සිංහල, Colombo, Media

පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්

සුනන්ද දේශප්‍රිය
අම්මා
මේ සිදුවීම ඇති වූයේ පසුගිය සතියේ මා එතෙර යෑමට කටුනායක ගුවන්තොටෙ හි කටාර් ගුවන් සේවා පෝලිමෙහි සිටිය දීය. සිය ටිකට් පත කවුන්ටරයට දී ගුවන්යානයට අවසර පත ලබා ගනු පිණිස මා ඉදිරියේ සිටියේ වයස්ගත දෙමළ ජාතික මවකි. නළලේ ලොකු තිලකයක් තබා තද රතු පාට හැට්ටයක් ඇය හැඳ සිටියා ය. ඇය සිය ගමන් බෑගය කිරා බැලීම පිණිස තැබුවේ ද මහත් අමාරුවෙනි.

කවුන්ටරයේ සිටියේ තරුණ මහත්මයෙකි. ඔහු ගත් කටට ම ඉංග්‍රිසි බසින් මෙසේ කීවේ ය: “මෙතන කිලෝ පහක් වැඩියි. පවුම් 110ක් ගෙවන්න’’. ඒ අම්මාට එය තේරුණේ නැත. ඇය පවුම් 10යේ කොළයක් දුන්නා ය. එය මදි බව කි විට රුපියල් සියයේ කොළ කිහිපයක් බෑගයෙන් ඇද්දා ය. බෑගය ආපසු ගන්නා ලෙස කී ඒ තරුණ මහතා බැගය රුගෙන එතැනින් යන ලෙස ඇයට කීවා ය. ඇයට ඉංග්‍රීසි බස තේරුණේ නැත.

මේ මවට සහාය වීමට කටාර් ගුවන් සේවයේ ඒ තරුණ මහතා කිසිදු උත්සාහයක් ගත්තේ නැත. සාමන්‍යයෙන් ගුවන් මගියකුට ගෙන යාමට අයිති කිලෝ විස්සසට වඩා කිලෝ දෙක තුනක් අවසර දීම ගුවන් සේවාවන් හි සිරිතකි. මන්ද යත් සැම මගියකු ම නියමිත කිලෝ විස්සම ගෙන යන්නේ නැති නිසා ය. නිදසුනක් වශයෙන් මගේ බැගයේ වූයේ කිලෝ 16.5ක් පමණි. ඒ තරුණ මහතාට අඩුම වශයෙන් “කිලෝ දෙක තුනක් ඉවතට ගන්න’’, යැයි ඒ මවට කියා ඇයට සහාය වීමට සිතක් තිබුනේ නැත. ඔහුගේ මුහුණේ වුයේ තේරුම් ගැනීමට බැරි තරහකි.

මගේ වාරය පැමිණි විට ඒ මවට එළෙස සැළකීම අසාධාරණ යැයි ඒ තරුණ මහතාට කීවෙමි. ඇයට උදව්වක් වශයෙන් කිලෝ කිහිපයක් වැඩිපුර ගෙන යන්නට දෙන්නට තිබුනා නේදැයි විමසුවෙමි. “නෑ ඒ අපේ පිළිවෙත’’ යැයි කී ඒ මහතා මා සමඟ විවාදයකට පැටළුනේ ය. ඒ නිසා විනාඩි දෙක තුනක ප්‍රමාදයක් ඇති විය. මගේ උරහිසට යමකු තට්ටු කලේය. ආපසු හැරී බැලුවෙමි. සුදු ජාතික තරුණ මහත්මයෙකි. “ අපට පරක්කු වෙනවා ඔය කතාව නිසා’’ යැයි ඔහු තරහෙන් කී ය. “කට වහගන්නවා’’ යැයි ඒ සුදු ජාතික මහතාට කීමට තරහක් මට ඇති විය. කීවෙමි. එවිට එතැන පෝලිමේ සිට තවත් දෙනෙකු අපටත් පරක්කු වෙනවා යැයි කෙදිරි ගෑවේ ය. මා කතා කලේ ඒ අසරණ මව වෙනුවෙන් බව හයියෙන් කියා සිටීමට සිදු විය.

ඔවුන් හැමටම ඒ මව වෙනුවෙන් විනාඩි දෙක තුනක් ප්‍රමාද වීම මහා කරදරයක් ලෙස පෙනුණි. මා ඒ මව වෙනුවෙන් කතා කිරීම ඔවුන් දුටුවේ කරදරයක් ලෙස ය. පසුව ඒ මව රෝද පුටුවක තබා වත්තන් කරගෙන ගුවන් යානයට නංවනු දුටුවෙමි. ඇය හොදටම ඈලි මෑලි වී සිටියා ය.

