සිංහල, Colombo, end of the War, Featured Articles, Features, Jaffna

Channel 4 – ‛‛කර්කශ සහ හාස්‍ය ජනක ප්‍රතික්ෂේප කිරීම්වලින් සිදු වන්නේ දෙමළ ජනයාගේ අපේක්ෂා භංගත්වය වැඩි දියුණු වීමයි’’


ශ්‍රී ලංකා ඝාතන භූමිය (Sri Lankas Killing Fields)නම් චැනල් 4 වීඩියෝවෙන් සහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පත් කළ විශේෂඥ කමිටුවේ වාර්තාවෙන් මතු කෙරුණු ප්‍රශ්නවලට ප්‍රතිචාර වශයෙන්, බොහෝ විවරණ ද ලිපි ද පළ වී ඇත. විස්තර නොකළැකි තරමේ ක්‍රූරත්වයත් අපයෝජනයත් නිරූපණය කරන භයංකර රූප රාමු, විදේශයන්හි මතු නො ව ශ්‍රී ලංකාව තුළ ම ද උභතෝකෝටික ප්‍රශ්න පැන නංවා ඇත.

බොහෝ දෙනා කළ විවිධ ප්‍රකාශ සාරාංශ කළ හොත්: ඇතැමුන්ගේ අදහස, දිවයින තුළ සමගි සන්ධාන ක්‍රියාවලියට බාධාවක් විය හැකි බැවින් චැනල් 4 මෙම වීඩියෝව නොපෙන්විය යුතුව තිබුණු බව යි. සමහරුන් පවසන්නේ, සමාන වැදගත්කමක් ලබා දී චැනල් 4 එල්ටීටීඊය කළ භයංකර අපරාධ ද ඉදිරිපත් කළ යුතුව තිබුණු බව යි. තවත් සමහරුන්, මෙම වීඩියෝවේ රූප රාමු කිහිපයක නිරවද්‍යතාව පිළිබඳව සැක පහළ කර ඇත. විවාදය සිදු වන්නේ, ක්‍රූරකම් පදනම් කර ගෙන යුද්ධයේ අවසන් අදියර පිළිබඳව කෙරෙන විශ්ලේෂණයක් වටා ය.

ශ්‍රී ලංකාවෙහි දිග් ගැසුණු යුද්ධයේ 2009 මැයි මාසයට පෙර කාල පරිච්ඡේදය ගැන බොහෝ අටුවාකරුවන් පුළුල් විශ්ලේෂණයක් කර ඇති නිසා, මා මෙහි දී කෙටියෙන් සාකච්ඡා කරන්නේ චැනල් 4 වාර්තා චිත්‍රපටයට ප්‍රතිචාර වශයෙන් මතු කර ඇති කාරණා පිළිබඳව පමණකි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව සහ එල්ටීටීඊය කළ බවට චුදිත යුද අපරාධ සම්බන්ධයෙන් පහත සඳහන් විශ්වසනීය සාක්ෂි පවතින්නේ ය යන පදනම මත, වාර්තා චිත්‍රපටය සහ විශේෂඥ කමිටු වාර්තාව මූලික කාරණා කිහිපයක් මතු කරයි:

01- ශ්‍රී ලංකාවේ ආණ්ඩුව යුද්ධයේ අවසන් අදියරවල දී, වග විභාගයකින් තොරව නොයෙක් ස්ථානවලට බෝම්බ සහ ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීම සහ මානුෂීය සහාය සැපයීම ප්‍රතික්ෂේප කිරීම ඇතුළු බරපතළ යුද අපරාධ සිදු කළේ ය; එල්ටීටීඊය, නීති විරෝධී ආකාරයෙන් සිවිල් වැසියන් මානව පලිහක් ලෙස යොදා ගත් අතර, තම පාලනයෙන් පැන යාමට උත්සාහ කළ සිවිල් වැසියන් ඝාතනය කළේ ය.

