Batticaloa, end of the War, Featured Articles, Features, Jaffna, Kilinochchi, Trincomalee

උතුරේ සිදුවන්නේ කුමක්ද? දෙමළ දේශපාලනඥයින්ගේ හඬ


Photo by – www.sangam.org

පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්

පවුල් පාලනය තහවුරු කරන හමුදා පාලනයක් – යාපනය දිසා පා.ම. සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්

පසුගිය දශක තුනක කාලයක් පුරාම උතුරු නැගෙනහිර පවතින්නේ හමුදා පාලනයකි. යුද්ධය අවසන් වී වසර 2ක් නිමාවී ඇතත් එම තත්ත්වය වෙනස් ව නැත. කොටි සංවිධානය අවසන් කර ඇති බවට උදම් අනන නමුත් උතුරු පළාතේ සියළුම කටයුතු පාහේ සිදුවන්නේ හමුදා නියෝග අනුවය. එමෙන්ම බොහෝ විට හමුදා සහභාගිත්වයෙනි. උතුරු පලාතෙහි දේශපාලන පක්ෂයක හෝ හෝ ග්‍රාමීය පුස්තකාලයක හෝ සමාජ සංගමයක හෝ පාසැළක හෝ කවර හෝ රුස්වීමක්, උත්සවයක් වැනි ඕනෑම අවස්ථාවකට හමුදා සහභාගිවීම අනිවාර්‍යයෙන් සිදුවෙයි. එවැනි අවස්ථාවන් හමුදාවට දැනුම් දිය යුතු බවට විධානයන් තිබේ.

එපමණක් නොවේ. උතුරේ වන්නි ප්‍රදේශය ගතහොත් තවත් බොහෝ කරුණු කීමට තිබේ. උදාහරණයක් නම් ඉන්දියාව විසින් ඉදිකරදෙන නිවාස 50,000 හෝ වෙනත් සංවිධානවලින් ඉදිකරදීමට නියමිත නිවාස සඳහා හෝ පවුල් තෝරා ගැනීමේදී පවා අවසානයේ එම ලැයිස්තුව හමුදාවට ලබාදී හමුදාව එය අනුමත කළ යුතු වීමයි.

සමස්තයක් වශයෙන් බලන විට උතුර පසුගිය වසර 30 පුරා පැවැති හමුදා පාලනය යුද්ධාවසානයෙන් පසු තහවුරු කර ආයතන ගත කර ඇත. යාපනයේ පැවැත්වෙන මහජනයා ඒකරාශිවන කුමණ අවස්ථාවකට වුවත් ඒවාට හමුදා බුද්ධි අංශ සහභාගිවන බව පෙනෙනන්ට තිබේ. පොතක් එළිදැක්වීමේ උත්සවයක් නම් එම පොත ලියා තිබෙන්නේ කවුරුන්ද එය කුමන ආකාරයක පොතක් ද යන විවිධාකාර ප්‍රශ්ණවලට හමුදා බුද්ධි අංශයට පිළිතුරු දියයතු තත්ත්වයක් දක්නට ලැබේ. මේ සියල්ලම සිදුවන්නේ ආරක්ෂ අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති අනුවය.

මගේ මතය නම් පශ්චාත් යුද්ධ රාජ්‍යය රාජපක්‍ෂ පවුලේ පාලනය යටතේ පවත්වා ගැනීම පිණිස සියලු දේ් හමුදා පාලනයට යටත් කළ යුතුයැයි යන අදහස මත මෙම මිලිටරිකරණය කරගෙන යන බවයි.

අන්තිම තීරණය ආරක්ෂක අමාත්‍යාංශයෙන් – මඩකළපුව දිසා පාර්ලිමේන්තු මංත්‍රී පී. අරියනේන්ද්‍රන්

