”සූටික්කා මහ ඉස්පිරිතාලෙට ගියේ දරා ගන්නට බැරි වූ බඩේ අමාරුව හින්දාය. ඕ.පී.ඩී එකේ පැය ගාණක් බලා හිටපු සූටික්කාව කලන්තෙ දාන්න ඔන්න මෙන්න තිබෙද්දී කාමරයකට ඔබා ගත්තේය.
‛ඊයේ රාත්‍රියේ කෑවේ මොනවාද?’ඊයේ දවාලේ කෑවේ මොනවාද ?’ යනුවෙන් ගිය සතිය දක්වාම කෑවේ මොනවා දැයි සූටික්කාගෙන් දැනගත් දොස්තරට සූටික්කාගේ බඩේ අමාරුවට හේතුව සොයාගන්නට නොහැකි විය. අන්තිමේ දී ඇටෙන්ඩන් කෙනෙකු කැඳවූ දොස්තර,
‛මෙයාව අළුත් කාමරයට එක්කගෙන යන්න’ යැයි කීවේය.
ඇටෙන්ඩන් සූටික්කාගේ අතින් ඇදගෙන කාමරයකට ගියේය. ‛නාථාගාරය’ ලෙස එම කාමරයේ ඉදිරිපස ලියා තිබුණි. තමා ඇතුල් වූයේ රෝහලක කාමරයක් තුළට නොව දේවාලයකට බැව් සූටික්කාට වැටහුනේය. එක් වරම දේවාලයේ කපුවා යැයි සිතිය හැකි පුද්ගලයා පරල වී සූටික්කාට දොහොත් මුදුන් තබා වැඳ ගන්නා ලෙස අණ කළේය. ඉන්පසු සූටික්කාට නොතේරෙන බසකින් වහලය දෙස බලාගෙන කපුවා කා එක්ක හෝ කතා කළේය. කතා කරන අතර තුර කොළ කැබැල්ලක මොනවාදෝ ලියා ගත්තේය. පසුව එය ඇටෙන්ඩන්ට දුන් පසු ඇටෙන්ඩන් සූටික්කාවත් ඇදගෙන දේවාලයෙන් එලියට ආවේය.
‛මේ බේත් ටික පාමසියෙන් ගන්නවා’ යැයි කපුවා දුන් කොළය සූටික්කාට දික් කරන ගමන් ඇටෙන්ඩන් පැවසීය.”
දූපතක සිර වූ චින්තනය
ශ්‍රී ලංකාව දූපතක් වීමේ විපාකය ලාංකිකයන් වශයෙන් අද අප අත්විඳිමින් සිටියි. මේ දූපත් හුදකලා භාවය අපේ රටට වඩා උතුම් රටක් ලෝකේ කොහේවත් නොමැති බව ලාංකිකයාට දැනෙන්ට ඉඩහැර ඇත. එබැවින් ලෝකයේ සෙසු රටවල් මීට බොහෝ කාලයකට පෙර අත්හැරි පාරභෞතික වතාවත් අපේ සංස්කෘතිය යැයි කියා ගනිමින් පුදපූජා පවත්වමින් අපි ආරක්ෂා කරමින් සිටින්නෙමු. නමුත් ඇත්ත තත්ත්වය නම් නිරන්තර ආර්ථික අර්බුදයන්ගෙන් බැට කන ලාංකිකයාව පාලනය කිරීම සඳහා පවතින දේශපාලන ක්‍රමය විසින් මෙම පාරභෞතික වතාවත් භාවිතා කිරීමයි. මේ සඳහා පවතින දේශපාලන ක්‍රමයට සහය වන පාතාල සංවිධාන රාශියක් යුධ කාලයේ සහ පශ්චාත් යුධ කාලයේ දක්නට ලැබිණ. ‛ජාතික චින්තනය’ ගුරු කොටගත් නලීන් ද සිල්වාගේ පාර්ශවය මෙහි මූලිකත්වය දරයි. ඔවුන්ගේ ප්‍රධාන කාර්යය වන්නේ බටහිර විවේචනය කරමින් වර්ගභේදය උලුප්පන අදහස් පද්ධතියක් පීඩිත ජනතාව අතර පැතිරවීමයි. පසු ගිය යුධ සමයේ ආණ්ඩුව දෙමළ ජනතාවට එරෙහිව ගෙන ගිය මර්ධනයන් සාධාරණීයකරණය කරනු ලැබුවේ ද මෙම පාර්ශවය විසිනි. මෙම චින්තනයට විකල්ප වූ මතවාදයක් මහජනතාව තුළට ගමන් නොකිරීම ද මොවුන්ට මහත් අස්වැසිල්ලක් විය. කොල්වින් ආර් සිල්වා වැන්නන් 1972 ව්‍යවස්ථාව තුළ බුද්ධාගමට ප්‍රමුඛත්වය දීම සහ යුධ සමය තුළ ජ.වි.පෙ ක්‍රියා කලාපයන් පැහැදිලි කරන්නේ ලංකාව තුළ මාක්ස්වාදය යම්තරමින් හෝ ක්‍රියාත්මක කළ පාර්ශවයන්ටද මෙම ‛ජාතික චින්තනයට’ වෙනස් මතවාදයක් ගොඩනැගීමට නොහැකි වූ බවයි. ලංකාවේ ක්‍රියාත්මක වන ලිබරල්වාදී මතවාදයට ‛ජතික චින්තනය’ හුදෙක් වෙළඳ වාසියක් පමණකි.
