පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්
දේශපාලන විසඳුමක් සඳහා එකඟතාවයකට පැමිනීම පිණිස ආණ්ඩුව සහ දෙමළ ජාතික සන්ධානය අතර වූ සාකච්ජා දැන් ඇනහිට තිබේ. ඊට හේතුව වුයේ තමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සම්බන්දයෙන් ආණ්ඩුවේ ස්ථාවරය ලිඛිතව දන්වනතුරු යළි සාකච්ඡා මේසයට වාඩි වීම දෙමළ ජාතික සන්ධානය විසින් ප්‍රතික්ෂේප කිරීම යි.
මෙසේ සාකච්ඡා මේසයෙන් දෙමළ සන්ධානය ඉවත්වීම පිළිබඳව නිල ප්‍රකාශයක් කල ආණ්ඩුවේ සාකච්ඡා කණ්ඩායමේ ලේකම් පා.ම. සජිත් වාස් ගුනවර්ධන කියා සිටියේ මේ පියවර සාධනීය නොවන බවත් එල්ටීටීඊ ය විසින් පෙන්වන ලද ආකල්පයට සමාන බවත් ය.
එසේ නමුත් දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය සාධාරණ බවට තර්ක කරමින් දේශපාලන විචාරකයෙකු සහ ශ්‍රාස්ත්‍රඥයකු වන සුමනසිරි ලියනගේ ඉංග්‍රිසි බසින් ලිපියක් පළ කලේ ය. එහි දී ඔහු පෙන්වා දුන්නේ මාස හතරකට පෙර දෙමළ සන්ධානය විසින් ඉදිරිපත් කළ යෝජනාවන්ට ආණ්ඩුව විසින් මේතාක් නිසි ප්‍රතිවාරයන් නොදැක්වීම සාධාරණ කළ නොහැකි බවයි.
දැන් රාජපක්ෂ පාලනය ප්‍රකාශ කර ඇත්තේ දෙමළ සන්ධානය ඇතත් නැතත් තමන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කොට දේශපාලන විසඳුමක් පිළිබඳව තීරණය කරන බවයි. දෙමළ සන්ධානය කියා සිටින්නේ තමන් සාකච්ඡා වට දහයකට සහභාගි වූ නමුත් කිසිදු නිශ්චිත යෝජනාවක් ඉදිරිපත් කිරීමට රජය අමසත් වූ බවත් පාර්ලිමේන්තු කාරක සභාව ද හුදෙක් කාලය ගැනීමේ ක්‍රීඩාවක් බවත් ය.
රාජපක්ෂ ආණ්ඩුව විසින් ම මහා ඝෝෂාවකින් පසු පත් කරන ලද සර්ව පාක්ෂික සමුළුව සාකච්ඡා වට 83ක් පවත්වා ඉදිරිපත් කරන ලද දේශපාලන විසඳුම් යෝජනාවලිය හමස් පෙට්ටියට දමා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම විහිළුවක් නොවේ නම් අවඥාවක් නොවේ ද? මේ වනාහි පැහැදිලිවම දේශපාලන විසඳුමක් ක්‍රියාවට නැගීම කල් දැමීමේ කූටෝපායකි. මෑතදී බැසිල් සහ ගෝඨාභය යන රාජපක්ෂවරුන් දෙදෙනොම ඉතා පැහැදිලිව පවසා තිබුණේ පවත්නා ව්‍යවස්ථාව ප්‍රමාණවත් බවත් නව දේශපාලන විසඳුමක් එතරම් වැදගත් නොවන බවත් ය. ජනාධිපති රාජපක්ෂ ස්ථිර කොටම කියා සිටින්නේ පළාත් සභා පිළිබඳ 13වන ව්‍යවස්ථා සංශෝධනය එලෙසින්ම ක්‍රියාත්මක නොකරන බවයි. ඉදින් පාර්ලිමේන්තු කාරක සභාවක් කුමට ද?
මෙම වර්ධනයන්ට ප්‍රතිචාරයක් වශයෙන් දෙමළ ජාතිකවාදී දේශපාලනය කුමණ දිසාවකට ගමන් කරනු ඇත් ද? දැනටමත් පෙනෙන පරිදි බහුතර දෙමළ දේශපාලන පක්ෂ අතර පුළුල් සම්මුතියක් ඇති වෙමින් තිබේ. දෙවනුව දේශපාලන විසඳුමක් ඉක්මන් කළ යුතු බවට ඉන්දියාව සහ අනෙක් අන්තර් ජාතික බලවේග විසින් දරණ මතය වඩා ශක්තිමත් වෙමින් තිබේ. මේ කරුණු දෙකට අමතරව ශක්තිමත් කල යුතු තවත් සාධකයක් තිබේ. එනම් දේශපාලන විසඳුමකට පක්ෂ සිංහල සමාජ බලවේගයන් ය.