දෙ.ජා.ස. දැන් රජය සමඟ සාකච්ඡා සැසිවාර හතක් පවත්වා තිබේ. එම සාකච්ඡා හතේදීම අත් අඩංඟුවේ සිටින සැකකාර කොටි සාමාජිකයන්ගේ නම් ලබා දෙන ලෙසත් ඔවුන්ව බැලීමට අවස්ථාවක් ලබාදිය යුතු බවත් දෙ.ජා.ස. ඉල්ලා සිටි අවස්ථාවේ රජය එය පිළිගත්තේය. නමුත් කිසි විටක අපට එම තොරතුරු ලැබුණේ නැත. ඊට හේතුව ආරක්‍ෂක අමාත්‍යංශයෙන් ඒ සඳහා අනුමැතිය නොලැබීම බව පසුව අපට දැන ගන්නට ලැබුණි. මෙහිදී එක් කරුණක් හොදින් පැහැදිලිය. එනම් දේශපාලන විසදුම් සඳහාවූ සාකච්ඡාවන්හි දී ආරක්‍ෂක අමාත්‍යංශයේ මැදිහත්වීම අවසාන තීරණය බවයි.

හමුදා පාලනය අක්‍රමිකතා වර්ධනය කරනවා – වන්නි දිසා පා. ම. සෙල්වම් අඩෙයිකලනාදන්

අප හැම දන්නා පරිදි වන්නියේ පවතිනනේ හමුදා පාලනයකි. මෙම තත්ත්වය නිසා ඇතිවන හානි මොනවාද? එකක් නම් අප ජනතාව තමන්ට සිදුවන අක්‍රමිකතා ගැන කථා කිරීමට බියපත්ව සිටීමයි. එවිට එම අක්‍රමිකතා වර්ධනය වනවා හැර අවසාන විමක් සිදු වන්නේ නැත. එමගින් මෙම රජය අපගේ ජනතාව මත පටවමින් සිටින ආධිපත්‍යය තහවුරු වී වර්ධනය වෙයි.

නිවසක් ඉදි කර දුන්නාට හමුදාව හෝ අන් කවරකු හෝ පසුපස යා යුතු යැයි අප ජනතාව සිතන්නේ නැත. මන්ද වසර 30ක් තිස්සේ අප ලැබූ අත්දැකීම් අප හදවතේ කිසිසේත් අමතකවන්නේ නැති නිසා ය. මෙම රජය තැනින් තැන මහා මාර්ග සාදනවා හැර අපගේ ජනයා නැවැත පදිංචි වූ ප්‍රදේශවල කිසිම සංවර්ධනයක් කර නොමැත. නමුත් තම දෙපසින් නැගිට නිදහසේ කටයුතු කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇත්තේ අපට සිවිල් පරිපාලනයක් ඇතොත් පමණකි.

තවත් කරුණක් ගැන බලමු. අද වන්නියේ සෑම මහා මාර්ගයකම පාහේ ව්‍යාපාරික ස්ථාන වැනි බොහෝ දේ හමුදාව පවත්වාගෙන යයි. මෙය සංවර්ධන ක්‍රියාවක් ද? නැතිනම් වෙනත් සේවාවක් ද? එමගින් ජනතාවට අඩු මිලට ආහාර ලබාදෙනවා ද ? නැත. ඔවුන් තම ආදායම වර්ධනය කර ගන්නවා පමණකි. සිවිල් පරිපාලනයක් පවතින්නේ නම් සිවිල් ව්‍යාපාරිකයනට තම ව්‍යාපාරික කටයුතු නිදහසේ කරගැනීමට අවස්ථාවක් තිබිය යුතු ය. අද වනතුරු බොහෝ ස්ථානයන්හි ව්‍යාපාරික ස්ථානවල අයිතිය හිමිකරුවන්ට ලබා දී නැත.

අදෘශමාන සීමාකාරී පාලනයක් – ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්තන්