ජාතිවාදී ආණ්ඩුවට අවශ්‍ය චින්තන හුලං ගැසීම කළ නලීන්ද සිල්වා ඇතුළු චින්තකයින් මෑතකදී කරලියට පැමිණෙන්නේ අළුත්ම වැඩකට අතගසමිනි. හඳුනාගැනීමේ පහසුවට එය අප ‛ආසනික්‛ අර්බුදය ලෙස හඳුන්වමු. උතුරු මැද පළාතේ ජනතාවට බොහෝ කාලයක් තිස්සේ පැවති වකුගඩු රෝගයට හේතුව ජලයේ ‛ආසනික්’ පැවතීම බවත් ආසනික් පළිබෝධනාශක මගින් ජලයට එකතු වී ඇති බවත් මොවුන්ගේ නවතම සොයාගැනීමයි. මෙම නිගමනයේ විද්‍යාත්මක සත්‍ය අසත්‍ය භාවය වෙනම කරුණකි. මොවුන්ට අනුව පර්යේෂණය සාම්ප්‍රදායික විද්‍යාත්මක පර්යේෂණ ක්‍රමයෙන් බැහැර වූ එකකි. එනම් පර්යේෂණයට ‛නාථ දෙවියන්’ ගේ උපකාරය ලබා ගැනීමයි. උතුරු මැද පළාතේ ජලයේ ‛ආසනික්’ අඩංගු බව පර්යේෂකයන්ට සංනිවේදනය කරන්නේ ‛නාථ දෙවියන්’ විසිනි. ( පර්යේෂකයෝ හින්දු දෙවියන්ව වැඩේට සම්බන්ධ කර ගැනීම සූක්ෂමව මගහැර ඇත)
දෙවියන්ව විද්‍යාත්මක පර්යේෂණයකට භාවිතා කිරීම විහිළුවකි. නමුත් මොවුන්ට අනුව සැබෑ විද්‍යාත්මක සොයාගැනීම් මුලදී පංචේන්ද්‍රියන්ට හසුනොවේ(ලෝකයෙන් වියුක්තය). මොවුන් උදාහරණයට ගන්නේ අයිසෙක් නිව්ටන් ගුරුත්වාකර්ශනය සොයා ගත් ආකාරයයි. නිව්ටන් ගුරුත්වාකර්ශනය සොයාගැනීමට පෙර ගුරුත්වාකර්ශනය යන්න මිනිසාට දැනුනේ නැත. නැතිනම් මිනිසාගේ පංචේන්ද්‍රයට හසු නොවීය. ඒ ආකාරයටම මොවුන්ගේ ‛නාථ දෙවියන්’ ද පංචේන්ද්‍රයන්ට හසුනොවුවද සත්‍ය ලෙසම පවතී යන්න මොවුන්ගේ මතයයි. මොවුන්ට අනුව සත්‍යය යනු අපි භෞතිකව අහන දකින දැනෙන දේ පමණක් නොවේය.
