Colombo, end of the War, Featured Articles, Features

තුවක්කුවෙන් විදින මල්වෙඩි


Photo by – leaderpost.com

දිනක් වවුලෙක් කොළඹ අහසේ පියාසර කරමින් සිටියේ රාත්‍රියට නවතින්නේ කොහේදැයි කල්පනා කරමිනි. එක්වරම පැමිණි චීන මල්වෙඩිල්ලක් වවුලාව නූලෙන් බේරමින් පුපුරා ගියේ “ත්‍රස්තවාදයේ අවසානය” යනුවෙන් අහසේ ප්‍රදර්ශනය කරමිනි. වවුලාගේ ඉරණම වෙනස් වූ නිමේෂය එය විය. ඉන්පසු කිසිදිනෙක වවුලාට නිදහසේ අහසේ පියාසර කිරීමට නොහැකිවිය. දිනපතා කොහේ හෝ සිට පැමිණි චීන මල්වෙඩිල්ලක් වවුලාව නූලෙන් බේරා අහසේ පිපිරී ගියේය. “උතුරු වසන්තය”, “සුබ අනාගතයක්”, “අයිෆාාාාාාා” ,“දැයට කිරුළ” “කරදියවර මංගල්ලය”, “ කප් එක අපි ආයිත් ගමු”, “සම්බුද්ධත්ව ජයන්තිය” වැනි වාක්‍ය අහසේ සිතුවම් කරමින් චීන මල්වෙඩි පුපුරා ගියේය. “විජයග්‍රහණයේ දෙවන සංවත්සරය” යනුවෙන් තවත් මල්වෙඩිල්ලක් පුපරා යන්නේ, පහළ ඉන්නා එවුන් මෙලෙස භුක්ති විඳින ප්‍රීතියට හේතුව මොකක්දැයි ඔළුවෙන් හිටගෙන වවුලා කල්පනා කරමින් සිටින විටය.

මේ අප පසු කරන්නේ ලංකාවේ අසාමාන්‍ය ලෙස මල් වෙඩි (චීන) පුපුරා යන සමයකි. මසකට වරක් මොකක් හෝ හේතුවක් අරඹයා ලංකාවේ ජනතාව විනෝද වෙති. අද ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ කල දවස ගෙවන්නේ ජනතාවට විනෝද වීමට ඇති හොඳම හේතු මොනවාදැයි යන්න කල්පනා කරමිනි. ලංකාවේ ජනමාධ්‍ය ලංකාවේ ආණ්ඩුවට තකට තක ගැලපේ. ආණ්ඩුව මොන නාඩගමක් නැටුවත් ඒ සඳහා අතිශය වර්ණවත් මාධ්‍ය කාර්‍යයක නියැලෙමින් තමන් අනෙක් ආයතනයට වඩා වෙනස් ආකාරයකට වැඩේ කළා යැයි සිතමින් ආණ්ඩුවේ ලණු ජනතාවට නිර්මාණාත්මක ලෙස ගිල්ලවයි. ලංකාවේ ජනතාවද ජන?මාධ්‍ය විසින් දෙන වර්ණවත් ලණු ගිලින්නේ තමන්ගේ අතෘප්තිකර වෙහෙසකාරී ජීවිතය තව දුරටත් අගතියට හෙලා ගනිමිනි. මාධ්‍ය විසින් දැන් “දැයට කිරුළ” බලන්න යමල්ලා කියන විට ජනතාව පවුල් පිටින් අතේ තියෙන සන්තකය වියදම් කරගනිමින් එය බලන්නට යයි. දැන් වෙසක් බලන්න යමල්ලා කියූ විට එයට දුවයි. දැන් වතුර වලක් බලන්න යමල්ලා කියූ විට එහි දුවයි. අද ගෙදරට වෙලා ටී වී එකෙන් ගෝල් ෆේස් එකේ තියෙන සංවස්තරය බලපල්ලා ( ඒ සඳහා නිවාඩු ද දෙයි) යැයි කියන විට ජනතාව ගෝල් ෆේස් එකේ යන රොකට් ලොන්චර් දෙස බලමින් ඒකෙන් කීදෙනෙක් මරන්න පුළුවන් දැයි කල්පනා කරයි.

