පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්
ඔහු කලාකරුවෙකි. මූර්තිකරුවෙකි. ගෘහ නිර්මාණ ශිල්පියෙකි. සිනමාකරුවෙකි. ජයාරූප ශිල්පියෙකි. කලා කෘති සත්කාරකයෙකි. සමාජ සහ සංස්කෘතික විවේචකයෙකි. අන්තර් ජාතික සම්මානයෙන් පිදුම් ලැබූවෙකි. වත්මන් චිනයේ වැඩිම ප්‍රසිද්ධියක් උසුලන කලාකරු ඔහු ය. 2008 වීනයේ පැවැති ඔලිම්පික් උළෙල සඳහා කුරුල්ලෙකුගේ හැඩය ඇති නිර්මානය කරන ලද ක්‍රිඩාගාර නිර්මාණයට එක් වූ එකම චීන නිර්මාණ ශිල්පියා ද ඔහු ය. නමුත් ඔහු වීනයේ පවත්නා මර්දනකාරී පාලනයට විරුද්ධත්වය පෑමක් වශයෙන් එම ගොඩනැගිල්ල පසුබිමෙහි ඇතිව ජායාරූපයකට පෙනී සිටීම ප්‍රතික්ෂේප කළේ ය.
චීන ආණ්ඩුව ඔහුට පාලක වීන කොමියුනිස්ට් පක්ෂයට (ධනවාදී ඒකාධිපති පක්ෂයක් කියා කියවන්න) බැදෙන ලෙස ආරාධනය කළේ ය. (නියෝග කළේ ය කියා කියවන්න). ඔහු එම ආරාධනය පිළිගත්තේ නැත. ඒ වෙනුවට ඔහු තෝරා ගත්තේ චීනයේ පවත්නා නිදහසක් නැති දේශපාලන වාතාවරණය විවේචනය කිරීම යි. ඇදහිය නොහැකි තරමේ මර්දනයක් පවත්නා චීනයේ බීජිං නුවර තියෙන්ආන් මෙන් චතුරශ්‍රයේ පවා ඔහු විරෝධතාවයන්හි නිරත විය.
සිය නිදහස් අදහස් සාමකාමීව ප්‍රකාශයට පත් කිරීමට වන්දිය වශයෙන් අද අයි වේ වේ ඉන්නේ චීන හිරගෙදරක ය.
ලොව පරසිඳු, ලංඩනයෙහි ටේට් නූතන කලා කෞතුකාගාරයෙහි පෝසිලෙන් වලින් සදා සම්ප්‍රදායික චීන කලාකරුවන් විසින් අතින් පින්තාරු කරන ලද සූර්‍ය මල් ඇට දශ ලක්ෂ සියයක ප්‍රදර්ශණයක් ඔහු විසින් පවත්වන ලද්දේ චීනයෙහි පෝසිලේන් කර්මාන්තයට ඇති ඉතිහාසයත් වත්මන් ‛චීනයේ සාදන ලදී’ යන ලේබලයත් පසුබිම වශයෙන් ඇතිව ය.
චීන ජනයා සිය බසින් “අනාගතයට ආදරය කරමු” කියා වෙබ් අඩවියෙහි ලියන විට එයට ආණ්ඩුවෙන් කරදරයක් ඇති වන්නේ නැත. ඒ අනාගත සමෟද්ධිය වැළද ගැනීමට ආණ්ඩුව විසින් ම බල කරනු ලබන නිසා ය. මැන්ඩරීන් චීන බසින් අනාගතයට ආදරය කරමු යන්න කියැවෙන්නේ අයි වේ ලේ කියා ය. දැන් එය අයි වෙයි වෙයි සහ ඔහුගේ ක්‍රියාකාරකම් හැදින්වෙන සංකේත වචනයක් බවට පත්ව ඇත්තේ ඔහුගේ ඇත්ත නම වෙබ් වාරණයන්ට හසු වන නිසා ය. චීන බලධාරීහු ඔහුගේ නම එනම් අයි වේ වේ සඳහන් වන වෙබ් වාර්තා ක්ෂණයකින්ම වාරණය කරති.
