පසුගිය සෙනසුරාදා හිමිදිරියේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පිරිසක් විසින්, යාපනය අර්ධද්වීපයේ මාධ්‍ය පුහුණු මධ්‍යස්ථානයේ ශිෂ්‍ය සගාදේවන් නිලක්ෂන් අනුකම්පා විරහිතව, කෲර ලෙස වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
ඔහු ගේ නිවස පිහිටා තිබෙන්නේ යාපනය නගරයට සැතපුම් තුනක් පමණ ඈතින් පිහිටි කොක්කුවිල් හි ය. යාපනය නගරයේ රාත්‍රී 9.00 සිට පසු දින උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක ය. මෙනිසා ම රැය පුරා යාපනය කොකුවිල් මාර්ගයේ රජයේ ආරක්ෂක අංශ සාමාජිකයන් වැඩි වශයෙන් ගමන් කිරීම ද දැකිය හැකි ය. එ සේ ම තැනින් තැන හමුදා මුර පොළවල් ද පිහිටුවා ඇත. මෙබඳු පසුබිමක් යටතේ ආරක්ෂක අංශවලට හසු නොවන ආකාරයට මේ නාඳුනන පිරිස යතුරුපැදියකින් නිලක්ෂන් ගේ නිවසට පැමිණියේ කෙසේ ද යන්න ප්‍රහේළිකාවකි.
සගාදේවන් නිලක්ෂන් වයස අවුරුදු 22 ක තරුණයෙකි. ඔහු ගේ සිහිනය වී තිබුණේ මාධ්‍ය ක්‍ෂේත්‍රයට පිවිස නමක් දිනා ගැනීම ය. මොහු ගේ සිහිනය සැබෑ වනු දක්නට රිසි නොවූවන්, මොහු ගේ ජීවිතය පැහැර ගත්තාට සැක නැත. එසේ තිබියදීත්, එම අපරාධකරුවන් තවමත් නීතියේ රැහැනට හසු නොවී නිදහසේ සමාජයේ සැරි සරති.
හමුදා භට පිරිස් පමණක් මංමාවත් හි ගැවසෙන, ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙමින් තිබෙන අවස්ථාවක, නාඳුනන පිරිස් යතුරුපැදියකින් පැමිණියේ කෙසේ ද? මේ කෲර ඝාතනයට වග කිව යුත්තෝ, යාපනයේ හමුදාවන් සමඟ එක්ව ක්‍රියා කරන සන්නද්ධ කණ්ඩායම් ය යන්න එහි වැසියෝ අවධාරණයෙන් කියා සිටිති.
නිලක්ෂන්, යාපනය ශිෂ්‍ය ව්‍යාපාරයේ හිටපු නායකයෙකි. මොහු සන්නද්ධ කල්ලියක ඉලක්කයක් බවට පත් වන්නට, එයත් හේතුවක් වන්නට ඇතැයි ද කියනු ලැබේ.එසේ ම නිලක්ෂන්, ඝාතනය කැරුණු මාධ්‍යවේදී ශිවරාම් ගේ දෙවර්ෂ පූර්ණ අනුස්මණ උත්සවය යාපනයේ දී පවත්වන්නට පෙරමුණ ගෙන ක්‍රියා කළ අයකු ද වෙයි.
මේ අතර කොළඹ දී සිදු කැරෙන පැහැර ගැනීම් හා ඝාතන ද තව දුරටත් සිදුවෙමින් පවති. කොළඹ සහ ඒ අවට ප්‍රදේශවලින් මේ වසරේ දී පමණක් පැහැර ගැනීමට ලක්ව ඇති සංඛ්‍යාව 143 කි. මොවුන් පිළිබඳ මෙතෙක් කිසිඳු තොරතුරක් නැත. පසුගිය සතියේ දී කොටහේනේ විසු කඩාසන් මගාදර් පැහැරගැනීමට ලක්විය. මොහු නිදහස් කිරීම සඳහා මොහු ගේ පවුලේ උදවියගෙන් ඉල්ලා තිබුණු කප්පම් මුදල රුපියල් ලක්ෂ පනහකි. එය නොලැබී ගියෙන්, මෙකී දෙමළ තරුණයා ඝාතනය කැරුණි. මොහු ගේ සිරුර පුවක්පිටිය ප්‍රදේශයේ වළ දමා තිබී, පොලීසිය විසින් සොයා ගනු ලැබීය.
පැහැරගැනීමට ලක් වූවන් ගේ ඥාතීහු පසුගිය සතියේ කොළඔ දී සම්මේලනයක් පැවැත් වූ හ. එයට අතුරුදහන් වූවන් ගේ දෙමාපියෝ, දරුවෝ හා බිරින්දෑවරු සහභාගි වූහ. ඒ සෑම කෙනෙකු ළඟම තමන් ගේ ශෝක ජනක අත්දැකීම් තිබිණි. මොවුන් තම දුක කියා කඳුළු වැගිරූ ආකරය ඔනෑම ගල් හිතක් මෙලෙක් කරවන සුලු ය. එහෙත් ඒ කඳුලට පිළිතුරක් දෙන්නට කිසිවෙකුත් නැත. එනමුත් මේ අහිංසකයන්ගේ කඳුලට කවදාක හෝ කවුරුන් හෝ පිළිතුරක් දිය යුතු ම වෙයි.
එස්. කනේසන්