පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්
“මේ දරුස්මාන් කියන අලුගෝසුවාගෙන් මම අහන්නේ අතින්ද ලිව්වේ නැත්නම් කකුලින්ද ලිව්වේ එල්ටීටීඊ බොහොම සම්මානනීය තත්ත්වයට පත් කළ දරුස්මාන් වාර්තාව. දරුස්මාන්, උඹ මේ ලෝකෙට බිහිවුණේ අනෙත් ළමයි බිහිවෙනවා වාගේ අම්ම කෙනෙකුගෙන්ද නැත්නම් වනචාරී සතකුගෙන්ද කියළ මට අහන්න වෙනව. මම දරුස්මාන්ටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම්ටත් කියනවා අපේ රටට වින කරන්න එනව නම් මම දැනටමත් මරාගෙන මැරෙන්න විසි පහක් හදළ තියෙනවා” මේ වනාහී ශ්‍රී ලංකාවේ අමාත්‍යවරයකු රෑපවාහිනී කැමරාවක් ඉදිරියේ ලෝකයටම ඇසෙන්නට කියූ වචනය.
මර්සුකී දරුස්මාන්, යස්ම්න් සෝකා සහ සටීවන් ආර් රත්නර් යනු ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් විසින් පත්කරන ලද උපදේශක කමිටුවේ සාමාජීකයන් තිදෙනාය. ඉහත කී හෙළා දැකීම කැරුනේ එම කමිටුවේ සභාපති වූ දරුස්මාන් ට එරෙහිව ය. තවත් ඇමැතිවරයෙකු ප්‍රකාශ කලේ එම තිදෙනා විසින් මෙම වාර්තාව ලියා ඇත්තේ එල්ටීටීඊ සංවිධානයෙන් අල්ලස් ලබා ගැනීමෙන් බව ය. මෙවැනි තවත් කතා ගණනාවක්ම ශ්‍රී ලංකාණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරුන් විසින් මෙම කමිටු සාමාජික සාමජිකාවන් පිළිබඳව ප්‍රකාශ කර තිබේ. වරෙක ඔවුන් තිදෙනා නම් කර තිබුණේ බැං කී මූන් ඇම්බැට්යෝ කියා ය.
මෙම වාර්තාව මැදිහත් සිතින් කියැ වූ කිසිවකු එය එල්ටීටීඊ හිතවාදී වාර්තාවකැයි නොකියනු ඇත. මන්ද යත් එල්ටීටීඊ සංවිධානය සම්බන්ධයෙන් වාර්තාවෙහි ඉතා උග්‍ර විවේචනයක් තිබෙන නිසා ය. එබැවින් ම දෙමළ ඩයස්පෝරාව මෙම වාර්තාව සම්බන්ධයෙන් දක්වන්නේ ඇල් මැරුණු පිළිවෙතකි. මෙම වාර්තාවෙහි එන නිර්දේශ ක්‍රියාත්මක කරවීම පිණිස දෙමළ ඩයස්පෝරාවේ ප්‍රධාන ධාරාව කිසිදු ප්‍රායෝගික උනන්දුවක් නොපෙන්වයි. ඔව්න් කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන තමන්ට විශ්වාසයක් නැති බව යි.
මෙම කමිටු වාර්තාවෙහි සදහන් කරුණු සම්බන්ධයෙන් එකඟවීම හෝ නොවීම වෙනම කරුණකි. එම කමිටු සාමාජීක සාමාජීකාවන් විවේචනය කිරීමටත් අයිතියක් තිබේ. වඩා වැදගත් වන්නේ කරුණු සොයා බැලීමෙන් පසු එවැනි ස්ථාවරයන්ට එළඹීම යි. ප්රජාතන්ත්රවාදී සමාජයක මූලිකාංගයක් ලෙස ප්රකාශනයේ නිදහස සැළකෙන්නේ මේ නිසා ය. සමාජ ජීවිතයට වැදගත් කරුණු නිදහසේ වාර්තා කිරීමටත් සාකච්ජා කිරීමටත් අවකාශව ලැබෙන්නේ ප්‍රකාශණයේ නිදහස ඇති සමාජයක් පමණි. දැනුවත් පුරවැසියා ප්රජාතන්ත්රවාදී සමාජයේ බල පවුර ය. එළෙස දැනුවත් පුරවැසියකු ගොඩ නැගෙන්නේ විවිධ අදහස් නිදහසේ වාද විවාද කිරීමට සමාජයක ඇති අවකාශය අනුව ය. එසේ නොමැති වූ කළ ඇතිවන්නේ අන්ධානුකරණය සහ ප්රශස්ති ගායනය යි. ජනාධිපති මහරජාණෙනි කියා ගී ගයන කෙල්ලන්ගේ නමින් පාරවල් නම් කැරෙන්නේ එවැනි අන්ධානුකරණ සමාජයක ය. දරුස්මාන් වනචාරී සතෙකු යැයි කියන විට ජයඝෝෂා කැරෙන්නේ එවැනි සමාජයක ය.
