Photo by – amnesty.org
1945 අගෝස්තු 06 දා පාන්දර ‛එනෝලා ගේ’ (Enola Gay)යානයෙන් අපේ විරෝධාර හමුදාවෝ නිශ්චිත ඉලක්කය බලා පිටත් විය. අපගේ විශිෂ්ටතම සොයාගැනීමක් වූ ‛ලිට්ල් බෝයි’ (Little Boy), ‛එනෝලා ගේ’ (Enola Gay) හි නිශ්ශබ්දව වැතිර සිටියේය. විරුවන් ඉලක්කයට ලඟා විය. හිරෝෂිමා නගරයට ඉහළින් තිබුණේ පැහැදිලි අහසකි. විරෝධාර හමුදාව හිරෝෂිමා හි ‛්සදස ඊරසාටැ’ එකට අඩි 1900 ඉහළින් ස්ථානගත වූයේ ඒ වන විට මුළු ලොවටම පිළිලයක් වූ ජපානය නිහඬ කිරීමටය. හරියටම උදේ 8.15 ට ‛ලිට්ල් බෝයි’ (Little Boy) හිරෝෂිමා භූමියට පතිත විය. මොහොතක නිහඬතාවයක් සමග යෝධ හත්තක් හිරෝෂිමා හි පිපුණි. මෙහෙයුම සාර්ථක වූයේ හිරෝෂිමා හි රැඳී සිටි ජපන් ත්‍රස්තවාදී හමුදාව විශාල ගණනක් මරණයට පත් කරමිනි.
සිදුවීමකට වඩා එම සිදුවීම අර්ථකතනය කරගන්නා ආකාරය වැදගත්ය. හිරෝෂිමාවේ සිදුවීම ඉහත ආකාරයේ මානයකින් අප දුටුවා නම් එදා කුඩා අංශු බවට පත් වූ ජීවිතත්, තවමත් ඒ වෙනුවෙන් තම ජීවිතයෙන් වන්දි ගෙවන්නනුත් අප හට ශාප කරනු ඇත. එදා හිරෝෂිමාවේ සිදු වීම හුදෙක් ජයග්‍රහණයක් ලෙස අර්ථකතනය කළා නම් ඊට ටික දිනකට පසු පරමාණු බෝම්බ සංස්කෘතිය මගින් සමස්ත මිනිස් සමාජයම අවසන් කරනු ඇත. යුද්ධයක් සැමවිටම ප්‍රචණ්ඩකාරීය, මිලේඡ්චය. නමුත් එම යුද්ධය පිළිබඳ කරනු ලබන අර්ථකථනයන් ඒකපාර්ශවීයව සිදුවනවා නම් ඒ ගැටුමෙන් මිනිස් සමාජයක් ලෙස අප ලබා ගත් කිසිවක් නොමැත. එය එම ගැටුමේදී වධහිංසා වලට මුහුණ දුන් සහ මරණයට පාත්‍ර වූ ජීවිතයන්ට කරන බලවත් අසාධාරණයකි. එමෙන්ම අප විසින් කරනු ලබන්නේ තවත් එවන් සංහාරයක් සඳහා අනාගත ලෝකයට ආරාධනා පත්‍රයක් දීමය.
චැනල් ෆෝ වීඩියෝවේ තිබෙන සිදු වීම් සත්‍ය ද අසත්‍ය ද යන්න සෙවීම නිශ්චිත ගැටළුව මගහැර යාමකි. චැනල් ෆෝ වීඩියෝව තිබුණත්, නැතත් දරුස්මාන් වාර්තාව පල වුවත්, නැතත් පසුගිය යුධ සමය තුළ එල්.ටී.ටී.ඊ සංවිධානය සහ ආණ්ඩුව විසින් ‛යුධ අපරාධ’ සිදුකලා යන්න නොරහසකි. මෙහිදී අපට චැනල් ෆෝ වීඩියෝව, දරුස්මාන් වාර්තාව වැදගත් වන්නේ අපගේ ජයග්‍රහණයන් පිළිබඳව නැවත සිතා බැලීමේ එලාම් එක නාද කරන බැවිනි. මේ සඳහා ජාත්‍යන්තර වශයෙන් යම් ප්‍රතිචාරයක් පැවතියද දේශීය වශයෙන් පවතින්නේ කලකිරවන සුළු ප්‍රතිචාරයකි. එක්කෝ පවතින්නේ ඉතාමත් අඩු අවධානයකි. නැතිනම් පවතින්නේ හුදෙක් ද්වේෂ සහගත ප්‍රතිචාරයකි. ‛යුධ අපරාධ’ සම්බන්ධයෙන් කවරාකාරයේ පුවත් හෙලිවුවද ස්වදේශිකයන් ඒ දෙස අපක්ෂපාති, විමර්ශනාත්මක දෑසින් නොබලනතාක් ඒ හෙලිදරව් ඵල රහිතය. කොතරම් බලපෑම්සහගත වුවත් ජාත්‍යන්තරයට රටක ස්වාධිපත්‍යට මැදිහත් වීම ප්‍රායෝගිකව කළ නොහැකිය. මේ සිදුවන සිදුවීම් විදේශීය කුමන්ත්‍රණ ලෙස ස්වාධිපත්‍ය හිමි ජනතාව දකින තාක් එම රටේ ආණ්ඩුවට අභියෝගයක් එල්ල කිරීමට ජාත්‍යන්තරව නොහැකිය.