02- ශ්‍රී ලංකාවේ ආණ්ඩුව, අල්ලාගත්, අත්අඩංගුවට ගත් සහ යටත් වුණු අයට හිතාමතා වධබන්ධන පමුණුවා, ඔවුන් දූෂණය කොට, ඝාතනය කොට, ගැටුමේ අවසන් අදියරවල දී බරපතළ මානුෂීය උල්ලංඝනයන් සිදු කළේ ය, සහ

03- ශ්‍රී ලංකාවේ ආණ්ඩුව, එල්ටීටීඊ දේශපාලන අංශයේ ඇතැම් සාමාජිකයන් සාමාකාමීව යටත් වීම සඳහා අන්‍ය මූලාශ්‍ර හරහා කළ ආයාචනය පිළිගත්තේ නැත; පසුව ආණ්ඩුවේ හමුදා, ඔවුන් ද ඒ සමග ඔවුන්ගේ ආධාරකරුවන් ද නඩු විභාගයකින් තොරව නීති විරෝධී ලෙස මරණයට පත් කළේ ය.

එක්සත් ජාතීන්ගේ විශේෂඥ කමිටු වාර්තාව ප්‍රකාශ කරන්නේ, ශ්‍රී ලංකාවේ ආණ්ඩුව අව්‍යාජ ස්වාධීන පරීක්ෂණයකට සහ ඵලදායක වගවීමේ ක්‍රියාවලියකට මුල පිරිය යුතු බව යි. ආණ්ඩුව සිවිල් වැසියන්ගේ මරණ සම්බන්ධ සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ඇති නමුත්, මෙම ගැටලුව පිළිබඳව ඔවුන් තුළ තිබෙන දෙගිඩියාව එන්න එන්නම පැහැදිලිව පෙනෙන්නට තිබේ. ස්වාධීන පරීක්ෂණයක් සඳහා කෙරෙන ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් හැම දුගතියක් ම කරනු ලැබේ. පණ්ඩිතමානී විකාර කතාවල පටන් විස්මයාවහ ප්‍රකාශ දක්වා සහ ‛බටහිර අධිරාජ්‍යවාදය’ පිළිබඳ පැරණි කතන්දර දක්වා පරාසයක මෙම ප්‍රතිචාර විහිදී ඇත. යුද්ධයේ අවසන් අදියරේ දී සැබවින් ම සිදු වුණු දෙය විභාග කිරීම සඳහා කවර හෝ ස්වාධීන පරීක්ෂණයකට මුල පිරීම වැළැක්වීමට ආණ්ඩුවට පක්ෂපාතී උද්ඝෝෂකයන් සහ විදේශගත වූවන් බලගතු උද්ඝෝෂණයක් දියත් කර ඇත.

අපි ආණ්ඩුව වෙනුවෙන් සමාවට කරුණු කියන්නන් මතු කර ඇති කාරණා විමසා බලමු.

එක්සත් ජාතීන්ගේ තානාපති පාලිත කොහොන ප්‍රකාශ කරන්නේ, චැනල් 4් වාර්තා චිත්‍රපටයේ දැක්වෙන මළ සිරුරු ගණන් කළොත් සංඛ්‍යාව 100කට වැඩි නොවනු ඇති බව යි. බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා සිය ආත්ම තෘප්තිය තකා කළ නිෂ්ප්‍රභ කිරීම පදනම් වන්නේ, ‛විශ්වසනීය සාක්ෂියක්’ යැයි ඔහු පවසන, චැනල් 4ෙ වාර්තා චිත්‍රපටයේ නිරූපණය කෙරෙන ස්ත්‍රීන් තිදෙනා ම එක් අයෙකු සහ එකම තැනැත්තියක බවට ඔහු කරන ප්‍රකාශය මත ය. අනෙක් අය කියා සිටින්නේ, ශ්‍රී ලංකාවේ සොල්දාදුවන් එවැනි ම්ලේච්ඡ ආකාරයකින් හැසිරීමට ඉඩක් නැති බවත් එය බටහිර ජාතීන් සහ ඔවුන්ට දාසකම් කරන මානව අයිතිවාසිකම් ක්‍රියාකාරීන් කරන කුමන්ත්‍රණයක කොටසක් බවත් ය.