ආණ්ඩුවේ අනුග්‍රහය යටතේ මාධ්‍ය විසින් මාසිකව සංවිධානය කරන මේ මල්වෙඩි සංදර්ශන තුළ මල් වෙඩි වලට අමතරව තවත් උපාංග කිහිපයක් ඇතුළත් වේ. ජනාධිපතිවරයාගේ කතාව මේ සංදර්ශනයේ ප්‍රධාන අංගයකි. මේ කතාව මැක්කාගේ කතාවේ ආකෘතියට අනුව ජනාධිපති ලේකම් විසින් රචනා කර ඇත. තිස්වසරකට පසු මේ අවස්ථාව උදා වුණා යැයි මේ කතාවේ කොහේ හෝ ඇත. ඒ තත්ත්වය උදා කලේ අපියි කතාවේ ඊට පසු ඇත. එැබැවින් මමයි රජා යනුවෙන් කතාව අවසන් කරයි. කොළඹ පාරවල් නොවැසුනොත් මේ සංදර්ශන නොකලා වැනි බැවින් අනිවාර්‍යයයෙන් පාරවල් වැසීම සංදර්ශනයේ තවත් අංගයකි. ඒ සඳහා වෙනමම කණ්ඩායම් හමුදාවේ සහ පොලීසියේ සිටියි. මෙවන් දිනෙක ඊයේ ගිය පාරක අද යන්නට ආවොත් ඒ පුද්ගලයාට කියන්න තියෙන්නේ ‛සොරි’ කියාය. සංදර්ශනයේ තවත් වැදගත් අංගයක් වන්නේ හමුදාව ප්‍රදර්ශනය කිරීමයි. ඒ සඳහා හමුදාව මග දෙපස තුවක්කු සමග සිටියි. ට්‍රේල් බයික් වලින් එහාට මෙහාට යයි. හිටගෙන ඉන්නා ජනතාව නැවී නැවීත්, ඉඳගෙන ඉන්නා ජනතාව හොරෙනුත් ඒ දෙස බලමින් බස් එකේ යයි.

මෙහෙම වෙන්නේ ඇයි…?

ආණ්ඩුවක් නිරන්තරයෙන් තමන්ගේ බලය රඳවා ගැනීමට නම් ජනතාව තුළ දේශපාලන වෛරස් හට ගැනීමට ඉඩ නොතැබිය යුතුය. මෙය කළ හැකි ආකාර දෙකකි. එකක් මර්ධනයයි. අනෙක දෘෂ්ටිවාදයයි. දෘෂ්ටිවාදයේ භාවිතාව මර්ධනයට වඩා සාර්ථක ක්‍රමයකි. එමගින් රටේ ජනතාව පෙලෙන නිරන්තර ගැටළු තාවකාලික ගැටළු බවට ද ජනතාවගේ තාවකාලික විනෝදය නිරන්තර විනෝදයක් බවට ද පත් වී ජනතාව සිහින ලොවක ජීවත් වේ. වර්තමානයේ ආණ්ඩුව මාසයකට වරක් පවත්වන රාජ්‍ය උත්සව තුළින් ජනතාව මනමෝහනයට පත් කරමින් සිදු කරනු ලබන්නේ මෙයයි. නමුත් මීට අමතරව මෙම උත්සව වල ප්‍රධාන අංගයන් වන ජනාධිපතිතුමාගේ කතාව, පාර වැසීම, පාර දෙපස හමුදාව ප්‍රදර්ශනයට තැබීම සුවිශේෂී තත්ත්වයකි. ඒවා තුළින් ආණ්ඩුව ජනතාවට අඟවන්නේ “ජනතාවනි අපි මොනවා කරනවාදැයි සොයා බලන්නට, ඒවා විවේචනය කරන්නට උත්සාහ නොකර අපි මේ දෙන අවස්ථා වලින් විනෝද වන්න. එසේ විනෝද නොවී අපි දිහා බලන්න ආවොත් ඔබ විනෝද වූ මල්වෙඩිම ඔබේ මරණයේ ද වෙඩි වනු ඇත. එය අපි ඔබලාට වඩා කෙරුමන්ට ද කර ඇත.”