතව වීමයි. මෙම දැවැන්ත නිවාසය පිළිබඳ සැක ඇතිවිමට එක් හේතුවක් වූයේ ද, එවැනි නූතන තාක්‍ෂණික සබඳතාවයන්ගෙන් තොරව මෙම අති ධනවත් බව පෙනෙන නිවැසියන් ජීවත් වන්නේ මන්ද යන කරුණයි. මෙම නිවස අසල්වැසි නිවෙස්වලට වඩා අට ගුණයකින් විශාල වූයේ යැයි කියනු ලැබේ.
අනෙක් අතට ඇමෙරිකානු ආරක්‍ෂක අංශ බින් ලාඩන්ගේ රහසිගත නවාතැන පිළිබඳ බොහෝ කරුණු රැස් කර ගත්තේ, නූතන තාක්‍ෂණ ක්‍රම විධි යොදා ගැනීම මගිනි. ඒ කොතරම් වීද යත්, අතිශය රහසිගතව කළ ප්‍රහාරය, එම අවස්ථාවේම දැක බලා ගැනීමට හෝ විස්තරයෙන් අසා දැන ගැනීමට ඇමෙරිකානු ජනාධිපති ඔබාමාට සහ ආරක්‍ෂක ලේකම් හිලරි ක්ලින්ටන්ට හැකි විය.
බින් ලාඩන් හැඳින්වීමට මෙම මෙහෙයුම (Gerinimo) ගෙරිනිමෝ යන වචනය යොදා ගෙන තිබුණි. මෙම වචනය කුමන හේතුවක් මත යොදා ගත්තේද යන්න හෙළිදරව් වී නැතත්, අමෙරිකානු ඉතිහාසයේ මෙනමින් හැඳින්වෙන්නේ 19 වන ශත වර්ෂයේ මුල් භාගයේ ජීවත් වූ අසුපිට නැගී වීරකම් පෑ රතු ඉන්දියානු යුද නායකයෙකි. ගෙරනිමෝ යන වචනය දෙවන ලෝක යුද්ධයේ දී ඇමෙරිකානු පැරිෂුට් භටයින් හැඳින්වීමට ද යොදා ගන්නා ලදී. ඒ කෙසේ වෙතත්, Geronimo EKIA (Enemy Killed in Action) යනුවෙන් අමෙරිකානු මධ්‍යම ඔත්තු සේවයේ ප්‍රධානියා විසින්, ඒ අවස්ථාවේ අමෙරිකානු ජනාධිපතිවරයාට දන්වන ලදී. එමෙන් ම, ඒ අවස්ථාවේදීම, ඉලක්කය ප්‍රහාරකයින් විසින් රූපයෙන් ද , කාන්තාවක් විසින් නමින් ද හඳුනා ගන්නා ලද බව ද ජනාධිපතිවරයා වෙත වාර්තා කෙරුණි. අනතුරුව ඔහුගේ රුධිර සාම්පල පරික්‍ෂා කරනු ලදුව, එය බින් ලාඩන් පවුලේ රුධිර ඩී.එන්.ඒ. සමග සියයට 97ක් ගැලපෙන බව ද වාර්තා කෙරුණි.
වෙඩි තබා මරා දමන ලද බින් ලඩන්ගේ සිරුර ප්‍රථමයෙන් ඇෆ්ගනිස්තානයට ගෙන යන ලදුව, පසුව උතුරු අරාබි මුහුදෙහි ගිල්ලවන ලදී. ලොව සෙල වූ අන්තවාදී ජන ඝාතක යුදවාදීයකුගේ මරණය සිදු වූයේ එලෙසය. එයට වසර
හැටහයකට පෙර එනම් 1945 මැයි 01 වැනිදා එවැනිම තවත් ජන ඝාතකයකුගේ මරණය ලොවට වාර්තා විය. ඒ නාසි වාදයේ නායකයා වූ ඇඩොල්ප් හිට්ලර්ය.
