“අපි වෙනදා වගේ රෑට කාලා නිදියගත්තා. දවල් වැඩකරලා මහන්සි හින්දා වැටිච්ච හැටියෙ නින්ද ගියා. එකපාරටම මාලඟ නිදාගෙන හිටපු සුමිත් මල්ලි මාව කෙනිත්තුවා.
සද්ද කරන්න නැතිව කුස්සිය පැත්ත බලපන් කියලා සුමිත් මල්ලි මගෙ කණට කරලා කිව්වා. කුස්සියෙ දොර ඇරලා තිබ්බෙ. කව්ද මන්ද ඡයාවක් හෙමින් සැරේ අපි නිදා ඉන්න ඇඳගාවට ඇවිත් අපි දිහා හොඳට බලන්න ගත්තා. එකපාරටම අපි දෙන්න පැනපු ගමන් මිනිහව අල්ල ගත්තා. ඊට පස්සෙ වාඩියෙ අනිත් දෙන්නත් ඇහැරුණා. ලයිට් එක දැම්මා.
ඒත් එක්කම වගේ තව පිරිසක් ඔන්න හොරෙක් කියලා අපේ වාඩිය තියෙන පැත්තට දුවගෙන ආවා. එහෙම දුවගෙන ආපු අය අතරේ ආමි එකේ ලොකු මහත්තයෙක් හිටියා. එයා අපේ වාඩියට ඇතුල් වෙච්ච තරුණයාව දැක්කා. ඊට පස්සෙ ආමි එකේ ලොක්කා වැටෙන් ලොකු පොල්ලක් කඩාගෙන ඇවිත් හොඳටම අර තරුණයාට තඩි බෑවා. කොල්ලා ගහන්න එපා කියලා වැඳ වැටුණා. ඊට පස්සෙ ඒ කොල්ලාගෙ අත් දෙක බැඳලා ලොක්කා ආපහු එනකම් කොල්ලාව බලාගන්න කියලා යන්න ගියා. කොල්ලා හොඳටම බීලා හිටියෙ. එයා හමුදාවෙ. ළඟ තියෙන ආමි කෑම්ප් එකේලු ඉන්නෙ. අපිට අයිඩින්ටියත් පෙන්නුවා. බීලා වැඩිකමට ද බොරු වෙරිමතයක් ගත්ත හින්දද මන්දා ඊට පස්සෙ අපි අහපු කිසිම දේකට පැහැදිලි පිළිතුරක් දුන්නෙ නැහැ. කොල්ලව අරන් යන්න ලොක්කා එනකන් අපි හුඟක් වෙලා බලා හිටියා. නමුත් කවුරුවත් ආවෙ නැහැ. ඒක නිසා අපි පොලීසියට කෝල් කලා. පොලීසිය එනව කියලා කිව්වට පොලීසිය ආවෙත් නැහැ. පැය දෙකක් විතර ගියාට පස්සෙ අර ආමි එකේ ලොක්කා ඇවිත් බැඳපු කොල්ලව අරන් ගියා.
ඊට පස්සෙ මොනව වුණාද දන්නෙ නැහැ. මේ මොනවද වෙන්නෙ කියලා අපිට නම් හිතා ගන්න බැහැ.”
මීට ටික දිනකට පෙර ලාංකීය දූපතේ එක් ප්‍රදේශයක සිදුවූ සිදුවීමක් තරුණයෙක් විසින් විස්තර කළේ මේ ආකාරයටය.