මා කියැවූ අවසන් ප්‍රතිචාරය සංග්‍රහ කර තිබෙන්නේ, මෙල්බර්න්හි වෙසෙන වෛද්‍ය නොයෙල් නඩේසන් ය. ඔහු පවසන්නේ, එල්ටීටීඊය කළ ක්‍රූරකම් පිළිබඳව විටින් විට පමණක් සඳහන් කරමින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට දෝෂාරෝපණය කිරීම සඳහා පක්ෂග්‍රාහී වීඩියෝවක් විකාශනය කිරීමට චැනල් 4ව ගත් තීරණයෙන්, කතාවේ දෙපැත්ත ම දන්නා අය තැති ගත් බව යි. මෙම විවරණය කර තිබෙන්නේ, දෙපාර්ශ්වය ම කළ යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ලෙස සැලකිය හැකි බරපතළ උල්ලංඝනයන් පිළිබඳව විශ්වසනීය චෝදනා පවතින්නේ යැයි විශේෂඥ කමිටුව එළඹි නිගමනය නොසලකා හරිමිනි. චැනල් 4ව ඉල්ලා සිටි පසුවත්, ආණ්ඩුව වීඩියෝවේ අන්තර්ගතය අභියෝගයට ලක් කරමින් අදහස් දැක්වීම හෝ විශ්වසනීය සාක්ෂි ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කළ බව, ඇතැම් විට නොයෙල් හැරුණු විට හැම දෙනා ම දනිති. ආණ්ඩුව කියන පරිදි, මෙය ජාත්‍යන්තර මාධ්‍යයේ කුඩා කොටසක් කර ගෙන යන කටයුත්තකි.


ඊරෝස් සංවිධානයේ හිටපු නායක බාලකුමාර්ට සහ ඔහුගේ පවුලට එල්ටීටීඊය වෙඩි තැබීම පිළිබඳ සිද්ධියක් ඔහු සඳහන් කළේ ය. ඒ අවස්ථාවේ බාලකුමාර්ගේ තුරුණු දියණිය බරපතළ ලෙස තුවාල ලැබී ය; ඇය තවමත් සුවය ලබා නැත. කෙසේ වෙතත්, යුද්ධයේ අවසන් අදියරට කලින් ආණ්ඩුවේ හමුදාවලට යටත් වුණු බාලකුමාර්ට සහ ඔහුගේ පුතුට කුමක් සිදු විණි දැයි ඔහු පාඨකයන්ට නො පවසයි.

එල්ටීටීඊයේ නිරර්ථක යුද්ධය දිග් ගැස්සීම සඳහා ඔවුන්ට මූල්‍යාධාර ලබා දෙන, ඔවුන් වෙනුවෙන් උද්ඝෝෂනය කරන සහ ඔවුන්ට සදාචාරාත්මක සහ ද්‍රව්‍යමය සහාය ලබා දෙන එල්ටීටීඊ හිතවාදී විදේශගත කණ්ඩායම්වල නායකයන්, තහනම් කළ ත්‍රස්තවාදී කණ්ඩායමකට ආධාර සහ අනුබල දීම සම්බන්ධයෙන් වගවීම ද ඔහුට වුවමනා ය. යුක්තිය ඉල්ලා සිටින්නේ, බටහිර රටවල මානව අයිතිවාසිකම් ක්‍රියාකාරකයන් ලෙස පෙනී සිටින මෙම නායකයන් එල්ටීටීඊය තමන්ගේ ම ජනයාට එරෙහිව කළ අපරාධ සම්බන්ධයෙනුත් නඩු විභාගවලට යටත් කළ යුතු බව යැයි ද ඔහු සඳහන් කළේ ය. එහෙත්, බටහිර රටවල දී නම් යුද්ධයට දායක වී ඇති කවරෙකුට වුව ජාත්‍යන්තර නීතිය යටතේ චෝදනා ඉදිරිපත් කෙරෙන්නට ඉඩ ඇති බවත් ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් දැනට මත් එසේ කර ඇති බවත් කියන්නට නොයෙල් පැකිලෙයි. කෙසේ වුව ද, මෙම රටවල දී චෝදනා ඉදිරිපත් කෙරුණවුන් යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ කළ බව සනාථ කිරීමට, මේ දක්වා කිසි ම සාක්ෂියක් ඉදිරිපත් කෙරී නැත.