හිට්ලර්ගේ මරණය නාසිවාදයේ අවසානය සළකුණු කළා පරිදිම, බින් ලාඩන්ගේ මරණය විසින් අල්කයිඩා ත්‍රස්තවාදයේ අවසානය සළකුණු කරනු ඇතිද? බින් ලාඩන්ගේ මරණයෙන් පසු වැඩි පුරම අසන ලද ප්‍රශ්නය එය විය හැකිය. අල්කයිඩා ව්‍යාපාරය අද සංවිධානයකට වඩා මතවාදයකි. එමෙන්ම එයට මධ්‍යගත නායකත්වයක් අවශ්‍ය නැති විමධ්‍යගත රණකාමී සහ ප්‍රචණ්ඩ ජන ඝාතක මතවාදයකි. පැලවීමට සරු පසක් සොයමින් මේ මතවාදය මුස්ලිම් රටවල් සහ ප්‍රජාවන් හරහා ගමන් කරයි. එසේ නමුත් පසුගිය වසර ගණනාව පුරාම, කිසිදු බරපතල ප්‍රහාරයක යෙදීමට බින් ලාඩන්ගේ අල්කයිඩා ව්‍යාපාරය සමත් වූයේ නැත.
බරහිර විරෝධි ඉස්ලාමීය අනත්වාදයන්ගේ පැන නැගීමේ මූල හේතුව පලස්තීන ජනයාගේ අයිතීන් පාගා දමමින් රජකරන ඊශ්‍රාලයට අමෙරිකා එක්සත් ජනපදය දක්වන කොන්දේසි විරහිත සහයෝගය යි. මැද පෙරදිග ප්‍රශ්ණය නොවිසදී පවත්නා තාක් කල් මෙවැනි ප්‍රචණ්ඩත්වයන් පැන නැගීම වැළැක්විය නොහැකි ය.
එමෙන්ම අමෙරිකානු හමුදා යුද වැද සිටින ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ අල්කයිඩාවාදී රණකාමීත්වය මුල් බැස තිබේ. සෝමාලියාව තවත් එවැනි රටකි. ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ ඇමෙරිකානු හමුදා ස්වකීය අරමුණු ඉටු කර ගැනිමට සමත්ව නැතිවා පමණක් නොව, අල්කයිඩා මෙන් ම, තලේබාන්වාදී අන්තවාදයන්ට නව ජවයක් ද ලබා දී තිබේ.
‛ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය’ නමින් නව යුදවාදී පිළිවෙතක් කරා ඇමෙරිකාව ගෙන යාමට 2009 සැප්තැම්බර් 11 දා නිව්යෝර්ක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල කරන ලද අල්කයිඩා ප්‍රහාරය අවස්ථාවක් බවට පත් විය. අල්කයිඩා ප්‍රචණ්ඩත්වය සහ ධනවාදය පරාජය කිරීම පිණිස ජනාධිපති බුෂ් යටතේ ඇමෙරිකාව තෝරා ගත්තේ යුදවාදයයි. සිය යුද බලය මගින් අල්කයිඩා හෝ තලේබාන් හෝ වෙනත් අන්තවාදී ත්‍රස්තවාදයක් පරාජය කළ හැකි යැයි ඇමෙරිකාව කල්පනා කළ නමුත්, ඇෆ්ගනිස්ථානය සහ ඉරාකය යන අත්දැකීම් විසින් පෙන්වා ඇත්තේ එය එසේ නොවන බවයි. ඊට ප්‍රතිවිරුද්ධව, අන්තවාදී දේශපාලනයන් පමණක් නොව, යුදවාදී පාලකයින් ද පරාජය කිරීමේ හැකියාව ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී මහජන ව්‍යාපාරයන්ට බව, මුස්ලිම් ලෝකය විසින් ම දැන් ලෝකයාට පෙන්නුම් කරමින් තිබේ. ඒ වෙනස ඇති වන්නට පටන් ගන්නේ බින් ලාඩන් මරා දැමීමට බොහෝ පෙර සිටය. එම මහජන ව්‍යාපාරයන් පැන නැගුණේ බටහිර රටවල සහයෝගයක් නැතිව ය.
එලෙසින් බින් ලාඩන්ගේ මරණය අදාළව අසනු ලබන ප්‍රථම ප්‍රශ්නය අල්කයිඩා ත්‍රස්තවාදයේ අනාගතය කුමක් ද යන්නයි.
ඊට අදාළව අසනු ලබන දෙවන ප්‍රශ්නය වන්නේ සමහර විට ශ්‍රී ලංකාවට වැදගත්ම ප්‍රශ්ණය නම් ඉස්ලාමීය අන්තවාදය සමඟ අපේ අසල්වැසි පකිස්ථානයේ සම්බන්ධය මහ භූමිකාව කුමක් ද යන්නයි. නිවියෝක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ප්‍රහාරය එල්ල වූ 2009 සිට මේ දක්වා ඇමෙරිකාව විසින් පකිස්ථානයට ලබා දී ඇති යුද්ධමය මූල්‍යාධාර ඩොලර් බිලියන 20 ඉක්මවයි. අමෙරිකාව සිය ‛ත්‍රස්තවාදයට විරුද්ධ යුද්ධයේ’ ප්‍රධාන හවුල්කරුවකු වශයෙන් සලකන ලද්දේ පකිස්ථානයයි. එබැවින්ම පාකිස්ථානය යුද හමුදා යකඩ සපත්තුවට පාගා පාලනය කළ හමුදා පාලනයක් අමෙරිකාවේ ආරක්‍ෂාව සහ අනුබලය ලබා ගත්තේය.
