මීට තිස්වසරකට පෙර සිදු වූ මහා සාහසික ක්‍රියාවක මතකය අවදි කරමින් කතා කළ මහාචාර්ය කේ. සිවතම්බි ප්‍රකාශ කළේ තම බුද්ධිමය උරුමය සිය දෙනෙත් ඉදිරියේ දැවී අළු වී ගිය බව, යාපනයේ පුස්තකාලය ගිණි තබා පසුගිය මැයි 31 වනදාට වසර 30ක් ගතවෙමින් තිබියදී බිබිසී සංදේශය සමඟ අද(07) පැවසීය. එම මිලේච්ඡ ක්‍රියාව පිළිබදව බීබීසිය වැඩිදුරටත් පවසන්නේ,
1981 මැයි මස 31 වෙනිදා රාත්‍රියේ යාපනය පුස්තකාලය, ඊළනාඩු පුවත් පත් කාර්යාලය ඇතුළුව ගොඩනැගිලි රාශියකට කඩා වැදුණු සාහසිකයන් පිරිසක් එම ගොඩනැගිලි කඩා බිඳ දමා, ගිනි තබා විනාශ කර දැමුවා. මේ විනාශය සිදු කෙරුණේ විශාල පොලිස් බල ඇණියක් ඒ අසල කඳවුරු ලා සිටියදී. ඒත් මෙම අපරාධයට වගකිව යුත්තෙක් තවම වරදකරු නොවීම කුතුහලයට කරුණක්.
යාපනය පුස්තකාලය විනාශයට ලක් කිරීම යළි නිවැරදි කළ නොහැකි අපරාධයක් බවයි කලක් යාපනය විශ්ව විද්‍යාලයේ සේවය කරමින් පුස්තකාලය පරිහරණය කළ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ප්‍රකාශ කරන්නෙ.
“දෙමළ ජනයා සතුව අවුරුදු දහස් ගණනක අඛන්ඩ ඉතිහාසයක් තියෙනවා. දැවැන්ත සාහිත්‍යයක් තියෙනවා. දුර්ලභ ගණයේ වටිනා පොත් තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ පුස්තකාලය පරිහරණය කළ අතර, ඊට අමතරව අපගේ වැඩි ඉගෙනීම සඳහා තමයි යාපනය ප්‍රධාන පුස්තකාලය පරිහරණය කළේ. ලෝකයේ කොතැනකවත් නොතිබුණු පොත්පත් ඉන්දියාවේවත් නොතිබුණු පොත්පත් මේ පුස්තකාලයේ සංරක්ෂණය වී තිබුණා. මේ පොත් පත් නැවත මොන තරම් මොනතරම් මුදලක් වැය කළත්ට හොයාගන්න බෑ. හරියට පුරාණ ස්මාරක නටබුන් ගිනි තබනවා වගේ කටයුත්තක්.”
දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ රැස්වීමකදී සිදු වූ වෙඩි තැබීමකින් කුපිත වූ ආරක්ෂක අංශ මෙන්ම මැතිවරණ කටයුතු සඳහා දකුණෙන් ගිය එක්සත් ජාතික පක්ෂ ආධාර කරුවන් දින තුනක් තිස්සේ යාපනයේ සිදු කෙරුණු අපරාධ රැල්ලට වගකිව යුතු බව බොහෝ දෙනාගේ මතයයි.
මේ ජ්‍යෙෂ්ඨ ගත් කතුවර ගුණදාස අමරසේකර,
“මේ සිද්ධියෙන් පෙන්නුවේ සම්පූර්ණයෙන්ම මේක කරපු අය කොයිතරම් අශිෂ්ට පිරිසක් ද කියන එකයි. එහෙම නැතුව මං හිතන්නෙ ඒකෙන් ඒ දෙමළ මිනිස්සුන්ට කිසිම හානියක් වුණේ නැහැ. ඒ මිනිස්සුන්ට පුස්තකාලේ නැති වීම ඇරෙන්න. සම්පූර්ණයෙන්ම අශිෂ්ට වැඩක් ඒකෙන් පෙන්නුම් කළේ. ඒක මං හිතන්නෙ කිසිකෙනෙක් අනුමත කරන්නෙ නැහැ. හෙලා දකිනවා. ඒ දවස් වල හිටිය ආණ්ඩුව මෙහෙ රස්තියාදු කාරයො ගෙනිහිල්ලා කරපු වැඩක්.”
