පළමුව මා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඡන්ද නාමලේඛණයේ නම හිමි ඡන්ද දායකයෙක්මි. මුලදීම මෙසේ එය පැවසුවේ ලංකාවේ පවතින ක්‍රමය ප්‍රශ්ණ කිරීමේදී ඡන්දය නොමැති පුද්ගලයෙකු කියා මගේ පුරවැසිභාවට කෙනෙක් ප්‍රශ්ණ කල හැකි බැවිනි.
අප ගතකරමින් සිටින මේ මොහොත ලාංකීය ඉතිහාසයේ අඳුරුතම කාලපරිච්ඡේදයන්ගෙන් එකකි. හේතුව රටේ ආර්ථික සාමාජීය සහ දේශපාලනික පද්ධතීන් සියල්ල මේ නිශ්චිත මොහොතේදී ක්‍රියාත්මක විය යුතු සැකැස්මෙන් එපිට ක්‍රියාත්මක වන බැවිනි. ක්‍රියාත්මක විය යුතු සැකැස්මෙන් නැතිනම් නිෂ්චිත සීමාවෙන් එපිට ක්‍රියාත්මක වනවා යැයි අදහස් කලේ රටේ පාලකයන් ගන්නා තීන්දු තීරණ සාමාජීයව බහුතර ජනතාවගේ ජීවන තත්ත්වයන් ඉදිරියට ගෙන ඒම වෙනුවෙන් ක්‍රියාත්මක විය යුතු නමුත් මේ මොහොතේ ඒ සියල්ල ක්‍රියාත්මක වන්නේ එක් පුද්ගලයකුගේ සහ නිෂ්චිත පුද්ගල කණ්ඩායමක් නඩත්තු කිරීමට ඔවුන්ගේ දෘෂ්ඨිවාදය වෙනුවෙන් වැඩකිරීම සඳහා වේ. ඒ නිසාම ලංකාව තුළ හිමිවිය යුතු පුරවැසි අයිතිවාසිකම් සීග්‍රලෙසින් දියාරු වෙමින්, ක්‍ෂය වෙමින් යන කාලපරිච්ඡේදයකි.
පුරවැසි අයිතිවාසිකම් අහිමිවීමේ ඛේදවාචකයට ලාංකීය සමාජය ඇද වැටීමමේ වගකීමෙන් ලාංකීය පුරවැසියාට පාලකයන් මත වරද පටලා ඉන් අත සෝදා ගත නොහැකිය. මන්ද පුරවැසි සමාජය දියුණු නොවූ සෑම රටකම පාලකයක් ක්‍රියාත්මක වන්නේම තමන්ගේ පුද්ගලික අභිප්‍රායන් සාක්ෂාත් කරගැනීමට සඳහාම වේ. ඒ නිසාම රටක පැවැත්මේ තීරණාත්මක සාධකය වන්නේ අවදියෙන් සිටිනා පුරවැසි සමාජයකි.
අවදියෙන් සිටීම සමාජයෙන් බැහැර වන්නේම සමස්ථ ස්ව්‍යං මෝහනයක එල්ඹ ඇති මොහොතකදීය. උදාහරණයක් ලෙස ජාතික ගැටලුවට සාධාරණ දේශපාලනික විසඳුම් පසෙකලා යුද්ධයෙන් දමිළ ව්‍යාපාරය විනාශ කරන්නට පාලකයන් හට දෘෂ්ඨීමය විභවය සපයන්නේ දකුණේ සිංහල බෞද්ධ බහුතරය විසිනි. ඒ නිසාම මේ මොහොතේ දකුණේ සමස්ථය සිතන්නේ දෙමළ විමුක්ති ව්‍යාපාරය විනාශ කිරීම හාරහා පාලකයන් මෙරට සුඛිත මුදිත දේශයක් කරනු ඇති කියා වේ. අන්න එය මේ මොහොතේ පත්ව ඇති ස්වයං මෝහනයයි. නැතිනම් දකුණ ලබනා ස්වයං වින්දනයයි. නමුත් ගැටුලුව මතුවන්නේ මේ මෝහනය හෝ ඒ වින්දනය යථාර්ථයට එපිටින් පවතින්නක් වීමයි. එය දකුණ විසින් නිර්මාණය කරගත් ෆැන්ටසිමය තත්ත්වයක් මිස යථාර්ථය පේන තෙක් මානයේවත් නොමැතිය.