චැනල් 4 වීඩියෝවට දැක්වූ වෙනත් ප්‍රතිචාර කිහිපයක පොදුවේ දක්නට ලැබෙන තේමාවක් ද නොයෙල් ඩැහැ ගනී. එනම්, සොල්දාදුවන් යැයි කියනු ලබන පිරිස අතර සෙරෙප්පු පය ලා ගත් පුද්ගලයෙකු ද සිටින බව යි. ඔහු නිගමනය කරන්නේ, මෙහෙයුම් සඳහා යන විට ශ්‍රී ලාංකික සොල්දාදුවන් කිසි විටෙක සෙරෙප්පු පලඳින්නේ නැති බව යි. සැබවින් ම, මෙය වීඩියෝව අසත්‍යයක් යැයි සලකා ඉවත ලීමට ඉදිරිපත් කරන මුග්ධ හේතුවකි. මිලිටරි මෙහෙයුම්වල දී ශ්‍රී ලාංකික සොල්දාදුවන් සෙරෙප්පු පය ලා ගෙන නො යති යි නොයෙල් තරයේ කියා සිටින්නේ කවර විශේෂඥතාවක් මත ද? අනෙක් අතට, ඒ ශ්‍රී ලාංකික සොල්දාදුවෙකු නොවේ යැයි අප පිළිගත්තත්, ප්‍රශ්නයට ලක්ව තිබෙන කුරිරු ක්‍රියාව කළේ එල්ටීටීඊය යැයි ඉන් ඔප්පු වනවා ද? මෙම නිගමනයට එළඹෙද්දී, නොයෙල්ට යුද්ධයේ බොහෝ පැතිකඩවල් අමතකව ගොස් තිබෙන සැටියක් පෙනේ.

එල්ටීටීඊය අතීතයේ දී කළ නින්දිත ක්‍රියාවන් නිසා, අනෙක් දෙමළ දේශපාලන කණ්ඩායම් සියල්ලට ම එල්ටීටීඊයේ හෝ ආණ්ඩුවේ ආරක්ෂක හමුදාවල හවුල්කාරයන් බවට පත් වීමට බල කෙරුණු බවත් එල්ටීටීඊ විරෝධී සන්නද්ධ සටන්කාමී කණ්ඩායම් බොහොමයක් ආණ්ඩුවේ හමුදා සමග සමීපව වැඩ කර ඇති බවත් සුප්‍රකට ය. එම නිසා, වීඩියෝවේ එකී කොටසේ පෙනී සිටින සන්නද්ධ සාමාජිකයන් කවුරුන් දැයි සනාථ කිරීමට නම්, ලේ ගලමින් මිය යමින් සිටින පුද්ගලයා කවුරුන් දැයි හඳුනා ගැනීම වැදගත් වනු ඇත. ඔහු ආණ්ඩුවේ සොල්දාදුවෙක් හෝ ග්‍රාමාරක්ෂකයෙක් ද? නොඑසේ නම්, ඔහු එල්ටීටීඊයෙන් විරසක වුණු පුද්ගලයෙක් ද? නැත් නම් ඔහු එල්ටීටීඊ විරෝධී පැරා මිලිටරියක සාමාජිකයෙක් ද? එසේ නම් ඝාතනයට ලක්ව සිටින පුද්ගලයා හඳුනා ගැනීමට ආණ්ඩුවට හැකි විය යුතු ය. නොඑසේ නම්, ඔහු එල්ටීටීඊ සාමාජිකයෙක් හෝ සිවිල් වැසියෙක් ද? මා මෙහි දී මතු කරන කාරණය නම්, මෙම වීඩියෝ රූප රාමුව පිටුපස තිබෙන කතාවෙහි, නොයෙල් සහ පිරිස ඉදිරිපත් කිරීමට උත්සාහ නොකරන බොහෝ පැති තිබෙන බව යි!

නොයෙල් පවසන පරිදි, එල්ටීටීඊය සිය යුද්ධෝපකරණ සහ සැපයුම් ආණ්ඩුව ප්‍රකාශයට පත් කළ පළමු යුද මුක්ත කලාපයට ගෙන ගියේ ය; උපදිසාපති පාර්තිපන්ට සහ වෛද්‍ය ෂන්මුගරාජාට මේ බව සනාථ කළ හැකි ය. ඔහුට අනුව, මේවා කරුණු ය; ඔහු කියන නිසා හැම දෙනා ම ඒවා පිළිගත යුතු ය! මට තිබෙන ගැටලුව නම්, අප ඔහු සහ ඔහුගේ ප්‍රකාශ කෙරෙහි විශ්වාසය තැබිය යුත්තේ, ඔහු යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකාවට සංචාරය කොට ආණ්ඩුවේ ඇමතිවරුන්, ජනාධිපතිතුමා සහ ඇතැම් විට තවත් බොහෝ අය හමු වුණු නිසා පමණක් වීම යි. එසේ කිරීම ගැන මා ඔහුට දොස් පවරන්නේ නැත. එහෙත්, ගැටලුව තිබෙන්නේ මෙතැන යි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුවෙන් හෝ එල්ටීටීඊයෙන් හෝ ඔවුන් වෙනුවෙන් සමාවට කරුණු කියන්නන්ගෙන් හෝ සැපයෙන කිසිදු පැහැදිලි කිරීමක් හෝ අර්ථකථනයක් එතරම් ප්‍රමාණවත් නැත.