පෙනෙන ආකාරයට නම් මෙම පිරිස අදහස් එකනෙක පටලවාගෙන ඇත. උදාහරණයක් ලෙස මීට අවුරුදු 500 ට ප්‍රථම ජංගම දුරකථනය යනු මිනිසුන්ට සිහිනයකි. (පංචේන්ද්‍රයට හසුනොවූ සැබෑ ලෝකයෙන් වියුක්ත අදහසකි.) එක් අයෙකු අත ඇති උපකරණයකින් වෙනත් ප්‍රදේශයක සිටින අයෙකුව කිසිදු භෞතික සම්බන්ධතාවයකින් තොරව ඇමතීම ඇත්තටම අද ‛නාථ දෙවියන්’ වාගේම විහිළුවකි. නමුත් අද ජංගම දුරකථනය මිනිසාට සත්‍යයකි. මන්ද මිනිසාට එය තම ඉන්ද්‍රියන්ට දැනේ. ජංගම දුරකථනය එදා විහිළුවක් වූ නමුත් අද තාර්කිකය. එහි යාන්ත්‍රික ක්‍රියාකාරීත්වය නිශ්චිතය. එමෙන්ම මිනිසාගේ පාලනයට යටත්ය. රුපියල් 3000ක් පමණ තිබේ නම් ඕනෑම අයෙකුට භාවිතා කළ හැකිය. නමුත් මිනිසුන් දෙවියන් අදහන්නට පටන් ගන්නේ ජංගම දුරකථනය සොයා ගැනීමට සිහිනෙන්වත් නොසිතූ අවදියක සිටය. එසේ වුවද කට කතා හැරුණ කොට තවමත් දෙවියන්ගේ පැවැත්ම තහවුරු කරන එකදු සාධකයක් වෙත් ද? තවමත් දෙවියන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ නිශ්චිත අදහසකට කවුරුන් හෝ පැමිණ තිබේද? මෙලෙස ක්‍රියාකාරීක්වය ගුප්ත වූ දෙයක් මිනිසා පාලනය කරන්නේ කෙසේද? අවසානයේ සිදුවන්නේ මිනිසා දෙවියා නැමැති සංකල්පයේ සේවකයෙක් වීම පමණකි. එවිට නලීන් ද සිල්වා මිනිසා වෙනුවෙන් දෙවියන්ව පර්යේෂණයට භාවිතා කරනවාද? නැතිනම් දෙවියන්ගේ පර්යේෂණයකට මිනිසාව භාවිතා කරනවාද? දෙවියන්ගෙන් තොරතුරු ලබාගත හැක්කේ භාවනා කරන අයට පමණක් යන්න මොවුන්ගේ තවත් ප්‍රවාදයකි. මෙය නලීන් ද සිල්වාටවත් බැරි බව ඔහු ප්‍රකාශ කරයි. භාවනා කිරීමෙන් දෙවියන් සමග සාකච්ඡා කරනවා යන්න, ඇඳුම වර්ණනා කරමින් රජුව නිර්වස්ත්‍රව තබන ඇමතිලා ගැන සඳහන් සුරංගනා කතාවට සමානය. සමහර විට සමහරු තමන් භාවනා කර දෙවියන් සමග කතාකරනවා යනුවෙන් අපව නිර්වස්ත්‍රව තබනු ඇත. අද වුවද බොහෝ දේවාල ආශ්‍රිතව සිදුවන්නේ මෙම තත්ත්වය නොවේද? මෙම පර්යේෂකයෝ සූදානම් වන්නේ මිනිසාව දෙවියන් ඉදිරියේ වහලෙක් කිරීමටයි. එය ග්‍රීක යුගයේ කැලයෙන් එලියට පැමිණි මිනිසාව නැවත කැලයට රැගෙන යාමකි.
මොවුන් විසින් දෙවියන්ගෙන් තොරතුරු දැනගැනීමේ මතවාදය සමාජගත කරන්නේ යම් කාලයක සිටය. මීට මාස කිහිපයකට පෙර විදුසර පුවත්පත් කලාප කිහිපයක් කියවීමේදී මේ බව තහවුරු වේ. මෙම අදහස් මගින් ඔවුන් මේ මොහොතේද පාරිභෝජනය කරන පෙනඩෝල් පෙත්තේ සිට ගුවන් යානය දක්වා සියළුම සොයාගැනීම් වලට නිගාකරයි. ඔවුන් මෙතෙක් කල් ලබා ගත් විද්‍යාත්මක දැනුමේ රෙදි අවිද්‍යාව ඉදිරිපට ගලවා දමයි. බරපතලම ගැටළුව වන්නේ ‛නාථ දෙවියන්ට’ මුවා වී මොවුන් ගෙන එන සිංහල, බෞද්ධ මතවාදයයි. මෙම මතවාදය තුළින් නැවතත් ඔසවා තබන්නේ වාර්ගිකත්වයයි. මේ තුළින් ඔවුන් පවසන්නේ ‛නාථ දෙවියන්’ සමග ගනුදෙනු කළ හැක්කේ සිංහල, බෞද්ධයන්ට පමණක් බවද? එසේ නම් මෙම සොයා ගැනීම මිනිසාගේ ජයග්‍රහණයක් නොව අන්ත පරාජයකි. මොවුන් මෙම පර්යේෂණය තුළින්ද කරනු ලබන්නේ පවතින අධිපති වාර්ගික දේශපාලන මතවාදයට උඩගෙඩි දීමකි. පිලිකුල් සහගත තත්ත්වය වනුයේ මේ සඳහා අසරණ වකුගඩු රෝගීන්ගේ ජීවිත දඩ මීමා කර ගැනීමයි.
‛නාථ දෙවියන්’ විසින් හෙලිදරව් කළ කාරණා දෙකක්
‛නාථ දෙවියන්’ විසින් ජලයේ ආසනික් තිබෙන බව පැවසුවාද නැද්ද යන්න කෙසේ වුවද ‛නාථ දෙවියන්ගේ‛ මේ වැඩේ නිසා උතුරු මැද පළාතේ වකුගඩු රෝගය සම්බන්ධයෙන් අනාවරණය වූ කාරණා දෙකකි.
