විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් විෂමතාවයට රාජපක්ෂ ආණ්ඩුව මෙතෙක් සාධනීය පිළිතුරක් ලබා නොදීමට විරෝධය දක්වමින් පසුගිය(21) කොළඹ විශ්ව විද්‍යාලයේ සිට කොළඹ මහජන පුස්තකාලය විරෝධතා පාගමනක් සහ කොළඹ මහජන පුස්තකාලයේ දී ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් පැවැත්විණ. මෙම විරෝධතා පාගමනට සරසවි ආචාර්යවරු විශාල පිරිසක් සහභාගී වූ අතර මහජන පුස්තකාලයේ දී පැවති සම්මන්ත්‍රණයේ දී කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය ප්‍රභාත් ජයසිංහ මෙලෙස අදහස් දැක්වීය.
මම ඊයේ(20) එලිවෙන ජාමේ අත්විඳපු පොඩි අත්දැකීමක් මතක් වෙනවා. අපි පෝස්ටර් ගහලා ඇවිල්ලා කොළඹ විශ්ව විද්‍යාලය හරියට එනකොට, ඒ පෝස්ටර් ටික ඉරලා තිබ්බා. ඒක සංවිධානාත්මක වැඩක්. ත්‍රීරෝද රථවලින් ඇවිල්ලා පෝස්ටර් ඉරනවා. ඒක තෝරලා කරන්නෙ. ඇයි මේ සෙනඟ එකතු වෙනවට බයද? මෙතන ඉන්න පිරිස දැක්කම ඒක කිසි පලක් වෙලා නැහැ කියලා පේනවා. ඒ ත්‍රීරෝද රථ වලින් ඇවිල්ලා පෝස්ටර් කාපු එළුවන්ටත්, ඒ එළුවන්ව ත්‍රීරෝද රථවල පටවල එවපු ගොපල්ලන්ටත් ස්තූති කරමින් මා මගේ කතාව පටන් ගන්නවා.
“අපි කිව්වාම විශ්ව විද්‍යාල ගුරුවරුන්ගෙ වැටුප මහ බැංකුවෙ වැටුපට සමාන කරන්න කියලා භාණ්ඩාගාරයේ ලේකම් වරයා මෙහෙම ප්‍රකාශයක් කරනවා. ‛මහ බැංකු කියන්නෙ ලාභ උපයන ආයතන, ඒවායෙ වැටුප් වැඩි කරන්න පුළුවන්. හැබැයි විශ්ව විද්‍යාල කියන්නෙ ලාභ උපයන ආයතන නෙමෙයි. ඒවයෙ වැටුප් වැඩිකරන්න අපහසුයි කියලා.’ මං කැමතියි මේක මීට වඩා ටිකක් පුළුල් විදිහට හිතන්න. විශේෂයෙන් දැනුම් කේන්ද්‍රස්ථානයක් කරා යනව නම්, යම් කිසි ව්‍යාපෘතියක අපි බලන්න ඕනෙ ලාභයද? නැතිනම් ප්‍රතිලාභයද? ලාභ කියපුවහම ඇතුළත් වෙන්නෙ අතට අල්ලන්න පුළුවන් දේවල් විතරයි. ඊට අමතරව අතට නොදැනෙන, අප්‍රකාශිත නොපෙනෙන දේවල් ගොඩක් තියෙනවා. ව්‍යාපෘති සම්බන්ධයෙන් තීරණ ගන්නකොට, ඒ දේවලුත් සැලකිල්ලට ගන්න ඕනෙ. උදාහරණයක් විදිහට මානව සම්පත් වල ආයෝජනය කරන කොට ලාභය වහාම ලැබෙන්නෙ නැහැ. සෘජුව ලැබෙන්නෙත් නැහැ. ඒ වගේම වියදම් කරන ආයතනයේ වියදම් අනුව ලාභ ලැබුණද කියන්නත් බැහැ. සමහරක් විදිහට මුළු සමාජයක් විදිහට ලැබෙන ප්‍රතිලාභ අනුව තමයි මේක ලාභදායකද කියලා කියන්න පුළුවන්.”