අනතුරුව ඔහු ආණ්ඩුව කළ දේවල් යුක්ති සහගත කිරීම සඳහා ඒත්තු ගැන්වෙනසුලු අදහස ඉදිරිපත් කරයි. ඔහු පවසන්නේ, ඉරාකයේ දී, ඇෆ්ඝනිස්ථානයේ දී හෝ අන් තැන්වල දී ඇමරිකාව ක්‍රූරකම් කළ නිසා; පන්ජාබයේ දී ඉන්දියාව එසේ කළ නිසා; චෙච්නියාවේ දී රුසියාව එසේ කළ නිසා; දැන් ලිබියාවේ දී නේටෝ හමුදා එසේ කරමින් සිටින නිසා; ටිබෙටයේ දී චීනය එසේ කරමින් සිටින නිසා; උතුරේ දී සහ නැගෙනහිරේ දී ආණ්ඩුව කර තිබෙන දේවල් අප පිළිගත යුතු බව යි. මෙය අමන තර්කයක් නො වේ ද? කෙනෙකු වරදක් කරන්නේ නම් සහ අනෙකුන් එය ආදර්ශයට ගෙන අනුගමනය කරන්නේ නම්, ඉන් එය නිවැරදි හෝ යුක්ති සහගත දෙයක් බවට, නැත් නම් සමාව දිය හැකි දෙයක් බවට පත් වනවා ද?

තම ස්වෛරී භාවයට, සාමයට සහ ස්ථාවරත්වයට එල්ල වන තර්ජන මුලිනුපුටා දැමීම සඳහා අවශ්‍ය නම් උල්ලංඝනීය ආකාරයෙන් කටයුතු කිරීමට එක්සත් ජනපදයට සහ අනෙක් ප්‍රජාතන්ත්‍රවාදී රටවලට අයිතියක් ඇතැයි ද ඔහු සඳහන් කරයි. 1950න් මෙපිට දී එක්සත් ජනපදය රටවල් 32කට බෝම්බ දැමුවේ තම ස්වෛරී භාවය ආරක්ෂා කර ගැනීමට ද? එක්සත් ජනපදය එසේ කළ හැම වතාවක ම ඔවුන් අපට කීවේ මෙම යුද ක්‍රියාවන් සාධාරණ සහ මානුෂීය බව යි. එහෙත් අද, මෙම විශේෂ යුද්ධය කලින් ඒවාට වඩා වෙනස් යැයි අපට කියනු ලැබේ. කොහොම නමුත්, අවසන් වතාවේ දී සහ ඉන් පෙර සමයේ දී කියනු ලැබුණේ මෙය යි. ඉතින්, අප අතීතයේ දී කළාක් මෙන් ඔවුන්ගේ පදේට නට නටා ඔවුන් කියන දේ අනුමත කරනවා වෙනුවට, ඔවුන්ගේ ප්‍රකාශ ප්‍රශ්නයට බඳුන් කිරීමට මේ කාලය නො වේ ද? ලොව පවතින සියලු ස්වෛරී ජාතීන්ට එරෙහිව ආක්‍රමණිකයාගේ සපත්තු ලෙව කෑම සඳහා මෙතරම් පහළ අඩියකට වැටීමට හැකි වීම කනගාටුවට කරුණකි.