මූල්‍යමය හොරා
හොරුන් බිහිවන්නේ පවතින යම් සමාජයක් මුහුණ දෙන ආර්ථික බෙලහීනතාවයේ ස්වභාවය මතය. ඉතින් මේ පිළිබඳව හොයනවාට වඩා හොරාගෙන් ප්‍රවේශම් වීම පහසු නිසා සමහර අය තාප්ප බඳිති. තාප්ප බැඳලත් මදි යැයි සිතන අය සිකියුරිටි කෙනෙක් තබා ගනිති. එහෙමත් මදි යැයි සිතන අය කැමරා සවි කර ගනිති. මෙය තීරණය වන්නේ ඒ ඒ අය සතුව ආරක්ෂා කිරීමට ඇති වස්තුවේ ප්‍රමාණය අනුවය. දේපළ නොමැති අයට තාප්ප අවශ්‍ය නැත. අනික එහෙම අයට තාප්ප බැඳීමටත් මුදල් නැත. එහෙම ගෙදරකට හොරු ආවේ වෙන කරන්නම දෙයක් නැති වුණොත් පමණි. තාප්ප බැඳ නැවැත්විය නොහැකි හොරුන් ද සිටිති. මොවුන් ආයතනගත හොරුන්ය. මෙම ආයතනගත හොරුන්ගෙන් බොහොමයක් බිහිවන්නේ ආර්ථික බෙලහීනතාවය නිසාම නොවේ. හොරු ආයතනගත වීම ආරම්භ වන්නේ ‛හරක් හොරු’ ප්රජාතන්ත්රවාදී වීමත් සමගය. අද මෙන් නොව මීට කාලයකට පෙර ලංකාදීපයේ හරක් හොරු යහමින් සිටියෝය. ප්රජාතන්ත්රවාදයට පින්සිදු වන්නට අද ඒ හරක් හෙරුන්ගෙන් බොහෝදෙනෙක් සිටින්නේ පාර්ලිමේන්තුව, පළාත් සභාව හෝ ප්‍රාදේශීය සභාව තුළය. ඉතින් මේ පශ්චාත් හරක් හොරු එක එක ව්‍යාපෘති නාමයෙන් හරක් හොරකමෙන් ලැබුවාට වඩා හොඳ ආදායමක් රාජ්‍ය ආරක්ෂාව ඇතුව ලබති. අද නොයෙක් නොයෙක් නම් වලින් ඇති රාජ්‍ය ආයතන වල අධ්යක්ෂවරයාගේ සිට සුළු සේවකයා දක්වා සිටින බොහෝ පිරිස් අතර ද මෙම ආයතනගත හොරු සිටිති.
අමූල්යමය හොරා
ඒ මූල්‍යමය හොරා නැතිනම් සාමාන්‍ය හොරාගේ ඉතිහාසයයි. (මූල්‍යමය හොරා යනු මූල්‍ය සහ මූල්‍යමය වටිනාකමෙන් ඉහළ භාණ්ඩ හොරකන් කරන්නා යන්නයි.) මූල්‍යමය හොරුද නොවන වෙනත් හොරු වර්ගයන් ඇත. ඒ හොරු අමූල්යමය හොරුය. අමූල්යමය හොරුන් අතර වැදගත් ස්ථානයක් හිමිවන්නේ ‛ලිංගික හොරුන්ටය’. මූල්‍යමය හොරු බිහිවීමට සමාජයක ආර්ථික බෙලහීනතාවය බලපාන්නේ යම් සේද ඒ ආකාරයටම ලිංගික හොරු බිහිවීමට සමාජයක ලිංගික පීඩනය බලපායි. ගම් ආශ්‍රිතව නානතොටුපළවල, කැලෑවල ද නාගරිකව වහලවල් වල, තාප්ප උඩ ලිංගික හොරුන් ජීවත් වෙති. මේ අය කරන්නේ අනුන්ගේ ලිංගික වස්තුවක් දෙස හොරෙන් බලා සිටීමයි, ඒ ලිංගික වස්තුව ස්පර්ශ කිරීමයි. මෙම හොරකම මූල්‍යමය හොරකමට වඩා බරපතලය. අහුවුනොත් අනිවාර්යයයෙන්ම කඩුපාරක් වදිනු ඇත. ඉහත සාම්ප්‍රදායික ස්ථානවලට වෙනස්ව අද වන විට අළුත් අවකාශයන් ලිංගික හොරුන් සඳහා විවර වී ඇත. අද පොදු ප්‍රවාහන සේවයන් ලිංගික හොරුන්ගේ පාරාදීසයන් බවට පත් වී ඇත. එවැනි ස්ථානවල ස්පර්ශ කරනවාට වඩා තව තව දේ කරති. නමුත් බොහෝ අහිංසක මගීන් මේ බව නොදකී. රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන බොහොමයක මේ ලිංගික හොරකම ජයටම කෙරෙති. නමුත් ඒ අයට එරෙහිව කඩුවක් එසවූ අයෙක් නම් නැත. ලිංගික හොරකමේ දී වැඩිපුර අනතුරු සිදුවන්නේ තාප්ප නැති අයටය. දේපල ඇති අයගේ තාප්ප නිසා ඒ අය බේරෙති. තාප්ප නොමැති අය නම් ගෙදර හිටියත්, වැඩට ගියත්, බස් එකේදීත් හොරුන්ට අසුවෙති.
