පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්
රනිල් වික්‍රමසිංහ එංගලන්තයේ සිටම සිය සුපුරුදු කඩ පාඩම් ප්‍රකාශය කළේ ය. එනම් පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට තමා අපේක්ෂා නොකරන බව යි. ඔහුට එසේ කියා සිටීමට සිදු වූයේ තමා ශ්‍රී ලංකාවේ නැති අතර වාරයේ පක්ෂයේ ප්රතිසංවිධාන කණ්ඩායම යැයි හඳුන්වා ගන්නා පාර්ශවය ජේෂ්‍යඨ නායකයෙකු වන කරු ජයසූරිය පක්ෂ නායකත්වයට පත් කර ගැනීමට වැඩ සටහනක් දියත් කර තිබූ නිසා ය. දශක දෙකක් පමණ පුරා පරාජය වෙමින් පවතින සෑම මැතිවරණයකදී ම රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම තැටිය වාදනය වෙයි. සිය ඡන්ද පදනම කවර කළෙකවත් නැති තරමින් සියයට 20 දක්වා පහළට ඇද වැටුනු මෑත පළාත් පාලන ඡන්දයෙන් පසු ද ඒ මහතා එජාප පාක්ෂිකයිනට කියන්නේ තමාට පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට අවශ්‍යතාවයක් නැති බව යි. එමෙන්ම ඔහු පක්ෂයේ තීරණ ගන්නා ව්‍යුහයන්හි සිය ආධිපත්‍ය දිගටම පවත්වා ගැනීමට ද සමත් වෙයි.
කලින් එජාප නායකත්වයට සටන් කළ සජිත් ප්‍රේමදාස දැන් සටනින් බැස ගොසිනි. ඔහු සිටින්නේ නායකත්ව කළමණාකරන වේදිකාවේ ය. ඔහු සමඟ සටනේ සිටි දයාසිරි ජයසේකර වැනි නැගි එන නායකයින් දැන් මධ්‍යස්ථ ය. එසේ නමුත් හුළං බැස තිබූ පක්ෂ නායකත්වය වෙනස් කිරීමේ සිය ව්‍යපෘතිය කල්යල් බලා කරු ජයසූරිය හරහා ඉදිරියට ගෙන ඒමට සමත් වීම මගින් සජිත් ප්‍රේමදාස පෙන්වා ඇත්තේ උපාය ශිල්පියෙකු වශයෙන් ඔහු නොසළකා නොහැරිය හැකි සාධකයක් බව යි. ඒ කෙසේ වෙතත් නොනවතින නායකත්ව අරගලය විසින් එජාප පාක්ෂිකත්වය මෙන්ම ජන පදනම ද අවුලෙන් අවුලට යමින් තිබේ.
එජාපයේ නායකත්ව අරගලයේ දක්නට ඇති අවිනිශ්චිත ස්වභාවය විසින් සංකේතාත්මකව පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන සංදර්භය තුළ පක්ෂයක් වශයෙන් එජාපය නන්නත්තාර වී ඇති අන්දමයි.
එක්සත් ජාතික පක්ෂය අද සිටින්නේ එහි ඉතිහාසයේ දුර්වලම තත්ත්වයෙහි ය. මතවාදී, දේශපාලන සහ සංවිධානාත්මක යන සෑම අංශයකම එය පෙන්වන්නේ මංමුලා වූ ස්වරූපයකි. මහින්ද රාජපක්ෂ පාලනයට විරුද්ධව මහා ජනයා තමන්ට ඡන්දය දිය යුත්තේ ඇයිදැයි විශ්වසනීය ලෙස පෙන්නුම් කිරීමට එය දිගින් දිගටම අසමත් වෙමින් තිබේ.
අප දේශපාලනයට එළඹි අවධියේ දී එජාපය සළකන ලද්දේ කොම්ප්රදෝරු ධනපති පන්තියේ දේශපාලන පක්ෂය ලෙස ය. වෙනත් වචනයෙන් කියන්නේ නම් අධිරාජ්‍ය ගැති ධනපති පංතියේ පක්ෂය ලෙස ය. එහි මතවාදය අධිරාජ්‍ය ගැති සහ දක්ෂිනාංශික වූ අතර ආර්ථික පිළිවෙත ඍජු ධනවාදය විය.
දේශපාලන ශබ්ද කෝෂයේ එකළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැළකුනේ අධිරාජ්‍ය විරෝධී එබැවින් ප්රගතිශීලී දේශීය ධනපති පංතියේ පක්ෂය ලෙස ය. මුල් කාලයෙහි එය එක්තරා අන්දමක සමාජ ප්රජාතන්ත්රවාදී සුභ සාධක දේශපාලනයක් ක්‍රියාත්මක කිරීමට ද උත්සාහ දැරුවේ ය. එමෙන්ම වාමාංශික පක්ෂ සමඟ එය නිරන්තර සම්බන්ධයක් ද පවත්වා ගත්තේ ය.