මේ ෆැන්ටසි තත්ත්වය නිසා ලාංකීය පුරවැසියා තමන්ගේ මේ මොහොතේ කාර්යභාරය අමතක කර ඇත. එම අමතක වීම හරහා කල්ලමරේ වන්නේ ඊනියා ජනතාවාදී යැයි කියාගන්නා පාලකයන්ටය.
පාලකයන්ගේ කල්ලමරේ හෙවත් ‛‛නිදිවැදි පුරවැසියා’’
සමස්ථයේ තත්ත්වය මෙලෙස විග්‍රහ වූවද අවදියෙන් සිටින කිසිවෙකු හෝ මේ සම්බන්ධයෙන් තමන්ගේ අවම මැදිහත් වීම හෝ කළයුතු මොහොතකි. (අවධාරණය පුරවැසියෙකුගෙන්) මේ මොහොත විග්‍රකරගැනීමට වෙනත් දාර්ශණික හෝ මනෝවිද්‍යාත්ම ප්‍රවේශයන් වැනි ගැඹුරු ප්‍රවේශන් වෙත නොගොස් ඉතා සරල උදාහරණ කීපයක් ඉදිරිපත් කරමි.
ලංකාවේ ආර්ථිකයට වැඩිම හානියක් සිදුකරමින් වටිනා මිනිස් පැය දහස් ගණනක් අපතේ යවන ප්‍රවාහන සේවයක් පවතී. එම ප්‍රවාහන ක්‍ෂේත්‍රය සඳහා සිටින ඇමතිවරුන් ගණන 2 කි. ඒ රාජ්‍ය සහ පුද්ගලික යන දෙඅංශය සඳහා වේ. එයට අදාළව අමාත්‍යංශ දෙකක් පිහිටුවා ඒවාට යාන වාහන කාර්යාල ඇතුළු දැවැන්ත පිරිවැයක් එහි නඩත්තුව සඳහා ජනතාව විසින් දරයි. නමුත් රටේ වැඩිම නාස්තියක් සිදුකරන අංශය නම් ප්‍රවාහන අංශයයි. දැන් පසුගිය දිනකදී බස්ගාස්තු සංශෝධනයක් වූ අතර රජය සහ බස්හිමින්ගේ කේවල් කිරීම මැද කුමන හෝ ප්‍රතිශතයකින් බස් ගාස්තු වැඩිවිය. ඒ නිසා දැන් මගීන් එම මුදල කැමැත්තෙන් හෝ අකමැත්නෙන් ගෙවා ඒවායේ ගමන් කල යුතුවේ. අවදියෙන් සිටින පුරවැසියා ක්‍රියාත්මක විය යුත්තේ මෙවැනි අවස්ථාවලදීය. එනම් හරි, බස්ගාස්තු වැඩි වී ඇත. එසේනම් ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ පහසුකම් ද එයට සමාන්තර ලෙස මගියාට ලැබිය යුතුය. එසේනම් නියමිත වේලාවට ගමනාන්තයන් බලා යාම, බස්රථ ඇතුළත පිරිසුඳුකම සහ පහසුකම්, හරිනම් අවදියෙන් සිටින සමාජයක් සෑම බස්ගාස්තු වැඩි වීමකදීම මගියාගෙන් පැත්තෙන් තමන්ගේ පරිභෝජන බලය භාවිත යුතුය. නමුත් ලංකාවේ සිදුවන්නේ බස් ගාස්තු වැඩිවෙයි. බස් එකතැන පැලවෙයි. එවැනි වර්ගයේ න්‍යායකි.