අද උතුරෙහි පවතින තත්ත්වය බලනවිට මගේ මතය වන්නේ එහි පවතින්නේ සීමා සහිත ප්‍රජාතාන්ත්‍රික පාලනයක් බවයි. මැතිවරණ පැවැත්වෙයි. නමුත් ඒවාට සීමා පනවා තිබේ. උදාහරණයකට උතුරු නැගෙනහිර ප්‍රදේශවල දැන් පූර්ව පළාත් පාලන මැතිවරණය කටයුතු සිදුවෙමින් තිබේ. සියල්ලන්ටම මැතිවරණයට ඉදිරිපත් විය හැක. නාම යෝජනාද භාර දී තිබේ. නමුත් අලවෙට්ටියේ දෙ.ජා.ස. රැස්වීමට සිදුවූ දේ පනවා ඇති සීමාවන්ට කදිම උදාහරණයක් සපයයි. රැස්වීමක් පැවැත්වීමට අනුමැතියක් දී නැතිනම් එය ගැන පරීක්‍ෂා කළ යුත්තේ පොලීසියයි. එය සිවිල් පාලනයකට අදාල කරුණකි. නමුත් හමුදාව එම ස්ථානයට ආයුධ රැගෙන ගොස් ක්‍රියා කිරීම ප්‍රජාතාන්ත්‍රවාදය නොවේ. මෙහිදි එක් පක්‍ෂයක් පමණක් මැතිවරණයෙන් බලය අල්ලා ගැනීමට සැරසෙන ක්‍රියාදාමයක් පෙනෙන්නට තිබේ. එය සිමාවකි.

නිවසක පැවැත්වන උත්සවයක් පවා හමුදාවට වාර්තා කළ යුතු ය. එපමණක්ම නොවේ. වන්නියේ ජීවත්වන අයෙක් එහි තිබෙන ඔහුගේ ඥාති නිවසකට ගොස් රාත්‍රියක් ගතකළේ නම් පසුවදා හමුදාව එම නිවසට පැමිණ එය විභාග කරයි. මෙමගින් මා කියන්නේ දේශපාලන තලයෙහි සීමා සහිත ප්‍රජාතන්තවාදයක් පවතින අතර ජනතාවගේ පෞද්ගලික ජීවන රටාව තුලට පවා හමුදාව ඇතුල් වී තිබෙන බවයි..

තවද රජයේ නිලධාරියකුට වුවත් වන්නියේ දී හමුදාවේ අවසරයකින් තොරව කිසිවක් කළ නොහැකිය. රාජයේ නිලධාරින් සමඟ අප පෞද්ගලික කථාකරන අවස්ථාවන්හිදී ඔවුන් එම තත්ත්වය අපට පවසා තිබේ. එබැවින් මෙහි දී අපට දක්නට ලැබෙන්නේ හමුදාමය පාලනයක් ඇතුලත් පරිපාලනයකි. මෙය හමුදාමය පාලනයක් කරායන ගමනක් බව වන්නියේ ජීවත්වන සියලු දෙනාටම හැඟෙන කරුණකි.

දැනට සාමාන්‍යයෙන් වන්නියේ සාමන්‍ය ජනයා තිදෙනෙකුට එක් හමුදා සෙබෙළෙක් සිටී. යුද්ධය අවසන්වී වසර දෙකක් නිමාවී ඇති නමුත් යාපනයේද මෙලෙස විශාල හමුදාවක් රඳවා තිබේ. තැනින් තැන හමුදා කඳවුරු ඉදිවෙමින් තිබීම දකින අපට සිතෙන්නේ හමුදාමය ප්‍රදේශයක් බවට උතුරු නැගෙනහිර ප්‍රදේශ වෙනස් වෙමින් තිබෙන බවයි.

පිටතින් බලනවිට අතුරු පළාතෙහි මැතිවරණ පවත්වා විපක්‍ෂය හෝ දෙමළ ජාතික සන්ධානයේ සාමාජිකයන්ද සහිත පාලනයක් පවත්වාගෙන යනු දක්නට පුළුවන. නමුත් ඒ මතුපිට පෙනුම ය. නමුත් අභ්‍යන්තර වශයෙන් බැලූ විට ඔවුන් සිටින්නේ හමුදාවේ පාලනයේ යටතේ ය. උතුරු නැගෙනහිර ප්‍රදේශවල යම් යම් පළත් පාලන ආයතනයන්හි දෙ.ජා.ස. සභිකයනට බහුතරය තිබේ. ඒ අනුව ජාත්‍යන්තරයටද මෙහි ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙන බව පෙන්වාදිය හැක. නමුත් ඇත්තේ අදෘශමාන සීමාකාරී පාලනයකි.

ගෝබල් ටැමිල් නිව්ස් වෙබ් අඩවියේ නඩරාජා ගුරුපරන් විසින් පවත්වන ලද සාකච්ජා මාලාවක් ඇසුරිනි.

සුනන්ද දේශප්‍රිය