එකළ අධිරාජ්‍ය ගැති මහ ධනපති පංතිය පමණක් නොව ඉඩම් හිමි පෙළන්තියේ සිට සාමාන්‍යයෙන් හන්දියේ සිල්ලර කඩ හිමියා මෙන්ම මෝල් අයිතිකරුද ප්‍රසිද්ධ එජාප හිතවාදීන් විය. ව්‍යාපාරිකයෙකු නම් එජාපයේ සිටිය යුතුය යන අදහසක් 70 ගණන් දක්වා පැවැතුණි.
70 ගණන් අගභාගය වන විට ප්‍රධාන පක්ෂ දෙක අතර වූ මෙම වෙනස තුනී වෙන්නට පටන් ගත් අතර 90 ගනන් අගවන විට ශ්‍රීලනිප සහ එජාප අතර ආර්ථික සහ දේශපාලන වශයෙන් වෙනසක් නැති මට්ටමකට එය වර්ධනය විය. ඊට සාධක දෙකක් බලපෑවේ ය.
එක් සාධකයක් නම් 1977 දී ජේ. ආර්. ජයවර්ධන විසින් ශ්‍රී ලංකාව ගෝලීය ප්රාග්ධනය සඳහා විවර කිරීමත් සහ ගෝලීයකරණය ලොව ප්‍රධාන ආර්ථික රටාව බවට පත් වීමත් ය. ශ්රීලනිපය සහ එජාපය පමණක් නොව එල්ටීටීඊ ය සහ ජවිපෙ පවා නිදහස් ආර්ථික ක්‍රමය පිළිගන්නා තැනට පැමිණයේ ඒ අනුව ය. ඒ නයින් ආර්ථික සංවර්ධනය පිළිබඳව ශ්රීලනිපය සහ එජාපය අතර වු වෙනස්කම සහමුලින්ම වාගේ මැකී ගියේ ය. එම වර්ධනය තුළ එජාපයට හිමිව තිබූ මහ ධනපති පංති පදනම ඉන් ගිලිහී ගොස් පාලක පක්ෂයේ පංති පදනම බවට දැන් පත්ව තිබේ.
අනෙක් සාධකය නම් ජේ.ආර්. ජයවර්ධන විසින් ව්‍යුහගත කරන ලද පරිදි දේශපාලනය ධනවත් වීමේ මාර්ගයක් බවට පත් වීමයි. ඒ සදහා දේශපාලනඥයිනට මහජන මුදලින් යාන වාහන ගේ දොර යනාදී වරදාන සපයන ලද අතර භිෂණය සහ දූෂණය මගින් අති මහත් ධනයක් උපයා ගැනීමට අවස්ථාව සළසා දෙන ලදී. අද ශ්‍රී ලංකාවේ දේශපාලනය යනු ව්‍යවසායකය නොවී ලෙහෙසියෙන්ම ධන හිමියකු බවට පත්වීමේ ඒකායන මාර්ගය යි. (ඉද හිට ව්‍යතිරේකයක් දෙකක් නැතිවා නොවේ.) ධනවත් ව්‍යාපාරික පවුල් සමඟ වූ ඇති කර ගන්නා ලද අවාහ විවාහ මගින් ප්‍රධාන පක්ෂ දෙකෙහිම දේශපාලනඥයින් දැන් පොදු වශයෙන් ශ්‍රී ලංකාවේ එකම ධනහිමි පංතියක කොටස්කරුවෝ බවට පත්ව සිටිති.
ප්‍රථම සාධකය මගින් දේශපාලන පිළිවෙත් සමීප කරන ලද අතර දෙවන සාධකය මගින් දේශපාලනඥයින් අතර තිබූ පංති වෙනස්කම් තුනී කර දමා තිබේ.
මෙවැනි තත්ත්වයක් යටතේ එක් දේශපාලන පක්ෂයක් පරදවා අනෙක් දේශපාලන පක්ෂය බලයට පත් වීමට නම් එක්කෝ ඉවසිය නොහැකි ආර්ථික පීඩාවන්ට මහා ජනයා ලක් විය යුතු ය. එසේ නැත්නම් ආණ්ඩු පක්ෂය අභිබවා දේශපාලන සහ මතවාදී නායකත්වය ලබා ගැනීමට විපක්ෂය සමත් විය යුතු ය. ඒ සඳහා වඩා විශ්වනීය සහ ආකර්ශනීය නායකත්වයක් අවශ්‍ය ය.
1994 දී පොදු පෙරමුණ විසින් එජාපය පරදවන ලද්දේ සාමය සහ ප්රජාතන්ත්රවාදය ඇති කිරීම යන සටන් පාඨය මගින් දේශපාලන මතවාදී ආධිපත්‍යය අල්ලා ගැනීම මගිනි. 2004 දී පොදු පෙරමුණ එජාපය පරදවන ලද්දේ සාම ක්‍රියාමාර්ගයට විරුද්ධ වූ සිංහල ජාතිකවාදය මගින් මතවාදී සහ දේශපාලන ආධිපත්‍යය අල්ලා ගැනීම මගිනි. මහින්ද රාජපක්ෂ රාජකීයත්වය කරා වූ සිය දේශපාලනය මහමුලින්ම වාගේ පදනම් කර ඇත්තේ එකී මතවාදී පදනම මත ය. එම පදනම මත ලද යුද ජයග්‍රහණය විසින් ඔහුට සපයා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ කිසිදු ජනනායකයෙකුට නොතිබූ තරමේ ජන අනුගාමිකත්වයකි. එමෙන්ම එහි අනෙක් පැත්ත වන දෙමළ ජාතික සන්ධානය අද උතුරු නැගෙනහිර ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය බවට පත්ව ඇත්තේ දෙමළ ජනයාගේ දේශපාලන මතවාදී අභිලාශයන්හි නියෝජිතයාවීම මගිනි.