පුස්තකාලය තුළ ඉතා වටිනා පොත පත තිබූ බව නොරහසක්. නැගෙනහිර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චිත්‍රලේඛා මවනගුරු මහත්මිය පවසන්නේ මිල කළ නොහැකි මානව සම්පතක් මුළු මානව වර්ගයාටම ඒ බිහිසුණු රාත්‍රියේ දී අහිමි වූ බවයි.
“යාපනයේ පුස්තකාලයෙ තිබුණෙ දෙමළ භාෂාවෙන් ලියවුණු පොත් පමණක් නෙමෙයි. සංස්කෘත, ලන්දේසි භාෂාව, ප්‍රංශ හා ලතින් පොතපත මෙන්ම ඓතිහාසික ලියවිලි ගණනාවක් මෙහි තිබුණා.”
යාපනය විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ කතිකාචාර්ය ස්වාමිනාදන් විමල්
“යටත් විජිත කාලෙ පාවිච්චි කළ පොත් පත්, ඒ වගේම යාපනය තුළ කේන්ද්‍රීය වෙලා තිබුණ අධ්‍යාපන ආයතන ආශ්‍රිත පොත්පත්, විශේෂයෙන්ම යටත් විජිත කාලෙ යාපනයේ ආරම්භ කරපු අධ්‍යාපනික ප්‍රබෝධයත් එක්ක ඇතිවෙච්ච සාහිත්‍යමය දේවල් වගේ ඉතාමත් විශාල වශයෙන් එක් රැස්කරලා තිබ්බ තැනක් හැටියට තමයි ඒක වැදගත් වෙන්නෙ. යාපනයට ආවේණික සංස්කෘතික සහ ඓතිහාසික ලේඛන එක් රැස් කරලා තිබුණ ස්ථානයක් හැටියටත් ගොඩක් අයට වැදගත් වුණා.”
පුස්තකාලය විනාශ වුණු ආරංචිය ලද අවස්ථාවේ කම්පාවට පත් පුස්තකාලය නිතර පරිහරණය කළ ඩේවිඩ් පියතුමා හෘදයාබාධයකින් මිය ගිය බව යාපනය වැසියන් අදත් මතක් කර සිටිනවා. මේ විනාශකාරී ක්‍රියා සිදුවන අතරවාරයේ මැතිවරණ කටයුතු සඳහා ගිය ඇමතිවරුන් දෙදෙනෙක් මෙන්ම පොලිස්පතිවරයාත් යාපනයේ සිටි බවයි ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණු නායක අමිර්තලිංගම් පසුව පාර්ලිමේන්තුවේදී කියා සිටියේ. මෙම ප්‍රහාරයන් ඇඳිරි නීතිය තිබිය දී සිදු වූ අතර, මෙම ඇමතිවරුන් නවාතැන් ගෙන සිටියේ පුස්තකාලයට නුදුරු ස්ථානයකයි.
1979 සිට 1983 දක්වා යාපනය නගරාධිපති පදවිය දැරූ ටී. විශ්වනාදන් මේ බව ප්‍රකාශ කරමින්, සිරිල් මැතිව් ඇමතිවරයා සමග පැමිණි සාහසික පිරිස් මෙම කටයුතු වල යෙදුණු බව සහතික කර සිටිනවා. මීට අමතරව එවකට ප්‍රබල ඇමතිවරයෙක් වූ ගාමිණී දිසානායක ද යාපනයේ ප්‍රචණ්ඩ ක්‍රියා මෙහෙය වූ බවට චෝදනා එල්ල වෙනවා.
මේ හිටපු අමාත්‍ය කබීර් හෂීම්,
“යම්කිසි දෙයක් සිදුවෙන කොට හරිනම් පවතින රජයක් ඒ වගකීම භාරගන්න ඕනෙ. ඒ අනුව එදා පවතින රජය හැටියට එක්සත් ජාතික පක්ෂ රජයට වගකීමක් තියෙනවා. එකක් කියන්න පුළුවන්. ගාමිණී දිසානායක මහත්තයා කිසිම දවසක ඒ වගේ දෙයක් කරන්න ඉඩ තියන්නෙ නැහැ. ගාමිණී දිසානායකලා කෙරුවා කියන එකනම් ඕනැ පරීක්ෂණයක් තිබ්බත් මම පිළිගන්නෙ නැහැ.”
