Photo courtesy: first-news.blogspot
අවුරුදු 23 ක් අඛණ්ඩව ටියුනීසියාව පාලනය කළ බෙන් අලී, සෞදි අරාබියට පැන ගියේය. අවුරුදු 30 ක් අඛණ්ඩව ඊජිප්තුව පාලනය කළ හොස්නි මුබරක් අද එම රටේ හිරේ ලගී. දැන් පැමිණ ඇත්තේ ලිබියාවේ මුවමර් ගඩාෆිගේ වාරය යි. ගඩාෆි, මේ ලියන මොහොතේ, තමාගේම ජනතාවගෙන් දිවි ගලවාගෙන පළා යන අපරාධකාරයෙකි. එම හිසට ඩොලර් මිලියන දෙකක තෑග්ගක් පිරිනැමේ.
සමාජ සංවර්ධනය සම්බන්ධයෙන් ගත් කල දියුණු යැයි සැලකෙන ලෝකයේ, පිලිකන්නේ ඇනතියාගෙන සිටි අප්‍රිකානු මහද්වීපය, මේ සා ආකර්ශණීය යුග පෙරලියකට, මේ සා කෙටි කාල පරාසයක් තුළ උපස්ථම්භක වීම, ඇත්තෙන්ම අහ්ලාදජනක යි. ‛රජවරුන්ගෙත් රජතුමා’ යන සෝපාහාස විරුදාවලිය තමන් විසින්ම තමන් වෙත පවරාගත් මේ මිනිසා, ප්‍රජාතන්ත්‍රවාදයේ සහ යහපාලනයේ ප්‍රතිපක්ෂය හුවා දැක්වෙන අගනා ප්‍රතිමූර්තිය මේ යැයි ලෝකයාට පෙන්නුවේය.
එසේ තිබිය දී, පසු ගිය හය මසකට ආසන්න කාලයක් තිස්සේ අපේ රටේ පාලකයෝ ඔහුව වර්ණනා කළෝය. ඔහුගේ වෙඩි උණ්ඩයෙන් මියයන සිය ගණන් සාමාන්‍ය වැසියන්ගේ මළකඳන්, ‛අධිරාජ්‍යවාදයේ’ දොරකඩට ගෙන ගොස් අතහැරියෝය. මෙය, පසුගිය කාලයේ අපේ ලිඛිත සහ විද්‍යුත් මාධ්‍ය ජාල තුළ මෙම අපරාධකාරයා අරභයා වාර්තා කළ තොරතුරු ආශ්‍රයෙන් මොනවට පැහැදිළි කෙරුණි. කුලී ලේඛකයෝ සහ රූපවාහිනී ප්‍රකාශකයෝ එහි දී පෙරමුණ ගත්හ.
කුලී ලේඛකයන්ගේ ස්වභාවය දැන ගැනීමට අවශ්‍ය නම් කෙනෙකුට ඉතා සරළ පරීක්ෂණයකට යොමු විය හැකිය. ලේක්හවුස් ආයතනය ජනසතු කිරීමෙන් පසු අද වන තෙක් මේ රටේ ආණ්ඩු වෙනස් වූ හැම දවසකටම කලින් දවසේ ප්‍රකාශිත පත්තරයක් සහ ඊට පසුව දා ප්‍රකාශිත පත්තරයක් අරගෙන කියවන්න. මාස ගණන් ගත කළ යුතු නැත, පැය 48 කින් වෙනස හැඳිනිය හැකිය. එකම පෑනකින් පැය 48 ක් තුළ දෙවිදිහකට ලියැවෙන්නේ කෙසේ ද?
කුලියට ලියන්නා තමාගේ විශ්වාසයන් හෝ ප්‍රතිපත්ති දරාගෙන ලියන්නෙකු නොවේ. වෙන කෙනෙකුගේ ගාස්තුවක් හෝ පඩියක් වෙනුවෙන් ලියන්නෙකි. (ලේඛකයන් පඩි නොලැබිය යුතු බවක් මින් අදහස් නොවේ). කාලයක් යන විට මෙවැනි ලියන්නන් තුළ ගොඩගැසෙන, අනුන් වෙනුවෙන් ලිවිය යුතු ස්තෝත්‍ර පරඩැල් කෙතෙක් ද යත්, ‛තමාගේ විශ්වාස’ හෝ ‛තමාගේ ප්‍රතිපත්ති’ කියා කිසිවක් ඔහු හෝ ඇය තුළ බෙහෙතකටවත් ඉතිරි නොවන මොහොතක් උදාවෙයි. අහස කළු කර ඇති විටෙක, ‛වහින්න වගේ, නේ?’ දැ යි කෙනෙකු ඇසුවත්, මෙවැනි ලියන්නෙකුගෙන් ඊට නිසි පිළිතුරක් නොලැබේ. මන්ද යත්, එය පවා තමාගේ හාම්පුතාගෙන් නොවිමසා පළ කළ යුතු අදහසක් වශයෙන් ඔහු හෝ ඇය නොසළකන බැවිනි.