විචාරකයින් විසින් දැන් පෙන්වා දෙනු ලබන්නේ රටෙහි ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීම වෙනුවට හමුදා පාලනයන් ශක්තිමත් කළ අමෙරිකාව එමඟින්, බින් ලාඩන්වාදී ත්‍රස්තවාදයට පකිස්ථානයේ සරු පසක් නිර්මාණය කළ බවයි. ඇත්ත වශයෙන්ම නම් බින් ලාඩන් ඇෆ්ගනිස්ථානයේ සෝවියට් රුසියානු හමුදා සමඟ සටන් කිරීම පිණිස පකිස්තානය සහ ඇමෙරිකාව විසින් ගොඩ නගන ලද පුද්ගලයෙකි. ඒ අමුණින් ඇරඹි ඇෆ්ගනිස්ථානයේ අන්තවාදී සංවිධානයන් ගණනාවක් සමඟ පකිස්ථානයේ ආරක්‍ෂක අංශ පවත්වා ගෙන ගිය සබඳතා නතර කිරීමට අමෙරිකාව අසමත් වූ බව දැන් පෙනී යයි. . මෙම තත්ත්වය කොතෙක් දුරට නරක අතට වර්ධනය වී තිබුණේ ද යත් පසුගිය ඉරිදා පකිස්ථානයේ අගනුවර අසල දී අමෙරිකානු හමුදා ප්‍රහාරයකින් බින් ලාඩන් ඝාතනය කරනු ලබන බව එරට නායකයින්ට නොදැන්වීමට ඇමෙරිකාව තීරණය කර තිබුණි. ඊට හේතු වශයෙන් අමෙරිකානු යුද නිලධාරීන් දැක් වූයේ, ‛‛ප්‍රහාරය කල් තබා පකිස්ථානයට දැන්වූවා නම් එය බින් ලාඩන්ට දැන ගන්නට තිබුණා’’යනුවෙනි.
පකිස්ථානයේ ප්‍රධාන පෙළේ යුද කඳවුරක් අසළ කැපී පෙනෙන ලෙස විශාල වූ සහ ආරක්‍ෂක විධිවිධාන සතු වූ රහසිගත ජීවන රටාවක් ගත කළ බින් ලාඩන් පවුල ගැන එරට බුද්ධි අංශ දැන නොසිටියේ යැයි සිතීම ඉතා දුෂ්කර බව බොහෝ යුද විචාරකයින් විසින් පෙන්වා දෙනු ලැබෙමින් තිබේ. බින් ලාඩන් සිය රැකවලුන් නැතිව ජීවත් වූයේ ඔහුට පකිස්තානය හමුදා විසින් ආරක්ෂාව සැළසූ නිසා ද යන ප්‍රශ්ණය ද දැන් මතු කරනු ලැබ තිබේ.
එපමණක් නොව, පසුගිය කාලය තුළ අන්තවාදී නායකයින් ගණනාවක් ම පකිස්ථානයේ ජීවත් වූ බවට ද තොරතුරු වාර්තා වී තිබේ. ඇෆ්ගනිස්ථානයේ අන්තවාදී සන්නද්ධ ව්‍යාපාරයක් වන හකූනි ජාලය සහමුලින්ම වාගේ ක්‍රියාත්මක වන්නේ පකිස්ථානයේ සිටය. ඉන්දියාවේ මුම්බායිහි සිදු කන ලද ත්‍රස්ත ප්‍රහාරය මෙහෙය වූ එල්ඊටී ත්‍රස්ත සංවිධානය පවතින්නේ පාකිස්ථානයේය. ඉන්දියාව සිය ප්‍රධාන සතුරා ලෙස සළකන යුදවාදී පාකිස්තානු ආරක්ෂ අංශ විසින් මෙම සියලු ත්‍රස්ත ජාලයන් සම්බන්ධීකරණය කරමින් ආධාර සපයන බවට ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කළහ. ඉන්දියාව අස්ථාවර කිරීම එරට මුස්ලිම් ජනයා අතර අන්තවාදී ව්‍යාපාර ගොඩනැඟීමට ද මෙම අන්තවාදී පිරිස් කටයුතු කරමින් සිටිති. පාකිස්ථානය ත්‍රස්ත රාජ්‍යයක් බවට පිරිහී යාමේ අනතුර, එරටෙහි බින් ලාඩන් ආරක්‍ෂාව සහිතව සැඟ වී සිටීමෙන් යළි ඉස්මත්තට පැමිණ තිබේ. එරට ආරක්‍ෂක හමුදා අතර අන්තවාදයේ බලපෑම ශක්තිමත් බවත්, අන්තවාදී පිරිසක් නායකත්ව මට්ටමෙන් පවා සිටින බවත් කියනු ලැබේ. බින් ලාඩන් ඝාතන මෙහෙයුම පාකිස්ථාන නායකත්වයට හොර රහසේ තේරුණේ ඒ නිසාය.
