“සති තුනකින් නායකයෙක් බිහිකරන්න බැහැ. ඒක බොරු කතාවක්. ඒක සිදුවන දෙයක් නෙමෙයි. අනික් කාරණය තමයි නායකත්ව පුහුණුවෙදි අපිට හොඳට කෑම දුන්නා. එතුමා කිව්වෙ කෑම දීලා හොඳට පෘෂ්ටිමත් මිනිහෙක් බිහිකරන එකද දන්නෙ නැහැ. එහෙම නැතුව නායකයෙක් නම් ඒ පුහුණුවෙන් කවදාවත් බිහිවෙන්නෙ නැහැ.”
(නායකත්ව පුහුණුවට සහභාගී වූ ශිෂ්‍යයාවක්)
විශ්ව විද්‍යාල සිසුන් වෙනුවෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන නායකත්ව පුහුණු වැඩසටහන් වලදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගණනාවකටම බරපතල මානසික සහ ශාරීරික හිංසනයන්ට මුහුණ දීමට සිදු වූ බව ශිෂ්‍ය නායකයන් චෝදනා කරනවා. මේ පුහුණුවට සහභාගී වූ නිෂානි මධුෂාණි ශිෂ්‍යාව පසුගිය ජූලි 28 වෙනිදා මරුමුවට පත් වීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බවයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය පවසන්නේ.
මෙහිදී අදහස් දක්වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර,
“මේක පළවෙනි සිදුවීම විතරක් නෙමෙයි. සමහර කඳවුරු වලදි සර්පයෝ දෂ්ට කරපු අවස්ථා, අලි පහරදුන් අවස්ථා තිබුණා. ඒ වගේම බලහත්කරෙයෙන් පුහුණුවේ යෙදවීම නිසා විවිධ තුවාල ලබපු, අබ්බගාත තත්ත්වයට පත් වූ සිසුන් හිටියා. විවිධ මානසික ආතතීන්ට ගොදුරු වූ සිසුන් විශාල වශයෙන් වාර්තා වුණා. මාධ්‍ය තුළ ඒවා හෙලිදරව් නොවුණත්, යථාර්තය නම් හමුදා කඳවුරු වද කඳවුරු බවට පත් වූ බවයි.”
එහෙත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය එම චෝදනා දැඩිව ප්‍රතික්ෂේප කරනවා. අනාගතයෙදි තමන් ඉදිරියේ දී මතුවන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් නව පරපුරක් බිහිකිරීම මෙම නායකත්ව පුහුණුවේ අරමුණ බවයි උසස් අධ්‍යාපන ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න පවසන්නේ.
ලේකම්වරයාගේ මෙම අදහස පිළිබඳ කරුණු හෙලිකරන විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබූ ශිෂ්‍යාවක්,
“නායකත්ව පුහුණුවට ගිය අය කිව්වා හුඟක් යාළුවො හම්බවෙන්න පුළුවන් කියලා. ඇමතිතුමාගෙ අදහස තිබ්බෙ ළමයින්ගෙ බ්‍රේන් වොෂ් එකක්. මං හිතන්නෙ නැහැ ඒක එතරම් සාර්ථක වෙන්න ඇති කියලා. මොකද ළමයා දැන් ඉන්න මානසිකත්වය නෙමෙයි විශ්ව විද්‍යාලය ඇතුළට ගියාම තියෙන්නෙ.”
නමුත් මේ පුහුණු වැඩසටහනට ශිෂ්‍ය සහ ආචාර්ය දෙපාර්ශවයේම ප්‍රසාදය පළවූ බව උසස් අධා්‍යාපන ලේකම්වරයා අවධානයකර සිටියි. විශ්ව විද්‍යාල ආචාර්යවරු තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පවතිද්දී පවා මෙම පුහුණු වැඩසටහනට පැමිණ වැඩ කළ බව ලේකම්වරයා පවසයි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාංශයේ මහාචාර්ය කාලිංග ටියුඩර් සිල්වා නායකත්ව පුහුණුව පිළිබඳ තම අදහස් පළකලේ මෙසේය.
“විශ්වීය සමාජයකට විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් පුරුදු කරන පුහුණුවක් හමුදාවෙන් පමණක් දිය හැකිද කියලා මට නම් ගැටළු සහගතයි. විශ්ව විද්‍යාල ශිෂ්‍යාගේ සමාජ විඥානය, තර්ක කිරීමේ හැකියාව, කිසියම් ප්‍රශ්නයක් දිහා විචාරාත්මකව බැලීමේ හැකියාව වර්ධනය කළ යුතුයි. එවැනි හැකියාවක් හමුදා පුහුණුවක් තුළින් ලබා දිය හැකිද යන්න ප්‍රශ්නයක්.”
නායකත්ව පුහුණුව පිළිබඳ ජනතාවගෙන් අදහස් විමසීමකින් තොරවම බලහත්කාරයෙන් මෙය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු සිය විරෝධය පළ කලේය.