ඒත් මේ අපරාධයට වගකිව යුත්තෙක් නැහැ. මේ යළිත් ගුණදාස අමරසේකර,
“මේක සිංහල මිනිස්සු ටික දෙනෙක් රස්තියාදු කාරයො කරන්න ඇත්තෙ. ඒ වුණාට ඔවුන්ට පුළුවන් වුණා මේක සම්පූර්ණම සිංහල මිනිස්සු වෙත, ඔවුන්ගේ සංස්කෘතිය වෙත එල්ල කරපු විශාල චෝදනාවක් හැටියට ඉදිරිපත් කරන්න.”
ස්වාමිනාදන් විමල් ද පවසන්නේ දෙමළ ජනතාවගේ හද සසල වීමට මෙම සිදුවී පාදක වූ බවයි.
“මේ සිද්ධිය ඇත්ත වශයෙන්ම යාපනයේ සමාජය අධ්‍යාපනික වශයෙන් සහ රැකියා අවස්ථා වශයෙන් ලාංකීය සමාජය තුළ ඉහළ ස්ථාවරයක ඉඳීම ඉවසන්න බැරි වීම නිසා ඇති කරපු ප්‍රතිචාරයක් හැටියට තමයි මිනිස්සු ඇත්ත වශයෙන්ම මේක සැලකුවෙ. අධ්‍යාපනය ප්‍රමිතිකරණය සහ පුස්තකාලය ගිනි තැබීම යන කාරණා දෙකම ඇත්තවශයෙන්ම පළමුව නැගී සිටීම සඳහා විශාල උත්තේජනයක් සැපයුවා, මොකද ඒ දෙක තුනෙන්ම සංකේතවත් වුණේ අධ්‍යාපනයෙන් සමාජයේ ඉහළ මට්ටමකට ඒම නොරිස්සන ස්වභාවයකින් ජාතිවාදීව කටයුතු කරන්නෙ කියන කාරණය. සංස්කෘතික සහ විශේෂයෙන්ම දැනුම අතින් ලබා තියෙන පොහොසත්භාවය නොඉවසන බව පෙන්වන සාධකයක් හැටියට තමයි දෙමළ ජනතාව මේ සිදුවීම දැක්කෙ.”
උපුටා ගැනීම-BBCSandeshaya.com
(යාපනය පුස්තකාලයට මැරයන් විසින් ගණි තබා විනාශ කරන ලද්දේ 1981 මැයි 31 රාත්‍රියේ ජූනි 01වනදා එළිවෙන්නටය. එහිදී 4 දෙනකු ඝාතනයට ලක්වූ බවත් වාර්තා වන අතර රාජ්‍ය මැරයන් සහ සිංහල ජාතිවාදී දේශපාලකයන් මෙන්ම ඔවුන්ගේ අනුගාමිකයන් මෙයට සම්බන්ධ බව බෙහෝ දෙනා පවසති. එසේ නමුත් වසර 30ක් ගත වන මෙම මොහොත වන විටත් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සුරකිනවා යැයි පුරසාරම් දොඩවන මේ දක්වා තිබූ කිසිදු ආන්ඩුවකට මෙම මිලේච්ඡ ක්‍රියාවට සම්බන්ධ කිසිවෙකුත් නීතිය හමුවට ගෙන ඒමට නොහැකි වී ඇත.
පසුගියදා යුද ජයග්‍රහණය සැමරෑවේත්, ත්‍රස්තවාදය නැසීමේ උපායමාර්ග කියා දීමේ ජාත්‍යන්තර සමුලුව පවත්වමින් ලෝකයට පාඩම් කියා දුන්නේත් මෙම සියලු තත්ත්වයන් හමුවේ ය. – සංස්කාරක – විකල්ප)
යාපන පුස්තකාගයට ගිණි තැබීම සහ පුස්තකාලය ආශ්‍රිත අමතර තොරතුරු සඳහා මෙයට පිවිසෙන්න