‛‛මේ බුදුන්ගේ දේශයයි’’, ‛‛මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයයි’’ වැනි වැකි පන්සල්, අසපු වල මෙන්ම බස් රථ, මෝටර් රථ, ත්‍රීවීල් ඇතුළු රථ වාහන වල සහ තවත් විවිධ තැන් වල අලවා ඇති බව අපිට මේ දිනවල දැක ගත හැකි වේ.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට හැත්තෑපහක් හෝ ඊට අඩු හෝ වැඩි පිරිසක් සිංහල බෞද්ධයෝ වෙති. එපමණින් මෙය ‛බුදුන්ගේ දේශය’ නම් වේද? මෙරටේ වෙසෙන ඉතිරි සියයට විසිපහට අයත් අනෙකුත් ආගමික භක්තිකයින්ට මෙයින් අනියමාර්ථයෙන් හඟවන්නේ කුමක්ද? ඔවුන්ගේ ශාස්තෘවරුන්ට අදාල ‛දේශයන්’ ගොඩනගා ගන්නා ලෙසද? නැතහොත් එවැනි දේශයන් ඇත්නම් ඒවාට පිටුවහල් විය යුතු බවද? එසේත් නැත්නම් බෞද්ධයින් දෙන දෙයක් බුක්ති විඳ වෙන දෙයක් බලාගෙන නිහඬව, පාඩුවේ සිටිය යුතු බවද?
ශ්‍රී ලංකාවේ වෙසෙන සිංහල හා දෙමළ ක්‍රිස්තියානි/කතෝලික බැතිමතුන් වන්දනාමාන කරන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දේශය ඇත්තේ කොහිද? දෙමළ ජනතාව වන්දනාමාන කරන ශිව දෙවියන්ගේ දේශය ඇත්තේ කොහිද? මුස්ලිම් ජනතාව වන්දනාමාන කරන අල්ලාහ් දෙවියන්ගේ දේශය ඇත්තේ කොහිද? මොහොතකට අපි මෙසේ සිතමු. ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශයන්හි වැඩි වශයෙන් ජීවත්වෙන ක්‍රිස්තියානි/කතෝලික බැතිමතුන් එම ප්‍රදේශ ‛‛මේ ජේසුගේ දේශයයි’’ කිව හොත් අපි කුමක් කරමුද? උතුරේ දෙමළ මිනිසුන් එම ප්‍රදේශය ‛‛මේ ශිව දෙවියන්ගේ දේශයයි’’ කිව හොත් අපි කුමක් කරමුද? නැගෙනහිර කින්නියා ඇතුළු ප්‍රදේශවල ජීවත්වෙන මුස්ලිම් වැසියන් එම ප්‍රදේශයට ‛‛මේ අල්ලාහ් දෙවියන්ගේ දේශයයි’’ කිවහොත් අපි කුමක් කරමුද? දැනට පවතින දේශපාලනික අරගලවලට අමතරව මේ බෞද්ධ ආගමික නායකයින් අර අදින්නේ අන්තවාදී ආගමික ගැටුමකට ද? නැවතතත් වෙනත් මුහුණුවරකින් මිනිස් ජීවිත බිලි ගැනීමේ, ලේ වැගිරවීමේ යුද්ධයකට මෙවැනි සංකල්ප, මතවාද හරහා පාර කැපෙන්නේ නැද්ද?
බුදු රජාණන් වහන්සේ දේශනා කරන ලද නිවැරදි බෞද්ධ දර්ශනය තුළ වැට මායිම් ගසා ‛මේ බුදුන්ගේ දේශයයි’ යනුවෙන් රටවල් සින්නක්කරව වෙන්කර ගන්නා ලෙස දේශනාකර නැත. අද ශ්‍රී ලංකාවේ අනුගමනය කරන බෞද්ධ දර්ශනය බොහෝ විකෘති සහගත බවින් යුක්තය. නැත්නම්, අතුරුලියේ රතන නැමති චන්ඩි හාමුදුරුවෝ මිනිසුන් හැඳීගෑවී අත පය කැඩී කොරවී යන සේ පතා සීනිගම පොල් ගසා අබ, ගම්බිරිස්, මිරිස් අඹරන්නේ නැත. නැතිනම්, චීවරධාරීන් හදි හූනියම්, කොඩිවින, ඉනා කරන බවට ජනමාධ්‍යයේ දැන්වීම් පළ කරන්නේ නැත. චිවරධාරීන් මුදල් උපයා ඉතාමත් ධනවත් සුඛෝපභෝගී ජීවිත ගත කරනු ලබන්නේ ද මෙහි ප්‍රතිඵලයක් ලෙසිනි. එමෙන්ම, චීවරධාරීන් ලිංගබේදයකින් තොරව ලිංගික අපචාර කරන්නේ ද චීවරධාරින් හොර රහසේ පවුල් පංසල් වෙන්නේ ද මෙම ආගමික සෝදාපාළුවේ ඍජු ප්‍රතිඵලයන් ලෙසිනි. විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ රඟ දන්නෝ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝම වෙති. රුවන්වැල්ලේ සෝභිත වැනි තුච්ඡ චීවරධාරීන් බිහිවන්නේ ද මෙම විකෘත්ති සහගත භාවිතාව නිසාමය.