ජනමාධ්‍ය වල අරමුණ ජනතාවට සත්‍ය දැනගැනීමට සැලසීම වුවත් අද ආණ්ඩුව ජනමාධ්‍ය භාවිතා කරමින් ජනතාවගෙන් සත්‍ය වසන් කරමින් සිටියි. ආණ්ඩුවට එරෙහිව නැගෙන සෑම චෝදනාවක්ම ත්‍රස්තවාදී ගිණුමට බැර කරමින් ජනතාව ගොනාට ඇන්දවීමට තවමත් ආණ්ඩුවට හැකියාව ඇති බව චැනල් ෆෝ වීඩයෝව සම්බන්ධයෙන් ස්වදේශිකයන් දරන ස්ථාවරය තුළින් පැහැදිලිය. නමුත් වගකීම් සහගත ආණ්ඩුවක් කළ යුත්තේ සිදු වූ වරද පිළිගනිමින් නැවත එවැනි තත්ත්වයන් ඇතිවීමට ඇති අවස්ථාවන් අධෛර්යට පත් කිරීමයි. මෙය මර්ධනය මගින් හෝ බේරේ වැවේ කුණු ඉවත් කරන ආකාරයට කළ නොහැකිය. අවාසනාවකට අද ආණ්ඩුව කරමින් සිටින්නේ එයයි. යුද්ධය අවසන් වී අවුරුදු දෙකක් ගත වුවද තවමත් ඇසෙන්නට දකින්නට ලැබෙන්නේ සිදු වූ අවාසනාවන්ත සිදුවීම් නැවත පණ ගන්වන ආකාරයේ සිදුවීම් පමණකි. සිදු වූ වැරදි ව්‍යාජයැයි කියා ඔප්පු කිරීමට ගන්නා වෙහෙස හැර, සැබෑ ප්‍රතිසන්ධානීය උත්සාහයක් ආණ්ඩුවෙන් දක්නට නොලැබෙන අතර ‛අපේ රට බෙදන්නේ නැහැ’ වැනි ගෝත්‍රික ප්‍රකාශ කරමින් ජනතාව ගොනාට අන්දවමින් සිටියි. අද ආණ්ඩුව විසින් මිනිස් සම්පතට වඩා හිස් භූමියක ඇති වැදගත්කම ජනතා මනසට කාවද්දමින් තම බලය ස්ථාවර කරගනිමින් සිටියි.
අන්තෝනියෝ ග්‍රාම්ස්චි පැවසූ ආකාරයට මේ අවස්ථාවේදී කළ යුත්තේ පවතින දෘෂ්ටිවාදයට ප්‍රතිපක්ෂ දෘෂ්ටිවාදයක් ගොඩ නැගීමයි. ඒ සඳහා විකල්ප දේශපාලන බලවේගයක නායකත්වය අත්‍යවශයය. නමුත් ලංකාවේ විපක්ෂයට එම ශක්‍යතාවය නොමැත. විපක්ෂය බල රාගයෙන් මත් වී ඇත. කොයිවේලේ නිදිවැදීමට හැකිවේද? යැයි සිතමින් ස්ත්‍රියක් දෙස බලන කාමුක පිරිමියෙක් මෙන් රට දෙස බලන විපක්ෂයක් විකල්ප මතවාදයක් සකසතියි යන්න විහිළුවකි. ආණ්ඩුව ජනතාවට දුටුගැමුණු ගැන කියන විට විපක්ෂය ජනතාවට පරාක්‍රමබාහු ගැන කියයි. ආණ්ඩුව ජනතාවට චැනල් ෆෝ අසත්‍යයැයි කීමට ප්‍රථම විපක්ෂය චැනල් ෆෝ අසත්‍යයැයි ජනතාවට ඔප්පු කර හමාරය. ජාතිවාදී වන තරමට ඡන්ද හම්බවෙන බව ආණ්ඩුවෙන් ඉගෙන ගත් විපක්ෂය අද ආණ්ඩුවට වඩා ජාතිවාදී වීමට උත්සාහ කරයි. ආණ්ඩුව තුවාලය පාරන කළ විපක්ෂය කරන්නේ ඒ තුවාලයෙන් ලේ උරා බීමයි.
එබැවින් අනෙකුත් බලපෑම් සහගත පාර්ශවයන් කළ යුත්තේ හුදෙක් ජාත්‍යන්තරය තුළින් පැමිණෙන විරෝධය දෙසම පමණක් දෑස් දල්වාගෙන සිටිනවා වෙනුවට ස්වදේශිකයන් තුළ මේ සිදුවීම් සම්බන්ධයෙන් දියුණු කතිකාවතක් ඇති කිරීමයි. ප්‍රජාතන්ත්‍රවාදය හා ගෝත්‍රිකවාදය අතර ඇති වෙනස ජනතාවට සන්නිවේදනය ආකාරයට සෑම වාක්‍යයක්ම ගොඩනැගීමයි.
‛ යොමුවන්න පරාජිතයන්ගේ හෙල්මට් දෙස!
උදා වූයේ හිසෙන් ඒවා ගලවා දමන මොහොත
පහර වැදුණ විට නොවෙයි ගැලවී යන ලෙස ඒවා හිස්ගෙඩි වලට
පළඳවන්නට ඒවා අප කැමති වූ මොහොත’
-බර්ටෝල් බ්‍රෙෂ්ට්- (ප්‍රවාද, ජනවාරි මාර්තු 2000, 25 පිට)