“මම පර්යේෂණ කරන්නේ මගේ පෞද්ගලික මුදලින්, මම කිහිපවතාවක්ම මගේ පර්යේෂණ පිළිබඳව අදාල බළධාරීන් දැනුවත් කලා. නමුත් ඔවුන්ගේ කිසිම අවධානයක් මේ ගැන නැති බව මට තේරුණා. නමුත් මම මගේ පර්යේෂණ දිගටම කරගෙන යනවා.”
උතුරු මැද පළාත ආශ්‍රිතව වැළඳෙන වකුගඩු රෝගය පිළිබඳව පර්යේෂණ කරනු ලබන පර්යේෂකයෙක්ගේ මෙම අදහස් විද්‍යාත්මක පර්යේෂණ සම්බන්ධයෙන් ආණ්ඩුවේ සහ නිළධාරීන්ගේ නිද්‍රාශීලීත්වය පිළිබඳ කරුණු හෙලි කරයි. වකුගඩු රෝගයට හේතුවූ කාරණා මොනවාද යන්න පිළිබඳව විවිධ පර්යේෂණ මේ වන විට සිදු කර ඇති අතර, එම ප්‍රදේශයන්හි ලෝහ භාජන භාවිතය( ඇල්මිනියම්), කඨින ජලයේ ස්වභාවය ආදී කාරණා හේතු වන බවට පර්යේෂකයෝ ප්‍රකාශ කර ඇතත්, එම නිගමන පවතින්නේ පර්යේෂණ මට්ටමේය. කෙසේ වුවද තවමත් රෝගය එම ප්‍රදේශයේ පැවතීමෙන් පැහැදිලි කරන්නේ අපේ රටේ ප්‍රධාන ගැටළුව අධිවේගී මාර්ග පද්ධතියක් නොමැති වීම නොවේ යන්නය. බොහෝ පර්යේෂකයෝ සහ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ පවසන ආකාරයට ලංකාවේ විශ්ව විද්‍යාල තුළ විද්‍යාත්මක පර්යේෂණ සඳහා ඇත්තේ ඉතාමත් අවම පහසුකම්ය. එසේ නම් කළ යුත්තේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට නායකත්ව පුහුණුව දීම, විදේශීය සිසුන්ට ශිෂ්‍යත්ව දීම වැනි ප්‍රදර්ශනකාරී කටයුතු සඳහා මුදල් නාස්ති කිරීම ද?
මෙතරම් කාලයක් උතුරු මැද පළාත ආශ්‍රිත වකුගඩු රෝගය ගැන වගේ වගක් නොතිබුනේ, රෝගය වැළදෙන්නේ උතුරු මැද පළාතට පමණක් වූ නිසාය. නමුත් ආසනික් ජලයේ තිබෙන බවත් එබැවින් සහල් වලද ආසනික් ඇති බවත් ආරංචි වූ පසු ලාංකිකයා තමන් කන්නේ රජරට සහල් දැයි සොයා බලන්නට පටන් ගත්තේය. යුද්ධයේ දී අනෙකා මර්ධනයට පත් වන විට ජයඝෝෂා කළ අය, මර්ධනය තමන් දෙසට පැමිණි පසු ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණය කලේය. ක්‍රිකට් ආයතනය දේශපාලනීයකරණය වන විට ජනාධිපතිවරයාට සුභ පැතූ අය, තමන්ට කෙනහිලි කම් වන විට ක්‍රිකට් වල දේශපාලන ඇඟිලි ගැසීම් ගැන කතා කරන්න්ට විය. ඒ ආකාරයටම, උතුරු මැද ප්‍රදේශයේ වකුගඩු ප්‍රශ්නය ගැන නිශ්ශබ්දව සිටි අය, සහල් වල ආසනික් තිබෙන බව ආරංචි වූ පසු වකුගඩු රෝගය ගැන සිතන්නට පටන් ගත්තේය. ලංකාවේ සමාජ දේහය සමග මිශ්‍ර වූ ‛ආසනික්’ මේ අනාවරණය කරන්නේ අපගේ අතිශය පුද්ගලවාදී දිවි පෙවෙත ගැන නොවේද? අවුරුදු 20 ක් පුරා වකුගඩු රෝගය ආශ්‍රිතව අපගේ සහෝදර පුරවැසියා මිය යන විට අපේ පාඩුවේ සිටි අප, අපගේ බත් පතේ ද ආසනික් ඇති බවට ආරංචි වූ විට දඟලන්නේ ලංකාවට උරුම දේශපාලන සංස්කෘතිය එය බව හඟවන්නටද?