හොරුන් ලවා කොස් ඇට බෑවීම
මෑතක සිට ලිංගික හොරකම නැගලා යයි. ජාතීන් මත පදනම් වී ක්‍රියාත්මක වීම ලිංගික හොරකමේ අළුත්ම පැහැයයි. ද්‍රවිඩ, මුස්ලිම් පිරිස් වල වැසිකිලි අසල, කුස්සිවල පමණක් අළුත් ලිංගික හොරු ජීවත් වෙති. මේ ලිංගික හොරු ඇල්ලීමට උත්සාහ කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර ලිංගික හොරු අල්ලන්ට සැරසෙන මුළු ගමම වුවත් හිරේ දැමීමට පොලීසිය පසුබට නොවෙති. එලෙස හොරු අල්ලන අය ත්රස්තවාදීන් වන අතර ත්රස්තවාදීන්ට සලකන විදිහ පිළිබඳ සුවිශේෂී පුහුණුවක් ලැබූ පිරිසක් විසින් මේ හොරු අල්ලන අයට සලකන්නට බලාගෙන සිටිති. මේ හොරුන් කොහේ ප්රභවය ලැබුවාදැයි කවුරුත් නොදනිති. ( මේ සම්බන්ධයෙන් නාථ දෙවියන්ද නිහඬය. සමහර විට එතුමාට පෙනෙන්නේ අකාබනික මූලද්‍රව්‍ය පමණක් විය හැකිය) නමුත් මේ හොරු පසු පස එලවාගෙන යන අය පවසන්නේ හොරුන්ගේ ගමනාන්තය හමුදා කෑම්ප් එකකින් කෙලවර වන බවයි. එමෙන්ම අල්ලාගත් බොහෝ හොරුන්ගේ හමුදා ජාන තිබෙන බවද ප්‍රසිද්ධ රහසකි. මෙය ලිංගික හොරකමේ පමණක් නොව සමස්ත ලාංකීය හොර ඉතිහාසයේම අළුත්ම ප්රවණතාවයකි. මෙම ප්රවණතාවයේ අවේණික ලක්ෂණ කිහිපයකි. මුල් කාලයේ ලිංගික හොරු අවේ දර්ශනකාමීත්වයටය. නමුත් මොවුන් එන්නේ දර්ශනකාමීත්වයේ මුවාවෙන් වෙනත් දෙයකටය. මොවුන්ට ආවරණය කළ යුතු කලාපයක් ඇත. ඒ සඳහා ආරක්ෂාව සපයයි. වෙනම වැටුපක් ගෙවයි. සුළු ජාතීන්ගේ ප්‍රදේශවල තම ආධිපත්‍ය තහවුරුකර ගැනීමට ප්‍රවේශයක් ලෙස මෙවැනි දේ සිදුකරන බව කව්දෝ පවසා තිබිණි. සාමාන්‍යයෙන් පන්නා ගැනීමට නොහැකි කුලීකරුවන් ඉබේම ඉවත් කර ගැනීමට ගෙවල් අයිතිකාරයන් විසින් කුලී ගෙදර හොල්මන් සිටින බව පෙන්වමින් සිදු කරන්නේද මෙවැනි වැඩකි. ඉතින් මේ සැරසෙන්නේ තමන් ගෙවල් අයිතිකාරයන් යැයි සිතන පිරිසක් විසින් වෙනත් මිනිස් ප්‍රජාවක් ඇදබැඳ තබා ගැනීමට හොල්මන් පෙන්වීමද?