“මේ හමුදා පුහුණුව ආරම්භ කරන්නෙ රටේ පැහැදිලි සංවාදයකට ඉඩ තබලා නෙමෙයි. සරසවි සිසුන්ට කැඳවීම සඳහා ලිපි ලැබෙද්දි දින හතරක් හෝ පහක් තිබ්බෙ පුහුණුව ආරම්භවෙන්න. අඩුම තරමේ දෙමව්පියන්ට මේ සම්බන්ධයෙන් විරෝධයක් තිබුණා නම් ශ්‍රේෂ්ඨාධිකරණයට තමන්ගෙ විරෝධය ගෙනියන්නවත් ඉඩක් නොතබා ඉතා සූක්ෂම ලෙස මේක ක්‍රියාත්මක කළේ. ආණ්ඩුවට ඕනෙ වුණා ජනතාවගේ අදහස් නොවිමසා, ජනතාව තුළ සංවාදයකට ඉඩ නොතබා බලහත්කාරයෙන් මේක ආරම්භ කරන්න.”
නමුත් උසස් අධ්‍යාපන ලේකම්වරයා මෙයට හාත්පසින්ම වෙනස් අදහසක් ඉදිරිපත් කරයි.
“විශ්ව විද්‍යාල අධ්‍යාපනය ප්‍රායෝගික නැහැ. සිංහල, ජන සංනිවේදනය වගේ න්‍යායාත්මක දේවල් වලින් ළමයින්ගෙ නායකත්වය මොට වෙනවා. අනික මේ පුහුණුව හදිසි තීරණයක් නෙමෙයි. ඉතාමත් සැලසුම්සහගතව කරපු වැඩක්. ටියුෂන් පන්තියට හුරුවුණු දරුවා අළුතෙන් හිතන්න, අළුතෙන් ලෝකය දකින්න, දැක්මක් ඇතිව ජීවත්වෙන්න, ප්‍රශ්නයක් තේරුම් ගන්න කරපු පුහුණුවක්. අළුත් විදිහට හිතන්න පුළුවන් ළමයෙක් විශ්ව විද්‍යාලයට ගියෙ නැත්නම් න්‍යායට පමණක් හිරවුණු, කිසි දෙයක් ප්‍රායෝගිකව හිතන්න බැරි ළමයෙක් තමයි විශ්ව විද්‍යාලය තුළ ඉතුරු වෙන්නෙ. මේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය උඩුයටි කරන්න ඕනෙ. ඉතා සැලසුම් සහගතව, ලෝකයේ ඕනෑම තැනක වැඩක් කරන්න පුළුවන් තරුණයෙක් තමයි බිහිකරන්න අවශ්‍යය.”
ලෝකයේ ඕනෑම තැනක වැඩක් කිරීමට හැකි තරුණයෙක් නායකත්ව පුහුණුවෙන් බිහි වූවාද යන්න පිළිබඳව, රුහුණු විශ්ව විද්‍යාලයට තේරී පත් වූ මාලන් ජයතිලක මෙසේ පවසයි.
“ඇත්තම කියන්න ඕනෙ එච්චර දෙයක් නම් වුණේ නැහැ. අපි එතන ඉඳලා සාමාන්‍ය විදිහට දේශන වලට ගිහිල්ලා, සාමාන්‍යයෙන් ශාරීරික පුහුණුවක් ලැබුවා ඇරෙන්න ඒ කියන ආකාරයේ ඕනෑම තැනක ගිහිල්ලා ඉදිරිපත් වෙන්න පුළුවන් තත්ත්වයක් ලැබුණා කියලා නම් දැනුනේ නැහැ.”
කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළුවීම සඳහා වරම් ලබා සිටින සචින්තනා ලක්මාලී සුරවීර සිය නායකත්ව පුහුණුවේ අත්දැකීම මෙලෙස හෙළි කළාය.
“සති තුනකින් නායකයෙක් බිහිකරන්න බැහැ. ඒක බොරු කතාවක්. ඒක සිදුවන දෙයක් නෙමෙයි. අනික් කාරණය තමයි අපිට හොඳට කෑම දුන්නා. එතුමා කිව්වෙ කෑම දීලා හොඳට පෘෂ්ටිමත් මිනිහෙක් බිහිකරන එකද දන්නෙ නැහැ. එහෙම නැතුව නායකයෙක් නම් ඒ පුහුණුවෙන් කවදාවත් බිහිවෙන්නෙ නැහැ.”
මහාචාර්ය කාලිංග ටියුඩර් සිල්වා පවසන්නේ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ මෙතරම් සම්පත් හිඟ අවස්ථාවකදී නායකත්ව පුහුණුව තුළ වැය කළ මුදල් වල ප්‍රතිලාභය ගැටළුවක් බවයි.
“විශ්ව විද්‍යාලයේ පීඨ සභා කියලා ,සනාතන සභාව කියලා ආයතන තියෙනවා. ඒ අය හරහා තමයි මේ වගේ දෙයක් සාකච්ඡා කරන්න ඕනෙ. නමුත් මම දන්න විදිහට විශ්ව විද්‍යාලයේ විධිමත් තීරණ ගැනීමේ පිළිවෙළට පරිබාහිරව තමයි මේ දේ සිදුවෙලා තියෙන්නෙ. අනෙක් කාරණය තමයි මේකට ගිය මුදල් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මේ ව්‍යාපෘතියෙ මුදල් වියදමට සරිලන ප්‍රථිපල ලැබිලා තියෙනවද? මේ අවස්ථාවෙ විශ්ව විද්‍යාල පද්ධතියේ විශාල සම්පත් හිඟයක් තියෙනවා. එබැවින් මේ සඳහා වැය කළ මුදල් ඵලදායී කාර්යයකට යොදා ගත්තාද කියලා ගැටළුවක් තියෙනවා.”
බී.බී.සී සංදේශයේ වාර්තාවක් ඇසුරෙනි ( 2011 අගෝස්තු 25)