උසස් අධ්‍යාපන ඇමති හැම ශිෂ්‍යයෙක්ටම ලැප්ටොප් එකක් දෙනවා කියලා කියනවා. මං මේ කියන්න හදන්නෙ එහෙම ලැප් ටොප් දෙන්නෙ කොහොමද? ඒ සල්ලි වලින් විශ්ව විද්‍යාල ගුරුවරුන්ගෙ වැටුප් වැඩි කරන්න පුළුවන්ද? වගේ දෙයක් නෙමෙයි. ඔය වගේ කතා උසස් අධ්‍යාපන ඇමතිවරයා නිතර කියනවා. එහෙම කිව්වද කියලා කව්රුහරි අහපුවහම, එහෙම එකක් කිව්වෙ නැහැ වගේ තමයි උත්තර දෙන්නෙ. සමහර වෙලාවට මෙහෙම කියන්නත් පුළුවන්. ‛ලැප්ටොප් කිව්වට ඒව ලැප්ටොප්ම නෙමෙයි, නිකන් ඩෙස්ටොප් වෙන්නත් පුළුවන්. ලැප් මොකද, ඩෙස් මොකද දෙකම ටොප්නෙ’ කියලා. සමහර විට මෙහෙම කියන්නත් පුළුවන්. ‛ලැප් ටොප් එකේ කී බෝඩ් එක තියන කෑල්ල අපි දෙනවා කිව්වෙ, උඩ කෑල්ල ඒ අය උපයලා ඒගොල්ලන්ගෙ මුදලින් ගන්න ඕනෙ’ වගේ දේවල්. මේ ලැප්ටොප් දෙනවා කියන ප්‍රකාශයෙ තියෙනවා, ලංකාවේ උසස් අධ්‍යාපන ඇමතිවරයා තීරණ ගන්න කොට හිතන විදිහ. ඇත්තටම අපි හිතමු මේක කරන්න මුදල් තියෙනවා කියලා. මේ මුදල් යොදවන්න පුළුවන් තව විකල්ප මාර්ග කිහිපයක් තියෙනවා. ඕකට යන මුළු මුදලින් පුළුවන් විශ්ව විද්‍යාලයට ඇතුල් වන ශිෂ්‍ය ශිෂ්‍යාවො භාගයකට රුපියල් 3000 ගාණෙ මාසිකව ශිෂ්‍යත්වයක් දෙන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් ඔය මුදල් වලින් කොම්පියුටර් 200ක් විතර තියෙන විද්‍යාගාර 15 ක් විශ්ව විද්‍යාල 15ට හදලා දෙන්න. අතට අහුවෙන්නෙ නැති ලාභ කොටස ගැන හිතුවොත් පරිගණක විද්‍යාගාර හදන එක තමයි හොඳම දේ.
”ආණ්ඩුවට ඇත්තටම ශ්‍රී ලංකාව දැනුම් කේන්ද්‍රස්ථානයක් කරන්න උවමනාවක් තියනව නම් ඒ සම්බන්ධයෙන් ගනු ලබන නිර්ණායක වලට ඔය එකවර අතට අහුනොවෙන, නොපෙනෙන කොටස් අන්තර්ගත වෙන්න ඕනෙ. එහෙම නැත්නම් ‛නොලේජ් හබ්’ එකකට අපට යන්න බැහැ, ‛නොලේජ් පබ්’ එකකට යන්න පුළුවන්. ඊළඟ කාරණය තමයි, ඔය නිර්ණායක වලට සංවේදී, ඒ වගේම ඔය නිර්ණායක තේරුම් ගන්න විවේක බුද්ධියක් තියෙන, සංහිඳියාවක් තියෙන, ඇමතිවරයෙක් උසස් අධ්‍යාපනයට පත් කරන්න ඕනෙ. මොකද මගේ පෞද්ගලික හැඟීම නම් මේ ඇමතිවරයා වඩාත් ගැලපෙන්නෙ උසස් අධ්‍යාපනයට නෙමෙයි, පශු සම්පත් අමාත්‍යාංශයට. මං කියන්නෙ අපහාසයක් නෙමෙයි. එතුමාගේ චරිත ලක්ෂණ ප්‍රකට කරලා තියෙන හැටියට, විශ්ව විද්‍යාල පාලනය කරන්න, ඔය මඩ නාගන්න ඒවා, මඩ ගහන ඒවා, කකුල් මාට්ටු දාන ඒවා, තග් දාන ඒවා වගේ ඒවා ඕනෙ නෑනෙ . ඒව ඕනෙ කුකුල් කොටු, ඌරු කොටු, හරක් කොටු වගේ ඒවා පාලනය කරන්න. ඊළඟට උපකුලපතිලා පත් කරන කොට, අපිට සුදුස්සා පත් කරන්න කියලා කියන්න බැහැ. මොකද ඒක දේශපාලන පත්වීමක්නෙ. අපි ඒක පැත්තකින් තියමුකො. අඩුම තරමෙ ඔය කියන නිර්ණායක වලට සංවේදී කවුරුහරි පත් කරන්න අපි කියනවා කියලා අපි කියනවා. එහෙම නැතිව ගෙඩි පිටින් රජය මොනව හරි කියපුවහම ඒක කරන, රජය අසතුටු වෙයි කියලා හැම දෙයක්ම කරන ජාතියෙ අය නැතුව කවුරු හරි සිහිබුද්ධියක් තියෙන අයව පත් කරන්න කියලා අපි කියනවා. එහෙම නැතිව අපිට දැනුම් කේන්ද්‍රස්ථානයකට යන්න සිද්ධ වෙන්නෙ නැහැ.”