දැන් තව උදාහරණයක් පසුගිය දිනවලදී බාල වර්ගයේ ඉන්ධන මෙරටට ගෙන්වා ලංකාව පුරාම බෙදාහැරීමෙන් දැවැන්ත කලබගෑනියක් සිදුවිය. වාහන දැවැන්ත ප්‍රමාණයක් මෙයින් හානියනට පත්විය. ඊට අමතර එම ඉන්ධන මිලට ගැනීමට ජනතාවගේ බදු වලින් ගෙවූ කොටි ගණක් වන මුදල්. ඒවා බෙදාහැරීමට ගිය මුදල්. නැවත එක්කාසු කිරීමට ගිය මුදල්. ඇත්තෙන්ම මෙය පැහැදිලි ලෙසම ජනතා මුදල් ගසාකෑමකි. නමුත් එක්තරා සති අන්ත දේශපාලන කොළමක සඳහන් වූ අයුරින් මේ දැවැන්ත ජනතා මුදල් නාස්තිය ඇමතිවරුන්ට හිනාවෙන්ට ජෝක් එකකි. එක් ඇමති වරයෙක් ඉන්ධන සම්බන්ධ විහිළුවක් කරයි. ඉන්ධන ජයන්ත එවිට දත් විරිත්තා සිනාසෙයි. විශ්‍රාම යන්න ඔන්න මෙන්න සිටිනා ලේකම්වරයෙක් ඉල්ලා අස්වීට ලිපි බාරදීමෙන් පසු ඇමති මෙන්ම ජනතාවද සිතන්නේ දැන් වැඩේ හරි කියාය. නමුත් විනාශ වූ කෝටි ගණනක් වූ මුදල් වෙනුවෙන් වගකීම ගන්නේ කවුද? මේවා වෙනුවෙන් ජනතාව විසින් පාලකයන් වෙත දිගින් දිගටම පීඩනය යොමුකළ යුතු වීම අවශ්‍යතාවය නමුත් සිදුවන්නේ එහි විරුද්ධ ක්‍රියාවලියයි.
තවත් එකක් හෙජින් ගණුදෙනුව සම්බන්ධයෙන් ලන්ඩන් වානිජ අධිකරණය ලබාදුන් තීන්දුවට අනුව ලංකා රජය විසින් කෝටි 200ක් අදාළ බැංකුව වෙත ගෙවීමට සිදුව ඇත. තවත් පාර්ශව කිහිපයකට දඩ මුදල් ගෙවීමේ අවදානමක් ඇත. දැන් රජය මෙම ගෙවීම් සිදුකිරීමට යන්නේ කාගේ මුදලින්ද? ජනතාවගේ ප්ලේන්ටිත් බී ගෙවන බදු මුදලින්ද? මෙහි වැරදි ආදාළ පාර්ශවයන් වෙනුවෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? කෝටි ගණනක් රටට අහිමි කළ පුද්ගලයෙක් රාජ්‍ය මුදල් අපයෝජනය කිරීමේ වරදට හසුනොවී ඇමති තනතුරක් දැරීමට ඇති සදාචාරත්මක සහ නීතිමය අයිතිය කුමක්ද? මෑත දිනකදී මුදල් අමාත්‍යංශ ලේකම් පී.බී ජයසුන්දර ප්‍රකාශකර සිටියේ හේජින් වන්දි ගෙවීමට රටේ අර්ථිකයට අපහසුවක් නොමැති බවයි. එක් පුද්ගලයකුගේ ඔලමොට්ටල තීරණයන් වෙනුවෙන් රටට ජනතාවකගේ බදුමුදල් ගෙවිය යුතුද? සමහර විට හොරුන්ට හොරු නොපෙනෙන නිසා පීබී ට එය ගාණක් නොවන්න පුළුවන. නමුත් මෙවාද ජනතාධිකරණයේ දී වඩාත් ගැඹුරුව ප්‍රශ්ණ කල යුතුමය. පාලකයන් හට තමන්ගේ අප්‍රසාදය පලකළ යුතුවේ. නමුත් ????
මේ මොහොත වන විට ලංකාවේ රජයේ රෝහල් වල පවතින බයිපාස් සැත්කම් සිදුකර ශල්‍යාගාර පහෙන් ක්‍රියාත්මක වන්නේ එකක් පමනි. ඒ කරාපිටිය ඒකකය පමනි. මේ තත්ත්වය නිසා මියයන අසාධ්‍ය රෝගීන් පිරිස. ඔවුන්ගේ ජීවිත. මේවාගේ වගකීම???
