පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්
මහාචාර්‍ය එස්. රත්නජීවන් 2006 වර්ශයේ දී ජනාධිපති රාජපක්ෂ විසින් යාපන සරසවියේ උප කූලපති වශයෙන් පත් කරන ලදී. ඊට පෙර ජනාධිපතිනි කුමාරතුංග විසින් ඔහු විශ්ව විද්‍යාල සනාතන සභාවෙහි සාමාජිකයකු ලෙසද පත් කර තිබුණි. එනමුත් එල්ටීටීඊ හිතවාදී පිරිස් විසින් කරන ලද තර්ජන ගර්ජන හේතුවෙන් 2006 දී උපකුලපති ධුරය බාර ගැනීමට ඔහුට නොහැකි වූවා පමණක් නොව ජීවිතය රැක ගැනීමට විදේශ ගතවීමට ද සිදුවිය. ඔහු යුද්ධාවසානයෙන් පසු යළි සිය රට බලා ආවේ යාපනයේ සේවය කරනු පිණිස ය.
පසුගිය 30දා කොළඹ මහත්මා ගාන්ධි කේන්ද්‍රයේ දී අනුස්මරණ දේශණයක් පවත්වමින් ඔහු කියා සිටි කරුණු ශ්‍රී ලංකාවේ ඉතිහාසය වර්තමානය සහ අනාගතය ගැන යළිත් සිතීමට පොළඹවයි. ඒ ඇසුරින් මේ සටහන එනිසා ය. ඔහුට සවන් දෙමු:
ජාතිය ගොඩනැගීමේ ලා ශ්‍රාස්ත්‍රඥයින්ගේ කාර්‍ය බාරය මැයෙන් මෙම සමරු දේශණය පැවැත්වීමට ලද ආරාධනය මා පිළිගත්තේ මැයෙහි ඇති ආකර්ශණයත් එමගින් හැදෑරීමට ලැබෙන අවස්ථාවත් සළකා ය.
එනමුත් මේ ගැන සිතන්නට ගත් කළ මේ වනාහී ශ්‍රී ලංකාවේ මෙම අවස්ථාවෙහි භයානක මාතෘකාවක් බව මට පසක් විය. සත්තකින්ම මේ වනාහී නම් යාපනයේ දී යුද හමුදාව විසින් පවත්වන්නට අවසර නොදෙන දේශණයකි.
අපේ ශ්‍රාස්ත්‍රඥයින් අන්තවාදී මතවාදයන් අවුලුවනු වෙනුවට ජන විඥාණයේ නියමුවන් වී නම් මෑත එළි දැක්වුණු එක්සත් ජාතීන්ගේ වාර්තාවත් වැනල් ෆෝ හෙලිදරව්වත් එතරම් විමතියට හෝ නොරිස්සීමට හේතුවක් නොවන්නට තිබුණි. එමෙන්ම එම වාර්තාවන්හි දැක්වෙන සිදුවීම් සිදු නොවන්නටත් තිබුණි.
ඉන්දියාව සමඟ ඇති අපේ සබඳතාවය අරභයා තාර්කික අවබෝධයක් පොදු වශයෙන් අපේ ශ්‍රාස්ත්‍රඥයින් අතර නැත. එමෙන්ම එම සබඳතාවය වාර්ගික ගැටුම හා අභේදනීය ලෙස බැදී තිබේ. 1948/49 අතිශය අධම පුරවැසි පනතෙහි විපාක අප තවමත් තේරුම් ගෙන නැත. සුලුතරයන් අතර ඇති වූ අසන්තෝෂයන් ඉන්දීය විරෝධී වාගාලාප සහ ඉතිහාසය ප්‍රචාරක අවියක් ලෙස යොදා ගැනීම සමඟ සමාන්තරව සිදු විය.
මානව විද්‍යාඥයකු ලෙස කොළඹ කෙෘතුකාගාරයෙහි දිගු කළක් සේවය කළ බහුමානී ශ්‍රාස්ත්‍රඥ එම් .ඩී. රාගවන් ‛ලාංකික ඉතිහාසය, සමාජය සහ සංස්කෘතිය තුල ඉන්දියාව’ නමින් කළ විස්තරාත්මක පොතෙහි ශ්‍රී ලාංකීය සංස්කෘතියෙහි, සිංහල මෙන්ම දෙමළ යන දෙකෙහිම පදනම කේරළ බලපෑමෙන් ලද ආභාෂය පෙන්වා දෙයි. එනමුත් මේ අරභයා දේශීය ශ්‍රාස්ත්‍රඥයින්ගෙන් ලද කවර හෝ ප්‍රතිචාරයක් නැති තරම් ය.