අයි වෙයි වෙයි ගේ පියා පරසිදු කොමියුනිස්ට්වාදී කවියකු විය. එසේ නමුත් 1958 චීන කොමියුනිස්ට් පක්ෂය පිරිසිදු කිරීමේ ව්‍යාපාරයේ දී දක්ෂිණාංශික පවා දෙන්නකු ලෙස හංවඩු ගසා ඔහු සහ බිරිඳ ගම්බද වහල් ශ්‍රම කඳවුරකට පිටුවාහල් කරන ලදී. ඔහු නිදොස් කොට නිදහස් කරන ලද්දේ 1975 දී ය. 1957 උපත ලද එවකට එක් වියැති වූ අයි වේ වේ වසර18ක්ම ජීවත් වූයේ සිය සීයා සමඟය. පසුව ඇමෙරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලැබූ ඔහු 1993 දී යළි සිය රට පැමිණ ඉක්මණින්ම කලාකරුවකු ලෙස ප්‍රසිද්ධියට පත් විය. කලාව සම්බන්ධ පොත් ගණනාවක් ප්‍රසිද්ධ කළ ඔහු කලා කෞතුකාගාර පිහිටුවීමට ද කටයුතු කළේ ය. මේ සඳහා ඔහුට රාජ්‍ය සහාය ද ලැබුණි.
අයි වේ වේ ගේ කලා නිර්මාන චීනය හැරුණ විට ජපානය, කොරියාව, ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය, බෙල්ජියම, නෙදර්ලන්තය, ලක්සම්බර්ග්, ප්‍රංශය,ජර්මනිය, ඉතාලිය, ඕස්ට්‍රියාව, අයර්ලන්තය, ඊශ්‍රාලය, බ්‍රසීලිය ඇතුළු තවත් රටවල ප්‍රදර්ශණය කර තිබේ. ඔහු ඇත්ත වශයෙන්ම තත්කාලීන අන්තර් ජාතික කලාකරුවෙකි.
එසේ නමුත් තමන්ට ලැබෙන විවිධ වරදාන රැක ගැනීම පිණිස සිය සමාජය මත රාජ්‍ය විසින් පවත්වාගෙන යන මර්දනය ඉවසා සිටීමට අයි වේ වේ සූදානම් නොවී ය. අසමාන කලා කෘති නිර්මානය කිරීමට අමතරව අයි වෙයි වෙයි දූෂන විරෝධී උද්ඝෝෂකයකු ලෙස ද පෙනී සිටීමට පටන්ගත් කළ චීන රාජ්‍ය ය ඔහු දමනය කළ යුතු අනවශ්‍ය පුද්ගලයකු ලෙස සළකන්නට පටන් ගත්තේය.
ඔහුගේ කලා නිර්මාණ කටයුතු මෙන්ම නිදහස් අදහස් සඳහා වන ක්‍රියාකාරිත්වය විසින් අයි වේ වේ තරුණ ජනයා අතර වීරයකු බවට පත් කර තිබේ. අන්තර් ජාලය මත පදනම්ව ඔහු රටෙහි තරුණ ජනයා සමඟ නිරන්තර සංනිවේදනයක් පවත්වාගෙන යයි. අද ටිවිටර් වෙබ් පණිවිඩ ජාලයෙහි 78,000ක් ඔහු හා සම්බන්ධ වී සිටිති. ගෘහ නිර්මාණ ශිල්පියකු ලෙස අය වෙයි වෙයි කොතරම් නමක් දිනා ගත්තේ ද යත් නිව්යෝක් නගරයේ ඔහු විසින් සැළසුම් කරන ලද නිවසක් 2006 වර්ශයේ දී සම්මානනීය අන්තර් ජාතික ගෘහ නිර්මාණ සැළසුම් ත්‍යාගය දිනා ගත්තේ ය.