අපේ කොප්රල්

එදින ගුවන් තොටුපටුළෙ හි ඇවිද යමින් සිටින අතර වාරයේ එහි රුපවාහිනියක අයිටීඑන් ලොවවටා පුවත් වැනි වැඩ සටහනක් දුටුවෙමි. එහි කතා කළේ ලලිත් ද සිල්වා ය. මේ ඔහු කළ විශ්ලේෂනය යි:

“මුම්බායි ප්‍රහාරයේ ප්‍රශ්නය තමයි ත්‍රස්තවාදය තමන්ගේ ගෙවත්තේ එකක් බව ඉන්දියාව පිළි නොගන්න එක. ඊටත් වඩා ඔය නෂ්ටික බලය තියෙන ඉන්දියාවට බැරි වුනානෙ ත්‍රස්තවාදින් 10 දෙනෙක් නතර කරන්න. අපේ රටට ඉන්දියානු සාම සාධක හමුදාව ඇවිල්ල 1,200 ක් ම මැරුම් කෑව. තව කතාවක් තියෙනවා, ඉන්දියානු ජවාන් ල ඒ කියන්නේ සොල්දාදුවෝ බිත්තර කියළ ෂැම්පු බිව්වලු.( හිනා) අපේ රටේ කොප්රල්වරයෙක් ඉන්දියානු හමුදාවේ බ්‍රිගේඩියර්වරයෙකුට වඩා වටිනවා. අලුත්ම ටයිම් සඟරාව කියනවා ඉන්දියාවෙ සියයට 80ක්ම දවසට රුපියල් 200න් ජිවත්වෙන්නේ කියළ. ඉතින් එහෙම රටක් කොහොමද අපට කැම එවන්නේ? ඔන්න හෙට පකිස්ථානයේ සෑම දේශපාලන පක්ෂයක්ම එකතු වෙනවා ඉන්දියාවට මුහුණ දෙන්න’’

ඉන්දියානු විරෝධය ඇවිලවීම රාජ්‍ය මාධ්‍යට පවරා දී ඇති රාජකාරිය ද?

ජෝකර්ලා

“ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයින් ජෝකර්ලා’’ යැයි ඉන්දියානු හමුදාපතිවරයා කීවොත් ඒ ප්‍රකාශය ගැන අප සිතන්නේ කෙසේද?

තමිල්නාඩුවේ ජනගහණය මිලියන 60කි. ශ්‍රී ලංකාවේ ජනගහණය මිලියන 20කි. මෙරට මෙන්ම එරට ද දේශපාලනඥයින් බලයට පත් වන්නේ මහජන ජන්දයෙනි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යුද වැදී සිටින රටවල් නොවේ. එවැනි රටක දේශපාලනඥයින් ජෝකර්ලා යැයි කීමට අනෙක් රටක නිලධාරීන්ට අයිතියක් නැත. විශේෂයෙන්ම යුද හමුදාව වැනි දේශපාලන ආයතනයක ප්‍රධානීන්ට එවැනි ප්‍රකාශ නොකිරිමට ප්‍රවේශම් විය යුතු ය. මන්ද යත් ඔවුන් මෙරට නියෝජනය කරන නිසා ය.

ශ්‍රී ලංකාවේ යුදහමුදාපති විසින් කරන ලදැයි කියන එවැනි ප්‍රකාශයක් ගැන දැන් තමිල්නාඩුවෙහි ද නව දිල්ලියෙහි ද දේශපාලන සුලි සුළගක් ඇතිවෙමින් තිබේ. ඉන්දීය කොමියුනිස්ට් පක්ෂය ( ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ඉන්දීය සගයා) කියන්නේ ශ්‍රී ලංකාව මේ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව නොඉල්ලුවහොත් ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ආපසු යැවිය යුතු බව යි. තමිල්නාඩු මහ ඇමැති කරුණානිධි ද මේ සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක් ගෙන තිබේ. මේ වනාහී සහමුලින්ම අනවශ්‍ය ආරවුලකි.

මෙයට පෙර “මෙරට සුලුතර ජනයා අනවශ්‍ය ඉල්ලීම් කරන්නේ නැති නම් මෙරට ජීවත් විය හැකි බවටත් මෙම රට බහුතර සිංහලයින්ගේ රට බවටත්’’ යුද හමුදා පතිවරයා ප්‍රකාශ කරන ලද අවස්ථාවෙහි යුදහමුදා නායකයින්ට දේශපාලන ප්‍රකාශ කරන්නට අයිතියක් නැති බව කීමට ධෛර්යක් තිබුනේ සිවිල් සහ දේශපාලන සමාජයන්හි අතලොස්සකට පමණි. ආණ්ඩුව මුනිවත රැකි අතර එහි ප්‍රබල ඇමැතිවරයකු කියා සිටියේ තමා එම ප්‍රකාශය අනුමත කරන බවත් දෙමළ සහ මුස්ලිම් ජනයා මෙරටට ආ අමුත්තන් බවත් ය.

දැන් අලුත් ආරවුලකි. රටක නීතියේ පාලනය අවශ්‍ය වන්නේ මේ සඳහා ය. නීතිය කවරකුට වුවත් සමාන විය යුතු ය. බලවතුන්ට රටක පිළිගත් නීතිය සහ පාලනය පාගා දැමිය හැකි නම් නීතියක් සහ රීතියක් කූමට ද?