ඒ වෙනුවට සිදුවන්නේ ප්‍රධාන පෙළේ ඉතිහාස පොත් විසින් සිංහලයාගේ මූලාරම්භය ඉන්දු – ආර්‍ය සංක්‍රමණයන් ලෙස දැක්වීමයි. මෙලෙස ඉතිහාසය විකෘති කිරීම, සරසවි සිසුන් හෙළ උරුමයේ සහ ශ්‍රීලනිප දක්ෂිනාංශයේ අනාගත කාඩර්වරුන් වීමට පුහුණු කැරෙන බලහත්කාර යුදමය පුහුණුවේ දී උච්චස්ථානයකට නංවා තිබේ.
ප්‍රමුඛ බුද්ධිමතුන්ගෙන් සමන්විත කිවිදා කවය මෙම පුහුණුව ගැන මෙසේ කිය යි.
“ මෙම පුහුණුව අතිශය ගැටුළුකාරී අංශ ගණනාවක් පෙන්නුම් කරයි. පුහුණු අත් පොතෙහි කවරයේ ඇති ආරක්ෂ ලේකම්වරයාගේ කැපී පෙනෙන ජායාරුපයෙන් අත්පොතෙහි හිමිකාරකම ආරක්ෂ අංශයන්ට අයත් බව පෙන්නුම් කරයි.
‛‛වඩා ගැටළුකාරී වන්නේ ඉතිහාසය සහ ජාතික උරුමය පිළිබඳ එහි අඩංඟුවයි. … ‛ජාතික උරුමය’ කොටස අවධාරණය කරන්නේ බහුතර සිංහල ප්‍රජාවේ මූලික සංකේත මත පමණය. සරසවියට එන නවකයිනට බහුතර ප්‍රජාව මත පමණක් කේන්ද්‍ර ගත වූ පුහුණුවක් ලබා දීම ජාතික ප්‍රති සංධානය පිළිබඳ සියළු නිල ප්‍රකාශයන් නිශේධ කරයි… සමස්තයක් වශයෙන් පාඨමාලාව විසින් විවිධ අදහස් ඉවසීම, බහුත්වවාදය සහ රටෙහි විවිධත්වයට සංවේදීවීම අධෛර්‍යමත් කරනු ලැබේ”
දරුවන්ට ඉතිහාසය යැයි කියා බහුබූත කියවීමට ලැබෙන විට ප්‍රතිවිරෝධයන් නොසළකා හැරීමටත් ගිල්ලවන ඕනෑම දෙයක් විශ්වාස කිරීමටත් ඔව්හු පෙළඹෙති. අප උගුලක සිරවී සිටිමු. දෙමළුන් වන අප කළකට පෙර අප බෞද්ධයන්ව සිටි බව ප්‍රතික්ෂේප කරන අතර බෞද්ධ සියල්ල සිංහල ලෙස සිංහලයෝ දකිති. යාපනයේ කන්දරෝඩෙයිහි බෞද්ධ පුරාවස්තු ගැන දමිළයින් උන්නදු නොවන අතර එයට කදුරුගොඩ යැයි නම් තබා රජය එම භූමිය අල්ලා ගෙන තිබේ. මේ වනාහී ශ්‍රාස්ත්‍රඥයින් ශ්‍රී ලංකාවට කර ඇති විපත ය.
උපකුලපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන් රුස් වී ශ්‍රී ලංකාව පිළිබඳ කමිටු වාර්තාව අරභයා එක්සත් ජාතීන්ගේ මහ ලේකම් හෙළා දකින යෝජනාවක් සම්මත කළා වූ ප්‍රසංගය අපි දුටුවෙමු. ඔවුන් එම වාර්තාව කියවූයේ දැයි මම සැක කරමි. ඒ අපේ උපකුලපතිවරුන්ගේ විශාරදත්වයේ තරම ය.
යාපනයේ සිටින අපි එම වාර්තාව හරයාත්මකව සත්‍යය බව දනිමු. අපේ ශිෂ්‍ය ශිෂාවන් ගණනාවක් ම අනතුරට පත් වූ අතර අත්පා නැති ජනයා අපි නිරන්තරයෙන් ම දකිමු.
එක් අතකින් මානව හිමිකම් ප්‍රඥාප්තිය ද අනෙක් අතින් තුවක්කුව ද ගත් සොල්දාදුවන් පිළිබඳ කතාන්තරය අපි විශ්වාස නොකරමු. තුවක්කුව සහ ප්‍රඥාප්තිය ඇතැතිව ආ කිසිදු සොල්දාදුවකු ගැන අපි නම් දන්නේ නැත. දකුණේ සිටින ඔබ එවැන්නන් දැක තිබේ ද?
විවිධ සංස්කෘතික කණ්ඩායම්වලට සිය සංස්කෘතිය ප්‍රකාශ කිරීමටත්, භාවිත කිරීමටත්, විදීමටත් ක්‍රමෝපා නැතොත් එක් ශ්‍රී ලංකාවක් යන්න සාර්ථක වන්නේ නැත.