සිය නිර්මාණශිලී ජීවිතය හුදෙක් සැප සම්පත් හඹා යාමක් වෙනුවට නිදහස සොයා යාමක් බවට පත් කර ගැනීම විසින් අයි වේ වේ අපේ කාලයේ වීරයකු බවට පත් කරන ලදී. මන්ද යත් මෙකළ ඉමහත් කණසල්ල බවට පත්ව ඇත්තේ දුර්ජනයාගේ අශිලත්වය නොව සාදු ජනයාගේ නිද්‍රාව බැවිනි. ශ්‍රී ලංකාවේම උදාහරණ ගන්නේ නම් නිදහස් චින්තනය ගරුතන්හි තබා සිටි ශ්‍රාස්ත්‍රඥයින් කොපමණ අද මර්දනකාරී මහින්ද චින්තනයේ වහලුන් බවට පත්ව තිබේ ද? වරදාන සහ බිය ගැන්වීම විසින් බුද්ධිය අඥානකම බවට පෙරළා ඇති යුගයක සිය නිර්මාණශීලිත්වයේ ජයපැන් නිදහසේ තෙතමනය බවට පෙරලීමට ජීවිතය අවදානමෙහි තැබූ අයි වෙයි වෙයි වැන්නෝ අපේ කාලයේ සැබෑ වීරයෝ ය.
2008 වර්ශයේ චීනයේ සිචුවාන් පළාතේ 68 දහසකට මරු කැද වූ විශාල භුමිකම්පාවක් ඇති විය. පාසැල් ගණනාවක් සහමුලින්ම කඩා වැටී දරු දැරියෝ සිය ගණනින් මරණයට පත් වූහ. මෙම පැසල් ගොඩනැගීමේ දී කරන ලද දූෂණ සෙවීමට සහ මිය ගිය දරුවන්ගේ නම් ලැයිස්තුවක් සකස් කිරීමට මූලිකත්වය ගත් අය අතර අයි වේ වේ ද විය. චීන ආණ්ඩුව එස උත්සාහය සැළකුවේ රාජ්‍ය විරෝධී ක්‍රියාවක් ලෙස ය. 2009 වන විට ඔව්හු නම් 5, 385ක් එක් කරගෙන තිබුණි. අයි වේ වේ එම සියලුම නම් සිය අන්තර්ජාල බ්ලොග් අඩවියේ පළ කලේ තවත් විවේචනාත්මක ලිපි ද සමගය. චීන ආණ්ඩුව ඔහුගේ බ්ලොග් අඩවිය වසා දැම්මේ ය. (වන්නියේ මිය ගිය දෙමළ ජනයාගේ නම් ගම් එක් කරන අපේ නිහඩ වීරයන් ද වෙති)
“හරිම කණගාටුයි” නමින් 2010දී ප්‍රදර්ශණයක් කළ අයි වේ වේ ඒ සදහා පාසැල් දරුවන්ගේ පොත්බෑග 9000කින් නිර්මාණයක් කළේ ය. මෙම පොත් බෑග විසින් සංකේතවත් කැරුනේ එකී භුමිකම්පාවේ දී මිය ගිය දහස් ගණනාවක් වූ පාසැල් සිසුන් ය. ඔවුන් මිය ගිය අතර බෑග නොනැසී තිබුණි. පාලකයින් සහ දැවැන්ත සමාගම් තමන්ගේ සියළු වැරදි සම්බන්ධයෙන් කියන එකම වචනය “හරිම කණගාටුයි” පමණක් යැයි කී අයි වේ වේ චීන රජය සම්බන්ධයෙන් ද එය ආදේශ වන බව කියා සිටියේ ය. එම දරුවන් රාජ්‍ය ප්‍රචාර විසින් ඉක්මණින් ම මකා දමන ලදුව සැමට අමතකව ගියේ යැයි අයි වේ වේ කිය යි.