අත්තටම මේ කමිටුවේ සිටි පුද්ගලයින්ගේ චරිත සහතික කෙබදු ද? ඔවුන් නිකම්ම අහසින් පහත් වූ බැං කී මුන් ඇම්බැට්ටයෝ ද? නැතිනම් අන්තර් ජාතික තලයෙහි පිළිගැනීමක් ඇති පළ පුරුදු මානව හිමිකම් උපදේශකයින් ද? අවලාද නැගීමට පෙර ඔව්න් ගැන සොයා බැලීම වැදගත් ය.
මර්සුකි දරුස්මාන් යනු ඉන්දුනීසියාවේ හිටපු නීතිපතිවරයා ය. 1999 නොවැම්බරයේ දී නීතිපති ධුරයට පත් වීමෙන් පසු තිස්වසරක් පුරා ඉන්දුනීසියාව පාලනය කළ හිටපු ඒකාධිපති පාලක සුහර්තෝට විරුද්ධව නැගුණු දූෂණ චෝදනා විමර්ශණය කළේ ඔහු ය. සුහර්තෝ යනු දශ ලක්ෂ ගණනාවක් විප්ලවවාදී ඉන්දුනීසියානු ජනයා රුධිර ගංගාවක ගිල්වා 1965 දී එරට බලය අල්ලා ගත් හමුදා නායකයා ය. කිසිදු ප්රජාතන්ත්රවාදී අවකාශයක් නොදුන් ඔහු ඔහු එරට පාලන කලේ යකඩින් සහ ගින්දරිනි.
නීතිපති දරුස්මාන් විසින් කරන ලද නීති විමර්ශණයන්ට සුහර්තෝ පාලනය විසින් දශක තුනක කාලයක් තුළ සිදු කරන ලද සමූහ ඝාතන, මානව හිමිකම් කෙළෙසීම් සහ වංචා දූෂණ ඇතුළත් විය. නීතිපති වශයෙන් කටයුතු කළ එම කාලයේ දී ඉන්දුනීසියාවේ ජනාධිපති සහ උප ජනාධිපති හැරුණ විට වැඩිම පුද්ගල ආරක්ෂාවක් සපයා තිබූ පුද්ගලයා ඔහු විය. මෙම පරීක්ෂණය අතරතුර හිටපු ඒකාධිපති සුහර්තෝ නගර අඩස්සියේ රැදවීමට කටයුතු කළ දරුස්මාන් ඔහුගේ දෙවැනියා වූ මෙහොමඩ් හුසේන් අත් අඩංඟුවේ තැබුවේ ය. එනමුත් සුහර්තෝ බරපතල ලෙස රෝගාතුර වීම හේතු කොට ගෙන නඩු විභාගය අවසානයකට ගෙන යාමට නොහැකි විය.
සුහර්තෝ පාලිත ඉන්දුනීසියාවට එරෙහිව කරන ලද දීර්ඝ කාලීන විමුක්ති අරගලයකින් පසු නිදහස ලද නැගෙනහිර ටිමෝරයේ දී කරන ලද සමූහ මිනිස් ඝාතන උදෙසා එරට හිටපු හමුදාපතිට නඩු පැවැරූ නීතිපති දරුස්මාන් එළෙස මානව හිමිකම් කෙළෙසූ හමුදා නිලධාරීන් ගණනාවකටම දුඩවම් ලබා දුන්නේ ඊට පෙර අනතුරුව දරුස්මාන් ඉන්දූනීසියාවේ ජාතික මානව හිමිකම් කොමිසමේ සභාපතිධූරය දැරු අතර එම කාලයේ දී මිනිස් ඝාතන, පැහැරගැනීම්, ස්ත්‍රී දූෂණ යනාදී අයිතීන් කෙළෙසීම් අරභයා සක්‍රීය ගවේෂනාත්මක ක්‍රියාකාරිත්වයක් ඇති කළේ ය.
පකිස්ථානයේ ජනාධිපති අපේක්ෂක බෙනාසීර් භුට්ටෝ ඝාතනය පිළිබද එක්සත් ජාතීන්ගේ සංගමය පිහිට වූ ත්‍රි පුද්ගල පරීක්ෂණ කමිටුවේ සාමාජිකත්වය ද ඉසුළු ඔහු අද උතුරු කොරියාවේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයා වේ. එමෙන්ම ආසියනු රටවල් සියල්ල ආවරණය කරන ආසියාන් මානව හිමිකම් කේන්ද්‍රයේ අධ්යක්ෂවරයා වන්නේ ද මර්සුකී දරුස්මාන් ය.