දෙමළ ජාතික සන්ධානයේ සහ පොදු වශයෙන් ජාතිකවාදී දෙමළ දේශපාලනයේ එක් ප්‍රධාන දුර්වලකමක් නම් ශ්‍රී ලාංකික සමාජයේ ආන්තිකවූත් පීිඩිතවූත් සූරාකෑමට ලක්වූවා වුත් අනෙක් සමාජ ස්ථර කෙරෙන් හුදකලාවීම යැයි ඉහත කී ලිපියේ ම සුමනසිරි ලියනගේ සඳහන් කරයි. මෑත කාලයේ සිංහල සමාජයේ පීඩිත සමාජ ස්ථර කෙරෙන් පැන නැගි අරගලයන්හි දී නාමික සහයෝගයක් හෝ දැක්වීමට දෙමළ සන්ධානය පියවර ගත්තේ නැත. මුල් කාලීන දෙමළ විප්ලවීය සංවිධාන වූ ප්ලොට් සහ ඊපීආර්එල්එෆ් සිංහල ප්‍රගතිශීලී ව්‍යාපාර සමඟ සංවාදයක් ගොඩ නැගීමට ප්‍රයත්න දරන ලද නමුත් එල්ටීටීඊ ය විසින් නායකත්වය දෙන ලද දෙමළ රණකාමී ජාතිකවාදී දේශපාලනයේ නැගී ඒම විසින් එම ප්‍රවණතා යටපත්කර දමන ලදී. මෙම ප්‍රවණතාවය දක්ෂිනාංශික දෙමළ ජාතිකවාදය ලෙස හඳුන්වන සුමනසිරි ලියනගේ යෝජනා කරන්නේ දෙමළ සන්ධානය හුදෙක් පීඩිත දෙමළ ජනයාගේ අරගලයට කොටු නොවී ශ්‍රී ලංකාවේ පවත්නා එවැනි අවශේෂ වාම සමාජ බලවේග සමග පොදු අරගලයක කොටස්කරුවන් විය යුතු බවයි.
‛‛අපේ ස්ථාවරය සාධාරණ සහ යුක්ති සහගත බව අපි හැම දෙනාටම ඒත්තු ගැන්වීම අවශ්‍යයි. අප අන්තවාදී ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට අන්තර් ජාතික ජ්‍රජාවට එත්තු ගැන්විය යුතු යි. ඒ වාගේම අඩුම වශයෙන් මෙරට සිංහල ප්‍රජාවේ කොටසක් හෝ අපේ විසඳුම සාධාරණ බව පිළිගැනීම අවශ්‍ය යි.’’ පසුගිය සති අන්ත ඉංග්‍රිසි පුවත්පතකට සම්මුඛ සාකච්ජාවක් දෙමින් එසේ පැවසූයේ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මංත්‍රී එම්.ඒ. සුමන්දිරන් ය.
එංගලන්ත සංචාරයේ දී ඔහු කර තිබූ එම ප්‍රකාශයට දෙමළ ඩයස්පෝරාවේ යම් යම් පිරිස් විරුද්ධත්වයක් දැක්වූහ. සිංහල සමාජය දෙමළ ජනයාගේ සාධාරණ ඉල්ලීම් සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නැති සමස්තයක් වශයෙන් අන්තවාදී ප්‍රජාවක් යැයි යන මතය දරන කුඩා නමුත් සැළකිය යුතු හඬක් සහිත කණ්ඩායම් ද දෙමළ ඩයස්පෝරාවේ සිටිති. (එම අදහස ම දරණ විදේශගත සිංහල පිරිස් ද නැතුවා නොවේ.) එබැවින් එම පිරිස් කල්පනා කරන්නේ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටළුවට ස්වාධීන ඊලාම් රාජ්‍යක් ලබා ගැනීමෙන් මෙපිට වෙනත් විසඳුමක් නොමැති බවයි.
සන්නද්ධ අරගලය සහ ස්වාධීන දෙමළ ඊලාම් රාජ්‍යයක් යන ද්ව්ත්ව ස්ථාවරයන්ගෙන් ශ්‍රී ලාංකික දෙමළ ජාතිකවාදී ව්‍යාපාරය ඉවතට ගමන් කිරීම පශ්චාත් යුද්ධ දේශපාලන වර්ධනයන් අතර තීරණාත්මක වැදගත් කමක් ගනී. අද දෙමළ ජාතික සන්ධානය ඇතුළු බොහෝ දෙමළ දේශපාලන පක්ෂ පෙනී සිටින්නේ එක්සත් ශ්‍රී ලංකාවක් තුළ ක්‍රියාවට නැගෙන දේශපාලන විසඳුමක් වෙනුවෙනි.
සන්නද්ධ අරගලයක් මගින් දිනා ගැනීමට අරමුණු වූ වෙනම රාජ්‍යයක් මෙන් නොව එක්සත් ශ්‍රී ලංකාවක් තුළ වන දේශපාලන විසඳුමක් සිංහල ප්‍රජාවෙහි කවර හෝ සහයෝගයක් නැතිව සාර්ථකව ක්‍රියාවට නැගීමට අපහසු බවද අප පිළිගත යුතු ය.