ඔහු සිය සමෘද්ධිමත් කලා ජීවිතය කැප කළේ එවැනි අමතක කිරීම් පරාජය කිරීමට ය. අයි වේ වේ අත්අඩංගුවට ගැනීමෙන් පසු නිවියෝක් නගරයේ පුලිස්ටර් වතුරශ්‍රයේ දී ඔහුගේ තවත් නිර්මාණ ප්‍රදර්ශනයක් විවෘත විය. එහි ප්‍රදර්ශණය කැරැණේ ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් චීනයෙන් පැහැර ගන්නා ලද 18වන සියවසේ සත්ව හිස් අනුරූ ය. එම ප්‍රදර්ශණයට ඔහු එවූ සටහනෙහි මෙසේ විය: “කතා කිරීමේ නිදහස නැති නම් නූතන ලෝකයක් නැත. පවතිනු ඇත්තේ ම්ලේච්ත්වය පමණි”.
මැදපෙරදිග හමා යන දෑසමන් විප්ලවයෙන් ආශ්වාදයට පත් විදේශගත චීන්නු පසුගිය පෙබරවාරියේ දවසක අන්තර් ජාල විරෝධතාවයක් පැවැත් වූහ. අයි වේ වේ ඊට මෙසේ ප්‍රතිචාර දැක්වීය. “ මං මුලින් දෑසමන් ගනන් ගත්තේ නැහැ. එත් දෑසමන් විප්ලවයට බය වෙච්ච මිනිස්සු එයින් වෙන හානිය පෙන්නලා ප්‍රචාර පටන් ගත්තා. එතකොටයි මට තේරුනේ මේ මිනිස්සු බය දෑසමන් විප්ලවයට කියලා. දෑසමන් – මොන තරම් අපූරුද”
පසුගිය අප්‍රෙල් 03දා ඔහු අත්අඩංගුවට ගැනුනේ එතෙර යාමට මෙහොතකට පෙර ගුවන් තොටෙහි දීය. අනතුරුව ඔහුගේ සගයින් ගණනාවක් අතුරුදහන් විය. ඔහු දැන් නිහඩ කරවනු ලැබ ඇත.
අයි වේ වේ මර්දනකාරී පාලනයක් සමඟ තනි පුද්ගලයකුට කොපමණ දුරට සටන් කල හැකිදැයි සිය භාවිතයෙන් පරීක්ෂාවට ලක් කිරීම පිළිබද තත්කාලීන ලෝකයේ පරසිදුම උදාහරණය වැනිය. වරෙක ඔහු ජායාරූපමය ස්වයං අලේඛයක් නිරිමාණය කලේ සිය රහස් පෙදෙස් පමණක් වැසෙන සේ රෙදි කඩක් දවට ගනිමිනි. ඔහු එම ජායාරූපය නම් කළේ “තනකොළ මඩ අශ්වයා” කියා ය. චීන බසින් එම අකුරු පේලිය තවත් අරුතක් ගෙන ආවේ ය: “……හැමිනියන්,….. පක්ෂයේ මධ්‍යම කාරක සභාව”
අනතුර පෙනී පෙනී නිදහස සඳහා අරගලයේ පෙරමුණෙහිම ගමන් කිරීම වීර ක්‍රියාවක් හැර වෙන කුමක් ද? ඒ වීරයා කලාකරුවකු වන විට වීරත්වය ගීතයක් බවට පත්වෙයි. මේ අයි වේ වේ ගේ වචනය: “ මම කලාකරුවෙක් වුණේ තෙරපුම යටතේදීත් කිසිවකුට ස්පර්ශ කළ නොහැකි තැනක්, යමක් මගේ පියා සතුව තිබුණ නිසා. මුලු ලෝකයම අදුරු වුණත් හදවතේ රස්නය දෙන යමක් තිබුණා”
අද අප සැමට අවශ්‍ය අන්න එවැනි ගීතමය ධෛර්යකි.
සුනන්ද දේශප්‍රිය