ග්‍රීස් උන්මාදය
James McTeigue ගේ V for Vendetta, චිත්‍රපටයේ V නැමැත්තා රටේ දූෂණයන්ට වගකිව යුත්තන් ඝාතනය කරමින් සමාජය තුළ යම් විප්ලවීය භූමිකාවක් නිරූපනය කරයි. අවසානයේ සමාජය තුළ V පිළිබඳව උන්මාදයක් හටගන්නා අතර බොහෝ පිරිස් මෙම චරිතය මෙන් හැසිරීමට උත්සාහ දරති. සමහරක් පිරිස් තම තමන්ගේ පෞද්ගලික පීඩනයන්ගෙන් මිදීමට V ගේ චරිතය අනුකරණය කරති. සමහරක් අවස්ථාවන්හිදී කඩ සාප්පු මංකොල්ලකෑමට ද මෙම චරිතය අනුකරණය කරයි. සමහරෙක් V යැයි සිතා අහිංසක මිනිසුන් ඝාතනය කරති. ජන සමාජයක සාමාන්‍ය ස්වභාවය මෙයයි. ලංකාවේ ග්‍රීස් යකාගෙන් විප්ලවීය කාර්යභාරයක් සිදුනොවුවද ඉහත චිත්‍රපටයෙන් ග්‍රීස් යකාගේ අනාගත ප්රවණතාවයන් පිළිබඳ ඉඟියක් සපයයි. ග්‍රීස් යකා දේශපාලන වැඩකට පැමිණියද යන එන ගමන් තමා පැමිණි මුල් කාර්යයට අමතරව වෙනත් වැඩක් සිදු කිරීමට ද ඉඩ ඇත. එමෙන්ම තමන්ට ආවරණය කිරීමට ඇති කලාප වලට අමතරව වෙනත් කලාප වලද ක්‍රියාත්මක වීමට ඉඩ ඇත. විශේෂයෙන්ම සිංහල බහුතරයක් සිටින ප්‍රදේශ වල පවා තම තමන්ගේ පෞද්ගලික පීඩනයන් සංතෘප්තිය සඳහා මෙම තත්ත්වය භාවිතා කිරීමට ඉඩ ඇත. සමහර විටෙක මේ සඳහා පැමිණීමට නිල අවසරය නොලත් සෙසු හමුදාවේ පිරිස් ද තමන්ගේ පෞද්ගලික පීඩනයන්ගෙන් මිදීමට මෙම ආකෘතිය භාවිතා කිරීමට ඉඩ ඇත. ඝාතනය කිරීමට නිශ්චිත සතුරෙක් නොමැතිව, කිරීමට නිශ්චිත කාර්යයක් නොමැතිව, අහිමි වී තිබෙන යම් යම් ආශාවන් වලින් පීඩිතව සිටිනා එවැනි පිරිසට මෙවැනි කල්පනාවන් ඇති වීම ස්වාභාවිකය. සමහර විටෙක අමතර ආදායමක් උපයා ගැනීමට ද මෙම තත්ත්වය භාවිතා කිරීමට ඉඩ ඇත. අද වන විට ලක්ෂ ගණනක පිරිසක් හමුදාවල සේවය කරති. ඉතින් මේ සියළු දෙනාටම මෙවැනි කල්පනාවන් පැමිණියහොත් සමාජයට නාථ දෙවියන්ගේම පිහිටය. එවිට ඒ සඳහා වගකිව යුත්තෝ කරන්නේ හමුදාපතිව ඉල්ලා අස්කරවීමද?