හැට තුන්වන නිදහස් දිනය අරභයා ජනාධිපති රාජපක්ෂගේ පණිවිඩයේ මෙවැන්නක් විය: “ උස් නිදහසක් කරා වූ මේ ගමනේ දී අපි අතීතයේ සහ වර්ථමානයේ වැරදි නිවැරදි කළ යුත්තෙමු. නිදහස රැක ගැනීමේත් අර්ථාන්විත කිරීමේත් හොඳම ක්‍රමය නම් එකමුතු ලංකාවක් ගොඩනැගීම ය.
එකමුතු ලංකාවක් යන වචනය. එය කිසිවකුට දබර කළ නොහැකි ගැඹුරු වචනයකි. ජනාධිපති “ ජයග්‍රහණයේ උරුමය” යුදමය ආකාරයෙන් අවධාරණය කළේ ය. සදහන් කළ යුත්තේ එදින යොදාගත් සංස්කෘතිය සහ භාෂාව යන වචන බහු නොව ඒක වචන වූ බවයි.
එනමුත් බහුතරයේ අභිප්‍රායන් දෙමළ ජනයා මත ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් බලයෙන් පැටවිය නොහැකි ය. එය කළ හැක්කේ සන්ධීය රාමුවක් හරහා සාකච්ජා මාර්ගයෙන් පමණකි. යහපත් සමාජයක් වෙනස් ලෙස සිටීමට කැමැති ජනයාට ඒ අවස්ථාව දිය යුතු ය.
ජාතිය ගොඩ නැගීම යනු අපේ වෙනස්කම් යටපත් කිරීම නොව ඒවා උත්කර්ෂයට පත් කිරීමත් දුක්ගැනවිළි ආමණ්ත්‍රනය කිරීමත් ය. එකමුතුකම පිළිබඳ කැරෙන වර්ණවත් සහ ප්‍රීතිජනක සිය කතා මැද ආණ්ඩුවට ඉහතකී ඇත්ත අමතකව ගොස් ඇතැයි මම සැකකරමි.
ශ්‍රී ලංකාවේ අපි, පෙනෛ විදියට, ජාතිය ගොඩ නැගීම තේරුම් ගන්නේ නැත. එක්සත් ජාතීන්ගේ වාර්තාව ගැන වූ එක් කතුවැකිය මෙසේ සදහන් විය.“මෙම වාර්තාවෙන් ඇතිවන ඉතාම කනස්සලු සහගත වර්ධනයක් නම් එය විසින් පැරණි තුවාල යළි පෑරවිම ය. ප්‍රසිද්ධියේ මෙම වාර්තාව උණුසුම් විවාදයන්ට ලක්වන මටටමටම මෙම අනතුර ද සැබෑවක් වනු ඇත.”
දැන් එජා වාර්තාවට අනුව එල්ටීටීඊ ය මුල්ලිවයික්කාල්හිදී සාමන්‍ය දෙමළ ජනයා ප්‍රාණ ඇපකරුවන් ලෙස යොදා ගත්හ. ආණ්ඩුව එල්ටීටීඊ කාඩර්වරු පිරිස් අවසන් කර දැමූ අතර ඉන් සමහර දෙනෙකු බාර වූ අය වූහ. එමෙන් ම රෝහල් ද ඇතුළුව එල්ල කළ බෝම්බ ප්‍රහාර මගින් දස දහස් ගනනාවක් සාමාන්‍ය දෙමළ ජනයා මරා දැමූහ. ආණ්ඩුවට වේවා එල්ටීටිඊයට වේවා යුද්ධ අපරාධ එල්ල වී ඇත්තේ දමිළයන් ඝාතනය කිරීම සම්බන්ධයෙනි.
එසේ නම් උක්ත කතුවැකියෙන් කියවෙන පරිදි පරීක්ෂණයක් නිසා සිංහලයින්ගේ පෑරෙනු ඇති තුවාල මොනවාද? දමිළයින් ඝාතනය කිරීමෙන් සිංහලයිනට වූ තුවාල මොනවා ද?