ඇරත්, ශ්‍රී ලංකාවේ ආණ්ඩුව යුද්ධය කර ගෙන ගියේ දෙමළ ජනයා ‛මුදා ගන්නට’ බව නොයෙල්ට මැනවින් මතකයට නගා ගත හැකි වනු ඇත. බෙහෙවින් පාරට්ටු කළ ‛මුදා ගැනීම’ පිළිබඳ කතා තිබිය දී ම ජය ගත් ජාතියක් ලෙස තමන්ට සලකනු අසරණව බලා සිටි දෙමළ ජනයා අතර පැතිර පවතින කෝපය සහ අපේක්ෂා භංගත්වය සමනය කිරීමට, ‛අනෙක් හැමෝම ක්‍රූරකම් කරනවා නම් ඇයි අපට දොස් කියන්නේ?’ වැනි දුබල නිදහසට කරුණු ඉදිරිපත් කිරීමෙන් වැඩි සෙතක් සිදු වනු නැත. ආණ්ඩුව සමගි සන්ධානය පිළිබඳව මහ ඉහළින් බෙරිහන් දෙමින් සිටියි; එහෙත්, තමන් දේශනා කරන දේ කිරීමට එය සැබවින් ම අදහස් කරන්නේ නම්, විශේෂයෙන් ම තමන්ගේ ම අය කරන ‛විශ්ලේෂණ’ සහ සෙරෙප්පු පය ලා ගත් වධකයෙකු පිළිබඳ කතා හැරුණු විට වීඩියෝවෙන් මතු වන චෝදනා ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුව සහ එය වෙනුවෙන් සමාවට කරුණු කියන්නන් සතුව තිබෙන්නේ සුලු පදනමක් වන තතු තුළ, ආණ්ඩුව කළ යුත්තේ චෝදනා පිළිබඳව බැරෑරුම් අවධානයක් යොමු කිරීම යි. කර්කශ සහ හාස්‍ය ජනක ප්‍රතික්ෂේප කිරීම්වලින් සිදු වන්නේ ‛මුදා ගත්’ දෙමළ ජනයාගේ අපේක්ෂා භංගත්වය වැඩි දියුණු වීම පමණකි.

කෙසේ වුව ද, එක් කරුණක් සම්බන්ධයෙන් මම නොයෙල් සමග මුළුමනින් ම එකඟ වෙමි. එනම්, ආණ්ඩුව සිවිල් වැසියන්ට හානි කිරීම පිළිබඳ තම පංගුවේ වගකීම භාර ගත යුතු ය, ඒ වෙනුවෙන් සමාව ගත යුතු ය, ඔවුන්ගේ සමීප ඥාතීන්ට වන්දි ලබා දිය යුතු ය. ආණ්ඩුව සිවිල් වැසියන්ට සිදු වුණු හානි පිළිබඳව තම පංගුවේ වගකීම භාර ගෙන, ඒ වෙනුවෙන් සමාව ගෙන, ඔවුන්ගේ සමීප ඥාතීන්ට වන්දි ලබා දීම ඔහුට වුවමනා ය. මෙහි දී ඔහු මතු කරන්නේ අතිශයින් ම වැදගත් කරුණකි. එම ප්‍රකාශයෙන් ඇඟවෙන්නේ, යුද්ධයේ දී සිදු වුණු දෙය පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් නොපවත්වා මෙම කාරණය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ආණ්ඩුවට නොහැකි බව යි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ සහ එල්ටීටීඊයේ හිතවාදීන්ගෙන් කිසිවෙකු මේ දක්වා චෝදනාවල හරය සැලකිල්ලට ගෙන නැති බවත් ඔවුන් කර තිබෙන්නේ වහා ම පරීක්ෂාවට ලක් කළ යුතු ප්‍රධාන චෝදනාවලින් අවධානය වෙනතකට යොමු කිරීම සඳහා දුම් වලාවක් නිර්මාණය කිරීම බවත් අවධාරණය කිරීමට මම කැමැත්තෙමි.

කිසි දා නිසි පරීක්ෂණයක් පවත්වා නොමැති, රාජ්‍යය සහ එහි ආරක්ෂක හමුදා කළ පැහැදිලි මානව අයිතිවාසිකම් උල්ලංඝනයන් සම්බන්ධ සත්‍ය/සැබෑ ජීවන අත්දැකීම් තුනක් මට පෞද්ගලිකව ඔබට ඉදිරිපත් කළ හැකි ය:

01- 1971 කැරැල්ල අතරතුර දී ජවිපෙ ක්‍රියාකාරීන්, එහි හිතවාදීන් සහ සිවිල් වැසියන් දහස් ගණනක් ඝාතනය කිරීම. (ප්‍රධාන වශයෙන් ශ්‍රීලනිප සාමාජිකයන්ගෙන් සැදුම් ලත්) එවක බලයෙහි සිටි ආණ්ඩුව එකල කියා සිටියේ, ඝාතනය කර ඇත්තේ කිහිප සියයක් පමණක් බව යි. මනම්පේරි පිළිබඳ සිද්ධියේ දී හැරුණු විට කිසිදු පරීක්ෂණයක් පැවැත්වුණේ නැත;

02 1983 දී සිදු වුණු සංවිධානාත්මක ඝාතන අතරතුර දී, එජාප ආණ්ඩුවේ කොටස් සහ ඔවුන්ගේ ආධාරකරුවන් දෙමළ සිවිල් වැසියන් කොල්ල කනු, පුලුස්සනු සහ ඝාතනය කරනු මම පෞද්ගලිකව සියැසින් දුටුවෙමි. පසුව ආණ්ඩුව කුහක ලෙස ඒ සම්බන්ධයෙන් ජවිපෙට සහ වෙනත් වාම පක්ෂවලට දොස් නැගී ය. සිය දහස් ගණනකට නිවාස අහිමි වී 3,000කට ආසන්න සංඛ්‍යාවක් ඝාතනයට ලක් වුණු තතු තුළ ඔවුන් කියා සිටියේ ඝාතනයට ලක් වූයේ 600ක් පමණක් බව යි; සහ

03- 1980 ගණන්වල අග භාගයෙහි සිදු වුණු දෙවන ජවිපෙ නැගිටීම අතරතුර දී, බහුතරයක් දෙනා ආරක්ෂක හමුදා විසින් දෑත් පිටුපසට බැඳ තබා මරණයට පත් කොට හඳුනා ගත නොහැකි ලෙස සිරුරු පුලුස්සා දමා හෝ අංග ඡේදනය කොට, 60,000කට වැඩි පිරිසක් මරා දමා සිවිල් ජනගහනය මත මුදා හළ භීෂණය. 1987-90 කාලයේ දී අල්ලා ගැනුණු හෝ යටත් වුණු රෝහණ විජේවීර සහ උපතිස්ස ගමනායක ඇතුළු ජවිපෙ මධ්‍යම කාරක සභිකයන් සහ දේශපාලන මණ්ඩල සභිකයන් ආරක්ෂක හමුදා අතින් මරණයට පත් වුණු බව සඳහන් කරනු වටී.

මා මතු කිරීමට කැමති පැහැදිලි ප්‍රශ්නය මෙය යි: පාලක ප්‍රභූ පැලැන්තියට එරෙහි වන්නන් ඉවත් කිරීමට වෘත්තිමය වශයෙන් පුහුණු කොට තිබෙන ආණ්ඩුවේ ආරක්ෂක හමුදා මෑත අතීතයේ දී දකුණෙහි දහස් ගණනක් ඝාතනය කරද්දී, ඔවුන් හැසිරුණේ උතුරු-නැගෙනහිර මෙහෙයුම්වල දී හැසිරුණාට වඩා වෙනස් ආකාරයකට ද? දෙමළ ජනයාට එසේ නොකර සිටින්නට ඔවුන්ට දෙමළ ජනයා සමග විශේෂ හිතවත්කමක් තිබෙනවා ද!

එනිසා, වත්මන් පාලන තන්ත්‍රය චෝදනා ප්‍රතික්ෂේප කරන්නේ චෝදනාවල හරය සාකච්ඡාවට ලක් කිරීමකින් තොරව වීම මට පුදුමයක් නොවන වග, කනගාටුවෙන් වුව කිව යුතු ය. අප අපගේ ඉතිහාසය බුද්ධිමත්ව සහ සානුකම්පිකව සලකා බැලීමට පටන් නොගන්නේ නම්, අව්‍යාජ සමගි සන්ධානයක් සහ සාමයක් ඇති විය නොහැකි ය.

ඉදිරිපත්ව තිබෙන චෝදනාවලින් වියරු වැටෙනවා වෙනුවට, යුද වැදුණු දෙපාර්ශ්වය පිළිබඳව ම විශ්වසනීය ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට අප බල කළ යුතු ය, අපට ඉදිරියට යා හැක්කේ එලෙස පමණකි.

නැත් නම් අතීතයේ අවතාර සදහට ම අප අවට හොල්මන් කරනු ඇත.

ලයනල් බෝපගේ විසිනි