ඉහත දැක්වූයේ බෞද්ධ දර්ශනය ප්‍රචාරය කරන, එය ආරක්‍ෂා කරන, ඒ තුළින් සුසිල්වත් සමාජයක් බිහි කිරීම සඳහා වගකීම් පැවරී ඇති භික්‍ෂු ශාසනයේ දුසිල්වත් බවින් බිඳක් පමණි. පන්සිල් පද ආරක්‍ෂා කරන බවට උදේ හවා පොරොන්දු වෙන උපාසක උපාසිකාවන්ගේ දුසිල්වත්කම් ඉඩ මදිකම නිසා මෙහිදී සඳහන් කරන්නේ නැත (සියලූම භික්‍ෂු භික්‍ෂුනීන් සහ උපාසක උපාසිකාවෝ දුසිල්වතුන් බව මෙහිදී අදහස් නොකෙරේ). බෞද්ධ දර්ශනයේ විකෘතිසහගත ඇදහීමේ කූඨප්‍රාප්තිය ලෙස ශ්‍රී ලංකාව ‛බුදුන්ගේ දේශය’ ලෙස වෙන්කර හඳුනා ගැනීමේ උත්සහය හැඳින්විය හැකි ය.
2011 අගෝස්තු 07 වැනි දින රාවය පුවත්පතේ මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසා සමග සිදු කළ කාලීනව වැදගත් ජාතික ගැටළුව හා සම්බන්ධ සම්මුඛ සාකච්ඡාවක් 7 වැනි පිටුවේ පළ කර තිබිණි. මහාචාර්ය සොයිසා වරෙක මෙසේ සඳහන් කරයි.
‛‛රටේ ඉන්න සියයට හැත්තෑපහක් විතර සිංහල බෞද්ධයන් පුරුදුවෙලා ඉන්නවා, අනික් සුළුතරය හිටියත් එකයි නැතත් එකයි කියලා හිතන්න. අද මං බස් එකේ එද්දි දැක්කා ගහලා තියෙනවා ‛මේ බුදුන්ගේ දේශය’යි කියලා. ඒකෙන් අනියමාර්ථයෙන් කියන්නේ බුදුන්ගේ දේශය තුළ අනෙක් ආගම්වලට ඉඩක් නෑ කියන එකනේ. මේක භයානක ආගමික අන්තවාදයක්. වැදගත්ම දේ තමයි මේ කියන ආගමික අන්තවාදයට මේ රටේ රජය සැලකීම. ආගමික අන්තවාදයට ඔවුන් සලකන්නේ ඒකෙන් තියෙන පටු දේශපාලනක වාසිය බලලා. නමුත් ඒකෙන් වන හානිය ගැන ඒ අය කොයි වෙලේවත් සලකන්නේ නෑ’’
මෙම ප්‍රකාශය තුළින් අද එටේ පවතින හා ඉදිරියට දරුණු විය හැකි ආගමික අන්තවාදය හරහා නැවත නැවත ගොඩ නැගෙන වාර්ගික ගැටුම පිළිබඳව මොනවට පැහැදිලි කරනු ලබයි.
බුදු හාමුදුරුවෝ ඉපදුණු ඉන්දියාවේ වත් අපට ‛‛මේ බුදුන්ගේ දේශයයි’’ යනුවෙන් නිශ්චිත කොට සඳහන් කළ හැකිද? බුදු රජාණන් වහන්සේ තෙවරක් මෙරටට වැඩියා වුවත්, ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් බෞද්ධ දර්ශනය ඇදහූවත්, බෞද්ධාගම පදනම් කරගත් අතීත ශිෂ්ඨාචාරය පිළිබඳව ඓතිහාසිකව කරුණු කාරනා කොතරම් සාකච්ඡා කළත් වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජය තුළ, ශ්‍රී ලංකාව නැමති ජාතික රාජ්‍ය නිරවුල්ව ගොඩනගා ගැනීමට අවශ්‍ය නම්, අප සියලු දෙනා මේ බෞද්ධාගමික මහන්තත්වයෙන් අත් මිදිය යුතුමය. ශ්‍රී ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණය බෞද්ධයින්ට සින්නක්කරව ලියා ගැනීම සඳහා ගන්නා ආගමික අන්තාවාදී උත්සාහයන් වර්ථමානයේ ජීවත්වන උගත්, බුද්ධිමත් හා ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණ අගය කරන සියලු පුද්ගලයින් බැහැර කළ යුතුය. ‛මේ බුදුන්ගේ දේශයයි’ යනුවෙන් දේශනාකරණ ආත්මාර්ථකාමී මනෝවිකාර සංකල්පය හමුවේ මෙරටේ වාසය කරන අනෙකුත් ජනවර්ගයන්ට අගතියක් සිදුවනවා නිසැකය. එය අසාධාරණ ය. මෙවැනි සංකල්ප සාමාජගත කිරීම බුදුදහමටත් නිග්‍රහ කිරීමකි. ශ්‍රී ලංකාවේ සියයට සියයක් බෞද්ධයෝ සිටියත් එය බුදුන්ගේ දේශය වන්නේ නැත.