මෙම තත්ත්වය විසින් දකුණු ආසියාවේ දේශපාලන බල තුලනයේ වෙනසක් සිදු විමට ඉඩ තිබේ. එනම් ඇමෙරිකා එක්සත් ජනපදය පකිස්තානයට වඩා ඉන්දියාවට බර වීමට ඇති ඉඩ ය. පකිස්ථානය ත්‍රස්ත රාජ්‍යක් බවට පිරිහීමේ අනතුර ඉන්දියාව විසින් සළකනු ඇත්තේ ජීවිතය සහ මරණය අතර කරුණක් ලෙස ය.
බින් ලාඩන් ඝාතනය විසින් මතු කරනු ලබන තවත් වැදගත් ප්‍රශ්නයක් දැන් මානව හිමිකම් ක්ෂේත්‍රයන්හි ද ජනමාධ්‍යයෙහි සාකච්ඡා වෙමින් තිබේ. එනම් ‛ත්‍රස්ත විරෝධී යුද්ධයට’ නීතිරීති කිසිවක් බලපාන්නේ ද නැති ද යන්නයි.
දැන් හෙළිදරව් වී ඇති කරුණු විසින් පෙන්නුම් කරන්නේ, බින් ලාඩන් ඝාතනය කරා වූ දීර්ඝ ගමනේ මුල් හෝඩුවාව ලැබුණේ අත්අඩංගුවට ගන්නා ලද අන්තවාදී නායකයකු වධහිංසාවන්ට ලක් කර ප්‍රශ්න කිරීමේ දී බවයි. එසේ වධහිංසා නොපමුණු වන ලද්දේ නම් මෙම තොරතුරු සොයා ගන්නට නොලැබෙන බවට යම් යම් පිරිස් තර්ක කරති. දෙවනුව, මෙම ඝාතන මෙහෙයුම පිණිස පකිස්ථානයට ඇමෙරිකානු හමුදා ඇතුල් වූයේ රහසිගතවය. එය රටක දේශසීමා කෙළෙසීමකි. තෙවනුව බින් ලාඩන්ට වෙඩි තබන ලද්දේ ඔහු නිරායුධව සිටියදීය.
නිරායුධ මිනිසෙකුට වෙඩි තැබීම වරදකි.
සතරවනුව, ඔහුගේ මළ සිරුර නිසි භූමදානයකින් තොරව මහ මුහුදේ ගිල්වන ලදී. එය ද පිළිගත් යුද්ධ නීතිය කෙළෙසීමකි. බින් ලාඩන් ඝාතනය සංඛේතමය ජයග්‍රහණයකි. නායකත්වය විනාශ වූ සංවිධාන ඉබේම විනාශ වී යන්නේ නැත. ඉහත දක්වන ලද ප්‍රශ්න වැදගත් වන්නේ මෙම පසුබිම තුළය.
‛ත්‍රස්ත විරෝධී යුද්ධයේ සීමා මොනවාද?’’ යන කාලීන ප්‍රශ්නය බින් ලාඩන්ගේ මරණය විසින් දැන් යළිත් සාකච්ඡාවට ගෙනැවිත් තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය වන නවා පිල්ලේයි විසින් මෙම ප්‍රහාරයේත් බින් ලාඩන්ගෙන් මරණය පිළිබදවත් සියලු විස්තර තමාට ලබා දෙන ලෙස ඇමෙරිකාවෙන් ඉල්ලා සිටීම මගින් ද පෙන්නුම් කැරෙන්නේ මානව හිමිකම් නීති රටින් රටට වෙනස් වන්නේ නැති බව යි.
සුනන්ද දේශප්‍රිය විසිනි