යස්මින් සූකා දකුණු අප්‍රිකාව සුදු ජාතික සුලුතර ආණ්ඩුව විසින් පාලනය කළ සමයේ පීඩිත කලු ජාතික ජනයාගේ මානව හිමිකම් උදෙසා සටන් කළ කීර්තිමත් මානව හිමිකම් නීතිඥවරියකි. නෙල්සන් මැන්ඩෙලා නිදහස ලබා දකුණු අප්‍රිකාවේ සුලුතර වර්ගවාදී පාලනය අවසන් කර දැමූ පසු යස්මින් සූකා එරට ප්‍රතිසංධානය වෙනුවෙන් පිහිටුවන ලද සත්‍යය සෙවීමේ කොමිෂන් සභාවේ කොමසාරිස්වරියක ලෙස පත් කරන ලදී. මෙම කොමිසම සුලුකර සුදු ජාතික වර්ගවාදී පාලනය තුළ සිදු කරන ලද මානව හිමිකම් කෙළෙසීම් සොයා බලා ඒවාට මානුෂිය පිළියම් ඉදිරිපත් කළා ය. වාර්ගික ගැටුම් අවසානයේ පාර්ශවයන් අතර සංහිදියාව ඇති කිරීමේ සාර්ථක විධික්රමයක් ලෙස මෙම කොමිසම දැන් සළකනු ලැබේ. මෙම අත් දැකීම මත යස්මින් සූකා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සියරා ලියොන්හි සත්‍ය සෙවීමේ සහ ප්‍රති සංධානයේ කමිටුවට ද පත් කරන ලදී.
1998 – 2001 අතරතුර දකුණු අප්‍රිකානු මහාධිකරණයේ විනිශ්චයකාර ධුරයක් දැරූ ඇය නොබල් සාම ත්‍යගලාභී බිෂොප් ඩෙස්මන් ටූ ටූ සාම පදනමේ භාරකාරියක් ද වූවා ය. අද දකුණු අප්‍රිකාවේ ප්‍රධානතම මානව හිමිකම් සංවිධානයක් වන මානව හිමිකම් පදනමේ විධායක අධ්‍යකෂවරිය ද වන යස්මින් සූකා වර්ගවාදය, වාර්ගික වෙනස්කම් නොඉවසීම, විදේශ-භීතිකාව සහ එවැනි අනෙක් කරුණු ආමණ්ත්‍රණය කිරීම සඳහා දකුණු අප්‍රිකානු ආණ්ඩුව විසින් පිහිටුවා ඇති ක්‍රියාකාරී කමිටුවේ සභාපතිනිය ද වේ.
ස්ටීවන් ආර්. රත්නර් ද අනෙක් දෙදෙනාම මෙන්ම අන්තර් ජාතික පිළිගැනීමක් සහිත නීතිවේදියෙකි. ඔහුගේ විශය ක්ෂේත්රය වන්නේ වාර්ගික ගැටලු, ත්‍රස්තවාදය පැරදවීමේ උපාය මාර්ග, වගවීම, මානව හිමිකම් නීතිය යනාදිය යි.
කාම්බොජයේ ජන ඝාතක පොල් පොට් – කමර් රූෂ් පාලනය විසින් මනුෂ්‍යත්වයට එරෙහිව කරන ලද අපරාධ සම්බන්ධයෙන් ගත හැකි පියවර සොයා බැලීමට පත්කරන ලද එක්සත් ජාතීන්ගේ ත්‍රි පුද්ගල කමිටුවේ එක් සාමාජිකයකු වුයේ ඔහු ය. මෙම පරීක්ෂනයෙන් පසු සහ එහි ප්‍රතිපලයක් ලෙස දශ ලක්ෂ ගණන් කාම්බෝජ ජනයා නිරපරාදයේ ඝාතනය කළ කමර් රූෂ් අල්ගෝසුවන්ට එරෙහිව යුද්ධ අපරාධ අධිකරණයක් එරට තුළ පිහිටුවන ලදී. එම යුද්ධ අපරාධ අධිකරණය පවත්වා ගෙන යන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසිනි.
මෙවැනි පුද්ගලයින්ගෙන් සැදුම් ලත් කමිටුවක වාර්තාව බේලයක් යැයි ප්‍රකාශ කිරීමෙන් ශ්‍රී ලංකාවට යහපතක් වනු ඇත්ද? එම කමිටුව ශ්‍රී ලංකාවට පැමිණ කරුණු සොයා බැලීමට ඉල්ලා සිටින ලද නුමුත් ශ්‍රී ලංකාණ්ඩුව කීවේ පැමිණ උගත් පාඩම් සහ ප්රතිසංධාන කොමිසම පමණක් හමූවී ආපසු යන ලෙස යි.
සිය හමුදා විසින් එකදු සිවිල් වැසියකු හෝ ඝාතනය නොකරන ලද බව සහතික කර කියන ආණ්ඩුව එවැනි කීර්තිමත් වාර්තා සහිත පුද්ගලයින්ගෙන් සැදුම් ලත් කමිටුවකට මෙරටට පැමිණ කරුණු සොයා බැලීමට අවස්ථාව ලබා දුන්නේ නම් ඉන් ඇතිවන පාඩුව කුමක් ද? එවැනි කමිටුවකට වනචාරීන් යැයි පගාකරුවන් යැයි ඇම්බැට්ටයින් යැයි කියා සිටීමෙන් පාඩුවක් වන්නේ ශ්‍රී ලංකාවට ද? ඔවුන්ට ද?