දිනය – 2009 අප්‍රේල් 12 වැනිදා
වේලාව – සවස 6 යි.
ස්ථානය – පිළිමතලාව නගරය
මාගේ සහෝදරයාත් මමත් පිළිමතලව නගරයට පැමිණියේ අපගේ ඥාති ගෙදරකට යාම සඳහායි. එම ගෙදරට ගෙනයාමට යමක් මිළදී ගැනීමේ අටියෙන් කඩයකට ගොඩ වූ අප දෙදෙනා අවශ්‍ය කළමනා මිළදී ගැනිමෙන් පසු බසයකට ගොඩවිම සඳහා බස්නැවතුම් පොළ වෙත පියනැගුවෙමු. අතර මගදී නගරයේ තැපැල් කන්තෝරුව ඉදිරිපිට තිබූ රතිඤ්ඤා තට්ටුව අසල මදක් නැවතුනේ රතිඤ්ඤා පෙට්ටියක් මිළදී ගැනීම සඳහාය. එම වේලාවේම එහි පැමිණි කඩුගන්නාව රථවාහන පෙලීසියේ නිළධාරීන් දෙනෙකු රැගත් සුදු පැහැති මෝටර් සයිකලය රතිඤ්ඤා තට්ටුව ඉදිරිපිට නතර කෙරිණි.(අවශ්‍ය නම් යතුරු පැදියේ අංකය ද මා සතුව ඇත.) යතුරු පැදිය පිටුපස අසුනේ සිටි පොලිස් නිළධාරියා ඉන් බැස තට්ටුව වෙත ගොස් නිලාකූරු පෙට්ටි හයක් හා රතිඤ්ඤා පෙට්ටි දෙකක් රැගෙන එය බෑගයක දමාගෙන පිටව ගියේ ‛‛ මුදලාලී ගිහින් එන්නම්’’ කියාගෙන ය. එම නිලා කූරු පෙට්ටියක මිළ රුපියල් 75කි. රතිඤ්ඤා පෙට්ටියක මිළ රුපියල් 100 කි.
සිද්ධිය දුටු මා ඒ පිළිබඳව මුදලාලිගෙන් විමසුවෙමි. ‛‛ මොනව කරන්නද මහත්තය නොදුන්නොත් ඉතින් මේ ලෑල්ල මෙතන තියාගෙන වෙළදාම් කරල ඉවරයි. මාව එලවල දායි. ඔය එක කට්ටියක් විතරයි. තවත් අය එයි. කොච්චර ආවත් දෙන්න එපැයි ’’ මුදලාලිගේ මුහුණේ ඇත්තේ විස්සෝප ස්වභාවයකි. මමත් මල්ලීත් රතිඤ්ඤා පැකට්ටුවක්ද මිළදීගෙන එතැනින් එන්නට සැරසෙද්දීම තවත් පොලිස් නිළධාරින් දෙදෙනෙකු රැගත් මෝටර් සයිකලයක් පැමිණ රතිඤ්ඤා තට්ටුව අසල නවතනු පෙනිනි.
චන්දන – කටුගස්තොට