ගඩාෆිගේ මිනිමරු පාලනය කෙරෙහි ගොඩනැගෙමින් තිබූ වෛරය ද පරදවන ජුගුප්සාවක්, එම මිනීමරු පාලනය යුක්ති සහගත කරමින් ලංකාවේ මාධ්‍යවේදීන් පසු ගිය මාස කිහිපය තිස්සේ ලියූ කියූ දේවල් අරභයා අපේ සිත් තුළ ලියැලුණි. ‛අධිරාජ්‍යවාදී බළල් අතක්’ ගඩාෆි විරෝධය තුළ මේ අය දැක්කෝය. ඇතැම් වාමාංශිකයන් ද එහි පංගුකාරයන් වුවත්, ඔවුන් ‛බළල් අත්’ දැක්කේ, තමන්ගේ ‛දෘෂ්ටිවාදී කෝවට’ අනුගත වීම සඳහා මිස, විශේෂ ලාභ ප්‍රයෝජන තකා නොවන බව අපි දනිමු. කුලී ලියන්නන් එසේ නොවේ. ගඩාෆිගේ ආණ්ඩුවෙන් මුද්‍රණය කළ යුතු පුවත්පත් ලංකාවේ ලේක්හවුසියේ මුද්‍රණය කෙරුණි. ලිබියාවේ විසිරුවා හැරිය යුතු රූපවාහිනී ප්‍රවෘත්ති ප්‍රචාරක වැඩසටහන් ලංකාවේ ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කෙරුණි.
ගඩාෆිගෙන් පසු ලිබියාව සහ ලංකාව අතර ගොඩනැගෙන රාජ්‍යය තාන්ත්‍රික සම්බන්ධතා මොන ස්වරූපයක් ගනී දැ යි බලා සිටීමට දැන් අපට පිළිවන. එහි දී, කුලී ලියන්නන්ගේ ප්‍රතිපත්තියම, කැමැත්තෙන් හෝ අකමැත්තෙන්, ලංකා ආණ්ඩුවටත් අනුගමනය කිරීමට සිදුවන බව දැන් තියාම කිව හැකිය. රුසියාව සහ චීනය දැනටමත් ඒ මගට පිවිස ඇත. වෙනිසියුලාව සහ උතුරු කොරියාව ඒ පස්සෙන් ඒවි. කැස්ත්‍රෝ විතරක් මරණ මංචකය දක්වා කෙලින් සිටීවි.
ගඩාෆි පිළිබඳ විනිශ්චයක් සඳහා යොදාගත හැකි විවිධ ඉසව් ඇති බව සැබෑවි. ඔහු වෙනුවෙන් පෙනී සිටින්නන්ට ‛අධිරාජ්‍යවාදී ඕනෑ එපාකම්’ පිළිබඳ බැටළු හමට ඉතා පහසුවෙන් තැලිය හැකිව තිබුණි. එහෙත් ඒ, ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය සහ මානව හිමිකම් ඇතුළු පොදු ජනතා අයිතිවාසිකම් පාවා දෙමිනි. මේ අයිතිවාසිකම් අස්සේ පවා, ‛අධිරාජ්‍යවාදී ඕනෑ එපාකම්’ තිබෙන්නට පිළිවන. ලිබියාවේ ප්‍රජාතන්ත්‍රවාදය පතන බටහිර බලවතුන් සෞදි අරාබියේ හෝ බහරේනයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හඩ නොනගන්නේ මන්දැ යි එවැන්නෝ ප්‍රශ්න කරති. මානව හිමිකම් කඩ කිරීම් අතින් මෙන්ම, ප්‍රජාතන්ත්‍ර විරෝධී රාජ්‍ය පාලනයේ දුර්දාන්ත භාවය අතින් ද ලෝකයේ පළමු දහ දෙනා අතරට ගැනෙන ලිබියාව, මීට කලකට පෙර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සභාපතිත්වයට පත්කර ගත්තේ කෙසේ ද යන්න, තවත් කෙනෙකුට ප්‍රශ්න කළ හැකිය. මේවා ජගත් භූදේශපාලනයේ හිරිකිත පීලීපැනීම් බවට සැකයක් නැත. ඒවාට එරෙහිව වෙනම සටන් පෙරමුණු ගොඩනැගිය යුතුව තිබේ. එසේ වුව ද, ඒ සියලු අකටයුතුකම් සහ පරස්පරතා මොන ලෙසකින්වත් ගඩාෆි යටතේ පැවති ලිබියාව සුජාත කිරීමට සහේතුක කාරණා කරගත යුතුව තිබුණේ නැත. ජගත් භූදේශපාලනය යනු, කිසිවක් ලියා නැති පිරිසුදු ගල් ලෑල්ලක් නොව, අතුරු සිදුරු නැතිව කුරුටු ගෑව, නැවත නැවතත් මක මකා ලිවිය යුතු, නිරන්තර අභ්‍යාසයකි.