දහස් ගණනාවක් දමිළයින් රජයේ හමුදා විසින් ඝාතනය කළ බවට චෝදනා එල්ල වී තිබේ. වැනල් ෆෝ වාර්තා විත්‍රපටය මියගොස් ඇත්තා වූත් මිය ගියා සේ පෙනේනාවූත් නමුත් එතෙකුදුත් කෙදිරිගානා නිරුවත් දෙමළ තරුණියන් අපචාරයට පත්කරනු පෙන්වයි. එය පුද්ගලයින් ඝාතනය කරන අන්දම පෙන්වයි. මේ සැබෑ නම් ඒ විසින් ඇති කරනු ඇති තුවාල ගැන සිතන්න. මියගියවුන්ගේ ඥාතීන්ටත් මරණයෙන් යාන්තමට බේරී ආ පුද්ගලයින්ටත් තමන්ගේම ආණ්ඩුව පරීක්ෂණයක් අවශ්‍ය නැතැයි කියන විට ඇතිවන තුවාල ගැන සිතන්න. එපමණක් ද? මේ අතරවාරයේ සම්බුද්ධ ජයන්ති උත්සවයන්ට අප සම්බන්ධ විය යුතු යැයි කියන විට මේ කියන්නේ කුමක් ගැන ද කියාවත් මා නම් දන්නේ නැත. එකමුතු ශ්‍රී ලංකාවේ දමිළයිනට කිසිදු තැනක් ඇතැයි පෙනෙන්නට නැත.
නිකමට බලන්න අද යාපනයේ සිදු වන්නේ කුමක්ද කියා? එහි ඇත්තේ යුද්ධ පාලනයකි. පෞරාණික පොත පත ආරක්ෂා කිරීම සඳහා වූ ශ්‍රාස්ත්‍රඥ රුස්වීමක් යුදහමුදාව පැමිණ කඩකප්පල් කළ අවස්ථාවෙහි මම එහි සිටියෙමි. ඒ අපේ කණ්ඩායම දැන් යළි රුස්වීමට බියෙන් සිටී.
පොදු පෙරමුණු/ඊපීඩීපී අපේක්ෂකයිනට එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා නිදහසේ පොස්ටර් බෙදා හැරිය හැකි නමුත් දෙමළ සංධානයේ රුස්වීමකට පහර දී හමුදාව එය විසුරුවා හැරියේ ය. යාපන අඥාපති හතුරුසිංහ කියන්නේ සොල්දාදුවන් එහි නොසිටි අතර එවැනි සිදුවීමක් ගැන තමන් නොදන්නා බව යි. මගේ ඥාති සහෝදරයකු වන අම්බි ද අපේක්ෂකයකු නිසා එහි සිටියේ ය. ඔහු පහර නොදෙන සේ සිංහලයෙන් අයැදීමෙන් ගුටි කෑමෙන් බේරුනි. නමුත් ඔහු ඉදිරිපිට අනෙකුකට පහර දී ඔහුගේ කණ්ණාඩි කූට්ටම හමුදා සපත්තුවට පාගා කුඩුපට්ටම් කරන ලදී.
අප යකඩ සපත්තුවට පාගාගෙන මොන ජාතිය ගොඩ නැගීමක් ද? සොල්දාදුවන්ගේ ආරක්ෂාවට පූජා පවත්වැන්නැයි පූජකයිනට ඕනෑම වේලාවක නියෝග දෙන අතර මහා ජනයා පිටතට වී සිටිය යුතුය. පාසැල් ක්‍රිකට් ක්‍රිඩා තරඟවලදී හමුදාවට ඉදිරි පෙළ දී අප පසුපස සිටිය යුතුය. රාජකීය සහ සාන්ත තෝමස් තරඟවලදී හමුදාවට ඉදිරිපෙළ දී අන් අය පසු පස ගන්නේ ද?
මේ සිදුවන්නේ ඒකාබද්ධවීමක් නොවේ. යළි කැඩී බිදී විසිර යාමකි. හමුදාවට මා දෙන අවවාදය නම් වැඩි වැඩ නොකර නීතිය සහ සාමය රැකීමට පමණක් මැදිහත් වන ලෙස යි. සිවිල් කටුයතුවලට මැදිහත්වීමෙන් ඇති වන්නේ අසංතුෂ්ටියකි.
ආණ්ඩුවට මා දෙන අවවාදය මෙය යි: ඔබ අප මත පටවන දාමරිකයින් හරහා නොව පළාත් පාලන මැතිවරණය පවත්වා අප තොරා ගන්නා අය හරහා අප සමඟ ගනු දෙනු කරන්න. ප්‍රජාත්නත්‍රවාදය යනු එය යි.
අද අපට පෙනෙන්නේ එකමුතු ශ්‍රී ලංකාව ගොඩ නැගෙන්නේ ශ්‍රී ලංකාවේ දමිළයින් සහ ඔව්නගේ හැගීම් නොසළකා හැර බව ය. මේ ගොඩ නැගෙන්නේ විවිධ ජාතීන් මිත්‍රත්වයෙන් ජීවත්වන බහුවිධ ශ්‍රී ලංකාවක් නොවේ. එළෙස බලහත්කාරයෙන් පටවනු ලබන ඒකත්වයෙහි ඇත්තේ තනිකරම සිංහල බෞද්ධ පෙනුමකි.
සුනන්ද දේශප්‍රිය