ඉදින් ප්‍රධාන විපක්ෂය වන නිසාම එජාපය සම්බන්ධයෙන් විමසිය යුතු ප්‍රශ්ණය මෙය යි. අද පවතින තත්ත්වය යටතේ මහින්ද රාජපක්ෂ පාලනයට වෙනස්ව එය විසින් ඉදිරිපත් කරන මතවාදී දේශපාලන දැක්ම කුමක් ද? එය සතු දේශපාලන සදාචාරාත්මක වාසිය කුමක් ද?
රාජපක්ෂ පාලනයේ ප්‍රධාන තේමාව වන්නේ යුද්ධ ක්‍රියා මාර්ගය සාධාරණ කිරීම සහ එකී යුද සමයේ පවත්වාගෙන ගිය පාලන ව්‍යුහය දිගටම පවත්වා ගැනීමත් මානව සහ ප්රජාතන්ත්රවාදී අයිතීන් වෙනුවට ඉහළින් තීරණය කැරෙන ගජ මිතුරු ධනවාදයේ ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමට ක්‍රියා කිරීමත් ය.
යුද ක්‍රියාමාර්ගය සහ යම් දුරකට එහි විපාක සම්බන්ධයෙන් එජාපය සහ රාජපක්ෂ පාලනය අතර වෙනසක් දක්නට නැත. නිව්යෝක් නුවර දී බැංකි මූන් හමුවූ අවස්ථාවේදී ද ලංඩන් නුවර පොදු රාජ්‍ය මංඩළ රුස්වීමේ දී ද එජාප නායකත්වය පෙන්නුම් කරන ලද්දේ තමන් රාජපක්ෂ පාලනයේ තානාපතිවරයෙකු බවයි.
එසේ නම් පැහැදිළි වෙනසක් පෙන්නුම් කිරිම පිණිස එජාපයට ඉතිරිව ඇති දේශපාලන මතවාදී ක්ෂෙත්රයන් මොනවා ද?
පළමුව රාජ්‍ය පාලනය සම්බන්ධයෙනි. එනම් අධිකාරිවාදී පිළිවෙතක් වෙනුවට නීතියේ පාලනය සහ ප්රජාතන්ත්රවාදී ව්‍යහයක් මත ගජ මිතුරු ධනවාදයේ දූෂණයෙන් සහ භීෂනයෙන් තොර පාලනයක් සහතික කරනු ඇති දේශපාලන ක්‍රියාමාර්ගයක් මහජනයා හමුවට ගෙන යාමය.
දෙවනුව දෙමළ ජනයාගේ අයිතීන් සම්බන්ධයෙන් විශේෂයෙන්ම දේශපාලන විසඳුම සම්බන්ධයෙන් දෙමළ දේශපාලන පක්ෂ සමඟ සම්මුතිබද්ධ ස්ථාවරයක් ඇති කර ගැනීමෙනි. එමෙන්ම යුද්ධයෙන් විපතට පත් දෙමළ ජනයාට සාධාණය ඉටු කැරෙන ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කිරීම මගිනි.
එසේ නමුත් මෙම මූලික කරුණු දෙකම සම්බන්ධයෙන් පැහැදිළි ස්ථාවරයක් සහ ක්‍රියාකාරිත්වයක් එජාපය මේ තාක් පෙන්වා නැත. එහි අකර්මණ්‍ය දේශපාලනයේ කණගාටුදායකම නිදසුනක් වූයේ දෘඩතර රාජපක්ෂවාදියකු වන දයාන් ජයතිලක පවා 2010 මැතිවරණයේ දී සන්ධාන ආණ්ඩුවට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් නොදිය යුතු බව කියා සිටිය දී ඒ සඳහා අවශ්‍ය වූ පුළුල්තම දේශපාලන පෙරමුණ ගොඩ නැගීමට එජාප නායකත්වය ක්‍රියා නොකිරීමයි. අද දෙමළ ජනයාගේ මානව හිමිකම් සම්බන්ධයෙන් ප්‍රායෝගික වශයෙන් එජාපය සිටින්නේ ජවිපෙටත් වඩා බොහෝ පහළිනි. දෙමළ ජනයා අතර ද එජාප කෙරෙහි විශ්වාසයක් නැත.
මේ වනාහී අප සමාජයෙහි ඇතිවිය යුතු දේශපාලන කතිකාවකට නිමිත්තක් නොවේ ද?
සුනන්ද දේශප්‍රිය