ගඩාෆි සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදියෙකු දැරිය යුතු ප්‍රතිපත්තිය කුමක් දැ යි තෝරාබේරා ගැනීම අරභයා කෙනෙකුට යාමට තිබුණේ ඉතා කෙටි දුරකි. ඔහු අත්තනෝමතිකව එම රටේ පාලනය හෙබැවූ කාල පරාසය සැලකිල්ලට ගැනීම පමණක් එහි දී ප්‍රමාණවත් වන්නට තිබුණි. එය වසර 42 කි. ලිබියාවේ හිටපු රජු පන්නා දමා, වයස අවුරුදු 29 දී, ලේ නොගැලූ කුමන්ත්‍රණයකින් බලයට පත් ගඩාෆි එදා කීවේ, ධනවාදය සහ සමාජවාදය යන සමාජ ක්‍රම දෙකම අභිභවන, ‛‛සදාතනික විප්ලවයක්’’ තමන් දියත් කරන බව යි. එයින් එක වසරක්වත්, ප්‍රජාතන්ත්‍රවාදයට සහ යහපාලනයට මතුපිටින්වත් මායිම් වුණේ නැත. නෝර්වේ වැනි දියුණු බටහිර රටකට වඩා මූල්‍ය ධනයෙන් ආඪ්‍ය, ජනගහනයෙන් නෝර්වේ රටට වැඩිමනත් නොවෙනස් සමාජයක්, අඩු වශයෙන් මධ්‍යකාලීන ගෝත්‍රික සමාජයකින් එහාට ගෙන යාමටවත්, මේ සා දීර්ඝ කාලයක් තිස්සේ කිසිවක් නොකළ ඒකාධිපතියෙකු වැටෙන්නේ, ඉතිහාසයේ කුණු කූඩයට නොව, දංගෙඩියට යි.
ගිය සතිය දක්වාමත්, මේ අපරාධකාරයා වෙනුවට ඔහුගෙන් පීඩාවට පත් වින්දිතයන්ගේ ධජය එසැවීමේ සදාචාරමය වගකීමක්, සෑම ශිෂ්ඨ සම්පන්න රටකටම තිබුණි. ඒ වන විටත් අපේ ආණ්ඩුව තෝරාගත්තේ අපරාධකාරයාව යි. එසේ කෙළේ ඇයි? ඔහුගේ ‛රාජ්‍ය තාන්ත්‍රික’ ආදර්ශය ස්වකීය අනාගතයේත් ආදර්ශය වශයෙන් ගැනීමට තිබූ ආශාව විය හැකිය.
අපේ ජනාධිපතිවරයාට උපරිම වශයෙන් බලය හෙබැවිය හැකි වසර 12 සීමාව, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉවත් කරගත්තේ, ගඩාෆි මෙන්ම අවුරුදු 42 ක් වුවත් රජකම් කිරීමේ පුර්වාදර්ශය තුළ කිසි වරදක් අපේ පාලකයා නොදුටු බැවිනි. ගඩාෆිගෙන් පසු එරට රජකමට ඔහුගේ පුතා ගෙන ඒමේ වෑයම තුළ කිසි වරදක් අපේ පාලකයා නොදුටුවේ, තමාගේ පුතා ද අනාගතයේ දී එවැනි පරවේණියකට යොමු කිරීමේ අභිලාෂය නිසාවෙනි. ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය ආදී මේ කිසිවක් නොතකන බුරුමය වැනි නීච රාජ්‍යයන් පවා අද අපේ සමීපතම මිතුරන් වී ඇත්තේ, ප්‍රජාතන්ත්‍රවාදී පරමාදර්ශය, දෙකේ කැලෑසියට වීසි වී ඇති නිසාවෙනි. ඒ තතු යටතේ, ප්‍රජාතාන්ත්‍රික ‛ගුණ දම්’ පිළිපදින්නැ යි ඉල්ලා සිටින රාජ්‍ය පද්ධතිය ‛බටහිර අධිරාජ්‍යවාදය’ වශයෙන් අපි නම් කරමින් සිටිමු.