සෑම ආගමකින්ම සිදුකරන්නේ අසීලාචාර මිනිසා සීලාචාර කිරීම ය. එක් එක් ආගම්වලින් මිනිසා ශිෂ්ඨ සම්පන්න කරන ක්‍රමවේදය හා මාදිලිය වෙනස් විය හැකිය. නමුත් අවසානයේ දී බලාපොරොත්තු වන්නේ යහපත් දේ නැතිනම් ‛හොඳ’ පමණි. මේ නිසා බෞද්ධ ආගම පමණක් රාජ්‍ය ආගම විය යුතු නැත. සියලූම ආගම්වල දියුණුව සඳහා පවතින ආණ්ඩු පහසුකම් සපයාදිය යුතු ය. එවිට ව්‍යවස්ථාවේ බෞද්ධාගම පමණක් රාජ්‍ය භාෂාව ලෙස සඳහන් කිරීමට අවශ්‍ය නැති අතර බෞද්ධ, ක්‍රිස්තියානි, හිංදු, ඉස්ලාම් යනාදි ආගම් රාජ්‍යයේ පිළිගත් ආගම් ලෙස සඳහන් කළ යුතු ය. එමගින් ආගමික නිදහස හා ආගමික සහජීවනය ඇතිකර ගත හැකිය. එය නිරවුල් ය.
මේක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයයි. එහි බෞද්ධ දර්ශනය අදහන වැඩි ප්‍රතිශතයක් සිටිති. එමෙන්ම, හිංදු, මුස්ලිම්, ක්‍රිස්තියානි සහ තවත් ආගම් අදහන ශ්‍රී ලාංකිකයෝ ද සිටිති. මෙම රට එක ශාස්තෲවරයෙක්ගේ නමින් පමණක් ප්‍රකට කළ යුතු නැත. මේක ‛‛බුදුන්ගේ දේශය’’ නොව ‛‛අපේ දේශයයි’’. එසේ සඳහන් කරන විට බුදුරජානන් වහන්සේ ද අප්‍රමානව සතුටුවන සේක. මෙහි සියලූම පුරවැසියන්ට තම තමන්ගේ ආගම නිදහසේ ඇදහීමට අයිතිය තිබිය යුතු ය. රට පාලනය කරන පාලකයින් මේවාට ඇඟිලි නොගැසිය යුතුයි. දේශපාලඥයින් ජාතිවාදී හා අන්තවාදී නොවිය යුතු ය. එමෙන්ම ආගමික නායකයින්ද අන්තගාමි නොවිය යුතු ය. ජාතිවාදි නොවිය යුතු ය.
මානව හිමිකම්, සමානාත්මතාවය හා ප්‍රජාතන්ත්‍රවාදය වැනි සංකල්ප ජාත්‍යන්තරව පිළිගත් මෙවැනි යුගයක විවිධ ආගමික පදනමින් හා වාර්ගික පදනමින් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ව වෙන්කර නොසැළකීමට සියලූම පාර්ශව සිත හදාගත යුතු ය. එය නීතිගත කළ යුතු ය. එය ව්‍යවස්ථානුකූල නීතියක් බවට පත් විය යුතු ය. එම ක්‍රියාමාර්ගය තුළින් ශ්‍රී ලංකාවේ ජාතික ගැටළුව විසඳිය හැකි ය. එමගින් මෙහි වෙසෙන එක් එක් වර්ග එකට එක් කොට ශ්‍රී ලාංකික ජාතිය නිර්මාණය කරගත හැකි වන්නා සේම නිරවුල් ජාතික රාජ්‍යය බිහිකර ගැනීමට ද හැකියාව ලැබෙයි.
අවසන් වශයෙන් මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසා මහතා ඉහත දැක්වූ ‛රාවය’ සම්මුක සාකච්ඡාවට ලබා දී තිබූ පහත අදහස සඳහන් කිරීමට කැමැත්තෙමි.
‛‛විවිධ ජන කොට්ඨාස වාසය කරන රටක භාෂාව සහ ආගම කියන්නේ ඉතාමත්ම භයානක ගිනි පුපුරු. ඒ දෙක ඕනෑ වෙලාවක දැල්විලා ගිනි අවුළුවා රට විනාශ කරන්න පුළුවන්. රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළින් සමාන පුරවැසියන් සහ සමාන ඉඩ ප්‍රස්ථා කියන කරුණු තහවුරු වෙලා තියෙන්න ඕනේ වුණත් නිදහසින් පසුව අපිට කිසිම ව්‍යවස්ථාවක් ගොඩනගා ගන්න බැරිවුණා මේ සිද්ධාන්තය යටතේ’’
සටහන:- සම්පත් රෝහණ කුමාර