එසේ නමුත් එවැනි විසඳුමක් සඳහා සිංහල බහුතරයේ කැමැත්ත අත්‍යවශය සාධකයක් ලෙස දැක්වීම වැරදිය. මන්ද යත් සුලුතර ප්‍රජාවක අයිතීන් තීරණය කිරීමට බහුතරයට බලය ලබා දීම ශ්‍රී ලංකාවට අද අවශ්‍ය කරන සම්මුති බද්ධ ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි නිසා ය. අප විසින් කළ යුත්තේ දේශපාලන නායකත්වය විසින් එවැනි විසඳුමක් තීරණය කරන අතරවාරයේ ම ඊට සිංහල ප්‍රජාවේ කැමැත්ත දිනා ගැනීමට ක්‍රියා කිරීමයි. නායකයින් යනු ඉදිරියෙන් යමින් මඟ පෙන්වන් මිස පසුපසින් සැඟවෙන්නන් නොවේ.
දේශපාලන විසඳුමක් සඳහා සිංහල ජනකොටස්හි සහාය ගොඩනැගීම සිංහල ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ සහ ප්‍රගතිශීලීන්ගේ වගකීමකි. එමෙන්ම ඒ අරමුණ සාර්ථක කර ගැනීම පිණිස දෙමළ ජාතික සන්ධානයට මීට වඩා සාධනීය ලෙස සිංහල පීඩිතයින්ගේ අයිතීන් සම්බන්ධයෙන් ප්‍රායෝගික ලෙස මැදිහත්වීම අවශ්‍ය ය. ජනයා, සිය සතුරා සහ මිතුරා හඳුනාගන්නේ සිය අයිතීන් සඳහා කැරෙන අරගලය තුලදී ය.
මේ සන්දර්භය තුළ වෙනත් ඉංග්‍රීසි පුවත්පතක් සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා පවසා තිබූ අදහසක් ද වැදගත් කමක් ගනී. ‛‛ සිංහල ගැමි ජනයා කෙරෙහි මට ඇත්තේ ගෞරවයක්. මම සිංහල ජනයා සමඟ ජීවත් වී තිබෙනවා. මං සිංහල ජනයා දෙස බලන්නේ මගේම සහෝදර සහෝදරියන් ලෙස යි. මට තියෙන්නේ ඔවුන් කෙරෙහි උණුසුම් හැගීමක්.’’ ‛‛ඉන්දියාවේ චෙන්නායි හි දී සිංහලයින්ට පහර දීම වැරදියි. ඊට ඉඩ නොදිය යුතුයි.’’ යනුවෙන් ද ඔහු කියා තිබුණි. එසේ කියා නතර වන්නේ නැතිව චෙන්නායිහි දී සිංහලයිනට පහර දීමෙන් වළකින ලෙස ඉල්ලා දෙමළ සංධානය සහ අනෙක් දෙමළ පක්ෂ එක්ව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේ නම් කොතරම් අගනේ ද?
සමහර විට වත්මන් ශ්‍රී ලංකා දේශපාලන රටාව තුළ තීරණාත්මක ප්‍රජාතන්ත්‍රවාදී භූමිකාව අල්ලා ගැනීමට දෙමළ සන්ධානයට අවස්ථාව එළඹෙන්නට ඉඩ තිබේ. නමුත් ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී එළඹුමක් සහ වැඩ සැළැස්මක් අවශ්‍ය ය. උදාහරණයක් වශයෙන් උතුරු පළාත් සභාවෙහි බලය ලබා ගැනීම පිණිස සමාජ සාධාරණයේ සහ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ වැඩ සටහනක් එය විසින් ඉදිරිපත් කළ හැකිය. මාධ්‍ය නිදහස සහ සුලුතර ජන ප්‍රජාවන්හි අයිතීන් වැනි කරුණු ඊට එක් කළ හැකි ය. දේශපාලන විසඳුමක් ඉල්ලා සිටීම මෙන්ම ඉන්පසු යන ප්‍රශ්ණයට ප්‍රගතිගාමී සහ ප්‍රජාතන්ත්‍රවාදී පිළිතුරක් සැපයීම ද වැදගත් ය. සදාචාරාත්මක මූලිකත්වය තමන් අත පවත්වා ගැනීම සදහා අරගලය පමණක් නොව අරගලයෙන් පසු යන ප්‍රශ්ණයට ද පැහැදිළි පිළිතුරක් අවශ්‍ය ය.
එවැනි දේශපාලන වර්ධනයක් කරා දෙමළ ජාතිකවාදී දේශපාලනයට දිශානතියක් සැපයීම සිංහල දෙමළ ප්‍රගතිශීලින්ගේ සාමූහික වගකීමකි.
සුනන්ද දේශප්‍රිය