මෙවැනි අකටයුතු කම් වලට අමතරව නිශාන්ත මුතහෙටිටිගම වැනි මානසික රෝගීන්. මර්වින් සිල්වා වැනි මැරයින් දුමින්ද සිල්වා වැනි මත් කුඩු වෙළෙන්දන් සම්බන්ධයෙන් නීතිය නිසි අයුරින් ක්‍රිියාත්මක කිරවීමට අවශ්‍ය මෙරට පුරවැසි මැදිහත් වීම අතිශය ප්‍රශ්ණකාරීය.
මේ මොහොත් ලංකා සමාජය විග්‍රහ කිරීමට දිය හැකි සරල පිළිතුරනම්, ලංකා සමාජ පවතින්නේ නරුම තත්ත්වයක් මතය. එය තවත් සරලව විග්‍රහ කරන්නේනම මහින්ද රාජපක්‍ෂ සහ සියලු අයගේ ක්‍රියාකලාපයන් සම්බන්ධව මෙරට පුරවැසියා හොදින් දනී. සිදුවන වංචා දූෂණ සියල්ල ඔහු මනා කොට දකී. සියල්ල දැක “… ඔව් මහින්ද වැරදියි තමයි… ඒත් ඉතිං… ”කියා නුදුටු සේ හිඳී. මෙය නම් අන් කිසිවක් නොව නරුමවාදය යි.
එපමණකින් නැවතී නොසිටී. කවරෙක් හෝ එයට එරෙහිව හඬක් ගන්නේනම්, එය යටපත් කිරීමේ පාලකයාගේ ව්‍යාපෘතීන් ක්‍රියාවට නැගුනේ ඊනියා පුරවැසියන්ගේම දායකත්වයෙනි. මේ නිසා ලංකා සමාජය ඇත්තෙන්ම නරුමවාදයේ ගැඹුරමැ තලයක පිහිටන සමාජයකි.
දේශප්‍රේමය දේශනා කිරීමේ ප්‍රධාන අරමුණ ඊනියා පුරවැසියාට දේශප්‍රේමය නැමති මඩගොහොරුවේ ඔලුව ගසාගෙන ඉන්නට සෑදූ මතවාදයකි. දැන් මෙහි ක්‍රියාත්මක සියලු රාජ්‍ය මර්ධනයන් ක්‍රියාත්මක වූයේ එහි මූල බීජයන් ඔස්සේය. මුලින් උතුරේ ද ඉන්පසු දකුණේ ද තමන්ගේ නොවන මතවාදයට තුවක්කුව මානන රජයක් බිහිවීමේ වගකීමේ මෙරටට පුරවැසියා කිසිදා මිදිය නොහැකිය. ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් සටන් පාඨයක් පමණක් නොව එය අපගේ ජීවත් වීම සඳහා වන අරගලය බවට පත්වූ යුගයක සමාජය වෙනුවෙන් තමන්ගෙන් වියයුතු අවම මැදිහත් වීමවත් නොකරන යුගයක් තුළ මෙවැනි ඊනියා ජනතාවාදී යැයි කටවුට් ගසනා ආණ්ඩු බිහිවීම අරමුණක් නොවේ.
ඒ නිසාම මේ පවතින තත්ත්වයෙන් ශ්‍රී ලංකාවට එගොඩ වීමට අවශ්‍යයනම් ඒ සඳහා පුරවැසියා ඒකරාශී වීම, ඒකාත්මික වීම යන ඒ බන්ධනය ඉතාම වැදගත්ය. ලිපියේ අවසානය ජයතිලක බණ්ඩාරයන්ගේ ගී යකින් උපුටාගනිමි.
“දුෂ්ඨ පාලකයින් පාලවා දමන්නට. පලවා හරින්නට ශ්‍රද්ධ වූ අයිතියක් අපට තියෙනවා”
ඊට ප්‍රථමයෙන් මෙරට පුරවැසියා ස්වයං මෝහනයෙන් අත්මිදී අමන නිද්‍රාවෙන් අවදි විය යුතුමයි.
ක්‍රිශාන් රාජපක්‍ෂ